Main Logo

Saturday 11 March 2017

අවුලට මුල මෛත්‍රිපාලයි


අවුලට මුල මෛත්‍රිපාලයි



ඊයේ දහවැනි දා ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවෙන් නැගිටලා ගිහිල්ලා. ඒ කතානායක ඒකාබද්ධ විපක්‍ෂෙට කතාකරන්න ඉඩ දුන්න කියලා. ඔවුන් විරුද්ධ වෙන්නෙ කතානායකට. කතානායක ඒකාබද්ධ විපක්‍ෂෙට ලොකු ඉඩක් දුන්නෙ නැහැ. ඒත් ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂෙට පොඩි ඉඩක්වත් දෙනවට කැමති නැහැ. ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂෙට බයයි. පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකේ බලයක් තිබුණත් ආණ්ඩුව විපක්‍ෂෙට බයයි. ඒකට හේතුවක් තියෙනවා. ආණ්ඩුවට වැඩ බෑ. බය වැඩි වුණා ම බලය ඉක්මවලා වැඩ කරනවා. නැති බලයක් අරගන්නවා. වෙනින් වචනවලින් කිවුවොත් නීතිය ඉක්මවා වැඩ කරනවා. ඒත් ඒක කරන්නෙ බොරු නීති පෙන්නලා.  පොලීසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි නීතිය රකින්නෙ නැතිනම් මතක් වෙන්නෙ වැටත් නියරත් ගොයම් කා නම් කතාව. 
 



ආණ්ඩුවට හැමදාම මහින්දගෙ ණය ගැන කිය කියා ඉන්න බැහැ. දැන් අවුරුදු දෙකක් වෙනවා ආණ්ඩුවට. මම සංඛ්‍යා ලේඛනවලට කැමති නැහැ. ඒත් ආණ්ඩුව බලයට එනකොට ගෙවන්න තිබුණ ණයට වඩා දැන් ගෙවන්න තියෙන ණය අඩු ද වැඩි ද? රජයේ ආදායමේ හරි දළ ජාතික නිෂ්පාදීතයෙ හරි ප්‍රතිශතයක් හැටියට ගත්ත ම ණය වැඩි ද අඩු ද?  රුපියලේ අගය එදාට වඩා අඩු ද වැඩි ද? මිනිසුන්ගෙ අමාරුකම් වැඩි ද අඩු ද? ණය ගන්නෙ මහින්ද ගත් ණය ගෙවන්න වගේ බයිලා කියලා අවුරුදු පහක් ම යන්න බැහැ. වැඩ බැරි වෙන කොට ආණ්ඩුවට නීතිය අතට ගන්න වෙනවා.

නීතිය අතට ගන්නෙ ඒ ඒ අය පෞද්ගලික ව විතරක් නො වෙයි. ආයතනත් නීතිය අතට ගන්නවා. වෛද්‍ය සභාවත් නීතිය අතට ගන්නවා. වෛද්‍ය නිලධාරීනුත් නීතිය අතට ගන්නවා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධව කෑගහන අය තමන් පෞද්ගලික ව  වෙදකම් කරන පෞද්ගලික රෝහලක දි මා හමුවුණා ම රවා ගෙන අහක බලාගෙන යනවා. රෝගීන් හිතනවා ඇති නිදහස් අධ්‍යාපනයේ හා නිදහස් සෞඛ්‍යයේ ආර’ක්‍ෂක පතාක යෝධයන් පෞද්ගලික රෝහල්වලට පැමිණීම ගැන තමන්ට රවනවා කියලා. වාසනාවකට රැවීමෙන් මගේ රුධිර පීඩනය වැඩි වෙන්නෙ නැහැ. ආණ්ඩුවත් නීතිය අතට ගන්නවා. එදාට භී’ෂණය නීතිය වෙනවා.



අප යන්නේ කොයි පාරේ කියා කෑ ගැහුව ම උත්තරේට කෑ ගහන්න තියෙන්නෙ භීෂණයට යන පාරේ කියලයි. පාර්ලිමේන්තුවෙ ඒකාබද්ධ විපක්‍ෂෙ මර්දනය කරන්නෙ භීෂණයෙ මුල් පියවර හැටියට. ඒකාබද්ධ විපක්‍ෂෙ මැතිවරණ කොමිසමේ ලියා පදිංචි වෙලා නැහැ. ඒක ඇත්ත. ඒත් මන්ත්‍රීවරුන් පනස්එකක් ඉන්නවා. ඒ පාර්ලිමේන්තුවෙ සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාවෙන් හතරෙන් එකකට ආසන්නයි. ඒ අය තරග කෙළේ සංධානයෙන්. අද මෛත්‍රිපාලගෙ කණ්ඩායම ලෙස පාර්ලිමේන්තුවෙ ඉන්න හතළිස්හතර දෙනාත් තරග කෙළේ සංධානයෙන්. පාර්ලිමේන්තුවෙ සංධානයට ලැබෙන කාලය පනස්එකයි හතළිස්හතරයි අතරෙ අනුපාතිකව බෙදෙන්න ඕන. ඒත් ඒක එහෙම වෙන්නෙ නැහැ. ඒකට වග කිවයුත්තේ කතානායක ද, අමරවීර ද, සංධානයේ නායක මෛත්‍රිපාල ද?



