Main Logo

Sunday 5 March 2017

මෙරට දෙමළ අනන්‍යතාව


මෙරට දෙමළ අනන්‍යතාව



මෙය 2017 මාර්තු 05 වැනි ඉරිදා රිවිර පත්‍රයෙහි පළ  වූ ලිපියක සුළු සංස්කරණයකි.



අද සියලු දෙනා ම කෙසේ වෙතත් දේශපාලනඥයෝ දෙමළ ජනයාට සිදු වී ඇති අසාධාරණයට පිළියම් සොයති. එහෙත් මේ පිළියම් සොයන අසාධාරණය කුමක් ද කියා කිසිවෙක් නො දනිති. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නය අසා දැන් අවුරුදු තිහක් පමණ වන නමුත් එයට පිලිතුරු දීමට සමත් අයකු සොයා ගැනීමට නැත. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වූ අය සිටි නමුත් ඔවුන්ට අවසානයේ දී කීමට සිදු වූයේ දෙමළ ජනයාට ඔවුන්ගේ ම වූ රාජ්‍යයක් නොමැති බව ය!




දෙමළ ජනයාට ඔවුන්ගේ ම වූ රාජ්‍යයක් තිබීමට පළමුව දෙමළ ජනයා නමින් ජනවර්ගයක් හෝ ජාතියක් හෝ තිබිය යුතුු ය. එහෙත් දෙමළ ජාතියක් ලංකාවේ තබා ලෝකයේ කොහේවත් තිබී නැත, අදත් නැත. එමෙන් ම දෙමළ ජනවර්ගයක අනන්‍යතාවක් ඈත අතීතයේ කොහේවත් තිබී නැත. දෙමළ අනන්‍යතාවක් වත්මන් ඉන්දියාවේ පවා ඇති වී තිබෙන්නේ දහනවවැනි සියවසේ මුල් භාගයේ දී ය. ලංකාවේ දෙමළ ජනවාර්ගික අනන්‍යතාවක් ඇති වුණේ දහනවවැනි සියවසේ අන්තිමට ම බව පැහැදිලියි. ඒ පිළිබඳ සාක්‍ෂි වුවමනා තරම් ඉදිරිපත් කළ හැකි ය. ඒ සාක්‍ෂි සමහරක් අපි පසුව ඉදිරිපත් කරමු.



එතෙක් අපට කීමට ඇත්තේ මෙරට දෙමළ කතාකරන ජනතාවක් ස්ථිර ව පදිංචි වී ඇත්තේ දහතුන්වැනි සියවසෙන් පසුව බව ය. යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රථම ඉතිහාස මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධනයේ ඒ බව සඳහන් වී ඇත (මේ නිබන්ධයේ පිටපතක් මා සතුව ඇත, එහි අදාළ කොටස් කාලය වෙබ් අඩවියේ හා මුහුණු පොතේ මගේ ගිණුමේ පළ වී ඇත). මෙරට ඉතා ඇත අතීතයේ සිට දෙමළ ජනයා ස්ථිර ව පදිංචි වී සිටි බවට හෝ වත්මන් දෙමළ ජනයාට මෙරට අවුරුදු දෙදහසක ඉතිහාසයක් ඇති බවට හෝ පළ වන කතාවලට කිසිම පදනමක් නැත.



අප බොහෝ දෙනා සිතා සිටින්නේ එළාර දෙමළ රජකු බව ය. එහෙත් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ හා ඩී බී ද සිල්වා මහතා වැනි වෙනත් අයගේ ලේඛනවලින් පැහැදිලි වන්නේ එළාර දෙමළ නොවන බව ය. මහාවංසයේ එළාර ගැන සඳහන් වන්නේ එළාරො නාමො ඛත්තියො යනුවෙනි. එහි තේරුම එළාර නම් ක්‍ෂත්‍රියා යන්න ය. පැරණි වෛදික වර්ණ භේදය අනුව ද්‍රවිඩ ජනයා අයත් වන්නේ ශුද්‍ර ගණයට ය. ද්‍රවිඩ යනු දකුණ යන තේරුම ගෙන දෙයි. මේ සාමාන්‍යයෙන් වින්ධ්‍යා කඳු වැටියෙන් දකුණට ඇති ප්‍රදේශය හා එහි වාසය කළ ජනතාව හැඳින්වීමට පොදුවේ යොදා ගත් නාමය හෝ විශේෂණය හෝ වෙයි. ද්‍රවිඩ ප්‍රදේශවලත් අනෙක් ප්‍රදේශවලත් තිබුණේ වාංශික රාජ්‍ය මිස ජාතික රාජ්‍යවත් අඩුම තරමෙන් ආගමික රාජ්‍යවත් නො වේ. අප රටේ නම් පණ්ඩුකාභය රජු සමයේ ආරම්භ කළ ජාතික රාජ්‍යය පිහිටුවීමේ කාර්යය ගැමුණු රජු කාලයේ අවසන් විණි. ඒ රාජ්‍යය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය.



