Main Logo

Showing posts with label Sinhala Denuma. Show all posts
Showing posts with label Sinhala Denuma. Show all posts

Saturday, 9 November 2019

බැසිල්ට අනුව එකතුවේ වැදගත්කම

   සිංහල ලිත් ඉලක්කම්


බැසිල්ට අනුව එකතුවේ වැදගත්කම



බැසිල් රාජපක්‍ෂ ඉතා හොඳ ප්‍රකාශයක් කරල තිබුණා. ගෝඨාභයගෙ ජනාධිපතිවරණ රැස්වීමක දි ඔහු කියා තිබුණ ජනාධිපතිවරණ ජයග්‍රහණයට වැඩියෙන් ම බලපාන්නෙ ශ්‍රී ල නි පක්‍ෂය කියලා. පොහොට්ටුවෙ අය ඒකට එතරම් කැමති වෙන එකක් නැති වුනත් ඒක කියන්න ඕන කියලත් බැසිල් කියා තිබුණ. ඒ වගේ ම ඔහු කියල තිබුණ එකතු නූණ නම් දෙගොල්ල ම පරදින්න තිබුණ කියලා.

Wednesday, 27 September 2017

සිංහල වෙදකම


සිංහල වෙදකම





බටහිර විද්‍යාව යනු එකම දැනුමවත් ඊනියා විද්‍යාත්මක ක්‍රමය යනු දැනුම ලබාගැනීමට ඇති එකම ක්‍රමයවත් නො වෙයි. බටහිර විද්‍යාව යනු තවත් දැනුමක් පමණයි. බටහිර වෛද්‍ය විද්‍යාව යනු බටහිර දැනුමෙහි එක් තාක්‍ෂණික දැනුමක්. එය රෝග හා රෝග නිවාරණය පිළිබඳ දැනුමක්. ආයුර්වේද වෙදකම හා සිංහල වෙදකම තවත් වෙදකම් දෙකක්. එයට අමතරව හෝමියෝපති වැනි තවත් වෙදකම් තියෙනවා. ඒත් අද මෙරටත් ආධිපත්‍යය ඇත්තේ බටහිර වෙදකමට. එය දේශපාලනය හා බලය මත පදනම් වූවක් මිස ඊනියා සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟාවීමක් මත පදනම් වූවක් නො වෙයි.

Wednesday, 13 September 2017

අපේ දැනුම හා ඔවුන්ගේ දැනුම  


අපේ දැනුම හා ඔවුන්ගේ දැනුම





බටහිර විද්‍යාව ඇතිවුණේ පහළොස්වැනි සියවසේ අගභාගයේ ඇති වුණු චින්තන විප්ලවයක ප්‍රතිඵලයක් ලෙස බව අප බොහෝ විය කියා තිබෙනවා. ගැලීලියෝ බටහිර විද්‍යාවේ පුරෝගාමියා ලෙස බොහෝ විට හැඳින්වෙනවා. ඔහු මියගියේ 1642 දී. නිව්ටන් උපන්නේත් 1642 දී. බටහිර විද්‍යාව ඇරඹුණේ බටහිර චින්තන විප්ලවය ඇරඹී අවුරුදු දෙසියකට පමණ පසුව. මේ අවුරුදු දෙසියෙහි මාටින් ලූතර්, ජෝන් කැල්වින් වැනි අය කතෝලික පල්ලියට විරුද්ධ ව ප්‍රොතෙස්තන්ත විප්ලවය ඇරඹුවා. අද විවිධ ක්‍රිස්තියානි නිකාය තිබෙනවා. අප වඩාත් ම දන්නේ ලන්දේසින් අපට ගෙනා රෙපරමාදු ආගම, ඉංගිරිසින්ගේ ඇංග්ලිකන් හා මෙතෝදිස්ත ආගම්. මැවුම් කරුවකු ගැන කතා කළත් නැතත් අප අද ආගම යන්න ව්‍යවහාර කරන්නේ බටහිරයන්ගේ අරුතෙන්. දැන් යෙහෝවාගේ සාක්‍ෂි කාරයන් ආදීන් ගැනත් දන්නවා. මේ සාක්‍ෂි කාරයන් දේශපාලනඥයන් අතර ඉන්නවා.

