Main Logo

Sunday 12 March 2017

ජාතික ව්‍යාපාරය හා ස්මාට් දේශප්‍රේමී බුද්ධිමත්තු  


මෙම ලිපිය අද (මාර්තු 12)  ඉරිදා රිවිර පුවත්පතට යැවුණු නමුත් පළ නො විණි. ඔවුන් කියන්නේ පුවත්පතෙහි ඉඩ නොමැති බව ය. මේ ලිපියට වඩා වැදගත් ලිපි රාශියක් ම පුවත්පතෙහි පළ වී ඇති අතර ලිපියට එතරම් ඉල්ලූුමක් නැති බව ද පැහැදිලි ය. ලිපියට ඉල්ලුමක් තිබේ නම් පුවත්පත එය පළ කරනු ඇත. ජනමාධ්‍යවේදීහු අපට වඩා ප්‍රබුද්ධයෝ වෙති. ජනමාධ්‍යවලට නොලියා සිටීමට මා කලින් ගත් තීරණය නිවැරදි බව තහවුරු වෙයි. 



ස්මාට්ි දේශප්‍රේමයක් ගැන කියන්නේ දයාන් ජයතිලකය. මා ඔහුගේ නම සඳහන් නොකෙළේ රිවිර නම පළ නොකරාවිය යන උපකල්පනයෙනි. රිවිර ද වෙනත් ජනමාධ්‍ය ද ජාතික ව්‍යාපාරය ද ඒකාබද්ධ විපක්‍ෂය ද ඔහුට ඉමහත් ගෞරවයක් දක්වන බව  පැහැදිලි ය.  ඔවුන්ට  අද අවශ්‍ය වී ඇත්තේ ස්මාට් ජාතික ව්‍යාපාරයක් විය හැකි ය.  නලින් ද සිල්වා






ජාතික ව්‍යාපාරය හා ස්මාට් දේශප්‍රේමී බුද්ධිමත්තු



කාලයක සිට ජාතික ව්‍යාපාරය ඇත්තේ ඉතාමත් පහත් තත්වයක බව පැහැදිලියි. කවදාවත් නැති තරමට ජාතික ව්‍යාපාරය විජාතික මතවාදීන්  අතට පත් වී ඇති බව බොහෝ දෙනකුට නොතේරීම කණාගාටුදායක ය. මෙයට කිහිප දෙනකු ම වගකිව යුතු ය. පළමුවෙන් ම ජාතික ව්‍යාපාරය දේශපාලනයට ලක් කළ අය ගැන සඳහන් කළ යුතු නමුත් එය පසුවට කල් තබමු. පක්‍ෂ ලෙස සැලකුවහොත් ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ එහි ඉදිරියෙන් ම සිටින බව නම් කිව හැකියි. මා මෙසේ කී විට ඇතැමුන් විරුද්ධ වීම වැළැක්විය නො හැකි  ය. එසේ සඳහන් කිරීම ජාතික ව්‍යාපාරයට පාඩුවක් බව ඒ අයගෙන් යම් පිිරිසක් අවංකව ම ප්‍රකාශ කළහොත් එය පුදුමයට කරුණක් නො වෙයි. ජනතා විමුක්ති පෙරමුණ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝළනය වුණු පක්‍ෂයක් පමණ ය. ජාතික හෙළ උරුමයත් ජාතික නිදහස් පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණේ තිඹිරි ගෙයින් බිහි වූ පක්‍ෂ බැවින් ඔවුන්ටත් යම් ප්‍රමාණයකට නමුත් එකී දේශපාලනය බලපාන බව පැහැදිලි ය.



ජාතික ව්‍යාපාරය දේශපාලනයට ලක් කිරීමේ ප්‍රතිඵලය වූයේ ජාතික ව්‍යාපාරයට ජාතික මතවාද නැති වීම ය. දේශපාලනයේ සංසිද්ධි ඊනියා බටහිර කුමන්ත්‍රණ කී පමණින්වත් වැඩකට නැති සංඛ්‍යාන ඉදිරිපත් කිරීමෙන්වත් තේරුම් ගැනීමට නොහැකි බව කිව යුතු ය. ජාතික ව්‍යාපාරයට ජාතික මතවාද නැතිවීමත් සමග එයට ඊනියා ජාත්‍යන්තරවාදී මතවාද රිංග වීමට ඇතැම්හු උත්සාහ ගනිති. අද ජාතික ව්‍යාපාරයට ඇති ප්‍රධාන ම තර්ජනය මේ ජාත්‍යන්තරවාදී මතවාද බව අවධාරණය කළ යුතු  ය. ජාතික මතවාදීන් ජාත්‍යන්තරය අමතක කරන පිරිසක් බවට අද ජාත්‍යන්තරවාදීන්ගෙන් චෝදනාවක් එල්ල වීම  මගින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තරවාදීන්ගේ බංකොළොත් බව මිස වෙනත් කරුණක් නො වෙයි. මේ ජාත්‍යන්තරවාදීන්ට අවශ්‍ය ජාත්‍යන්තරකරණය සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. ජාතික ව්‍යාපාරයෙහි ජාතිකවාදී මතවලට ඉඩක් නැති වුවත් ජනතාව අතර ඒ මත වෙනදාටත් වඩා පැතිර යමින් පවතියි. 



