Main Logo

Monday 20 March 2017

මංගලගේ අවමංගල යුද්ධාපරාධ කතා  






 මංගලගේ අවමංගල යුද්ධාපරාධ කතා



මංගල යුද්ධාපරාධ ගැන කතා කරලා. ඔහු කරුණු දෙකක් කියනවා. පළමුවෙන් ඔහු පිළිගන්නචා මෙරට ව්‍යවස්ථාවට අනුව  දෙමුහුන් අධිකරණ පිහිටුවන්න බැහැ කියලා. ඒත් ඔහු ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කියන එක අත්හැරලා නැහැ. සුමන්තිරන් කියන්නෙ දෙමුහුන් අධිකරණ පිහිටුවන්න ඕන ම කියලා. ආණ්ඩුව ජෙනීවාහි කල් ඉල්ලගත්තෙ කලින් යෝජනාව අනුව දෙමුහුන් අධිකරණ පිහිටුවන්නයි.  ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙනැල්ල අවශ්‍ය විධියට ජනතාවගේ පරමාධිපත්‍යය නැතිකරලා දෙමුහුන් අධිකරණ පිහිටුවන්න වෑයමක් කරාවි. බටහිරයන් මේ ආණ්ඩුව පිහිටෙවුවෙ ම ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් රාජපක්‍ෂලාට හා රණවිරුවන්ට දඬුවම් කරලා දෙමළ ජාතිවාදයට තව තවත් බලය බෙදලා සහසන්ධීය රාජ්‍යයක් ඇති කරන්න. නැතුව තරුණ තරුණියන්ට රස්සා දෙන්න නො වෙයි. දෙන්න රස්සාවල් නැහැ.




ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න ජනමත විචාරණයක් තියන්න යන බව රාජිතගෙ කතාවලින් පැහැදිලි වෙනවා. ජේ ආර්ගෙ ලාම්පු කළගෙඩි සෙල්ලම වගේ ම වචන හරඹවලින් සිංහල ජනතාව රවටලා ජනමත විචාරණයකින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න හරි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හරි ආණ්ඩුව සූදානම් වන බවක් පේන්න තියෙනවා. රාජිත කියන්නෙ ජනවාරි අටවැනි දා මෛත්‍රිපාල ජනාධිපති කරපු අය නව ව්‍යවස්ථාවක් ගේන බව කිවුව කියලා. ඔහු කියනවා අගෝස්තු මැතිවරණයෙන් පස්සෙ ආණ්ඩුවට එකතු වුණු මෛත්‍රිපාලගෙ කණ්ඩායම ඒක දන්නෙ නැහැ කියලා.



ඒ වුණත් රාජිතට අමතක වෙච්ච දේකුත් තියෙනවා. ඒ තමයි ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන ඒමට මෛත්‍රිපාල ජනාධිපතිවරණයෙ දි පොරොන්දු වුණු බව.  නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළත් ඒක ජනමත විචාරණයකට තුඩු නොදෙන එකක් විය යුතුයි. මේ පරස්පර කතා මැද්දෙ ආණ්ඩුව ව්‍යවස්ථා මණ්ඩලය මගින් පමණක් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් ඉඩ තිබෙනවා. අප මේ සියල්ලට විරුද්ධව සිංහල ජනතාව ඒකරාශී කළ යුතුයි. ඒක මාධ්‍ය සංදර්ශනවලින් විතරක් කරන්න බැහැ.



මංගල කියන දෙවැනි කරුණ තමයි කමල් ගුණරත්නගෙ රණමග ඔස්සෙ නන්දිකඩාල් පොතෙන් ඊනියා යුද්ධාපරාධ ඔප්පු වෙනව කියලයි. මංගල මේ කියන්නෙ ජේ ආර්ගෙ ජනමත විචාරණය දින සිදුවුණයි කියන කතා. ඒ ජනමත විචාරණයෙ දී යාපනයෙ එක් ඡන්ද මධ්‍යස්ථානයක දි රණවිරුවකු ඝාතනය කරලා. ඒකට රණවිරුවන් කිහිප දෙනකු දක්වපු ප්‍රතිචාර ගැනයි මංගල කතා කරන්නෙ. ඒ ප්‍රතිචාර කොහොමටවත් යුද්ධාපරාධ නො වෙයි. ඒ යුද්ධයක දීවත් හමුදා මෙහෙයුමක දීවත් සිදු වුණු දේ නො වෙයි. එයින් කිසිවකු මරණයට පත් වී නැහැ. රණවිරුවන් එහි දී යම් නීති විරෝධි ක්‍රියාවක් කළා යැයි සිතමු. එවිට ඔවුන්ට විරුද්ධව රටේ නීතියට අනුව හෝ හමුදාවේ නීතියට අනුව හෝ දඬුවම් කළ හැකියි. එහෙත් එසේ දඬුවම් කළ බවක් පේන්න නැහැ. ඒ දවස්වල තිබුණෙ ජේ ආර්ගෙ ආණ්ඩුව. රණවිරුවන් වරදක් කෙළේ නම් හා ආණ්ඩුව ඒ සම්බන්ධ කිසිවක් නොකෙළේ නම් වරද කරුවා සේනාධිනායක ජේ ආර්. මංගල ඒකට විරුද්ධව ජෙනීවා යනවා ද? සැප්තැම්බරයේ දීවත් බලමු ද?