Wednesday, 26 July 2017

අධිපෝය නිර්ණය කිරීම


අධිපෝය නිර්ණය කිරීම



මේ රටේ දේශපාලනය පහත් ම අඩියකට වැටිලා. අධිපෝයත් දේශපාලන ප්‍රශ්නයක් වෙලා. ඒකාබද්ධ විපක්‍ෂයේ අය කියන්නේ වෙසක් පෝය (පුර පසළොස්වක) අප්‍රේල් මාසයේ ලබන්න බැහැ කියා. ඔවුන්ට අනුව වෙසක් පෝය මැයි මාසයේ ලබන්න ඕන. වජිර අබේවර්ධන එයට පිළිතුරු දීමට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා. එහි පෝය කමිටුවේ සාමාජිකයන් යැයි සිතිය හැකි පිරිසක් සිටියා. සුපුරුදු පරිදි මෙයට පෙර වෙසක් පෝය අප්‍රේල් මස ලබපු අවස්ථාවලට නිදර්ශන ලැබුණා. කවුදෝ ජනමාධ්‍යවේදියකු වෙසක් පෝය විසා නැකතෙන් ලැබිය යුතු බවක් කියා සිටියා. එයට පිළිතුරක් ලැබුණා එය එසේ වීම අවශ්‍ය නැති බව. ප්‍රශ්නය එතැනින් අවසානයි.

Sunday, 23 July 2017

මා නිහඬ නැහැ


මා නිහඬ නැහැ



බොහෝ දෙනකු මගෙන් අහන ප්‍රශ්නයක් වී ඇත්තේ මා දැන් නිහඬ ඇයි යන්නයි. ඔවුන් ඒ ප්‍රශ්නය අසන්නේ පිළිතුරක් බලා ගෙන නො වෙයි. ඒ ගැන එක් එක් අයට විවිධ උපකල්පන තියෙනවා. මේ රටේ මිනිසුන් එවැනි ප්‍රශ්න අසන්නේ තම තමන්ගෙ උපකල්පන වෙනස් කරගන්න නො වෙයි. මා මොන පිළිතුරක් දුන්නත් ඔවුන් තමන්ට හා තම මිතුරන්ට කියන්නේ ඔහොම කිව්වට මිනිහට කුට්ටියක් හම්බ වෙලා ඇති. මිනිහා දැන් ඉස්සර මිනිහා නො වෙයි. මිනිහා දැන් නිදහස් අධ්‍යාපනයටත් විරුද්ධයි කියලා කිහිප දෙනෙක් ම කිව්වා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන තැනකට ආවට පස්සෙ හුඟ දෙනෙක් ඔහොම තමයි. මිනිහා දැන් ඒකාබද්ධ විපක්‍ෂයත් විවේචනය කරනවා කියලා ආරංචියි. මහින්ද මහත්තයගෙන් මිනිහා ගත්ත දේවල් දැන් අමතක කරලා. කෙළෙහි ගුණයක් දන්නැති මිනිහා.

Friday, 21 July 2017

වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්


වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්



පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ඉන්නේ රැවටෙන්න බලාගෙන.