අද ජාතික ව්‍යාපාරය මොඩ් කිරීමට ඇතැමුන් කතා කරන අතර තවත් අය ස්මාට් දේශප්‍රේමීත්වයක් ගැන නන්දොඩවති. ඔවුහු ඉතාලියානු කොමියුනිස්ට්වාදියකු වූ ග්‍රාම්ස්කිගේ කසිකබල් සංකල්පයක් වූ ඓන්ද්‍රිය බුද්ධිමතුන් යන්න ද ඉදිරිපත් කරති.  ග්‍රාම්ස්කිගේ සංකල්ප තබා මාක්ස්ගේ සංකල්පවත් වලංගු නොවන කල මේ කතා හුදෙක් තම බුද්ධිමය හිස් බව වසා ගැනීමට කරන කතා වෙයි. අනෙක් අතට මේ ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවා ඔවුන්ට ඇමතිකම් ලබා දීමේ තැතක් ස්මාට් බුද්ධිමතුන් කතාව පිටුපස ඇති බවත් විධායක ජනාධිපති ක්‍රමය තබා ගෙන ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන් ද සහභාගි කර ගෙන ආණ්ඩු කිරීමකට ලක ලැහැස්තියක් ඇති බවත් පැහැදිලි ය. මොන තරම් පාරිභාෂික වචන කතා කළත් අවසාන අරමුණ තානාපතිකම් ඇමතිකම් හෝ වෙනත් තනතුරු ලබා ගැනීම බව සැඟවිය නො හැකි ය.



මේ ඓන්ද්‍රිය බුද්ධිමතුන්ට අනුව අද මෙරට ජාත්‍යන්තර ගරුත්වය පිළිබඳ ව  ඇත්තේ ඉතාමත් පහත් මට්ටමක ය. ගරුත්වය ඉහළ යෑම පහළ යෑම යන චක්‍රයෙන් මිදීමට බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයට චක්‍රයෙන් ඉවත් විය යුතු යැයි ඔවුහු කියති. ඔවුන්ට අවශ්‍ය චක්‍රයෙන් ඉවත් වී ගරුත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමටයි. ස්මාට් බුද්ධිමතුන්ට ඇත්තේ ජාත්‍යන්තරවාදී ක්‍රිස්තියානි මනසක් බව පැහැදිලියි. බුදුන්් වහන්සේ චක්‍රයෙන් ඉවත්වීමක් ගැන දේශනා කෙළේ පටිච්ච සමුප්පදාය ආශ්‍රිතවයි. පටිච්ච සමුප්පදාය ග්‍රාම්ස්කිගේ කසිකබල් සංකල්ප තේරුම් ගත් පමණින් තේරුම් ගැනීමට නොහැකි බව ස්මාට් බුද්ධිමතුන්ගේ බුද්ධියට නොවැටහීම ගැන අපි කුමක් කරමු ද? බුදුන් වහන්සේ චක්‍රයෙන් ඉවත් වීම යනුවෙන් අදහස් කෙළේ චක්‍රයෙහි උඩට යෑමක් නොවන බව ජාත්‍යන්තරවාදී ස්මාට් බුද්ධිමතුන් තේරුම් ගන්නේ කෙසේ ද?  ස්මාට් බුද්ධිමතුන් වචනවලින් දමා ගසා රවටන්න උත්සාහ කරන්නේ කවුරුන් ද? රාජපක්‍ෂවරුන් ද?



