Main Logo

Thursday 2 March 2017

ජනාධිපතිවරණ ප්‍රකාශය හා එ ජා ප  


ජනාධිපතිවරණ ප්‍රකාශය හා එ ජා ප



මේ ආණ්ඩුව බලයට පත් කෙළේ කවු ද? චතුර සේනාරත්න ද? රතන හාමුදුරුවො ද? අශෝක අබේගුණවර්ධන ද? අනුර දිසානායක ද? සෝභිත හාමුදුරුවො ද? සරත් විජේසූරිය ද? මහින්ද අමරවීර ද? බස් ගැමුණු ද? රාජිත සේනාරත්න ද? එස් බී දිසානායක ද? චන්ද්‍රිකා කුමාරතුංග ද? ලක්‍ෂමන් කිරිඇල්ල ද? රවි කරුණානායක ද? සරත් ෆොන්සේකා ද? රන්ජන් රාමනායක ද? මේ ඔක්කොම හා තවත් අය ද? ඒ එක්කෙනකුවත් නො වෙයි ද? මෛත්‍රිපාල තමන් ම බලයට පත්වුණා ද? කවුරු මෛත්‍රිපාල බලයට පත් කළත් අද ඔහු මෙරට විධායක ජනාධිපති. විධායක බලතල තියෙන්නෙ මහුට. ඒත් ජන බලයක් නැත්තෙත් ඔහුට.



මෛත්‍රිපාල ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රකාශය හැදුවෙ කවුද? ඒ ප්‍රකාශය පොදු අපේක්‍ෂකයාගෙ ප්‍රකාශය ද? ඒකට එ ජා පක්‍ෂය එකඟ වුණා ද? මේ ප්‍රශ්න අහන්න වෙන්නෙ ව්‍යවස්ථා සංශෝධනය හරි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හරි එක්ක. ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රකාශයෙ තියෙන්නෙ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්නෙ නැති බව. ඒ අතර රාජිත සේනාරත්න ලක්‍ෂමන් කිරිඇල්ල කියන්නෙ නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කරනවා කියලා. සම්බන්ධනුත් ජනමත විචාරණයකට එකඟයි. විජිතමුණි සොයිසා මොනව කියනවද කියන එක පැහැදිලි නැහැ. ඩිලාන් පෙරේරා මොනව කිවුවත් වැඩක් නැහැ. 


එක්සත් ජාතික පෙරමුණ අගෝස්තු මැතිවරණයෙ දි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න බලය ඉල්ලපු එක ම වැරදියි. මෛත්‍රිපාල ජනාධිපති වුණෙ 2015 ජනවාරි මාසෙ. ඒත් මහින්දගෙ නමින් අර බැඳුම්කර ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නෙ නම් ඊට පස්සෙ. ඒ විතරක් නොවෙයි. 2015 අගෝස්තු මාසෙ ඊනියා ජාතික ආණ්ඩුව නමින් එ ජා ප ආණ්ඩුවක් පිහිටෙවුවටත් පස්සෙ. ජනාධිපති පැහැදිලි ව ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්නෙ නැති බවට පොරොන්දුවක් දීල ජයග්‍රහණය කරලා තියෙද්දිත් එ ජා පෙරමුණ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බලය ඉල්ලුවෙ ඇයි? තමන් මෛත්‍රිපාල ජනාධිපති ලෙස තබාගෙන, ඔහු කැබිනට් මණ්ඩලයෙ ප්‍රධානියා ලෙස ඉන්න ආණ්ඩුවක් පිහිටුවන එකක් නැහැයි කියලා එ ජා පෙරමුණ හිතන් හිටිය ද? ඒත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය  සම්මත කර ගත්තෙ අත ලෙවකන්න වෙන්න බැහැ.


දහනවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිගෙ යම් යම් බලතල අගමැති පවරා ගත්ත. ඒ බව නොදැන ද සංධානෙ මන්ත්‍රීවරු ඒකට ඡන්දෙ දුන්නෙ? අද දැන් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැති බලය පවරා ගෙන කියලා කෑ ගැහුවට වැඩක් නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්න කියලා අප කී දේට සවන් දුන්නෙ නැහැ. සරත් වීරසේකර පමණක් විරුද්ධ ව ඡන්දෙ දුන්නා. ජානක බණ්ඩාර ඡන්දෙ දීමෙන් වැළකුණා. දිනේෂ් ගුණවරධන, වාසුදේව, විමල් වීරවංශ ආදී සියල්ලන් ම  දහනවවැනි ව්‍යවස්ථා සංභෝධනයට පක්‍ෂ ව ඡන්දෙ දීලා තමන්ගෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී කන්‍යාභාවය ආරක්‍ෂා කර ගත්තා.


මෛත්‍රිපාල බලයට පත්වුණෙ සංධානෙ ඡන්දවලින් නො වෙයි. ඒක මහින්ද අමරවීරලා පිළිගන්නෙ නැත්නම් ඒ කුහකකමට. මෛත්‍රිපාල දිනෙව්වෙ එ ජා ප මුස්ලිම් කොංග්‍රස් හා දෙමළ ජාතික සංධානෙ ඡන්දවලින්. අනුර දිසානායකගෙයි චම්පක රණවකගෙයි හිත් පොජ්ජවල් සතුටු කරන්න ජ වි පෙ, ජාතික හෙළ උරුමෙ ඡන්දවලිනුත් කියලා කියන්න ඕනෙ ද? ඒ ගොල්ලන්ටත් ඡන්ද නැති කාලෙ මෛත්‍රිපාල දිනවන්න ඡන්දෙ දම්මවන්නෙ කෙහොම ද? 


ඒ කොහොම වෙතත් එ ජා ප, දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය මෛත්‍රිපාල සිරිසේනගෙ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුමත කරලා තියෙනවා. රාජිතයි කිරිඇල්ලයි දෙන්නත් ඒ ජනාධිපතිවරණ ප්‍රකාශයට ඡන්දෙ දැමීමට ජනතාවට කරුණු කියලත් තියෙනවා. ඔවුන් කියනවා නම් මෛත්‍රිපාල දිනෙව්වෙ තමන් කියලා ඒකෙන් කියන්නෙ ඔවුන් ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ගේන්නෙ නැතැයි  කී බවයි. ඔවුන් ජනාධිපතිවරණය අතරෙ කිසිම විටෙක කියල නැහැ ජනාධිපතිවරණ ප්‍රකාශයෙ මොනව තිබ්බත් තමන් ජනමත විචාරණයක් පවත්වලා සම්මත කරගන්න නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනව කියලා.


මෛත්‍රිපාල පත් කරගත්තෙ බටහිර හා ඉන්දීය ඔත්තු සේවාවල ආධාරයෙන් ඒ රටවල් වුණත් රාජිතලා කිරිඇල්ලලා මෛත්‍රිපාල පත්කර ගත්තෙ තමන් කියලා කියන නව නම් ඔවුන්ට බැහැ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්න. මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශෙට ඡන්දෙ දීපු හරි ඒකට ඡන්දෙ දෙන්න කියලා හරි කියපු කිසි අයෙකුට බැහැ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මෛත්‍රිපාල එ ජා ප ඡන්දවලින් දිනුවයි කියන්න එ ජා ප ඉදිරිපත් වෙනව නම් ඔවුන්ට ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ගැන හිතන්නවත් බැහැ. මොන ඡන්දවලින් හරි මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශය ඡන්දදායකයන් බහුතරයක් අනුමත කරලා. ඒත් එ ජා පෙරමුණ අගෝස්තු මැතිවරණයට නව ව්‍යවස්ථාවක් සම්මත කරන බවට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය ජනතාවගෙන් බහුතරයක් අනුමත කරලා නැහැ. කරන්න ඕන මොකක් ද කියන එක ඡන්දදායකයන් කියලා ඉවරයි. දැන් ඒ ජනතා ප්‍රකාශවලට එරෙහි ව නව ව්‍යවස්ථා ගෙන ඒමට කතා කිරීම ඔය ලොකුවට කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයට නම් එකඟ නැහැ. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                               

නලින් ද සිල්වා





2017 මාර්තු 02