Tuesday, 18 July 2017

පුරාවිද්‍යාවේ අනුකාරකයෝ


පුරාවිද්‍යාවේ අනුකාරකයෝ



ඉස්සර මේ රටේ පුරාවිිද්‍යා දෙපාර්තමේන්තුවක් තිබුණෙ නැහැ. ඒත් අපේ සිද්ධස්ථාන රැක ගැනීමට එය බාධාවක් වුණේ නැහැ. අපේ රජවරු සිද්ධස්ථාන අළුත්වැඩියා කළා. චෛත්‍ය මුල් ආකාරයෙන් ම තිබිය යුතු ය කියලා නීතියක් තිබුණෙ නැහැ. පස්සෙ කාලෙක දි අගනුවර මාරු වෙන විට කලින් අගනුවරවල තිබූ සිද්ධස්ථාන ඇතැම් විටෙක මග ඇරෙන්න ඇති. අගනුවර කෝට්ටෙට ගෙනාවට පස්සෙ පැරණි සිද්ධස්ථානවලට යන එක ටිකක් අපහසු වෙන්නත් ඇති.

Monday, 17 July 2017

ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ


ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ



යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එක් අංගයක් තමයි ධනවාදය. බටහිර විද්‍යාවත් දැනුමත් එහි තවත් අංගයක්. පෞද්ගලිකත්වය එහි තවත් අංගයක්. මේ සියල්ල එකිනෙකට බැඳිලා. ඒ සියල්ල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵල. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීමත් තියෙනවා. පෞද්ගලිකත්වය හා වෙන් කිරීම එකිනෙකට බැඳිලා. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීම ගැන කුමක් කීවත්, කුමක් කළත් ඒ ඒ අංග අතර තියෙන බැඳීම වළක්වන්න බැහැ.

Friday, 14 July 2017

ඩෙංගු මර්දනය


ඩෙංගු මර්දනය



මේ ලිපි මුහුණු පොතේ පළ කිරීම ගැන මගේ කිසිම සතුටක් නැහැ. මා ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට පමණයි. එහෙත් දෙතුන් දෙනෙකු එකතු වී ඒ ලිපි මුහුණු පොතේ පළ කරනවා. එය තේරුමක් නැති වැඩක්. මුහුණු පොතේ ඉන්නා අය මට වඩා දන්නවා. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලි වන්නේ එයයි. මා ඒ කිසිවකටවත් පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මට වඩා දන්නා අයට මා යමක් කියන්නේ කෙසේ ද? ක්‍රිස්තියානිය මෙරට රාජ්‍යාගම බව බොහෝ දෙනකු බොහෝ කලක සිට දන්නා බව ඉතා පැහැදිලියි. මා ඒ බව කීමෙන් මෝඩකමක් කළා යැයි මට හිතෙනවා. මා නම්  ඒ බව දැනගත්තේ සති දෙකතුනකට කලින්.  1840 දී සිදු වූ දේ ගැන බොහෝ දෙනා දන්නවා. මා කුමකට ඒ ගැන ලියනවා ද කියලා මට හිතෙනවා. මගේ මිතුරන් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරනවා නම් හොඳයි.

Monday, 26 June 2017

බටහිර ආධිපත්‍යය


බටහිර ආධිපත්‍යය


මා ඊයේ ලියූ ලිපිය බොහෝ දෙනකුට තේරී නැහැ. එහි ජාතිවාදය ගැන අලුත් ම අර්ථකථනයක් දී තිබුණා. ජාතිවාදය හා ජාතිභේදවාදය ගැන කියන කතාවලට ජනමාධ්‍යයේ ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන නමුත් මා දුන් අර්ථකථනයට කිසිවකගේ අවධානය යොමු වී නැහැ. ජාතිවාදය හා ජාතිභේදවාදය අතර වෙනස පැහැදිලි කිරීමට හැකි අයකු සිටිනවා ද? එහෙත් මේ රටේ හැටි එහෙමයි. ඊනියා උගතුන්ටත් ඇත්තේ හැඳි මිට දිගේ නුවණක් පමණයි.

