Main Logo

Thursday 16 June 2016

ආකිමිඩීස්ගෙ බර

ආකිමිඩීස්ගෙ බර

ආකිමිඩීස්ගේ බර හා නිවුටන්ගේ බර කියන්නේ දෙකක්. එයින් කියැවෙන්නේ ඔවුන් දෙදෙනාගේ බර රාත්තල්වලින් හරි ග්‍රීකයන් යොදාගත් ඒකකයකින් හරි වෙනස් කියන එක නෙවෙයි. ඔවුන්ට කිලෝග්‍රෑම්් නොතිබුණත් අපට වුවමනා නම් ඔවුන්ගෙ බර කිලෝග්‍රෑම්වලිනුත් කියන්න පුළුවන්. කිලෝග්‍රෑම් ඇතිවුනේ ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ. ආකිමිඩීස්ට ඉංගිරිසින්ගෙ රාත්තල් තිබුණෙත් නැහැ. ඒත් මේ හැම ඒකකයක් ම අනෙක් ඒකකවලට හරවන්න, පරිවර්තනය කරන්න  පුළුවන්. සිංහලයන් ඇතෙක් බරට කියන ප්‍රකාශය වඩාත් බර දේ ගැන කියන කොට යොදාගෙන තිබෙනවා.


එහෙත් මෙතනදි අප කතාකරන්නේ ඒකක පිළිබඳ ප්‍රශ්නයක්වත් එකම ඒකකයකට හැරෙවුවත් ආකිමිඩීස්ගෙ හා නිවුටන්ගෙ බර පිළිබඳ වෙනසක්වත් නොවෙයි. අපට වැදගත් වන්නෙ සංකල්ප පිළිබඳ ප්‍රශ්නය. අපට බර දැනෙනවා ද? මා ගුරුත්වාකර්ෂණය යනුවෙන් දෙයක් අපේ පංචෙන්ද්‍රියවලට දැනෙන්නේ නැතැයි කී විට දියුණු යැයි කියන රටක උගන්වන එක්තරා ගුරුවරයකු මට කීවේ පිටි ගෝනියක් කර තබාගෙන ගිය විට ගුරුත්වාකර්ෂණය දැනේවි කියා ය. මෙයින් නැවතත් කියැවෙන්නෙ ගුරුවරුන්ටත්  අකුරු වරදින බව මිස වෙනෙකක් නො වෙයි. නිවුටන්ට අනුව වුවත් ගුරුත්වාකර්ෂණය කියන්නෙ බරට නෙවෙයි.

මට හිස් ගෝනියක බර නම් දැනෙනවා. පිටි ගෝනියක් හිස් ගෝනියකට වඩා බර බවත් ඇතකු තරම් බර නැති බවත් මට තේරෙනවා. පිටි ගෝනියකත් ඇතකුගේත් බර මට දැනී නැහැ. ඒ මා පිටි ගෝනියක්වත් ඇතකුවත් උස්සා නැති නිසා. ඒත් මට ඒ බව තේරුම් ගන්න, අනුමාන කරන්න පුළුවන්. යමකුට තමාගේ ම බර දැනෙනවා දමා යමක් උස්සන විට එය මගේ අතට හෝ පිටට හෝ හිසට හෝ දැනෙනවා. එය තෙරපීමක් නැත්නම් ඇදීමක්. ඒ දැනෙන්නෙ ස්පර්ශය  මගින්. එය ඉන්ද්‍රිය ගෝචරයි. සෑම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමකට ම, අනුභූතියකට ම, සංකල්පයක් තිබෙන බව අමතක කරන්න එපා. සංකල්ප තැනීම මනසේ කාර්යයක්. බටහිරයන් පංචෙන්ද්‍රිය ගෝචර අනුභූති ගැන කියන්නෙ හරියට ඒවා මනසින් ස්වායත්ත, ස්වාධීන, එහෙම නැත්නම් වෙන් වූ, අත්දැකීම් ලෙස සලකමින්. මෙවැනි වෙන් කිරීම් බටහිර සංස්කෘතීන්වල ප්‍රධාන ලක්‍ෂණයක්.