ස්මාට්  බුද්ධිමතුන්ට රැවටිය හැක්කේ ස්මාට් බුද්ධිමතුන් පමණයි. ඔවුන්ට ජාතිකවාදීන් රැවටීමට නො හැකියි. ඒ ගැන අපට කිසිම චකිතයක් නැති බව අවධාරණය කරමු.  අපට අවශ්‍ය වන්නේ ස්මාට් බුද්ධිමතුනට රැවටෙන්න හැකි අයට කරුණක් දෙකක් මතක් කිරීම පමණයි. ජාතිකවාදය මොඩ් කිරීමට හෝ ස්මාට් දේශප්‍රේමයකට යටකිරීමට හෝ අවශ්‍ය නැත. එමෙන් ම එය කළ හැක්කක් ද නො වෙයි. ජාතිකවාදීන් ජාත්‍යන්තර තත්වයන් නොසලකා හරින ළිංමැඩියන් පිරිසක් නොවන බව ප්‍රකාශ කළ යුතු ය. ජාත්‍යන්තර දේශපාලනය තේරුම් ගැනීමට දේශපාලන විද්‍යාව හැදෑරීම අනිවාර්ය හෝ ප්‍රමාණවත් හෝ අවශ්‍යතාවක් නො වෙයි. වරක් එක්තරා දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුට ගැමියකු කීවේ මහාචාර්යවරයා දේශපාලන විද්‍යාව දැන සිටිය හැකි නමුත් දේශපාලනය නොදන්නා බවයි!



ජාත්‍යන්තර බල ගැන අපි දනිමු. කිසිම රටක් ලෝකයේ තනිව නොපවතින බව ඈත අතීතයේ සිට ම දේශපාලනයේ රාජ්‍ය පාලනයේ සිටි කවුරුත් දැන සිටි කරුණක් බව නොදන්නේ කවු ද? වත්මන් ලෝක දේශපාලනය ගැන මතවාද, සංකල්ප, ප්‍රවාද ඉදිරිපත් කළ හැක්කේ බටහිර දේශපාලන විද්‍යාඥයන්ට පමණක් නො වෙයි. ජාතිකවාදීන්ට ජාත්‍යන්තර දේශපාලනය ගැන පමණක් නොව දැනුම පිළිබඳ දැනුම හෙවත් ඥානවිභාගය ගැනත් සංකල්ප, ප්‍රවාද නිර්මාණය කළ හැකි බව විශ්වවිද්‍යාල ආශ්‍රිත ඊනියා දාර්ශනිකයන් නොදන්නවා විය හැකියි. මෙරට දර්ශන අධ්‍යයන අංශවලින් නිර්මාණය වී ඇති සංකල්පයක් නැති බව කිව යුතුයි. එය දර්ශන අධ්‍යයන අංශවලට පමණක් නොව අනෙක් අධ්‍යයන අංශවලටත්  පොදු වීමට හේතුව අනුකාරකත්වය හා අනුකාරකත්වය පමණයි.



වත්මන් ලෝකය, එය කිනම් නමකින් හැඳින්වුවත් පහළොස්වැනි සියවසෙන් පසුව ඇති වූවක් බව පැහැදිලි ය.  එ සඳහා බටහිර විවිධ ප්‍රවාද තිබෙන නමුත් ස්මාට් බුද්ධිමතුන්ට තමන්ගේ ම වූ කිසිම ප්‍රචාදයක් නැති වීම තේරුම් කරන්නේ කෙසේ ද? එයට ඇත්තේ එක ම එක පිළිතුරක් පමණයි. ස්මාට් බුද්ධිමත්තු අනුකාරකයෝ පමණක් ම වෙති. ඔවුන් දන්නේ බටහිරයන්ගේ ප්‍රවාද හා සංකල්ප පුනරුච්චාරණය කිරීම පමණක් බව පැහැදිලියි. එහෙත් මෙරට ජාතිකවාදීන්ට ඔවුන්ගේ ම වූ ප්‍රවාද ඇති බව ඇතැම්හු නො දනිති. අපේ ප්‍රවාද අනුව බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ආරම්භය පහළොස්වැනි සියවසේ ආරම්භ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය (මේ පිළිබඳ මා ලියා ඇති ලිපි කාලය වෙබ් අඩවියෙහි පළ වී ඇත)  බිහිවිණි. අප මූලික ව පාලනය කෙරුණේ මේ සුපිරිව්‍යුහය විසිනි. එය දේශපාලනික ව පමණක් නොව ආර්ථික ව ද සංස්කෘතික ව ද සිදු කෙරිණි.



