ජාතික ව්‍යාපාරයට න්‍යාය පත්‍රයක්
බොහෝ දෙනා ජාතික ව්‍යාපාරය ගැන කියනවා. එහෙත් ඒ බොහෝ දෙනකුට ජාතික ව්‍යාපාරයක් ගැන තේරුමක් නැහැ. ජාතික ව්‍යාපාරය පටන් ගත්තෙ කවද ද? ඒකෙ අරමුණු මොනව ද, ඒ අරමුණු ඉටුකර ගන්නෙ කොහොම ද, මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ජාතික ව්‍යාපාරය දේශපාලන පක්‍ෂයක් ද? ඒකත් ප්‍රශ්නයක්. ජාතික ව්‍යාපාරය දේශපාලනයක් කරන්නෙ නැද්ද? මේ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු දෙන්න මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනෙක මා කියන සෑම දෙයකට ම මූලාශ්‍ර ලබාදෙන්නෙත් නැහැ. සමහර දේට මූලාශ්‍ර ඇත්තෙත් නැහැ. මා දත්ත පමණක් පිටින් ගන්නවා. බොහෝ විට විවරණ මගේ, එනම් මට හිතෙන දේ. ඒවා මා ඉදිරිපත් කරන දත්ත සමග ගැලපෙනවා කියල මා හිතනවා. කොහොමටත් වාස්තවික දත්ත කියා දේ ලෝකයේ නැහැ. සෑම දත්තයක් ම අවසාන විග්‍රහයේ දී විවරණයක් වෙනවා. කොලම්බස් ඇමරිකාව සොයා ගත්තා කියන එක වාස්තවික දත්තයක් ලෙස පෙන්නන්නෙ යුරෝපීයයන්. ස්වදේශික ඇමරිකානුවන් ඇමරිකාව සොයා ගත්තේ නැත් ද? ඔවුන් ඇමරිකාවට ගිහින් තියෙන්නෙ ආසියාව පැත්තෙන්. ප්‍රශ්නය තිබුනේ ඇමරිකාවට ආසියාවෙන් පැමිණි අය හා යුරෝපයෙන් පැමිණි අය අතර. ඒ පැමිණීම්, එනම් සොයාගැනීම් අතර කී දෙනකු ඇමරිකාවට ගියා ද? ඇමරිකාවට භික්‍ෂූන් වහන්සේ චීනයෙන් වැඩම කර ඇති බව කී විට එය විශ්වාස කරන්නේ නැහැ. ඊනියා මූලාශ්‍ර ඉල්ලනවා. අපට දැන් පුරුදු කරලා තියෙනවා පොත පතෙහි සඳහන් දේ පමණක් විශ්වාස කරන්න. මූලාශ්‍ර සඳහන් නොකර අප කියන දෙයක් පිළිගන්නේ නැහැ. මුලාශ්‍රයෙහි තියෙන දේ ඇත්ත ද කියලා අහන්නෙ නැත්තෙ ඇයි? අප ඇසූ පිරූ තෑන් ඇති ජාතියක්. සූත්‍ර බොහොමයක් පටන් ගැනීමේ දී ආනන්ද හාමුදුරුවන් කියන්නේ මා විසින් මෙසේ අසන ලදී කියලයි. සූත්‍ර, බහුශ්‍රැත මේ සියල්ල ඇසීම සමග සම්බන්ධයි. බටහිරයන්ගේ වර්තමාන සම්ප්‍රදායෙ ඉන්නෙ හොඳින් කියවන ලද, වෙල් රෙඩ්, අය. ඇසූ පිරූ හා කියවන ලද කියන්නෙ සම්ප්‍රදාය දෙකක්. ජාතික ව්‍යාපාරය පළමු සම්ප්‍රදායෙ. ඒ වුනත් අද අපට වැඩියෙන් ලියන්න වෙලා තියෙනවා. ඒත් අපේ ම පිටුවල, වෙබ් අඩවිවල. රූපවාහිනී මාධ්‍යයෙන් අප කොන් කරලා. පුවත්පත් පළකරන්නේත් ඔවුන්ට ඕනෑ දේ පමණයි.