Saturday, 3 June 2017

ගංවතුරෙන් පාඩම්


ගංවතුරෙන් පාඩම්



ආපදා තත්වය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කී විධියට නොවූවත් ක්‍රමයෙන් පහව යනවා. දැන් ඇත්තේ සාමාන්‍ය මෝසම. ඒ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යමක් කියන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කියන්න බැරි අසාමාන්‍ය දේ. ඒවාට පදනම්වන කරුණු නිව්ටන්ට හසුවන්නේ නැහැ. තව කොපමණ ඊනියා දියුණු උපකරණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙනත් දුන්නත් ඔවුන්ට නිව්ටන්ට හසු නොවන කරුණු ගැන කියන්න බැහැ. දෙවියන් භූතයන් නිව්ටන්ගේ සමීකරණවලට අහුවෙන්නෙ නැහැ. පංචෙන්ද්‍රිය ගෝචර නොවන කිසිවක් නිව්ටන්ගෙ විද්‍යාවෙ උපකරණවලට හසු වන්නේ නැහැ. ඇතැමුන් හිතන්නෙ මේ කරුණු තවමත් බටහිර විද්‍යාව හොයා ගෙන නැහැ කියලා. ඒ බටහිර විද්‍යාව ගැන විශ්වාසය නිසා කියන දෙයක්. බටහිර විද්‍යාවට කවද හරි නිවන තේරුම් ගන්න පුළුවන් වෙයි ද? එහෙම වුණොත් විද්‍යාඥයන් නිවන් දකීවි ද?

Monday, 24 April 2017

බුදුදහමෙහි අනුමාන (ඉන්ෆරන්ස්) නැහැ  


බුදුදහමෙහි අනුමාන (ඉන්ෆරන්ස්) නැහැ



ඇතැමුන්ට අනුව බුදුදහමෙහි දැනුම ලබා ගැනීමේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සංජානනය. අනෙක අනුමානය. මේ දෙකම බටහිරයන් දුටු බුදුදහමක් සිංහලට පරිවර්තනය කිරීමේ දී යොදා ගත්  වචන. ඉංගිරිසියෙන් මේවා පර්සෙප්ෂන් හා ඉන්ෆරන්ස්. සංජානන කියන්නේ බාහිර වස්තුවලින් අපේ පංචෙන්ද්‍රියවලට ලැබෙන ඊනියා වාස්තවික ගුණ නිසා හටගන්නා දේ. මේ සංජානන සංකල්පවලින් තොරව හටගන්නා බවයි බටහිර දැනුමේ කියැවෙන්නේ. බර්ට්‍රන්ඩ් රසල් මේ සංජානන සංකල්පවලින් තොරව පවතින බව විශ්වාස කළා. ඔහු නිල් බව යන්න එවැනි වාස්තවික ගුණයක් ලෙස හැඳින්වුවා.

Saturday, 15 April 2017

Friday, 14 April 2017

අවුරුද්ද ගැන තවදුරටත්  


අවුරුද්ද ගැන තවදුරටත්



සිංහල අවුරුද්ද සිංහල අපට ඇති අවුරුදු දෙකෙන් එකක්. අනෙක් අවුරුද්ද වෙසක්. මේ දෙක ම බුදුන් වහන්සේ හා සම්බන්ධ කියලා හිතන්න පුළුවන්. වෙසක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එය බුදුන් වහන්සේ හා සම්බන්ධ බව කුඩා දරුවකු වුවත් දන්නවා. සිංහලයන්ගේ වර්ෂත් මාස ක්‍රමයත් පටන් ගන්නෙ වෙසක් සමග. අප වෙසක් පොසොන් ඇසළ ආදී වශයෙන් මාස ගණන් කරනවා. ඒ චන්ද්‍ර මාස. සූර්ය වර්ෂයකට, එනම් සෘතු පදනම් වන වසරකට, චන්ද්‍ර මාස දොළහකට වඩා තිබෙනවා. එබැවින් ඇතැම් විට අපට අධි මාස ගැන කතා කරන්න වෙනවා.

