Main Logo

Saturday 11 June 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 9

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 9
මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 

x ආදි කාලයේ තිබූ ගම්සභාවලින් බලය විමධ්‍යගත කර නොතිබිණි ද ? එසේ නම් බලය විමධ්‍යගත කෙරීමේ වරද කුමක්ද ? 


දුටුගැමුණු රජු විසින් ඇති කරන ලද එක්සේසත් රාජ්‍යයෙහි ගම්සභා තිබුණා. එම ගම්සභා පණ්ඩුකාභය යුගයේත් තිබූ බව මහාවංශය කියනවා. මේ ගම්සභා යනු පෙඩරල් ප‍්‍රාන්ත නෙවෙයි. ගම්සභාවලට ව්‍යවස්ථාදායක බලයක් තිබුණේ නෑ. ඒවා පාලනය වූයේ අනුරාධපුරයෙන් හෝ පොලොන්නරුවෙන් හෝ වෙනත් අගනුවරකින්. රටේ නීතිය සැකසුණේ ඒ මධ්‍යස්ථානයෙන් පමණයි. රුහුණු, මයා, පිහිටි ලෙස රට බෙදා තිබුනේ පෙඩරල් ක‍්‍රමයකට නොවෙයි.  රුහුණු, මායා රටවල සිටි ඈපා, මාපා ආදීන් රජු ගේ නියෝජිතයන් වුණා. ඔවුන් ඒ ඒ රට කරවූයේ රජු වෙනුවෙන්. රටේ නීතිය ඈපා, මාපා ආදීන් හරහා ක‍්‍රියාත්මක වීමේ දී ගම්වැසියන්ට බලපාන එදිනෙදා ප‍්‍රශ්නවල දී ගම්සභා වැදගත් වුණා. ගම්සභා ජනසම්මතවාදී ආකාරයකින් ක‍්‍රියාත්මක වූ ආයතන. එහෙත් එම ආයතනවලට නීති සැකසීමේ බලයක් තිබුණේ නැහැ. අද නීතිපති ගේ තනතුර වැනි තනතුරක් හෙබ වූ සිරිත්ලේනලා ගමින් ගමට හිටියේ නෑ. මෑත යුගයේ දී ලංකාවේ ක‍්‍රියාත්මක වූ සම්සභා පැරණි ගම්සභාවලත් බිරිතානි පළාත් පාලන ආයතනවලත් සංකලනයක් ලෙස සලකන්න පුළුවන්. එහෙත් ඒ ආයතනවල බිරිතානි බලපෑම බෙහෙවින් වැඩි බව අමතක නොකළ යුතුයි. 

රට බෙදීමේ යෝජනාවලියෙන් කෙරන්නේ බලය විමධ්‍යගත කෙරීමක් නොවෙයි. මධ්‍යයෙහි ඇති බලය නැති කරගෙන පෙඩරල් ප‍්‍රාන්තවලට පැවරීමක් ඉන් සිදුවෙනවා. වරද ඇත්තේ එතැනයි. අද විමධ්‍යගත කෙරීම යන ඒ වචනය වැරදි විධියට පාවිච්චි කෙරෙනවා. ව්‍යවස්ථාදායක බලය විමධ්‍යගත කරන්න බැහැ. 

x යුද්ධය හැරෙන්නට සංයුක්ත ව ඔබ ඉදිරිපත් කරන දේශපාලන වැඩ පිළිවෙලක් තිබේ ද ? 

