සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වචනයක්
නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් යනුවෙන් දෙයක් නැති බව අප කිහිප
වතාවක් ම කියා තිබෙනවා. කිසිම සංස්කෘතියක් නිර්මල වන්නෙවත් වෙනස් නොවී පවතින්නෙවත්
නැහැ. වෙනස් වීම යනු අනිත්‍ය නොවුණත් සෑම දෙයක් ම (සංස්කාරයක් ම) වෙනස් වෙනවා.
සිංහල බෞද්ධ සංස්කෘතියත් වෙනස් වෙනවා. වෙනස් වීමක් සිිිදු වන්නේ යැයි කීමෙන් වෙනස්
වන දෙයක් පවතින බවක් ගම්‍ය වන්නේ නැහැ. එසේ පැවසීම ආත්මවාදීයි. සෑම දෙයක් ම වෙනස්
වන්නේ යැයි කීම අනිත්‍ය නොවන්නේ එබැවිනුයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම එකිනෙකින් වෙන්
කරන්න බැහැ. ඒ සමග අවශ්‍ය නම් ශුන්‍ය යන්නත් කියන්න පුළුවන්. එහෙත් මාධ්‍යමිකවාදයේ
නිර්මාතෘ නාගර්ජුන හාමුදුරුවන් අනුව යමින් ශූන්‍යතාවක් ගැන කතා කිරීම නිවැරදි
නැහැ. ශූන්‍යතාවාදය ආත්මවාදීීයි.
ඒ කොහොම වුණත් අප සම්මුති වශයෙන් වෙනස් වන දේ ගැන කියනවා. මෙයින්
ඊනියා පරමාර්ථයක් ගැන කියැවෙන්නේ නැහැ. ඇතැමුන් කියන පරමාර්ථ සත්‍යයත් සම්මුතියක්
පමණයි. නිවන ඊනියා පරමාර්ථයක් නො වෙයි. සම්මුති වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. අනෙක් සංස්කෘතීන්
තියෙන්නේත් සම්මුති වශයෙන්. සෑම දෙයක් ම තියෙන්නේත් ඒ දේ වෙනස් වන්නේත් සම්මුති
වශයෙන්. මේ සියල්ල අප සංස්කරණය කර ගත් සංකල්ප හා කතා. සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන
අප කියන්නේත් ඒ අර්ථයෙන්. සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස් වන්නේත් සම්මුතික ව.
සිංහල බෞද්ධ සංස්කෘතියට අනන්‍යතාවක් තිබෙනවා. එය අපෙන් නිරපේක්‍ෂ වූ
අනන්‍යතාවක් නො වෙයි. අනන්‍යතාව කියන්නේත් අප අපට සාපේක්‍ෂව සංස්කරණය කර ගත් තවත්
සංකල්පයක් පමණයි. වෙනස්වීම් රාශියක් එකට ගෙන අප අනන්‍යතාවක් නිර්මාණය කර ගන්නවා.
වෙනස්වන කෙනකු හෝ දෙයක් හෝ නැති වුවත් වෙනස්වීම් රාශියකට අප අනන්‍යතාවක් දී දෙයක්
හෝ කෙනකු හෝ සංස්කරණය (නිර්මාණය) කර ගන්නවා. බිළිඳු අවධියේ සිට මහලු අවධිය දක්වා
මා වෙනස් වී ඇතැයි කියනවා. එහෙත් එලෙස මා කෙනකු ගැනීම ආත්මවාදීයි. අපට මේ සියල්ල
කීමට හැකි වී තිබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි. යුදෙවු ක්‍රිස්තියානි
සංස්කෘතියෙහි මේ කරුණු කියන්න ගියහොත් කිසිවකු අසා සිටින එකක්වත් නැහැ. සිංහල
බෞද්ධ සංස්කෘතියෙහි වැදගත් කමක් ලෙස ඒ ගුණයත් කියන්න පුළුවන්.
සිංහල බෞද්ධ සංස්කෘතියක් කියා එකක් අප හැඳින ගන්නවා. ඒ අප අහවලා කියා
අයකු හඳුනා ගන්න ආකාරයට. ඒ හඳුනා ගත් සිංහල බෞද්ධ සංස්කෘතියට අනන්‍යතාවක් තියෙනවා.
සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගන්නවා කියන්නේ මේ අනන්‍යතාව රැක ගැනීමටයි. එය කලින් කී
ආකාරයට ආත්මවාදීයි. එහෙත් අප නිවන් අවබෝධ කර ගන්නා තුරු මේ ආත්මවාදී සංකල්පවලින්
මිදෙන්න බැහැ. නිවන් අවබෝධ කර ගැනීමෙන් පසුවත් පිරිනිවන් පාන තෙක් ආත්මවාදී සංකල්ප,
විශේෂයෙන් ම සන්නිවේදනයේ දී, යොදා ගන්නවා.