Thursday, 23 March 2017

සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වචනයක්  


සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වචනයක්


නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් යනුවෙන් දෙයක් නැති බව අප කිහිප වතාවක් ම කියා තිබෙනවා. කිසිම සංස්කෘතියක් නිර්මල වන්නෙවත් වෙනස් නොවී පවතින්නෙවත් නැහැ. වෙනස් වීම යනු අනිත්‍ය නොවුණත් සෑම දෙයක් ම (සංස්කාරයක් ම) වෙනස් වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියත් වෙනස් වෙනවා. වෙනස් වීමක් සිිිදු වන්නේ යැයි කීමෙන් වෙනස් වන දෙයක් පවතින බවක් ගම්‍ය වන්නේ නැහැ. එසේ පැවසීම ආත්මවාදීයි. සෑම දෙයක් ම වෙනස් වන්නේ යැයි කීම අනිත්‍ය නොවන්නේ එබැවිනුයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම එකිනෙකින් වෙන් කරන්න බැහැ. ඒ සමග අවශ්‍ය නම් ශුන්‍ය යන්නත් කියන්න පුළුවන්. එහෙත් මාධ්‍යමිකවාදයේ නිර්මාතෘ නාගර්ජුන හාමුදුරුවන් අනුව යමින් ශූන්‍යතාවක් ගැන කතා කිරීම නිවැරදි නැහැ. ශූන්‍යතාවාදය ආත්මවාදීීයි.

Wednesday, 15 March 2017

සමාජ පිළිගැනීම


සමාජ පිළිගැනීම



බොහොම කාලෙකට ඉස්සර මොරටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආරාධිත දේශනවලින් පස්සෙ මගෙන් ඇහුව ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් මම බරකරත්තෙන් යන්නෙ එන්නෙ නැතිව අලුත් ජපන් කාරෙකකින් යන්නෙ මොක ද කියලා. කාරෙකට දැන් වයස අවුරුදු තිස්අටකට වැඩි වුණත් ඒ දවස්වල ඒක අලුත්. අනෙක් ප්‍රශ්නය වුනෙ මගේ ළමයින් රාජකීය විද්‍යාලෙට යන්නෙ මොකද කියලා. දෙවැනි ප්‍රශ්නය පස්සෙ කාලෙක දෙරණෙ 360 දිත් ඇහුව. ඒ ප්‍රශ්නය තවත් ඉදිරියට ගෙනියලා ඇහුව ඇයි මගේ ළමයි පිටරට ඉගෙන ගන්නෙ කියලා. එහෙම ඇහුවෙ මගේ ලොකු පුතා ඒ වනවිට එක්සත් රාජ්‍යවල පශ්චාත් උපාධියකට පර්යේෂණ කරමින් සිටි නිසා. මේ ප්‍රශ්න බොහොම ළාමක ප්‍රශ්න. ඒත් ශිෂ්‍යයන් විතරක් නොවෙයි මහාචාර්යවරුත් ඇහුව. දැනුත් අහනවා. ඒ ප්‍රශ්න අහන අයට ඕන කරන්නෙ මා කුහකයකු කියලා පෙන්නන්න, අවංක නැති බව පෙන්වන්න.

