Main Logo

Thursday 30 March 2017

මෛත්‍රිපාලගේ කාර්යභාරය  


මෛත්‍රිපාලගේ කාර්යභාරය



මෛත්‍රිපාල නිල වශයෙන් මෙරට ජනාධිපති වෙලා අවුරුදු දෙකකට වැඩියි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල බිඳක් අගමැති ලබා ගත්තා. සුපුරුදු පරිදි රනිල් එය විස්තර කෙළේ පාර්ලිමේන්තුවට බලය ලබා දී ඒ ශක්තිමත් කිරීමක් ලෙස. එහෙත් අද පාර්ලිමේන්තුවේ අගමැති, සභානායක, කතානායක ඔක්කොම රනිල්. ඒ තනතුරු නිල වශයෙන් දරන්නේ කවුරුන් ද යන ප්‍රශ්නය වැඩකට ඇති එකක් නො වෙයි. රනිල් පාර්ලිමේන්තුව කියන්නෙ තමන්ට.




මෛත්‍රිපාල පසුගිය දා සීතල රුසියාවේ සංචාරයක යෙදුණා. සීතල හරියට ඉවර වෙන්නත් කලින් රුසියාවට යන්න මෛත්‍රිපාලට හොඳ හේතුවක් තියෙන්න ඇති. රනිල් එක්ක සීතල යුද්ධයක් ගැනත් කියැවෙනවා. මෛත්‍රිපාල කුරුණෑගල රණවිරු උත්සවයක දි හොඳ කතා තුනක් කියලා තිබුණා. ඔහු කිවුවා කිසිම රණවිරුවකු යුද්ධාපරාධ සම්බන්ධයෙන් විත්තිකරුවකු නොකරණ බව. දෙවනුව ඔහුට ප්‍රධාන ලෝක නායකයකුගෙන් ආධාර ලැබෙන බව. තුන්වනුව ඔහු නොකියා කීවේ සරත් වීරසේකර රණවිරු විත්තිවාචකයක් ඉදිරිපත් කිරීම මගින් රණවිරුවන් විත්තිකරුවන් කර ඇති බව.



මෛත්‍රිපාලට පුටින් යම් දෙයක් කියා ඇති බව පැහැදිලියි. අද මෛත්‍රිපාල කළ යුත්තේ පුටින්ගේ යාළුවා ට්‍රම්ප් හමුවීමයි. අප ඒ බව කියන්නේ ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දීමටත් කලින්. මෛත්‍රිපාලට පුටින් ලවාත් ට්‍රම්ප්ට යමක් කියවා ගන්න පුළුවන් වෙන්න ඕන. රටවල් පහළොවක් සමග එකතු වී ලංකාව තමන්ට ම  විරුද්ධව ජෙනීවාහි දී 2015 ඔක්තෝම්බර් මස ගෙනෙන ලද දෙමුහුන් අධිකරණ යෝජනාව අකුළා ගන්නා තැනට වැඩ කරන්න පුළුවන්. ඒත් ඒකට ටිකක් හරි ජාතිකත්වයක් ඇති විදේශ ඇමතිවරයකු අවශ්‍යයයි. මංගලට ඇත්තේ සෘණ ජාතිකත්වයක්.



මෛත්‍රිපාල අතන මෙතන කියන කතා එතරම් වැදගත් නැහැ. ඔහු නිශ්චිත ව යමක් කියන්නෙත් නැහැ. ඔහු සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතාව ගැන කියන්නේ කුමක් ද? ගෝඨාභය යුද්ධාපරාධකරුවෙක් ද? ගෝඨභය විත්තිකරුවෙක් ද? මේ දිනවල සරත් ෆොන්සේකා කියන දෙය අපරාධ පරීක්‍ෂණ කොට්ඨාසයත් බැරෑරුම් ව ගන්නවා. සරත් ෆොන්සේකා සත්‍යය හා සත්‍යයම මිස වෙනත් දෙයක් නො කියන්නේ ද? ඔහු මෙතෙක් කල් සත්‍යය සඟවා ගෙන සිටීම ගැන මෛත්‍රිපාල හා ඔය කොට්ඨාසය කියන්නේ කුමක් ද? රණවිරුවන් විත්තිකරුවන් කරන්නෙ නැහැ කියලා මෛත්‍රිපාල කියන එකෙන් අදහස් කරන්නෙ කුමක් ද? ඔහු සරත් ෆොන්සේකා කියන දේ විශ්වාස කරනවා ද?



හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරල ද නැද්ද? චම්පක නම් කියන්නෙ අත්සන් කර ඇති බවයි. හම්බන්තොට වරාය චීනයට විකුණීම ගැන අප විරුද්ධ විය යුතුයි. ඒකෙ දෙකක් නැහැ. එහෙත් සමහරු ඒකට විරුද්ධ වෙන්නෙ රෝ ඔත්තු සේවයේ අවශ්‍යතාවට. පසුගිය දා දි අයිලන්ඩ් පුවත්පතේ රෝ ප්‍රධානියාගේ වැඩ ගැන විස්තරාත්මක ලිපියක් පළ කර තිබුණා. ඔහු ලංකාවේ කළ සමහර දේ අසාර්ථක වීම ගැනත් එහි සඳහන් කර තිබුණා. ඔහු අද තම පවු සෝදා ගැනීමට යන්නේ හම්බන්තොට වරාය ගිවිසුම අවලංගු කරවීමෙන් ද? ඒත් ඉන්දියාවට අපට සල්ලි දෙන්න බැහැ. මෙරට රෝ ඔත්තු සේවයේ මැදිහත්වීම් ගැන විස්තර නැතිවාට අපට කතන්දරයක් තියෙනවා. අප ඒ කතන්දරය බොහෝ කලක සිට කියනවා. කතන්දරයක් කියන්නෙ විදග්ධ භාෂාවෙන් නම් ප්‍රවාදයක්. ලැබෙන විස්තර කතන්දරය සමග එකඟ වෙනවා.



ඒ කුමක් වුවත් රනිල් ගිවිසුමට අත්සන් කරලා නම් දැන් කරන්නේ මොකක් ද?  මහා බැංකු අධිපති පහුගිය දා කියා සිටියේ හම්බන්්තොට වරාය විකුණන්නෙ නැතිව අපට රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැරි බව. රනිල් චීනෙට බැණ බැණ හිටියට දැන් චීනෙන් සල්ලි ඕන වෙලා. අදාළ ගිවිසුම ඉතා භයානක බව කියැවෙනවා. ඒත් රනිල්ට ඒකෙන් වැඩක් නැහැ. ඔහුට ඕන උතුර නැගෙනහිර ඇරෙන්න රට විකුණලා හරි තව අවුරුදු දෙකක්වත් ආණ්ඩුව පවත්වා ගෙන ගිහිල්ල දෙමළ ජාතිවාදයට කප්පන් දීමයි. ඒකාබද්ධ විපක්‍ෂෙ හම්බන්තොට වරාය පිළිබඳ කමිටුවෙන් ඉවත් වෙන්න යනවලු. ඒ්ක හොඳයි. ඔවුන් තවත් කියන්න ඕන තමන් බලයට පත් වූ විගස ගිවිසුම ඒක පාක්‍ෂිකව හරි අවලංගු කරනවා කියලා.ඒකෙ දී ඊනියා ජත්‍යන්තර නීතිය කොහොම බලපානවද කියන එක අපට වැඩක් නැහැ. අනූනව අවුරුදු බදු දීම් කළ නොහැකි බවට අතීතයට බලපාන පරිදි නීති සකස් විය යුතුයි. කොහොමටත් මෛත්‍රිපාල වරාය ගිවිසුමේ සුළු කොන්දේසියක් දෙකක් වෙනස් කරලා රනිල්ගෙ පවු සෝදාවි.



