Main Logo

Friday 17 March 2017

චලිතයේ අවුල


චලිතයේ අවුල



චලිතය කියන්නෙ තේරුම් ගන්න බොහොම අමාරු සංකල්පයක්. බොහෝම ඉස්සර සීනෝ කියන ග්‍රීකයා ඊතලයක් ගැන සඳහන් කරමින් චලිතය යන්නෙහි පරස්පරයක් තිබෙනව බව පෙන්නුවා. ඒ කතාව සීනෝගේ විරුද්ධාභාසය කියා හැඳින්වෙනවා.  ඔහු කියා ඇති විධියට ඇරිස්ටෝටල්ගෙ න්‍යාය යොදා ගත්තොත් චලිතයක් නැහැ කියලා කියන්න පුළුවන්. වස්තුවක චලිතය ගැන කතාකරන විට වස්තුවට එකවිට දෙතැනක සිටීමට බැරි වීම ප්‍රශ්නයක් ලෙස මතුවෙනවා. වස්තුවක් යම් අවස්ථාවක අවකාශයේ යම් තැනක තිබෙනවා නම් එවිට එය අවකාශයේ වෙනත් තැනක තියෙන්න බැහැ. වස්තුවක් යම් අවස්ථාවක යම් ස්ථානයක ඇත්නම් වස්තුව ඒ අවස්ථාවේ දී ම එතැන නැත කියන්න බැහැ.




අප කලකට පෙර චලිතය තේරුම් ගැනීමට චතුස්කෝටික න්‍යාය යොදා ගත්තා. ඒත් එය එතරම් සාර්ථක නැහැ. චලිතය සමග සම්බන්ධ අදහස ගණිතයේ කලනය කියන විෂයේදීත් හමුවෙනවා. කලනය විශ්වවිද්‍යාලයෙදි උසස් වීමක් ලබලා විශ්ලේෂණය බවට පත්වෙනවා. ස්පර්ශක ඇඳීමේදීත් මේ ප්‍රශ්නය තියෙනවා. කොහොමටත් වෙනස් වීම ගැන කියන විට ඇරිස්ටෝටලීය න්‍යායේ අඩුපාඩුකම් ගැන සඳහන් කරන්න වෙනවා. මෙහි මුල ඇත්තේ වස්තුවක් පැවතීමට හැකි ද යන්නත් යම් අවස්ථාවක් යනුවෙන් අවස්ථාවක් තිබේ ද යන්නත්. වස්තුවක් වෙනස්වීම කියන්නෙ කුමක් ද? වෙනස්වීම කියන්නෙ අනිත්‍ය නම් නොවෙයි.



ප්‍රවේගය නැත්නම් වේගය කියන සංකල්පය චලිතය සමග සම්බන්ධයි. වෙනස්වීම සමග බැඳුණු අනෙක් සංකල්පය තමයි කාලය කියන එක. අංශුවක හරි වස්තුවක හරි සාමාන්‍ය වේගය දැනගන්නෙ එය ගෙවා ඇති දුර ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදලා. ඒත් කාලය කියන්නෙ මොකක් ද? කාලය නිවුටන්ට අනුව නම් නිරපේක්‍ෂ අවකාශයෙහි ගලා ගෙන යනවා. ඒ ගලා ගෙන යන්නෙ එක ම වේගයකින් ද? කාලයේ වේගය මනින්නෙ කොහොම ද? සුපිරි කාලයකට සාපේක්‍ෂව ද? කාලය එකම පැත්තකට පමණක් ගලා ගෙන යන්නෙ ඇයි කියලා බටහිර විද්‍යාඥයො අහනවා. ඔවුන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ මොකද නිවුටන්ගෙ සම්කරණ කාලය සම්බන්ධයෙන් සමමිතික නිසා. එහෙත් කාලයේ ගලා යෑම අසමමිතිකයි. කාලය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. අපට කාලයෙ ආපස්සට යන්න බැහැ. අනාගතයටත් යන්න බැරි බව  බටහිර විද්‍යාඥයන්ට අමතක වෙනවා.



බටහිර භෞතික විද්‍යාවෙ අසමමිතිකව වැඩිවෙන දෙයක් තියෙනවා. ඒ එන්ට්‍රොපිය. එයත් වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නැහැ. කාලය එන්ට්‍රොපිය සමග සම්බන්ධ ද? බටහිර විද්‍යාඥයන් මෙවැනි ප්‍රශ්න අහන්නෙ කාලයත් තවත් පවතින දෙයක් කියලා හිතාගෙන. අප කාලය තියෙනව කියලා හිතන්නෙ මොකද? කාලය රන් හා සමාන කියලා ඉංගිරිසි කියමනක් සිංහලෙන් තියෙනවා. සිංහලයන් ඒ රත්තරන් කතාව කියලා නැහැ. ඒත් බටහිර අධ්‍යාපනයෙන් පස්සෙ අපට හිතෙන්නෙ කාලය කියලා දෙයක් තියෙනවා කියලා විතරක් නොවෙයි කාලය ඉතුරු කර ගන්නත් ඕන කියලා. ඒක නිසා රිය අනතුරුත් වැඩි වෙනවා.



