Main Logo

Saturday 4 March 2017

මහින්ද හා මෛත්‍රිපාල


මහින්ද හා මෛත්‍රිපාල



ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට හා සමස්ත ලංකා කාරක සභා රැස්වීමට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගි වී නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයෙන් රැස්වීමට සහභාගි වී ඇත්තේ චමල් රාජපක්‍ෂ පමණයි. ඒකාබද්ධ විපක්‍ෂය සහභාගි නොවීම ගැන හේතු දේවි. දැනටමත් දීලා තියෙනවා. පළාත් පාලන සභා මන්ත්‍රීවරුන් නිල වශයෙන් නො සිටීම, රැස්වීම නීත්‍යානුකූල ව නොකැඳවීම ආදිය ඒ හේතුවලින් දෙකක්. ඒත් ඒවා ඊනියා නිල හේතු පමණයි. ඇත්ත හේතු කියන්නේ නැහැ. වත්මන් ඩොයිලි කවුද? මෛත්‍රිපාල ගැන විශ්වාසයක් තැබිය හැකි ද?




මෛත්‍රිපාල මගුල් මඩුවට ගිහින් ඊනියා දේශද්‍රෝහීන් වීරයන් බවට පත්කලා. යුද්ධයෙහි දක්‍ෂයන් වූ සිංහලයන්ට අවුරුදු දෙදහස් ගණනක් රැකගත් සිංහල බෞද්ධ රාජ්‍යය අහිමි වූයේ අවුරුදු දෙසියකට පෙර. ශ්‍රී වික්‍රමසිංහ රජුත් යුද්ධ දක්‍ෂයෙක්. ඔහු 1815ට අවුරුදු කිහිපයකට පෙර ඉංගිරිසින්ට පහර දී එළවා දැමුවා. ඒත් 1815 දී සිංහල නායකයන් (නිළමෙලා)  ඔහු ඉංගිරිසින්ට පාවා දුන්නා. ඔහු නායක්කාර් වාංශිකයෙක්. මදුරෙයි නගරයෙන් පැමිණි කෙනෙක්. තෙළිඟු   සම්භවයක් තිබූ කෙනෙක්. ඔහු තීන්දු ගත්තේ නෑදෑයන්ට අවශ්‍ය විධියට කියලා කියනවා. එය ඇත්ත බව පේනවා. ඔහු ගැන කළකිරීමක් සිංහල නායකයන් අතර පොදුවේ තිබී තියෙනවා. එහෙත් ඔවුන්ට ඔහු පාවා දීමට අයිතියක් තිබුණේ නැහැ. ඔවුන් පාවා දුන්නේ පුද්ගලයකු පමණක් නො වෙයි, මුළු රට ම.



රෙද්දක්් ඇඳ බුලත් විට හපමින් කේම්බ්‍රිජ් උපාධිධාරියකු සිංහලේ ගියේ ඒ කාලෙ. ඔහු නමින් ඩොයිලි. ඩොයිලිට තිබූ වුවමනාව බුලත් විට හැපීම නො වෙයි, සිංහල නායකයන් විටට ගැනීම. ඔහු එය කළා. ඔහු සිංහල නායකයන් රජ්ජුරුවන්ට විරුද්ධව කෙටෙව්වා. ඇහැළෙපොළට රජකම පොරොන්දු වුනා. ඒ කොහොම වුනත් ඉංගිරිසින් රජකම ගත්තා. බ්‍රවුන්රිග් තුන්වැනි ජෝර්ජ් වෙනුවෙන් රට පාලනය කරන්න පටන් ගත්තා. කැප්පෙටිපොළ දිසාවත් ඉංගිරිසින්ට සේවය කරන්න පටන් ගත්තා.



1817 වන විට කාට කාටත් තමන් රැවටුණු බව තේරෙන්න ගත්තා. සිංහලයන් ඉංගිරිසින්ට විරුද්ධව තම පළමු නිදහස් සටන පටන් ගත්තා. කැප්පෙටිපොළ ඉංගිරිසින් අත්හැර සිංහලයන්ට එකතු වුනා. ඔහු ඉංගිරිසින් ඉදිරියේ කැරළිකාරයකු රාජද්‍රෝහියකු දේශද්‍රෝහියකු වුනා. ඔහු අපට වීරයකු වුණා. ඒක වුණෙ 1818 දීමයි. මෛත්‍රිපාලට මගුල් මඩුවෙ කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඔහුට අවුරුදු 199කට කලින් සිංහලයන් කැප්පටිපොළ වීරයකු බවට පත් කර ගත්තා.