ජ වි පෙ දැන් කියනවා රනිල් 2002 දී ප්‍රභාකරන් එක්ක ගිවිසුමක් අත්සන් කළා වගේ මෙවරත් චීන සමාගමත් සමග ගිවිසුමක් අත්සන් කරන්න ඇති බව. 2002 දි රනිල් ප්‍රභාකරන් සමග අත්සන් කළ ගිවිසුම ගැන එවකට ජනාධිපතිනි චන්ද්‍රිකාටවත් පාර්ලිමේන්තුවටවත් කිවුවෙ නැහැ. රනිල් පාර්ලිමේන්තුවට සලකන්නෙ එහෙමයි. ඒත් තවත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ජ වි පෙ රනිල් ගැන හොඳ හැටි දැන දැනත් යමපාලනයට උදවු කෙළේ ඈයි ද කියන එක. ජ වි පෙරමුණටවත් ජාතික හෙළ උරුමයටවත් මේ කපේ දි එම පවු සෝදාගන්න බැහැ. ඒ පක්‍ෂ දෙක ම රටට ද්‍රෝහි වෙලා.



මෛත්‍රිපාල හම්බන්තොට ගැන නිශ්චිත කිසිවක් මෙතෙක් කියා නැහැ. ඔහු තම පවු කොහොම වෙතත් රනිල්ගෙ පවු සෝදන්න වැඩ කරනවා. මෛත්‍රිපාලගෙ කාර්යභාරය ඒකයි. ඔහුට අවශ්‍ය නම් තම පවු සෝදා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. ඒ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමෙන්. ජ වි පරමුණටත් ඒකට සම්මාදන් වෙන්න පුළුවන්. මෛත්‍රිපාල සරත් වීරසේකරට විරුද්ධව කියන කතාව හරි නැහැ. ලංකාවට විරුද්ධව 2015 ඔක්තෝම්බර් යෝජනාව ජෙනීවාහි දී සම්මත කර ගත්තෙ යුද්ධාපරාධ ගැන විදේශ විනිසුරුවන් සහිත අධිකරණ පිහිටුවීමට. ඒ යෝජනාව සකස් කිරීමේ දී ලංකාණ්ඩුව, දෙමළ ජාතික සංධානය හා එක්සත් රාජ්‍ය එකට එකතු වී ක්‍රියා කළ බව සුමන්තිරන් කියා තිබුණා. එමෙන් ම දින කිහිපයකට පෙර මානව අයිතිවාසිකම් අයිතිකාර හුසේන් ආණ්ඩුව යුද්ධාපරාධ පිළිබඳ නඩු පවරා දඬුවම් නොකිරීම පිළිබඳ තම කණස්සල්ල පළ කර හිටියා. හුසේන් හමුවෙහි රණවිරුවන් විත්තිකරුවන් පමණක් නොව වැරදිකරුවන්. මෛත්‍රිපාල අද කළ යුත්තේ පුටින් හා ට්‍රම්ප් සමග එකතු වී 2015 යෝජනාව අස්කර ගැනීමට ක්‍රියා කිරීමයි. එය ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලීම මගින් ආණ්ඩුව හුසේන්ට හා අබලන් වෙමින් පවතින ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයට යටවෙනවා. 2015 යෝජනාව අස්කර ගත්විට යුද්ධාපරාධ අධිකරණත් නැහැ විත්තිකරුවනුත් නැහැ. මෛත්‍රිපාලට එහි දී ද රනිල් ඉවත් කිරීමට සිදූවේවි. එසේ නොකර අද මෛත්‍රිපාල කරන්නේ රනිල්ගේ පවු සේදීම, එහෙමත් නැත්නම් පවු සමාකරවීමට පූජකවරුන් සොයා යෑම.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මාර්තු 30