ඊනියා නූතනත්වයට යටවීම
අපේ රටේ පමණක් නොවෙයි, මුළු ලෝකයේම තිබෙන ප්‍රශ්නය වචන තුනකින්් කියන්න පුළුවන්. ඒ තමයි ඊනියා නූතනත්වයට යටවීම. මෙහි ඊනියා කියන වචනය යොදන්නෙ මට ඊනියා කියන වචනෙට තියෙන විශේෂ ඇල්මක් නිසා නෙවෙයි. නූතනත්වය කියන සංකල්පය වැරදි නිසා. එක්තරා ජනමාධ්‍යවේදියකු මගේ ලිපියක ඊනියා කියන වචනය කී වතාවක් ලියා තිබෙනවද කියල ගණන් කරන්න ඕන කිවුව. කොහොමත් ජනමාධ්‍යවේදීන් පඬියන්. ඔවුන් අනික් අය යමක් යම් ආකාරයකට කියන්නෙ මොකද කියල සොයල බලන්න, ඔවුන් ඇතුළු පඬියන් කියන විධියට පර්යේෂණයක් කරන්න කැමති නැහැ. ඒ ඔවුන්ට වෙලාවක් නැති නිසා වෙන්නත් පුළුවන්.
නූතනත්වය කියන සංකල්පය ගැන ම ඊනියා නූතනත්වයේ උගතුන් අතර මතභේද තිබෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් නූතනත්වය කියල කියන්නෙ පහළොස්වැනි සියවසෙන් පමණ පස්සෙ යුරෝපයේ ඇතිවූ ආකල්ප, අදහස්, දැනුම, දේශපාලනය, ආදිය සම්බන්ධයෙන්. නූතනත්වයෙහි, දේශපාලන නිදහස, රජවරුන්ගේ ආධිපත්‍යය නැතිවීම, ප්‍රජාතන්ත්‍රවාදය, සමානත්වය, අන්‍යයන්ගේ අදහස්වලට ගරුකිරීම, බුද්ධිවාදය, හේතුවාදය, ඇරිස්ටෝටලීය න්‍යායේ තර්කය ආදියට ගරු කිරීම, දැනුම පිළිබඳ අධිකාරියකට යටනොවී තමන් ම සිතා බලා නිගමනවලට පැමිණීම, පෞද්ගලිකත්වයට ගරුකිරීම, ප්‍රබුද්ධත්වය, ඊනියා මිථ්‍යා විශ්වාසවලින් මිදීම, ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ මත පදනම් වීම, දැනුමෙහි දී දෙවියකු හෝ වෙනත් අයකු හෝ විසින් කෙරෙන අනාවරණ ප්‍රතික්‍ෂෙප කිරීම, ආදිය ඇතුළත් වෙනව කියල කියනවා.
මා නම් කියන්නෙ පහළොස්වැනි සියවසේ අගභාගයේ දී චින්තන විප්ලවයක් පළමුව දකුණු යුරෝපයෙහි් ඇරඹී පසුව ජර්මනිය, ප්‍රංශය, වැනි රටවල වර්ධනය වුනා කියලා. එංගලන්තය එහි බටහිර විද්‍යාව හා තාක්‍ෂණය යන අංශ වර්ධනය කළා. නුතනත්වය කියන සංකල්පය චින්තන විප්ලවයකට යොදන්න බැහැ. මා නූතනත්වයට ඊනියා නූතනත්වය කියල කියන්නෙ ඒ නිසයි. ඊනියා කියන වචනෙ තේරුම එසේ කියන නමුත් එසේ නොවන යන්නයි. චින්තන විප්ලවයෙන් පස්සෙ ඇතිවුණු චින්තනයට මා කියන්නෙ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය කියලයි. එයට කලින් තිබුණෙ කතෝලික චින්තනය.
ඊනියා නූතනත්වය යන සංකල්පයේ තියෙන බංකොළොත්කම හින්දමයි පහුගිය දවස්වල ලංකාවෙත් පශ්චාත් නූතනත්වය කියල තවත් ව්‍යාජ සංකල්පයක් පැතිර ගියේ. එය දැන් බටහිර රටවලත් යෙදෙන්නෙ නැහැ. පශ්චාත් නූතනත්වය කියල ඒ අය කිවුවෙ අර චින්තන විප්ලවයේ විකාශයේම තවත් අංගයකට පමණයි. එය බටහිර උගතුන් අතර විලාසිතාවක් පමණක් බවට පත්වුවා. විලාසිතා ඉතා තාවකාලිකයි.
ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය බටහිර රටවල වුවත් ප්‍රධාන වශයෙන් ම ඇත්තෙ උගතුන් අතරයි. එය සාමාන්‍ය ජනයා අතරට ඒ තරම් ගිහින් නැහැ. එහෙත් සාමාන්‍ය ජනයා ඒ චින්තනයෙ ප්‍රතිඵල භූක්ති විඳිනවා. ඔවුන්ගෙ චින්තනය තවමත් මූලික වශයෙන් කතෝලික චින්තනයයි. ඒත් ඔවුන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් ද යම් යම් අංග ඇතැම් අවස්ථාවල ගන්නවා. අද ඇමරිකා එක්සත් ජනපදය මේ අතින් කදිම උදාහරණයක්. එහි සාමාන්‍ය ජනයා තවමත් ජීවත්වන්නෙ මූලික වශයෙන් ම ඔවුන් යුරෝපයෙන් (එංගලන්තයෙන් අයර්ලන්තයෙන්) ගෙන ආ චින්තනයෙහිමයි. යුරේා්පයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වර්ධනය වුනේ ඔවුන් ඇමරිකාවට ආවට පස්සෙ. ඇමරිකානුවන්ට බටහිර විද්‍යාව බලපානවා. එහෙත් ඒ තාක්‍ෂණය පැත්තෙන්. බටහිර විද්‍යාවේ හරය, ඒ කියන්නෙ ගී්‍රුක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ හරය, ඔවුන්ට බලපාන්නෙ ඉතාමත් අවම වශයෙන්. බටහිර විද්‍යාවෙ පරිණාමවාදය සමග නිර්මාණ වාදය ද උගන්වල ලෙස ඇතැම් ප්‍රාන්තවල නීති සකස්කර තිබෙනවා. ඔවුන්ගෙ ඇතැම් දේශපාලකයන් ද වර්ධිත ග්‍රීක යූදෙවු ක්‍රිස්තියානි චින්තනයට තවමත් පැමිණ නැහැ. ඇමරිකානුවන්ගෙ චින්තනය අනුව, රිපබ්ලිකන් අපේක්‍ෂකයා ලෙස තේරී පත්වී ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ශ්‍රෙෂ්ටත්වය නැවත ඇතිකරාවි. වසර අග පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට ඉතා වැඩි ඉඩක් තිබෙනවා. රිපබ්ලිකන් පක්‍ෂයේ ම උගත් ලිබරල් මතධාරී ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ කරවටක් ගිළුණු අය ට්‍රම්ප්ට විරුද්ධයි. එහෙත් ඔවුන් සුළු පිරිසක්.
අපේ රටවල ප්‍රශ්නය සෑම ක්‍ෂෙත්‍රයක ම අධිකාරී බලය උගතුන්ට අයත්වීම. උගතා යනු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අනුව අධ්‍යාපනයක් ලැබූවකු. ඔවුන්ට ඇමරිකාවේ උගතුන්ට නැති හීනමානයක් තිබෙනවා. අපේ රටවල උගතුන්් මුළුමනින් ම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නැතිවුවත් එසේ ඇති බව පෙන්නන්නට යනවා. එය ද ඔවුන් ලත් අධ්‍යාපනයෙහි ප්‍රතිඵලයක්. අපේ රටේ රාජකීය විදුහලේ සිට ඈත ගම්මානයක ප්‍රාථමික පාසලක් දක්වා මේ අධ්‍යාපනය ලැබෙනවා. ඉහළ පන්තිවල සිසුන්ට එය වඩාත් ම ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ ගන්න දෙයක් නැහැ. එයින් කියැවෙන්නෙ ඒවායෙ ගුරුවරුන් ග්‍රීක යුදෙචු ක්‍රිස්තියානි චින්තනයෙ ඉහළින් ඉන්න බව නොවෙයි. ඔවුන් ඒ බව පෙන්වන්න නම් හදනවා.
අප ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි, විශේෂයෙන් ම එකී සංස්කෘතියෙහි දාසයන් බවට පත්වෙලා. අද බටහිරයන් අපව පාලනය කරන්නෙ මේ චින්තනය ලෝකයට ම අධිපති චින්තනය, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ලෝකයේ ම අධිපති සංස්කෘතිය බවට පත්කරමින්. ඒ සඳහා ඔවුන්ට හමුදා එවීම අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය පමණයි. බැරිම අවස්ථාවක පමණක් හමුදා එවාවි.
මෙරට උගතුන් බුදුදහම විද්‍යාත්මක බවට පත්කරන්න උත්සාහ ගන්නේත් ඔවුන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවීම නිසා. බුදුදහම මනෝවිශ්ලේෂණාත්මකය, ආචාරධර්ම පද්ධතියක්ය, ආනුභාවිකය, ඇරිස්ටෝටල්ගේ න්‍යායට එකඟය ආදී බොරු රාශියක් බටහිර උගතුන් සැනසීමට කියනවා. බටහිර උගතුන් ද බුදදුහම හුදු දැනුම් පද්ධතියක් බවටත්, බුද්ධාගම භාවනාව (මෙඩිටේෂන්) සහිත පෞද්ගලික අනුභූතියක් පමණක් බවටත් පත්කරන්න උත්සාහ කරනවා. නව බුදුදහමෙහි අදි කතෘවරුන් රීස් ඩේවිඩ්ස් යුවළ. අපේ බුද්ධාගම බුදුදහමකට හා මෙඩිටේෂනයට සීමා නොකර බටහිර හා අපේ උගතුන්ගෙන් ආරක්‍ෂා කර ගනිමු.
මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 ජූනි 05