ස්මාට් බුද්ධිමත්තු සංස්කෘතික පාලනය සඳහා යොදා ගැනෙන ඉත්තෝ පමණක් වෙති. ඔවුහු බටහිර නිර්මාණය කෙරෙන දැනුම අප මත පටවති. මෙරට විශ්වවිද්‍යාල, ඊනියා පර්යේෂණ ආයතන ආදිය මගින් කෙරෙන්නේ මේ බටහිර දැනුම අප මත බලහත්කාරයෙන් පැටවීම ය. බටහිර දැනුමේ පදනම වන්නේ බටහිර විද්‍යාව ය. ඉනුත් බටහිර භෞතික විද්‍යාව ය. අප බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට සියලු ආකාරවල ස්මාට් බුද්ධිමත්තු පරළ වූහ. එහෙත් ඔවුනට අප ගෙනා තර්ක බිඳීමට නො හැකි විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට බටහිරින් ප්‍රතිතර්ක සොයා ගැනීමට නො හැකි වීම ය. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන ආරක්‍ෂකයා වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට බටහිර විද්‍යාව පට්ටපල් බොරුය යන මාතෘකාව යටතේ විවාදයකට අභියෝග කර ඇති නමුත් ඔහු තවමත් ඒ අභියෝගය පිළිගෙන නොමැති බව කණගාටුවෙන් සඳහන් කරමි. සයිටම් ප්‍රශ්නය අවසන් වූ දිනෙක ඔහු ඒ විවාදයට එළඹෙන්නේ නම් සයිටම් ආයතනයේ ද සහාය ඔහුට ලැබෙනු ඇත. සයිටම් ආයතනයත් අවසාන වශයෙන් ගත්කල බටහිර දැනුමෙහි තවත් දැත්තක් පමණකි.



බටහිර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය අද දේශපාලනික ව ද කඩා වැටෙමින් පවතියි. බ්‍රෙක්සිට් හා ට්‍රම්ප් ජයග්‍රහණයෙන පෙන්නුම් කෙරෙන්නේ මේ කඩාවැටීම හා බටහිර රටවල ජාතිකත්වයේ නැගීම ය. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය දාර්ශනික ව කඩා වැටීම ඇරඹී දැන් සියවසකට ආසන්න ය. බටහිර ගණිතයේ ගර්ඩ්ල් ප්‍රමේයයෙන් හා ක්වොන්ටම් භෞතික විද්‍යාවේ අනිශ්චතතා මූලධර්මයෙන් හා ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙන්  පෙන්නුම් කෙරෙන්නේ එයයි. අද ජෙනීවාහි ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ හුසේන් කුමරුට බටහිර රටවලින් ද චෝදනා එල්ල වෙයි.



මෙරට ජාතිකවාදීහු ස්මාට් බුද්ධිමතුන්ට වඩා මේ කරුණු අධ්‍යයන කරති. ජාතිකවාදීන්ට ඊනියා ජාත්‍යන්තර බලවේග ගැන මනා වැටහීමක් ඇත. දේශපාලනයේ දී ජාත්‍යන්තර බලපෑම් ඇත්නම් එයට මුහුණ දෙන්නේ කෙසේ දැයි ජාතිකවාදීහු දනිති. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය අදට වඩා බලවත් යුගයක බණ්ඩාරනායක මැතිණිය ජාත්‍යන්තර තෙල් සමාගම් ජනසතු කළා ය. එක්සත් ජාතික පක්‍ෂයෙන් බිහි වූ ව්‍යතිරේකයක් වූ ප්‍රේමදාස මහතා බිරිතානි මහා කොමසාරිස් ග්ලැඩ්ස්ටන් ආපසු ඔහුගේත් ස්මාට් බුද්ධිමතුන්ගේත් ආධ්‍යාත්මික මාතෘභූමියට යැවී ය. එපමණක් නොව ඔහු නිවට ජේ ආර් ජයවර්ධන අත්සන් කළ ඉන්දු ලංකා ගිිවිසුමේ කුමක් සඳහන් වුවත් ඊනියා සාම සාධක හමුදා ආපසු යැවී ය. ඉතා මෑතක මහින්ද රාජපක්‍ෂ මහතා බටහිර බලවේගවලට යට නොවී ප්‍රභාකරන් පැරදවී ය. එහි දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ලැබුණු සහාය ඉමහත් ය. අද ස්මාට් බුද්ධිමතුන්ට අවශ්‍ය වී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ස්ථාවර දුර්වල කිරීම ය. ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දීමේ දී අවශ්‍ය වන්නේ රටේ බහුතරයක් යම් මතයකට එකඟ වීම හා ශක්තිමත් නායකයකු සිටීම මිස ස්මාට් බුද්ධිමතුන්ගේ බටහිර ගැති මතවාදවලට යටවීම නො වෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා මෙන් ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ස්මාට් බුද්ධිමතුන්ට නොමග යැවිය නොහැකි ශක්තිමත් නායකයෝ වෙති.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org                            

නලින් ද සිල්වා



2017 මාර්තු 12