මට මා උස්සන්න පුළුවන් ද? අප කන්දක් නගින විට, නැත්නම් පුටුවක වාඩි වී නැගිටින විට බරක් දැනෙනවා. මා වැනි වියපත් අයට බිම වාඩි වී නැගිටින්න තරමක් අපහසුයි. ඒ සඳහා අපට සමහර විට වෙනත් අයකුගේ ආධාරය අවශ්‍ය වෙනවා. හාමුදුරුවොත් ඒ බව දන්නවා. බණ අහන්න ගියත්, පිරිත් අහන්න ගියත් දානෙකට ගියත් අපට පුටුවක් ලැබෙනවා. අප ජලයේ ගිළුණ විට අපට දැනෙන්නේ කුමක් ද? පොඩි සැහැල්ලුවක් දැනෙනවා. එයත් පංචෙන්ද්‍රිය ගෝචරයි. සැහැල්ලුවක් කියන්නෙ බර අඩුවීමක්. අප එතනින් එහාට හිතන්නෙ නැහැ. සිරීපාදෙ යනවිට අප කියන්නෙ සැහැල්ලුවක් ගෙන යනවා කියලයි. ඒක බර නැතැයි කියලා ප්‍රකාශ කරන්න හදාගත්ත කතාවක්.

ආකිමිඩීස් අප හිතන තැනින් එහාට හිතුවා. ජලයේ ගිළුණු විට දැනෙන සැහැල්ලුවට හේතුව කුමක් ද කියන ප්‍රශ්නය ඔහුගේ මනසට එන්න ඇති. අපටත් ඒ වගේ ප්‍රශ්න මනසට එනවා. ඒත් අපට ඒ සමහර ප්‍රශ්නවලට උත්තර නැහැ. එයට හේතුව කුමක් ද? ආකිමිඩීස් අපට වඩා බුද්ධිමත් වීම ද? බුද්ධිය මනින්නෙ කොහොම ද? තුන් තේරවිලිවලින් බුද්ධිය මැන්නොත් ආකිමිඩීස්ගෙ හරි නිවුටන්ගෙ හරි අයින්ස්ටයින්ගෙ හරි බුද්ධිය කොතරම් වේවි ද? ඕනෑම දෙයක මැනීමක් කියන්නෙ තවත් එවැන්නක් සමග සංසන්දනය කිරීමක්. දිග මනින විට අප අඩි කෝදුවක්, මීටර පීත්තයක් වැනි දෙයක් සමග සංසන්දනය කරනවා. එවැනි මැනීමකින් අපට ලැබෙන්නෙ සංඛ්‍යාවක්. මේ එක්තරා ආකාරයකට තොරතුරු සංඛ්‍යාංක (ඩිජිටල්) කිරීමක්. බටහිරයන් බුද්ධිය මනින්නත් සංඛ්‍යාවක් උපයෝගි කරගන්නවා. අපේ අයි කිවු එක කියද කියලා දැනගන්න අප උනන්දු වෙනවා. ඒත් එතනදි සංසන්දනය වන්නෙ බටහිරයන් ඇතැම් ප්‍රශ්නවලට ලැබෙන උත්තර ආධාරයෙන් සකස් කර ගත්ත බුද්ධි විශේෂයක්.

ආකිිමිඩීස්ට කලින් කී ප්‍රශ්නයට වියුක්ත පිළිතුරක් තිබුණා. වියුක්ත දේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ නැහැ. වියුක්ත කියන එකට ඉංගිරිසියෙන් කියන්නෙ ඇබ්ස්ට්‍රෑක්ට් කියලා. සමහර දෙනා වියුක්ත කියන එකට අමුර්ත කියලත් කියනවා එයින් කියැවෙන්නෙ මූර්තයක් කළ නොහැකි බවක්. මූර්ති පංචෙන්ද්‍රිය ගෝචරයි. අමුර්ත පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. අමූර්ත සංකල්පයකට වියුක්ත කියලා කියන්නෙ එය පංචෙන්ද්‍රිය ගෝචර දෙයින් වෙන්කර ගත් සාරයක් වන නිසා. වියුක්ත සංකල්පයකට හොඳම උදාහරණය බටහිර ආසියාවෙ නිර්මාණය වූ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ හිතෙන්වත් මවා ගන්න බැහැ. දෙවියන් වහන්සේගේ පිළිම තනන්න බැහැ. මුස්ලිමුන් හා යුදෙවුවන් දෙවියන් වහන්සේගේ පිළිම තනනවාට විරුද්ධයි. දෙවියන් වහන්සේ ම පරණ තෙස්තමේන්තුවෙ කියලා තියෙනවා වෙනත් දෙවියන්ගෙ පිළිම කඩන්න කියලා. දෙවියන් වහන්සේට අරාබි බසින් කියන්නෙ අල්ලා කියලයි. මුස්ලිමුන් පිරිසක් බාමියන් බුදු පිළිම වහන්සේලා කඩා දැම්මේ අල්ලාගෙ මේ නියෝගය අනුව. කොහොමටත් මේ වියුක්තබව, අමූර්තබව ග්‍රීකයන්ටත් තිබුණා. ඔවුන් ජ්‍යාමිතිය වියුක්ත දැනුමක් බවට පත්කළා. ඊජිප්තුවෙ ඇතිවුණු පංචෙන්ද්‍රිය ගෝචර භූමිතිය, ජියෝමෙට්රි යනු පොළොව මැනීමක් හෙවත් භූමිතියක්ග්‍රීකයන් වියුක්ත දැනුමක් බවට පත්කළා. වත්මන් බටහිර ගණිතය ඉතා වියුක්තයි.