රටේ ජනතාව ගේ ප‍්‍රශ්න තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ දෙනාට බලපාන ප‍්‍රශ්න, තරුණයන් ගේ ප‍්‍රශ්න තිබෙනවා. මේ නොයෙකුත් ප‍්‍රශ්න විසඳීමෙහි ලා පරිපාලනය හැකි තාක් විමධ්‍යගත කෙරීම කළ යුතු දෙයක්. විමධ්‍යගත කෙරීම යනු බලය පැවරීමක් නොවන බව අවධාරණය කළ යුතුයි. ඒ අතර පළාත් පාලන ආයතන, පළාත් සභා නොවෙයි, තව තවත් ශක්තිමත් කළ යුතුයි. ගම්සභා, සුළු නගර සභා, නගර සභා ආදිය ශක්තිමත් ආකාරයකින් පුනරුත්ථාපනය කළ යුතුයි. එහි දී ඓතිහාසික ගම්සභාවලින් ගත හැකි පාඩම් හැකිතාක් දුරට ලබා ගත යුතුයි. එහෙත් එයින් කියැවෙන්නේ ව්‍යවස්ථාදායක බලය ඒ ආයතනවලට පැවරිය යුතු ය යන්න නොවෙයි. නීති පැනවීමේ අයිතිය මධ්‍යයෙහි පිහිටි එක් ආයතනයකට පමණක් හිමි විය යුතුයි. එම ආයතනය පාර්ලිමේන්තුව, මන්ත‍්‍රණ සභාව හෝ වෙනත් නමකින් හැඳින්වුව ද ව්‍යවස්ථාදායක බලය තිබිය යුත්තේ එම ආයතනයට පමණයි. විධායක ජනාධිපති ක‍්‍රමයකට මෙහි ඉඩක් නැහැ. 

එම ආයතනයෙහි බලය බෙදා හදා ගැනීමක් තිබිය යුතුයි. අද මෙන් එක් දේශපාලන පක්ෂයකට සියලූ බලතල හිමි වන ක‍්‍රමයක් නොතිබිය යුතුයි. අද රජයේ ආයතනවල හිමිකම ආණ්ඩු පක්ෂයට පමණයි. උදාහරණයක් ලෙස ගතහොත් මේ රට බෙදීමේ යෝජනාවලිය පිළිබඳ ව රජයේ විද්‍යුත් මාධ්‍ය ඉතා මත් පක්ෂග‍්‍රාහී ව යොදා ගැනෙනවා. එය එක් උදාහරණයක් පමණයි. ඊනියා බලය බෙදා හැරීමේ යෝජනා ගැන කතා කෙරීමේ දී වත් බලය, මෙහි දී කාලය, බෙදා ගන්නේ නැහැ. එහි දීත් බලය එක් පක්ෂයකට පමණයි. බලය බෙදා ගැනීමක් ගැන කතා කරන දෙමළ ජාතිවාදයේ පුරෝහිතයන්වත් කිසි ම දිනෙක රට බෙදීමේ යෝජනාවලියට විරුද්ධ වූවන්ට රජයේ විද්‍යුත් මාධ්‍ය ලබාදීමට කටයුතු කරන්නේ නැහැ. 

පක්ෂ දේශපාලනය තුළ බලය බෙදා හදා ගැනීමේ ප‍්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. අප රටේ පක්ෂ දේශපාලනය විකාශය වී ඇත්තේ යුරෝපයේ මෙන් නොවෙයි. එය මේ රටට ආගන්තුක ව බලහත්කාරයෙන් ඇති කළ දෙයක්. 

බලය, ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ හා පරිපාලන ආදී ලෙස වර්ග කරන්න පුළුවන්. මා මෙහි දී වැඩිපුර ම කථා කරන්නේ ව්‍යවස්ථාදායක බලය පිළිබඳයි. ව්‍යවස්ථාදායක බලය මධ්‍යයෙහි පමණක් තිබිය යුතුයි. එහෙත් මධ්‍යයෙහි දී ඒ බලය බෙදා හදා ගත යුතුයි. තරුණයන් වැඩිහිටියන් අතර එම බලය බෙදී යා යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර මෙන් ම නොයෙකුත් වෘත්තීන් අතර, විශේෂයෙන් මේ රටේ ඉතා වැඩි පිරිසක් වන ගොවියන් අතර, ඒ බලය බෙදී යා යුතුයි. එහෙත් ව්‍යවස්ථාදායක බලය මධ්‍යයෙහි බෙදා හදා ගැනීමේ දී රටේ ඉතිහාසයට පිටු නොපෑ යුතුයි. සිංහලයන් බහුතරය බව හා රටේ ඉතිහාසය පිළිගැනීමට ඇති අකමැත්ත දෙමළ ජනයා විසින් අත් හළ යුතුයි. එයින් කියැවෙන්නේ සිංහල ආධිපත්‍යයකට යටත් වීමක් නොවෙයි. දෙමළ අනන්‍යතාවය රැුකගත හැක්කේත් පොදු සංස්කෘතියක් ඇති රටක සිංහලයන් බහුතරය බව පිළිගැනීමෙන් යැයි ඔවුන් තේරුම් ගත යුතුයි. ව්‍යවස්ධායක සභාවෙන්, රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙන් හා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන මධ්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය බෙදා හදා ගැනීම පිළිබඳ ජනසම්මතවාදී ව්‍යුහයක් අපට බිහි කරගත හැකියි. 