සිංහල බෞද්ධ සංස්කෘතියට පදනම් වූ චින්තනයක් තියෙනවා. ඒ චින්තනයත්
වෙනස් වෙනවා. එයත් කලින් කී අර්ථයෙන්. එහි ද අනන්‍යතාවක් තිබෙනවා. සිංහල බෞද්ධ
සංස්කෘතියට පදනම් වූ චින්තනය සිංහල බෞද්ධ චින්තනය ලෙස හඳුනා ගන්නවා. මෙය ජාතික
චින්තනය යන අදහසෙන් වෙනස්. ඒ ඒ සංස්කෘතීන් නිර්මාණය කෙරෙන්නේ ඒ ඒ චින්තන මත පදනම්
වී. එක් චින්තනයක් මත පදනම් ව සංස්කෘතින් කිහිපයක් ම නිර්මාණය කෙරෙන්න පුළුවන්.
එසේ ම එක සංස්කෘතියක විවිධ ප්‍රභේද තිබෙනවා. ඒ ඒ සිංහල බෞද්ධයගේ සංස්කෘතිය ඒ ඒ අයට
සාපේක්‍ෂයි. අප සිංහල බෞද්ධ සංස්කෘතිය කියා කියන්නේ මේ විවිධ පුද්ගලයන්ගේ සිංහල
බෞද්ධ සංස්කෘතිවල මහා පොදු සාධකයටයි.
සිංහල බෞද්ධ සංස්කෘතිය අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිරින් ලැබෙන දේ
නිසාත් වෙනස් වන්න පුළුවන්. සෑම සංස්කරණයක් ම එසේ ම වෙනස් වෙනවා. අද අප ජීවත්
වන් නේ ගැමුණු රජු දවස තිබූ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නො වෙයි. එදා මෙදා තුර සිංහල
බෞද්ධ සංස්කෘතිය වෙනස්කම් රාශියකට මුහුණ පා තිබෙනවා. අදත් වෙනස් වෙනවා. අප වෙනත්
සංස්කෘතීන්ගෙන් අවශෝෂණය කරනවා, ඒ වගේ ම වෙනත් සංස්කෘති අනුකරණය කරනවා.
ඒ දෙකෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස් වෙනවා. අවශෝෂණය ප්‍රශ්නයක් නැහැ. ඒත්
අනුකරණය නිසා අනන්‍යතාව නොරැකෙන්න පුළුවන්. අද සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස් වන්නේ
ඉතා වැඩිපුර ම අනුකරණයෙන්. එය භයානකයි. අලුත් දේ අරගැනීම යන්න අද නම් ක්‍රියාත්මක
වන්නේ හොඳට නො වෙයි. අද අලුත් දේ අරගන්නා ආකාරයට අපේ දේ රැකගැනීම යන්න බොරුවක්
වෙනවා.
සිංහල බෞද්ධ සංස්කෘතියට බටහිර විද්‍යාව අවශෝෂණය කරන්න පුළුවන්. එසේ
කිරීම වරදක් නො වෙයි. අප බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියා කියන්නේ ඒ ප්‍රතික්‍ෂෙප
කිරීමට නො වෙයි. මා මේ ලිපිය ලියන්නේ පරිගණකය ආශ්‍රයෙන්. මා බටහිර තාක්‍ෂණය බොහෝ
විට යොදා ගන්නවා. එහෙත් අප අපේ අනන්‍යතාව ගැන විමසිලිමත් විය යුතුයි. සිංහල බෞද්ධ
සංස්කෘතිය ගොඩ නැගී ඇත්තේ නිවනට සාපේක්‍ෂව. නිවන කියා දෙයක් තැනක් ගැන කතාකරන්න
බැරි එක ප්‍රශ්නයක් නො වෙයි. එවැනි නිවනකට, චතුස්කෝටික න්‍යායෙන් ද විනිර්මුක්ත වූ නිවනකට, සාපේක්‍ෂව සංස්කෘතියක් ගොඩ නැගීමත් අනන්‍යතාවක්
රැක ගැනීමත් පහසු වැඩක් නො වෙයි. ලෝකයේ වෙනත් කිසිම ජනවර්ගයකට හෝ ජාතියකට හෝ කළ
නොහැකි වූවක් කිරීම ම සැනසීමට කරුණක්.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය
වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 මාර්තු 23