කාලය කියන්නෙ පඤ්ඤත්තියක් ඒ කියන්නෙ අප පනවන දෙයක් කියලා බුද්ධඝෝෂ හාමුදුරුවො සඳහන් කරලා තියෙනවා. අප අතීතයක් හා අනාගතයක් ගැන කියන්නෙ නැහැ. අප සඳහන් කරන්නෙ වර්තමානය ගැන. සිංහලයේ ඇත්තේ අතීත අනතීත කාල පමණක් කියලා කුමාරතුංග මුනිදාස විද්වතා කියලා තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයෙ පළමු වසරෙ තමළු මලිත්ත කියන්නෙ සිංහල භාෂාවෙ අතීත කාලයක්වත් නැහැ කියලා. ඒකෙ ඇත්තක් තියෙනවා. 



අපට දැනේනෙ වර්තමානය විතරයි. අනාගතය ගැන අපට කිසිම හැඟීමක් නැහැ. අතීතය ගැන තියෙන්නෙ මතකයක් පමණයි. ඒක දැනෙන්නෙ නැහැ. මෙයින් කියන්නෙ වර්තමානය පංචෙන්ද්‍රිය ගෝචර කියන එක නො වෙයි. කාලය කොහොමටවත් පචෙන්ද්‍රිය ගෝචර නැහැ. එය පඤ්ඤත්තියක් පමණයි. අප මේ කාලය කියන පඤ්ඤත්තිය යොද ගන්නවා වෙනස කියන එක තේරුම් කරන්න. මේ තේරුම් කිරීමේ දී අප කතන්දර ගොතනවා. කාලය කියන එක පංචෙන්ද්‍රිය ගෝචර කතන්දරයක්වත් නො වෙයි. කාලය කියන සංකල්පය ගොතලා තියෙන්නෙ ම වෙනස තේරුම් ගන්න. ඒත් අපට කාලය තේරෙන්නෙ නැහැ. මේ රටේ මහා ප්‍රාඥයන්ට කාලය තේරෙනව ද කියන්න මා දන්නෙ නැහැ.



අප අංශුවක හරි වස්තුවක හරි සාමාන්‍ය වේගය ගැන කියන කොට කාලය කියන සංකල්පය යොදා ගන්නවා. අංශුව ගෙවා ගොස් තියෙන දුර අදාළ කාලයෙන් බෙදනවා. මෙහි දී අංශුව හරි වස්තුව හරි වෙනස් වෙන්නෙ නැහැ කියලා අප හිතනවා. අප කතා කරන්නෙ එකම අංශුවක හරි  වස්තුවක හරි වේගය ගැන.  අංශුවේ හරි වස්තුවේ හරි පිහිටීම පමණක් වෙනස් වන බව අප කියනවා. ඒ වෙනස කාලයේ සිදුවන දෙයක් ලෙස අප හිතනවා. ඒත් කාලය තියෙන්නෙ වෙනස තේරුම් ගන්න. මේක මහා අවුලක් කියලා හිතෙන්නෙ නැද්ද? ඒකෙ අවුලක් නැති අයට හිතෙනවා ඇති මා මෝඩයකු කියලා.



අංශුවක සාමාන්‍ය වේගය නොවෙයි ස්ථානීය වේගය හොයන්නෙ කොහොම ද? අහවල් ස්ථානය පසු කරන විට අංශුවේ වේගය කුමක් ද? ඒ ස්ථානීය වේගය හොයන්න අප කලනයේ දී ඉතා කුඩා (අත්‍යුණක) දුරක් ගෙන ඒක ඉතා කුඩා කාල ප්‍රාන්තරයකින් බෙදලා සීමාව කියන එක හොයනවා. සීමාව ගන්නෙ කාලය ශූන්‍ය කරා එළඹෙන විට. ස්පර්ශක අඳින විටත් එවැන්නක් කරනවා. කලනයේ අවකලනය ඇත්තේ මෙවැනි දේත් තේරුම් කරන්න. මට නම් මේක තේරෙන්නෙ නැහැ. ඒත් උසස් පෙළට ගණිතය හදාරන ශිෂ්‍යයන්ට ඒක තේරෙනවා. මට විශ්වවිද්‍යාලෙ උගන්වන්න දුන්නෙ මොකටද කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන්.



මේ අවුල තේරුම් කරන්න චතුස්කෝටික න්‍යාය යොදා ගත්ත. ඒත් ඒකත් වැරදි කියලා දැන් තේරෙනවා. මෙහි මුල ඇත්තේ වස්තුව හරි අංශුව කියලා හරි දෙයක් නැති එක. අංශුව කියන එක ම ගොතපු සංකල්පයක්. මොහොත කියන එකත් ගොතපු සංකල්පයක්. මේ මොහොතෙ මේ අංශුව මෙතන තියෙනවා කියලා අප හදාගත්ත කතන්දර තියෙනවා. අංශුවක වේගය කියන එක හදාගත්ත සංකල්පයක්. අංශුවක් නැති විටක අංශුවකට චලිතයක් වේගයක් කොහෙන් ද?







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මාර්තු 17