දෙමළ ජනයා එක් කරුණක් දැනගත යුතුයි. ජගත් අධිරාජ්‍යවාදය අද ඔවුන්ට ආධාර කරන්නේ සිංහල ජාතිකත්වය නැසීමටයි. එහෙත් යම්කිසි දිනෙක සිංහල ජාතිකත්වය නැති කළහොත් ජගත් අධිරාජ්‍යවාදය ඉන් පසු කරනු ඇත්තේ දෙමළ ජාතිකත්වයත් නැති කෙරීමයි. මේ රටේ දෙමළ අනන්‍යතාවක් රැුකගත හැක්කේ සිංහලයන් බහුතරය බවත් රටේ ඉතිහාසයත් පිළිගතහොත් පමණයි. එසේ නොවුණහොත් අවසානයේ දී දෙමළ අනන්‍යතාව ද නැති වී යනු ඇත. 

අවසාන වශයෙන් කිව යුත්තේ අද අවශ්‍ය වී තිබෙන්නේ දෙවැනි පණ්ඩුකාභයකරණයක්. පණ්ඩුකාභය රජු දවස යක්ෂ, නාග, දේව, සිංහ ආදී ගෝත‍්‍ර එක් වී සිංහල ජාතිය ගොඩ නැගුණා. ඒ සිංහල සංස්කෘතියෙහි ප‍්‍රධාන සංරචකය වූයේ දේශීය වාපී සංස්කෘතියයි. සිංහ ගෝත‍්‍රිකයන් ඒමට පෙර මේ රටේ වැව් තිබූ බවට සාක්ෂි තිබෙනවා. පණ්ඩුකාභයකරණයක් අද ඒ අයුරින් ම කරන්නට බැරි විය හැකියි. එහෙත් ගොඩ නැගෙන පොදු සංස්කෘතියේ ප‍්‍රධාන සංරචකය සිංහල බෞද්ධ වීම ඉතිහාසයට එකඟයි. මේ පොදු සංස්කෘතිය තුළ දෙමළ ජනයාටත් තම අනන්‍යතාව රැුකගත හැකියි. 

ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමේ දී පළමු ව ප‍්‍රශ්නය නිවැරදි ව හඳුනාගත යුතු ය. එහි දී ක‍්‍රියාත්මක වන විජාතික බලවේග, ජගත් අධිරාජ්‍යවාදය ආදිය ගැන අපට මනා අවබෝධයක් තිබිය යුතු ය. අප රටේ ප‍්‍රශ්නවලට අප සෙවිය යුත්තේ පූර්ණ ව්‍යවස්ථාදායක බලය සහිත ශක්තිමත් මධ්‍යයක් ඇත්තා වූ ද දෙමළ, මුස්ලිම් ආදී වාර්ගිකයනට තම අනන්‍යතාව රැුකගනිමින් සිංහල ජාතිය සමග එකතු වී ඔදවත් දෙතවත් ජාතියක් ගොඩනගා ගැනීමට මග පාදන්නා වූ ද, කේන්ද්‍ර අභිසාරී සංකලනාත්මක විසඳුම් මිස, ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා අනෙක් අධිරාජ්‍යවාදී ආයතනවල අනුග‍්‍රහය ලබන මධ්‍යය දුර්වල කර පෙඩරල් ප‍්‍රාන්ත ඇති කර රට බෙදන්නා වූ ද, ගෝනියකට පොල් එකතු කරන්නාක් මෙන් විවිධ ජනවර්ග එකතු කෙරීමේ මුවාවෙන් ජාතිය විසුරුවා හැර බෙලහීන කරන්නා වූ ද කේන්ද්‍ර අපසාරී අවකලනාත්මක විසඳුම් නොවේ. 

                                                සමාප්තයි



මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් නො කරමි. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැත.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)




නලින් ද සිල්වා 

2016 ජූනි 11