ඉතිහාසය ඒ අයුරෙන් ම නැවත සිද්ධ වෙන්නෙ නැහැ. ඒත් ඇතැම් සංසන්දන කරන්න පුළුවන්. අද අපේ නාමික නිදහසත් නැති වෙලා. අප ඒ නිදහස දිනා ගත්තේ සේනානායකලා කී අයුරින් එකදු ලේ බිඳුවක්වත් නොසෙල්වා නො වෙයි. කැප්පෙටිපොළ දිසාව එදා 1818 දී ලේ බිඳුවක්වත් නොසෙල් වූ බව කිව හැක්කේ එ ජා පක්‍ෂයේ නායකයන්ට පමණයි. මෛත්‍රිපාලත් එහෙම කියනවා ද? ඇහැළෙපොළට රජකම නොලැබුණත් මෛත්‍රිපාලට තටු සිඳූ ජනාධිපතිකමක් ලැබුණා.



මහින්ද රාජපක්‍ෂ තීරණ ගැනීමේ දී ශ්‍රී වික්‍රම රාජසිංහ මෙන් ම නෑදෑයන්ට අවශ්‍ය විධියට කටයුතු කරන්න ඇති. ඒත් ඔහු සුද්දන් මෙහෙයවූ දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය පරාජය කළා. සුද්දන්ට හා ප්‍රංශ කාරයන්ට හිස නැමුවේ නැහැ. ගෝඨාභය මල්ලි ඔහුට ශක්තියක් වුණා. ඔහුට තමා පරජය කළ දෙමළ ජාතිවාදය නීතියෙන් පරාජය කරන්න බැරිවුණා. 2012 දී ඔහු එය කරන්න උත්සාහ කළත් ඇතැම් නිළමෙලා විරුද්ධ වුණා. නිළමෙලා විරුද්ධ වුණෙ එයට පමණක් නො වෙයි. 



මහින්ද දේශපාලනයෙන් ඉවත් කරන්න සුද්දන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය වුණා. ඔවුන්ගේ ඩොයිලිලා රාශියක් ක්‍රියාත්මක වුණා. එදා සිංහල නායකයන් බෙදු ආකාරයට ම මෙදත් සිංහල නායකයන් බෙදුවා. එ ජා පක්‍ෂයේ සිංහල නායකයන් නැහැ. ඒ පක්‍ෂයේ නායකයන් සුද්දන්ගේ ඒජන්තයන්. සිංහල නායකයන් හිටියේ ශ්‍රී ල නි පක්‍ෂයේ. මෛත්‍රිපාල ඇහැළෙපොළට ඇන්දා. මහින්ද ජාත්‍යන්තර අධිකරණයට යැවීමට ඩොයිලිලා සැලසුම් කෙරුවා. ඊනියා යුද්ධාපරාධ චෝදනා ඒ සඳහායි. මංගල මඩුගල්ලේ ද? ඒ කොහොම වුණත් අද රනිල්ටත් තේරිලා ඊනියා දෙමුහුන් ශ්‍රෙෂ්ඨාධිකරණ ක්‍රියාත්මක කරන්න බැරි බව. ඒත් මට පොඩි අවිශ්වාසයක් තියෙනවා රනිල් එසේ කීම ගැන. ඔහු වෙනත් අධිකරණ ගැන කියන්නෙ නැහැ. අවුරුදු දෙසියකට ඉහත තිබුණට වඩා අද ඩීල් තිබෙනවා. මෙරට තනිකර ම ඩීල්ලන්තයක් බවට පත් වෙලා. බැඳුම්කර ඩොයිලිලාගෙ කාලෙ තිබුණෙ නැහැ. බැඳුම්කර මගඩියෙන් ගැලවෙන්න මොනවද කරන්න ඕන?