එළාර දකුණෙන්, වත්මන් ද්‍රවිඩ ප්‍රදේශවලින් (තමිල්නාඩුව, කේරළය, ආන්ද්‍ර ප්‍රදේශය, කර්ණාටකය, තෙළඟනාව හා ඉන්දිය මධ්‍යම රාජ්‍යයට අයත් පොන්ඩිචේරි වැනි ප්‍රදේශ) පැමිණි අයකු නම් ඔහු ක්‍ෂත්‍රියකු විය නො හැකි ය. ඔහු දකුණෙන් පැමිණියේ නම් එළාර නම් ක්‍ෂත්‍රියකු ගැන සඳහන් කිරීමට නො හැකි ය.  ඇතැමුන්ගේ මතය එළාරට පර්සියානු (වත්මන් ඉරානය එහෙත් මුස්ලිම් නොවේ. ඉරානය මුස්ලිම් වූයේ පසු කලෙක ය. මෙවැනි කරුණු සඳහන් කළ යුත්තේ කිසියම් පඬියකු එළාර මුස්ලිම් යැයි හැඳින්වීමට ඉඩ ඇති බැවිනි) සම්භවයක් ඇති බව ය. ඒ කුමක් වුවත් එළාරට වත්මන් ඊනියා ද්‍රවිඩ සම්භවයක් නම් තිබිය නො හැකි ය.



ගැමුණු රජු කළ සොළී බලපෑමක් නො තිබුණි. පස්වැනි සියවසේ සොළී බලපෑමක් තිබීම නිසා මහාවංසය ලියන අවධිය වන විට එළාර සොළී යන අදහසක් ප්‍රචලිත ව තිබෙන්න ඇති බව පැහැදිලි ය. ඒ කුමක් වුවත් දොළොස්වැනි සියවස වන තෙක් මෙරට දෙමළ කතාකරන ජනයාගේ ස්ථිර වාසස්ථාන නොතිබූ බවට ඉන්ද්‍රපාල මහතා සාක්‍ෂි දරයි. අපි ඒ සියල්ල පැත්තකින් තබමු. වත්මන් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ හින්දු සංස්කෘතියක් තිබූ බවට ඇති සාක්‍ෂි කවරේ ද? සොළීන් පොළොන්නරුවේ සිටි සුළු කාලයක හින්දු කෝවිල් නිර්මාණය කෙළේ නම් විග්නේස්වරන් හා වෙනත් දෙමළ ජාතිවාදීන් කියන ආකාරයට වත්මන් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ (කතාකරන) ජනයා අවුරුදු දෙදහසක් ජීවත් වී නම් ඔවුන් කෝවිලක්වත් නිර්මාණය කිරීමට කටයුතු නො කෙළේ ඇයි?



සිංහල බෞද්ධ විරෝධී පඬියකු ඔවුන් බෞද්ධ වී යැයි කීමට ඉඩ ඇත. එහෙත් වත්මන් තමිල්නාඩුවේ ඇති බෞද්ධ සිද්ධස්ථාන කවරේ ද? පැරණි ද්‍රවිඩ ප්‍රදේශවලින් තෙළිඟු කතා කළ ආන්ද්‍ර ප්‍රදේශ වැසියන් නම් බෞද්ධ වූ බවට සාධක ඇත. ආන්ද්‍රය හා සිංහලය අතර පැවතියේ විශේෂිත සම්බන්ධයකි. ආන්ද්‍රයන් ලියූ අටුවා මෙරට ප්‍රචලිත විය. අදත් ඒ අටුවා ගැන සඳහන් වෙයි. බුද්ධඝෝෂ හිමියන් වැඩම කෙළේ ද ආන්ද්‍ර ප්‍රදේශයෙනි. මාධ්‍යමිකවාදයෙහි නිර්මාතෘ නාගර්ජුන හිමිපාණන් වහන්සේ වැඩ සිටියේ ද ආන්ද්‍ර ප්‍රදේශයෙහි ය. නාගර්ජුනකොණ්ඩ හෙවත් නාගර්ජුන කන්ද (කොණ්ඩ යනු කන්ද ය. කොණ්ඩය යන්න ද මුදුණ වෙයි. අප කොණ්ඩය බඳින්නේ මුදුණෙහි ය) නම් කෙරී ඇත්තේ උන්වහන්සේගේ නමින් ය. සිංහල භික්‍ෂූන් වහන්සේ ද නාගර්ජුනකොණ්ඩයෙහි වැඩ විසූ බවට සාධක වෙයි.         