Thursday, 23 February 2017

අධ්‍යාපනයේ නිදහස


අධ්‍යාපනයේ නිදහස



මෙරට 1870 වකවානුවේ බටහිර ක්‍රමයට වෘත්තියකයන් පුහුණු කිරීම සඳහා නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය හා කාර්මික විද්‍යාලය ආරම්භ කළා. එහෙත් ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා අද යොදා ගන්නා බසින් නම් ලංඩන් විශ්වවිද්‍යාලයේ උපාධි කඩයක් ඇරඹුණේ ඉන් අවුරුදු පනහකට පමණ පසුව 1921 දී . එය යුනිවර්සිටි කොලේජ් හෙවත් විශ්වවිද්‍යාල ආයතනය ලෙස හැඳින්වුණා. 1942 දී වෛද්‍ය විද්‍යාලයත් විශ්වවිද්‍යාල ආයතනයත් එක් කර ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළා. නීති පීඨයක් හා ඉංජිනේරු පීඨයක් පසුව ඇති කෙරුණු නමුත් නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය දිගට ම පවත්වා ගෙන ගියා. මේ ආයතන එකකවත් නිදහස් අධ්‍යාපනයක්වත් අධ්‍යාපනයේ නිදහසවත් තිබුණේ නැහැ. ශිෂ්‍යයන්ට අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට සිදුවුණා. එකල වෛද්‍ය විද්‍යාලයට ශාස්ත්‍ර (කලා) විෂය හැදෑරුවන් ද ඇතුල් වූනා. මා අසා ඇති අන්දමට ගුණපාල මලලසේකර මහතා ද මුලින් ඇතුළත් වී ඇත්තේ වෛද්‍ය විද්‍යාලයට. ශාස්ත්‍ර විෂය හදාරා වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූ අයත් වෛද්‍යවරු වූණා. කලක් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට පරීක්‍ෂණයක් පවා තිබුණේ නැහැ. ලන්ඩන් මැට්රික්‍යුලේෂන් සමත් වූවනට කොළඹ ප්‍රභූ පාසල්වල ගුරුවරුන්ගේ නිර්දේශය ඒ සඳහා ප්‍රමාණවත් වුණා.

Tuesday, 27 December 2016

නිවන අත්කර ගැනීමට හැකි දෙයක් නො වේ

නිවන අත්කර ගැනීමට හැකි දෙයක් නො වේ

මා වුවමනාවෙන් නරඹන්නේ දෙරණ ප්‍රවෘත්ති හා දෙරණ අරුණ පමණයි. එහෙත් දෙරණෙහි ද වෙනත් නාළිකාවල ද ඇතැම් වැඩ සටහන් ද ඇහෙනවා, නැරඹෙනවා. පසුගිය නත්තල් දා ජාතික රූපවාහිනිය යැයි කියා ගන්නා ආණ්ඩුවේ රූපවාහිනියේ විකාශය වූ සිහිනයකි රෑ වැඩ සටහන පසු දිනෙක ඇහුණා. එහි සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළ කරුණක් පිළිබඳ ව ලියන්නේ එතුමා සමග අමනාපයකින් නො වේ. එතුමා තමාට වැටහෙන අයුරින් යමක් ප්‍රකාශ කළා. මා මෙහි දී ඒ ප්‍රකාශය කිරීම ප්‍රශ්න කරන්නේ නැහැ. මට අවශ්‍ය නිවන ගැන මට වැටහෙන දේ ප්‍රකාශ කිරීම පමණයි.

ඵියතුමා සඳහන් කෙළේ බුදුන් වහන්සේත් යමක් අත්හැරියේ තවත් යමක් අත්කර ගැනීමට බව. එතුමා කියා සිටියේ බුදුන් වහන්සේ සියල්ල අත්හැරියේ නිවන අත්කර ගැනීමට බවයි. ඇතැම් පඬියන් සිදුහත් කුමරු මිසිදිටුවකු, තම එකම පුතාට පියකු වශයෙන් කළ යුතු දේ නොකර පළා ගිය අයකු ආදී වශයෙන් කියන්නේ එක්කෝ පඬිකම ප්‍රදර්ශනය කිරීමට, නැත්නම් බුදුදහමට අපහාස කිරීමට. ඒ කරුණුවලට පිළිතුරු දිය යුතුයි. මා මෙවැනි දේට පමණක් නොව වෙනත් දේටත් අපේ ප්‍රවාද ගොඩ නගා පිළිතුරු දී තිබෙනවා. මෑතක දී මගේ ලිපි කියවීමට පටන් ගත් ඇතැමුන් හිතන්නේ මා අවුරුදු තිහකට වැඩි කාලයක් පොල් ගෑ බවයි. ඔවුන් කියන්නේ මා කළ යුත්තේ බටහිර විද්‍යාවට පහර ගැසීම නොව අපේ ප්‍රවාද ගොඩ නැගීම බවයි. මට කළ හැක්කේ ඔවුන්ට අනුකම්පා කිරීම පමණයි. අපේ ප්‍රවාද ගොඩ නැගීම අරඹමින් මා කියා ඇත්තේ අප සිංහල බෞද්ධ චින්තනය පදනම් කරමින් ප්‍රවාද ගොඩ නැගිය යුතු බවයි. මා මේ තරුණයන්ගෙන් කාරුණික ව ඉල්ලා සිටින්නේ පඬියන් වීමට උත්සාහ නොකර මා කර ඇත්තේ කුමක් ද කියා සොයා බලන ලෙසයි.