ජාතික ව්‍යාපාරය පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලෙත් තිබුණා. ජාතික ව්‍යාපාරය රට කරවීම මූලික කරගත්තක්. එහි ප්‍රධාන අරමුණක් වන්නේ රාජ්‍යයක් ගොඩනැගීම හා පවත්වාගෙන යෑම. පණ්ඩුකාභය, ගැමුණු, වලගම්බා, ධාතුසේන සිට හයවැනි පරාක්‍රමබාහු රජු දක්වා කෙළේ ඒ කාර්යය. විමලධර්මසූරිය රජුත් ඒ කාර්යය කළා. ඒත් අප 1815 ගිවිසුම අත්සන් කිරීමෙන් ඒ කාර්යය සුද්දන්ට භාරදුන්නා. සුද්දන් අපේ රාජ්‍යය කඩා බිඳ දමා ඔවුන්ගේ රාජ්‍යයක් ගොඩනැගුවා. අද ජාතික ව්‍යාපාරයේ මුල ම ඇත්තේ නැවතත් අපේ රාජ්‍යයක් ගොඩ නැගීම. මේ රාජ්‍යය මොකක් ද කියලා බටහිර දේශපාලන විද්‍යාවන් (මාක්ස්වාදය ද ඇතුළුව) මගින් විස්තර කරන්න හදන්න එපා. ඒකීය රාජ්‍යය කියන එක වුනත් බටහිර සංකල්පයක්. අපේ සංකල්පය එක් සේසත් යන්නයි. එක් සේසත් කියන එකෙන් එක්සත් කියන අදහස දේ ද කියලා ඇතැමුන්ගෙ බයක් තියෙනවා. කොහොමටත් අද බොහෝ වෙලාවට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ බටහිර සංකල්පවලින්. ඒ නිසා අපී ඒකීය කියලා කියමු. ඒත් අපට අවශ්‍ය එක් සේසත් රාජ්‍යයක්. එක් සේසත් කියන්නෙ එක කුඩයක් යට කියන එකයි.
කැප්පෙටිපොළ නිළමෙලා, පුරං අප්පුලා, අනගාරික ධර්මපාලතුමාලා සටන්කෙළේ මේ එක්සේසත් රාජ්‍යය වෙනුවෙන්. ඔවුන් ඒ වචන යොදාගත්ත බවට මූලාශ්‍ර තියෙනව ද කියලා අහන්න එපා. ඒක අපේ සංස්කෘතියෙ තියෙන සංකල්පයක්. හිතනවාද ඔවුන් සටන් කෙළේ ධනවාදී නැත්නම් සමාජවාදී රාජ්‍යයක් ඇතිකරන්න කියලා. පස්සෙ කාලෙක භාෂා ප්‍රේමීන්ගෙ සටන වුනෙත් සිංහල භාෂාවට තිබුණු තැන නැවත ලබාගැනීමට. ඒත් සුද්දන් කඩා බිඳ දැමූ රාජ්‍යය නැවත ඇතිකිරීමට. සිංහලය රාජ්‍ය භාෂාව කෙළේ ඒ සඳහා. සිංහල රජ කාලෙ රාජ්‍ය භාෂාව කියන සංකල්පය තිබුණෙ නැහැ. ඒත් සිංහලෙන් තමයි වැඩ කෙළේ. දෙමළ භාෂාවෙන් මේ රටේ සෙල්ලිපි කීයක් තියෙනවාද? පෘතුගීසීන් හා සන්කිලි අතර ගිවිසුම තිබුණෙත් පෘතුගීසි හා සිංහලෙන් මිස දෙමළෙන් නොවෙයි. මූලාශ්‍ර ඕන කියන අයත් ඇති. මා ලියූ පොත්වලත් මූලාශ්‍ර නැහැ. මා මූලාශ්‍ර මත යැපෙන්නකු නෙවෙයි.
මේ රටේ ජාතික කොංග්‍රසය හැදුවෙ ඉන්දියාවෙ ජාතික කොංග්‍රසය දිහා බලලා. ඉන්දියන් ජාතික කොංග්‍රසය හැදුවෙ 1885 දෙසැම්බර් 25 බිරිතානියකු වන එ ඕ හියුම්. එහි අරමුණ ජාතික අභිවෘද්ධිය සඳහා රැස්වී සාකච්ඡා කිරීම. මෙහි ජාතික නමින් හඳුන්වනු ලැබුයේ බිරිතානි ජාතිකත්වයයි. ඒ සංවිධානයෙන් තිලක්, ශ්‍රී අවුරෝබින්දෝ වැනි අය කොන් කෙරුණා. මෙරට ජාතික කොංග්‍රසයේ ධර්මපාලතුමාවත් භාෂා ප්‍රේමීන්වත් සිටියේ නැහැ. එහි සිටියෙත් ඉංගිරිසින් තම පාසල් මගින් තම අධිරාජ්‍යයේ යහපත් පුරවැසියන් ලෙස ජීවත්වීමට පුරුදු කළ අය. එ ජා පක්‍ෂය මේ කොංග්‍රසයේ විකාශයක් පමණයි.