පෙරේදා මගුල් මඩුවෙ දි මෛත්‍රිපාලට තමා අවුරුදු දෙකකට පෙර කළ දෙයෙහි බරපතළකම තේරුණෙ නැද්ද?  අද දෙමළ ජාතිවාදය නැවතත් හිස ඔසවමින් සිටිනවා. දෙමළ ජාතිවාදය පිටුපස ඇත්තේ එංගලන්තය හා ඉන්දියාව.ඒ අතර මෛත්‍රිපාල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඔවුන්ට පොරොන්දු වෙලා. අද එක්සත් රාජ්‍යවල ඇත්තේ ජාතිකවාදි ට්‍රම්ප් කෙනෙක්. අප ඒකාබද්ධ විපක්‍ෂයට හා ආණ්ඩුවට ට්‍රම්ප් එක්ක කතා කරන්න කිව්වෙ ඊනියා දේශපාලන විද්‍යාඥයන් ඒ බව කීමට බොහෝම කලින්. ඒත් මේ රටේ ඇතැම් ජනමාධ්‍යවාදීන්ට අප කියන කිසිම දෙයක අගයක් නැහැ. අප එසේ කී බවවත් ඔවුන් දන්නේ නැහැ. එංගලන්තයෙන් හා ඉන්දියාවෙන් ඩොයිලිලා එනවා. මහින්දටත් ප්‍රශ්නය වැටහෙන්නෙ පෞද්ගලික අර්ථයකින්. ඔහුට ශ්‍රී වික්‍රම රාජසිංහට වෙච්ච දේ වුණෙ නැහැ. ඒත් ඒක වෙන්න තිබුණා. රටේ සිංහල ජනතාවට පුළුවන් වුණා ඒක නවත්වන්න. මංගල නම් තව තවත් උත්සාහ කරාවි. සිංහලයන් සුද්දන්ගේ අවශ්‍යතා ඉටු වෙන්න දෙන්නෙ නැහැ. ඒත් සිංහල නායකයන් තාමත් බෙදිලා.



2015 අගෝස්තුවෙ ඒකාබද්ධ විපක්‍ෂය තනිව ම තරග කෙළේ නැහැ. ඒ මදිවට දහනවවැනි සංශෝධනයටත් ඡන්දය දුන්නා. ඒවයෙ විපාක අදත් ගෙවනවා. ඒත් අද මෛත්‍රිපාල හා මහින්ද වෙන ම ඉන්න එක සුද්දන්ට හා ඉන්දියාවටත් ඔවුන්ගේ රනිල් සුරතලාටත්  හොඳයි. ඉන්දියාව කියන්නෙ මහින්දගෙ ජනප්‍රියතාව අඩුවෙන්න ඉස්සෙල්ල ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව. ජී එල් මේ කතාව ජනමාධ්‍යයට කිවුවා. මේ සියල්ලන්ට ම තියෙන වුවමනාව අදවත් මහින්ද වෙල්ලෝරාවට බැරි නම් මැදමූලනට කොටු කරන්න.



මෛත්‍රිපාල හා මහින්ද මේ සියල්ල ගැන නැවතත් සිතා බැලිය යුතුයි. මැතිවරණ, ජනාධිපතිවරණ කෝණවලින් හෝ වෙනත් පෞද්ගලික කෝණවලින් හෝ ප්‍රශ්න දෙස බලන්න බැහැ. ඇහැළෙපොළලා මඩුගල්ලෙලා කැප්පෙටිපොළලා අපට පරලොව සිට කියන්නෙ එයයි. අදට අපේ පියා පරලොව ගොස් අවුරුදු දහනවයක් වෙනවා. 1998 පෙබරවාරි හතරවැනි දා අප වෙල්ලස්සේ කුමරයා සමරා ආපසු පැමිණමෙන් මසකට පසු ඔහු දිවංගත වුණා. ඔහු ජාතික වීරයෙක් නො වෙයි. ඔහු සාමාන්‍ය ගුරුවරයෙක් පමණයි. අප මහාවිහාරයේ යනුවෙන් මා ලිපියක් ලිවුවේ ඔහු වෙනුවෙන්. ඔහු මට පරලොව සිට කියන්නේ ද්‍රෝහියකු නොවිය යුතු බව මිස වීරයකුවත් ප්‍රාඥයකුවත් විය යුතු බව නො වෙයි.






මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.  


https://www1.kalaya.org 
                           

නලින් ද සිල්වා


2017 මාර්තු 04