ආකිමිඩීස් සැහැල්ලු බවට හේතුව උඩුකුරු තෙරපුම කියලා කිවුව. උඩුකුරු තෙරපුම පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. සැහැල්ලු බව දැනුනට උඩුකුරු තෙරපුම දැනෙන්නෙ නැහැ. උසස් පෙළට සංයුක්ත ගණිතය හරි භෞතික විද්‍යාව හරි, ඒ දෙකම හරි හදාරලා තිබෙන අය සමහරවිට උඩුකුරු තෙරපුම දැනෙනවා කියලා කියයි. ඒ අයගෙන් බොහෝ දෙනකුට ගුරුත්වාකර්ෂණයත් දැනෙනවා! ඒත් අහලා බලන්න ඒ දැනෙන්නෙ මොන ඉන්ද්‍රියට ද කියලා. ආකිමිඩීස් සැහැල්ලුවට හේතුව ලෙස වියුක්ත සංකල්පයක් නිර්මාණය කළා. අපට එලෙස වියුක්ත සංකල්ප නිර්මාණය කරන්න බැහැ. එහෙම කරන්න නම් අපේ චින්තනය වෙනස් කරන්න ඕනෑ. එහෙත් එසේ නොකරනවා නම් හොඳයි. වියුක්ත සංකල්ප ඉගෙන ගැනීම එකක් නිර්මාණය කිරීම තවත් එකක්.  

ආකිමිඩීස්ට බර කියන එක නිවුටන්ගෙ අර්ථයෙන් බලයක් වුනේ නැහැ. අහලා බලන්න බටහිර විද්‍යාව හදාරලා නැති නූගත් කියන වැඩිහිටියකුගෙන් බර කියන්නෙ බලයක් ද කියලා. ආකිමිඩීස්ලාට ඇරිස්ටෝටල්ලාට තිබුනෙ නිවුටන්ලාගෙ  බලය නොවෙයි. ඔවුන්ට තිබුණෙ කප්පි, ලීවර ආදියට සරිලන බලය පිළිබඳ සංකල්පයක්. ආකිමිඩීස්ලාගෙ බලය කියන සංකල්පය වෙනස් වන්න පටන් ගත්තෙ හයවැනි සියවසේ ඉඳලා. ගැලීලියොත් නිවුටනුත් ඒක තරමක් වෙනස් කළා. නිවුටන් ගුරුත්වාකර්ෂණ බලයක් ගැන කතා කළා. අද උගත් කියන අය බලය ගැන හිතන්නෙ මැක්ස්වෙල්ගෙන් සංශෝධනය වූ නිවුටන්ගෙ සංකල්පය අර්ථයෙන්. ඒ සමහර අය මැක්ස්වෙල් ගැන දන්නවද නැද්ද කියන එක එහි දී අදාළ නැහැ. දැන් බටහිර භෞතික විද්‍යාවෙ බලය කියන සංකල්පය හොඳට ම වෙනස් වෙලා. නිවුටන්ගෙ බලය කියන සංකල්පය නැතිව වුවත් ආකිමිඩීස් උඩුකුරු තෙරපුමක් ගැන කිවුව. ඒ ඔහු වියුක්ත චින්තනයෙ අතිදක්‍ෂයකු වූ නිසයි. අද උසස් පෙළ සිසුන් ගැටළු විසඳන විට බරත් උඩුකුරු තෙරපුමත් නිවුටන්ගෙ බල ලෙස සලකනවා. ඒකෙන් නොමග යන්න එපා. සංකල්පවලටත්, දැනුමටත් විකාශයක් තියෙනවා. නිවුටන්ගෙ බර ගැන අපි පස්සෙ කතාකරමු.



මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.  

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද / කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)


නලින් ද සිල්වා

2016 ජූනි 16