පියතුමා පඬි කතාවක් කළා යැයි මා සිතන්නේ නැහැ. පියතුමා නිවන ගැන කියා ඇත්තේ එතුමාට වැටහෙන අයුරින්. මා ද නිවන ගැන කියන්නේ මට වැටහෙන අයුරින්. මා නිවන පසක් කර නොමැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. නිවන අත්කර ගැනීමට හැකි දෙයක් නො වෙයි. කොටින් ම නිවන දෙයක් නො වෙයි. නිවන යනු නාම පදයක් ලෙස ගැනීම මෙලෙස නිවන දෙයක් ලෙස ගැනීමට ප්‍රධාන හේතුව. නිවන යනු ක්‍රියා පදයක් ලෙස ගැනීම වඩා නිවැරදි යැයි මා කියන්නේ නැහැ. නිවන නාම පදයක්වත් ක්‍රියා පදයක්වත් නොවෙයි. එහෙත් අවාසනාවකට අපට වචනයක් අවශ්‍යයි. එසේ නැතිව අපට සන්නිවේදනයක් කර ගන්න බැහැ.

නිවන අවකාශ කාලයෙහි පවතින දෙයක්වත් අවකාශ කාලයෙන් පිටත පවතින දෙයක්වත් නොවෙයි. එය නොපවතින දෙයක්වත් නො වෙයි. පවතින හා නොපවතින දෙයක්වත් නො වෙයි. පවතින්නේත් නැති නොපවතින්නේත් නැති දෙයක්වත් නො වෙයි. කෙටියෙන් කිවහොත් නිවන චතුස්කෝටික න්‍යායෙන් විනිර්මුක්තයි. නෙව සඤ්ඤා නා සඤ්ඤා බ්‍රහ්ම තලය චතුස්කෝටිකයට හසු වෙනවා. එහි සඤ්ඤා ඇත්තේත් නැහැ. නැත්තේත් නැහැ. ඉන්ද්‍රියානුභූතවාදීන් ආදි පඬියන් මේ ගැන සිතීම අවශ්‍ය නැහැ. ඔවුන් ඉන්නේ ඇරිස්ටෝටල්ගේ ද්විකෝටික න්‍යායෙහි. ඔවුන්ට මේ කිසිවක් තේරෙන්නේ නැහැ.