පල්ලවයන් (එනම් වාංශික රජවරුන්) ආන්ද්‍රයේ දකුණේ සිටි කාලයේ වත්මන් තමිල්නාඩුවේ උතුර ද ඔවුන් යටතේ පැවතිණි. වත්මන් තමිල්නාඩුවේ උතුරේ යම් බෞද්ධ බලපෑමක් වී නම් එයට හේතුව එයයි. ආන්ද්‍ර ප්‍රදේශය හා සිංහලේ අතරත් කේරළය (චේර) හා සිංහලේ අතරත් පාණ්ඩ්‍යයන් හා සිංහලයන් අතර තිබූ සම්බන්ධකම් ගැන ඉතිහාසඥයන් එතරම් ගවේෂණයක් නොකිරීම කණගාටුදායක ය. පල්ලව සම්බන්ධකම් නාලන්දා ගෙඩි ගෙහි පමණක් නොව මාණවම්ම වැනි වර්මන් නාමය ගත් රජවරුන්ගෙන් ද පැහැදිලි වෙයි. නායක්කාර් රජවරුන් ලංකාවට පැමිණ ඇත්තේ පාණ්ඩ්‍ය මදුරෙයි නගරයෙනි. ඔවුන් මදුරෙයි නගරයට පැමිණ ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයෙනි. ඔවුන් කතා කර ඇති බස තෙළිඟු ය. අප තෙළිඟු හැඳින්වූයේ අණ්ඩර දෙමළ හෙවත් ආන්ද්‍ර දෙමළ යනුවෙනි. මෙයින් දෙමළට යම් වැදගත් තැනක් නුවර යුගයේ ලැබී තිබුණු බව අපි පිළිගනිමු. 1815 ගිවිසුම අත්සන් කිරීමේ දී ඇතැම් සිංහල නායකයෝ දෙමළ බස යොදා ගත්හ. එහෙත් එයින් කියැවෙන්නේ දෙමළ ජනයාගේ ස්ථිර වාසස්ථාන තිබූ බව නො වේ. ඉංගිරිසියට අද වැදගත් කමක් ලැබෙන අතර ඇතැම්හු ඉංගිරිසියෙන් අත්සන් කරති. එයින් කියැවෙන්නේ මෙරට නිත්‍ය ඉංගිරිසි වාසස්ථාන තිබූ බවක් හෝ ඇති බවක් හෝ නො වෙයි.



දෙමළ බසට තිබූ වැදගත්කම කෝට්ටේ යුගයේ සිට පැවති බව පැහැදිලි ය. දෙමළ සකු නොදත් නූගත් ජනතාවක් ගැන සන්දේශ කාව්‍යයෙහි සඳහන් වෙයි. මේ සියල්ල පැහැදිලි කළ හැකි ය. ඉංගිරිසි නොදන්නා අය නූගතුන් ලෙස අදත් හැඳින්වෙති. දෙමළ බසේ වැදගත් කමෙහි ආරම්භය අනුරාධපුර යුගයට දිව නොයයි. මේ ඉතිහාසය මෙරටට දහහතරවැනි සියවසේ හා ඉන් පසු කේරළ සීමාවේ මලබාරයෙන් මෙරටට සංක්‍රමණය වූ විවිධ ජනකොටස් සමග බැඳෙයි. ඉඩ ලැබෙන පරිදි ඒ සාකච්ඡා කරමු.