අද මෙරට ජාතික ව්‍යාපාරයක් වගේ ම විජාතික ව්‍යාපාරයකුත් තිබෙනවා. ඒත් ආධිපත්‍යය තියෙන්නෙ විජාතික ව්‍යාපාරයට. අපටත් බොහෝ වෙලාවට ඔවුන්ගේ සංකල්ප විධික්‍රම යොදාගන්න වෙනවා. දේශපාලන පක්‍ෂ හා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය අපේ නෙවෙයි. ඒත් අපට ඉන් අයින්වෙලා ඉන්න බැහැ. ඒ වුනත් ජාතික ව්‍යාපාරයට අද දවසේ දේශපාලන පක්‍ෂයක් ලෙස කටයුතු කරන්න බැහැ. එයට කරන්න පූළුවන් දේශපාලන පක්‍ෂ නැති ක්‍රමයක් බිහිවන තුරු දේශපාලන පක්‍ෂවල මතයට බලපෑම් කරන්න. තමන් ජාතික ව්‍යාපාරයෙහි කී සමහරුන් දේශපාලන පක්‍ෂ බිහිකරලා ජාතික ව්‍යාපාරය දුර්වල කළා.
අප අපේ රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා දේශපාලන පක්‍ෂවලට න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරනවා. දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද දිනාගැනීම සඳහා කියමින් සමහර දේශපාලන පක්‍ෂ ඒ දෙස වපර ඇහින් බලාවි. එහෙත් අපේ පළමු කාර්යය වනුයේ අපේ රාජ්‍යයක් පිහිටුවා ගැනීම. එහි දී අප කියන්නේ ඉංගිරිසින් කඩා බිඳ දැමූ අපේ රාජ්‍යය නැවත ඇති කිරීමටයි. එහි පළමු පියවරක් ලෙස දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා අහෝසි කිරීම න්‍යාය පත්‍රයට ඇතුල් කරනවා. එය නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දේශපාලනිකව සිදු වූවා. මේ සම්බන්ධයෙන් ලිපි ගණනාවක ම කරුණු කියා ඇති. කළ යුත්තේ ඒ ජයග්‍රහණය නීති පොතට ඇතුල් කිරීමයි.
කාවන්තිස්ස රජු හමුදාවක් ගොඩනැගුවේ රාජ්‍යය ආරක්‍ෂා කිරීමටයි. මේ රාජ්‍ය ආරක්‍ෂා කිරීමටත් හමුදාවක් අවශ්‍ය වෙනවා. ඊනියා යුද්ධයක් පවතිනවාද නැද්ද යන්න එහි දී බලපාන්නේ නැහැ. හමුදාව ශක්තිමත් කළ යුතුයි. ඇමරිකාව, රුසියාව හමුදා ශක්තිමත් කරන්නේ යුද්ධ තියෙන නිසා ම නෙවෙයි. ඒ රටවල් දෙවැනි ලෝක යුද්ධෙ කියන එකෙන් පස්සෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයකුත් හදාගත්තා කියලා හමුදා විසුරුවා හැරියෙ නැහැ. හමුදා කඳවුරු ඉවත් නොකළ යුතුයි. කඳවුරු ඉවත් කරන්න කියන්නෙ ජනතාවට ඉඩම් දෙන්න නෙවෙයි. ජනතාවට වෙනත් තැන්වලින් ඉඩම් දෙන්න පුළුවන්. හමුදාව ඉවත් කරවන්නේ රාජ්‍යය කඩා බිඳ දැමීමටයි. ජාතික ව්‍යාපාරයේ න්‍යාය පත්‍රයේ මුල ම ඇත්තේ රාජ්‍යය ගොඩනැගීම හා ආරක්‍ෂා කිරීම පිළිබඳ කටයුත්තයි.
මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 ජූනි 28