ජාතික නිදහස් පෙරමුණට සංධානයෙන් ඉවත් වෙන්න බැහැ. ඒක පැහැදිලියි. ජාතික නිදහස් පෙරමුණ සංධානෙ සාමාජික පක්‍ෂයක් නො වෙයි. ඒ මන්ත්‍රීවරුන් තරග කෙළේ සංධානයෙන්. ඒ පක්‍ෂයක් ලෙස නො වෙයි. ඒක පෞද්ගලික පිළිගැනීම් මත කෙරුණු දෙයක්. ඒ මන්ත්‍රීවරුන්ට පෞද්ගලික ව තනි තනිව සංධානයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒත් එහෙම කළොත් අමරවීර ඒ අයගෙ මන්ත්‍රීකම නැති කරන්න පියවර ගන්න පුළුවන්. ඒක හොඳ වැඩක් නො වෙයි. මහජන එක්සත් පෙරමුණට නම් අවශ්‍ය නම් සංධානයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒත් ඒ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුුතු කරන්න පුළුවන් ද බැරි ද කියලා තීරණය කරන්නෙ කතානායක. සංධානයේ විධායක සභාවට ඒ තීරණය කරන්න බැහැ.



ඒත් අද සංධානයෙ විධායක සභාවෙ තීරණයක් මත පදනම් වෙලා කියමින් මෛත්‍රිපාලගෙ ශ්‍රී ල නි පාක්‍ෂිකයන් යැයි කියන අය පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරනවා. ඔවුන් එ ජා පෙරමුණ සමග ඊනියා ජාතික ආණ්ඩුවක් ද පිහිටුවා ගෙන. සංධානයෙ විධායක සභාවට ඒ තරම් බලතල ලැබුණෙ සංධානයෙ ව්‍යවස්ථාවකින් ද? ශ්‍රී ල නි පක්‍ෂයෙන් සංධානය යටතේ මැතිවරණය තරග කළ සියලු දෙනාමත් ආණ්ඩුවෙ නැහැ. ඉන් යම් ප්‍රමාණයක් ඉන්නෙ ඒකාබද්ධ විපක්‍ෂෙ. මේක මහා අවුලක්. අවුලට මුල මෛත්‍රිපාල.



මහින්දට ශ්‍රී ල නි පක්‍ෂෙ සභාපතිකම මෛත්‍රිපාලට දෙන්න සිද්ධ වුණෙ ජනාධිපතිවරණෙන් පස්සෙ එකල ආණ්ඩුවෙ ශ්‍රී ල නි ප මැති ඇමතිවරුන් මෛත්‍රිපාල වෙතට යන්න හදපු නිසා. එයට කලින් මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා වෙන්න තීරණය කෙළෙ ඇහැළෙපොළ අනුගමනය කරමින්. 1813-14-15 කාලයෙ උඩරට නිළමෙවරුන් බල තණ්හාව හා දේපොළ වරප්‍රසාද ලබාගැනීම සඳහා එකිනෙකාට විරුද්ධව ක්‍රියා කළා වගේ ම ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුත් 2014-15-16 කාලයේ කටයුතු කළා. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙ හා සංධානයෙ ලේකම්වරුන් අගෝස්තු මැතිවරණයට කලින් මාරු කරලා මහින්දට අගමැතිකම දෙන්නෙ නැහැ කියලා ප්‍රකාශ කරලා සංධාන ඡන්දදායකයන් අතරමං කළා.ඒ නිසා යම් පිරිසක් ඡන්දෙ දාන්න ගියෙත් නැහැ. ඒත් ලක්‍ෂ හතළිස් අටදාහක් විතර සංධානෙට ඡන්ද දුන්නා. ඒ අයගෙන් විශාල පිරිසක් මනාප දුන්නෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අයට. අද ඒ මනාප දුන් ජනතාවගෙ අයිතීන් නැති කරනවා. මෛත්‍රිපාලට තමන් කරපු වැරදි නිවැරදි කරන්න තාමත් ටික කාලයක් තියෙනවා. ඒ නොකළොත් එදා ඩොයිලිලා ඇහැළෙපොළට කරපු දේ දැන් ඉන්න ඩොයිලිලා විතරක් නොවෙයි කෞටිල්‍යලාත් මෛත්‍රිපාලට කරන්න ඉඩ තියෙනවා. 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                                                       

නලින් ද සිල්වා



2017 මාර්තු 11