වත්මන් උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ තබා දෙමළ පුරාවස්තුවත් නැත. ලංකාවේ ලියැවුණු දෙමළ පොත්පත් නැත.  හින්දු කෝවිල් හෝ දෙමළ  සෙල්ලිපි හෝ කීයක් දහනවවැනි සියවසට පෙර තිබී ඇත් දැයි විග්නේස්වරන්ට කිව හැකි ද? දහනවවැනි සියවසට පසුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉදි කර ඇති කෝවිල් සංඛ්‍යාව එයට පෙර මුළු ලංකාවේ ම ඉදි වී තිබිණි ද? දහනවවැනි සියවස අග වන තෙක් දෙමළ කතාකරන ජනයා මුස්ලිම් හෝ දෙමළ යනුවෙන් බටහිරයන් විසින් වෙන් නො කෙරිණි. දෙමළ කතාකරන ජනයා මලබාර් ලෙස හැඳින්වුණු අතර ඔවුහු බටහිරයන්ගේ ඇසින් විදේශිකයෝ වූහ. මලබාර්වරුන්ට මෙරට වැසියන් ලෙස අනන්‍යතාවක් තිබී නැත. මලබාර් යන්න කෙතරම් පොදු නමක් වී ද යත් නායක්කාර් රජවරුන් සමග පැමිණි අය ද මලබාර්වරුන් ලෙස ඉංගිරිසින් විසින් හැඳින්විණි. ඉංගිරිසිහු මහනුවර එක් වීදියක් මලබාර් වීදිය ලෙස හැඳීන්වූහ.



සිංහල අලුත් අවුරුද්ද නිවාඩු දිනයක් කිරීිමේ දී ඉංගිරිසින් එය හැඳින්වූයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස ය. එයටත් එක් හේතුවක් වූයේ දෙමළ යනුවෙන් අනන්‍යතාවක් දහනවවැනි සියවස අග නො තිබීම ය. සිංහල හා දෙමළ අවුරුද්ද යනුවෙන් අලුත් අවුරුද්ද හැඳින්වීමට පටන් ගෙන තවම දශක කිහිපයකට වඩා නැත. එය පඬියන්ගේ ව්‍යාජ පණ්ඩිතමානී අදහසක් පමණකි. අප මතක තබා ගත යුත්තක් නම් සිංහල අවුරුදු දිනය (ඊනියා සිංහල හා හින්දු හෝ සිංහල හා දෙමළ හෝ අවුරුද්ද) අඩුම තරමෙන් දකුණු ඉන්දියාවේවත් පොදු නිවාඩු දිනයක් නො වීම ය.



ඉංගිරිසිහු 1833 පිහිටු වූ ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීන් පත් කිරීමේ දී ද දෙමළ අනන්‍යතාවක් නො සැලකූහ. අපත් සමහරවිට දෙමළ ජනයා වෙනුවෙන් එක් මන්ත්‍රීවරයකු පත් කෙළේ යැයි කියන නමුත් එය නිවැරදි නො වේ. එය දෙමළ කතාකරන ජනයා ලෙස නිවැරදි විය යුතු ය. ඉංගිරිසින් එක් නිල නොලත් මන්ත්‍රීරයකු පත් කෙළේ දෙමළ කතාකරන ජනයා වෙනුවෙනි. එයට වත්මන් දෙමළ ජනයා මෙන් ම මුස්ලිම් ජනයා ද ඇතුළත් වූහ. දහනවවැනි සියවස අග අබ්දුල් අසීස් වැනි මුස්ලිම් නායකයන් තමන් වෙනුවෙන් මන්ත්‍රීවරයකු පත් කරන ලෙස ඉංගිරිසින්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී පෙන්නම්බලම් රාමනාදන් කියා සිටියේ තමන් මුස්ලිම් ජනයා වෙනුවෙන් ද පෙනී සිටින බව ය. ඉංගිරිසිහු එය පිළිගත්හ. ඔවුහු සියල්ලෝම ඉංගිරිසින් ඉදිරියේ මලබාර් සම්භවයක් ඇති දෙමළ කතාකරන හින්දු හෝ මුස්ලිම් හෝ ජනයා වූහ.



ඔවුන් දෙමළ හා මුස්ලිම් යනුවෙන් වෙන් කෙරුණේ විසිවැනි සියවසේ මුල දී ය. ඊනියා සිලෝන් ටැමිල් (ලංකා දෙමළ) යන්න විසිවැනි සියවසේ අනන්‍යතාවකි. එයට පෙර මෙරට දෙමළ ජනවාර්ගික අනන්‍යතාවක් නො තිබිණි. විග්නේස්වරන් හා වෙනත් දෙමළ ජාතිවාදීන් ද සිංහල විරෝධී සිංහල කතාකරන පඬියන් ද අවුරුදු දෙදහස් ගණනක දෙමළ අනන්‍යතාවක් ගැන කතා කරන්නේ මේ අවුරුදු සියයක පමණ දෙමළ ජනවාර්ගික අනන්‍යතාවකට ය.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



                               

නලින් ද සිල්වා



2017 මාර්තු 05