මානුෂික මෙහෙයුම්වල අවසන් දින කිහිපයෙහි දී හමුදාව යුද්ධාපරාධ කරලා නැහැ. ඒ බව පරණගම කොමිසමට ලබා දුන් විශේෂඥ වාර්තාවලින් තහවුරු වෙනවා. මෙහි දී අපට වැදගත් වන්නෙ ආණ්ඩුව හා හමුදාව පණවපු අවි රහිත කලාපය කොටි නොපිළිගත් බව හා කොටි ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගත් බව. කොටි එම අවි රහිත කලාප නොපිළිගත්තා පමණක් නොව ජනතාවට ඔවුන්ගෙන් මිදී යෑමට ඉඩ නොදී ඒ කලාපවල සිට වෙඩි තිබ්බා. එකල මෙරට සිටි බ්ලේක් තානාපතිවරයාට පවා කොටි වරදක් කළ බව පිළිගන්න සිදු වුණා. ඒ බව ලිඛිත ව තිබෙනවා. බ්ලේක් කියා තිබෙනවා කොටි ජනතාවට හමුදාව පැත්තට යෑමට ඉඩ දුන්නා නම් මේ කිසිවක් සිදු නොවීමට තිබුණු බව. ප්‍රහාරවලින් ගැලවීමට මිනිස් පළිහක් යොදා ගැනීම නම් යුද්ධාපරාධයක්. කොටි සිදුකළ යුද්ධාපරාධ හමුදාව පිට පටවන්නේ බටහිරයන්ට ප්‍රභාකරන් බේරා ගැනීමට නොහැකි වූ නිසා. මංගල දැන් මොනවා කිවුවත් අවුරුදු තිහක් නොතිබූ ඊනියා යුද්ධාපරාධ කතා ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව පමණක් ඇසෙන්නේ ඇයි?



ජනතා විමුක්ති පෙරමුණ ඇති කළ භීෂණ සමයේ යුද්ධාපරාධ සිදු වුණා ද යන්න සොයා බැලීමට කොමිසමක් අධිකරණයක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණවත් නොඉල්ලන්නේ එකල යුද්ධාපරාධ සිදු නොවුණු නිසා ද? ජේ ආර්ලා ප්‍රේමදාසලා බෝධිසත්වයන් ද? නැත්නම් වෙනත් හේතු තිබුණ ද? බටහිරයන් ජ වි පෙ මර්දනයට ආධාර කළා. රජයට විරුද්ධව අවිගත් ජ වි පෙ පරාජය කිරීමට බටහිරයන් උපකාර කර රජයට විරුද්ධව අවිගත් කොටි පරාජය කිරීමට බටහිරයන් විරුද්ධ වූයේ ඇයි? දැන් අභූත යුද්ධාපරාධ චෝදනා ගෙන එන්නේ ඇයි? පිළිතුර පැහැදිලියි. බටහිරයන් කොටි පිටුපස සිටියා.  ජ වි පෙ ත්‍රස්තවාදයේ දී මෙන් ම කොටි ත්‍රස්තවාදයේ දී ද මෙරට යුද්ධ තිබුණේ නැහැ. ත්‍රස්තවාදී කණ්ඩායම්වලට විරුද්ධව හමුදා මෙහෙයුම්  කෙරීම පමණයි සිදු වුණේ. එහි දී යුද්ධාපරාධ කෙරෙන්නේ නැහැ. යම් අයකු අතින් නීතිය අතට ගැනීමක් සිදු වී ඇත්නම් ඒ සඳහා කටයුතු කිරීමට රටේ නීතිය හා හමුදා නීතිය තියෙනවා. එයට වැඩි දෙයක් අවශ්‍ය නැහැ.



අපට බටහිරයන් සතුටු කිරීමට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. සිවල් සමාජය යැපෙන්නේ බටහිරයන්ගෙන්. අප බටහිරයන් කියන නිසා කිසිම දෙයක් කළ යුතු නැහැ. මා නැවතත් කියනවා ඊනියා ජාත්‍යන්තර බලපෑම්වලට අප කිසිසේත් ම යටවිය යුතු නැහැ. ජාතියක් ලෙස අප බහුතරය නැගී සිටියහොත් ඊනියා ජාත්‍යන්තරයට කළ හැකි ඉටි ගෙඩියක් නැහැ. කළ යුත්තේ සිංහල බහුතරය ඊනියා යුද්ධාපරාධ චෝදනාවලට හා ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධ වීමයි. අප බහුතරයක් විරුද්ධ වූ විට ඊනියා ජාත්‍යන්තරයට අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට බැහැ. අද බටහිරයන් අපේ කටයුතුවලට ඇඟිලි ගසන්නේ මේ ආණ්ඩුව නිවට වීමත් ඒ නිවට ආණ්ඩුව බටහිරයන් විසින් පත් කෙරුණු ලැබීමත් නිසා. අපට කොටි පරාජය කිරීමට හැකි වූයේ සිංහල බහුතරයක් බටහිරයන්ට කන් නොදී මහින්දගේ දේශපාලන නායකත්වය හා ගෝඨාභයගේ කළමනාකාරීත්වය හා නොසැළෙන අධිෂ්ඨානය යටතේ පෙළ ගැසීම නිසයි. අප එදා බටහිරයන් සතුටු කිරීමට ගියා නම් ඊනියා ජාත්‍යන්තරය ඉදිරියේ නිවට වුණා නම් අදත් ප්‍රභාකරන් බටහිර ආධාරයෙන් මිනී මරණවා.  මහින්ද අගමැති කර ගෝඨාභය ආරක්‍ෂක ඇමති කිරීමේ අවශ්‍යතාව එන්න එන්න වැඩිවෙනවා.



මේ ලිපිිය තවත් ලිපි කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි .



https://www1.kalaya.org


නලින් සිල්වා


2017 මාර්තු 20