පියතුමා හොඳින් ම දන්නා පරිදි තොමස් ඇක්වයිනාස් සාන්තුවරයාණන් කතෝලික චින්තනය ඇරිස්ටෝටල්ගේ න්‍යාය සමග යම් ආකාරයකින් එකතු කිරීමට වෑයම් කළා. එහි දී සාන්තුවරයාණන් වෙනත් කතෝලික උගතුන්ගේ විවේචනයට හසු වුනා. සාන්තුවරයාණන් මේ කාර්යයයෙහි දී අසාර්ථක වුනා. එයට ප්‍රධාන හේතුව කතෝලික චින්තනය ත්‍රිකෝටික න්‍යාය ඇසුරු කිරීමත් ඇරිස්ටෝටලීය න්‍යාය ද්විකෝටිකය ඇසුරු කිරීමත්. මා ඒ දිනවල විශ්වවිද්‍යාලයේ දී මේ කරුණු සාකච්ඡා කළා. දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ලෙස ඉපදීම තේරුම් ගත හැක්කේ ත්‍රිකෝටික න්‍යායෙහි කියා මා විශ්වාස කරනවා. ඇරිස්ටෝටලීය න්‍යායෙන් එය තේරුම් ගැනීමට බැහැ. ක්වොන්ටම් භෞතිකයේ සුප්‍රසිද්ධ ද්විත්ව සිදුරු (ඩබල් ස්ලිට්) පරීක්‍ෂණය තේරුම් ගත හැක්කේත් ත්‍රිකෝටික න්‍යායෙන්. බටහිරයන්ට එය තේරුම්  ගැනීමට නොහැකි වීම පුදුමයක් නො වෙයි. බටහිරයන් ඇරිස්ටෝටලීය න්‍යායෙහි සිරකරුවන්. පියතුමා එදා සාකච්ඡාවේ දී නිවැරදිව ප්‍රකාශ කළාක් මෙන් යේසුස් වහන්සේ ආසියාතිකයෙක්. යුදෙවුවන් වියුක්ත චින්තනයක් අනුගමනය කළත් ද්විකෝටිකයක සිර වී සිටියේ නැහැ. පියතුමා ඇතුළු කතෝලික බැතිමතුන් මා ගැන වරදක් නොසිතනු ඇතැයි මා සිතනවා. සිංහල බෞද්ධයන්ට ක්‍රිස්තුස් වහන්සේ බෝධිසත්වයකු ලෙස සැලකීමට පුළුවන්. එසේ නොවූයේ කතෝලික ආගම ප්‍රධාන වශයෙන් ම යටත්විජිතවාදයත් සමග පැමිණි නිසා. මට තේරෙන විධියට කතෝලික ආගම ක්‍රිස්තියානි ආගම්වලින් වෙනස් වන්නේ චින්තනයෙන්.
චතුස්කෝටික න්‍යාය සිදුහත් කුමරු ඉපදීමට පෙර සිට ම මිනිසුන් දැන සිටියා. නිවන ඒ සියල්ලෙන් ම විනිර්මුක්තයි. මේ ලෝකය මනසේ නිර්මාණයක්. එයින් අදහස් කරන්නේ සියළු සංකල්ප මිනිසුන්ගේ නිර්මාණ බව මිස ඇතැම් පඬියන් සිතන පරිදි සියල්ල මනසෙහි පවතින බව නො වෙයි. මනසත් මනසේ නිර්මාණයක්. එය ද්විකෝටික න්‍යායෙන් තේරුම් ගන්න බැහැ. මිනිසුන් සංකල්ප නිර්මාණය කරනවා. අවිද්‍යාව ඇත්නම් සංකල්ප සංස්කරණය කෙරෙනවා. අප අත්කර ගන්නේ අවිද්‍යාව ඇති විට. මා නමැති ව්‍යාජය, සංකල්පය ඇති විට. මා ඇතිවිට තණ්හාව ඇතිවෙනවා. තණ්හාව ඇති විට අප අත්කර ගන්නවා.  අපට නිවනට තණ්හාවක් නැහැ. අවශ්‍ය නම් තණ්හාව නැති කිරීම නිවන කියා කියන්න පුළුවන්. නිවන අත්කර ගැනීමක් නො වෙයි. සියළු අත්කර ගැනීම් නැති කිරීම, මා යන්න බොරුවක් බව අවබෝධ කර ගැනීම නිවනයි. මනසක් යනුවෙන් දෙයක් නැති බව තේරුම් ගැනීම නිවන ලෙස කියන්න පුළුවන්. නැති මනස නැති මනස විසින් ම ඇති මනසක් බවට පත්කරගෙන. නැති මනස නැති මනසක් බව දැනගන්නේ කෙසේ ද? එය ඊනියා මනසකින් කරන්න බැහැ. සංස්කරණ නැති විට නිවන අවබෝධ වේවි. නිවන, නැති මනස නැති මනසක් බව අවබෝධ කර ගැනීමක් මිස දෙයක් අත්කර ගැනීමක් නො වෙයි.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 27