Main Logo

Friday 31 March 2017

සම්බන්ධන් හා යුද්ධාපරාධ


සම්බන්ධන් හා යුද්ධාපරාධ



මෛත්‍රිපාල කුමක් කීවත් ජෙනීවා හි මානව අයිතිවාසිකම් අයිතිකරු හුසේන් හා පිරිස රණවිරුවන් යුද්ධාපරාධිකරුවන් ලෙස තීන්දු කර අවසන්. ඔවුන්ට අවශ්‍ය විදේශීය විනිශ්චයකරුවන් සහිත අධිකරණයකින් රණවිරුවන්ට දඬුවම් පැමිණවීම පමණයි. ඔවුන් ලංකාවට අවුරුදු දෙකක් කල් දුන්නේ 2015 ඔක්තෝම්බර් යෝජනාව ක්‍රියාත්මක කිරීමට. ඒ යෝජනාව මෙන් ම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් දීමට මෙවර සම්මත කර ගත් යෝජනාවත් ඉදිරිපත් කෙරුණේ ලංකාව එක් යෝජකයකු වෙමින්.




මංගල සමරවීර, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන ලංකාවේ දී කුමක් කිවුවත් ඔවුන් බටහිරයන්ට කියන්නේ වෙනත් දෙයක්. ලංකාවේ දී ඔවුන්ට බහුතර සිංහලයන් සතුටු කිරීමට වෙනවා. සිංහලයන් රැවටීම ඉතා පහසුයි. පසුගිය ජනාධිපතිවරණයේ දී සිංහලයන් රැවටූ අන්දම අප දන්නවා. නායකයන් ද රවටන්න පුළුවන්. එය අද ඊයේ දෙයකුත් නො වෙයි. අවුරුදු දෙසියකට පෙර ඩොයිලි සිංහල නිළමෙලා රැවටූ ආකාරය මුතුකුඩ ටෙලිනාට්‍ය නැරඹීමෙන් හිතාගන්න පුළුවන්. එමෙන් ම නිළමෙලා නිළමෙලාත් එකිනෙකා රවටන්න හැදුවා. උදේට එක මුහුණක් පෙන්නන නිළමෙලා සවසට ඩොයිලි එක්ක ඩීල් දැම්මා. ඩොයිලිගේ නම් ඩීල් ඩොයිලි කියා වෙනස් කරන්න පුළුවන්.



බලය දේපොළ හා වරප්‍රසාද වෙනුවෙන් මේ නිළමෙලා නොකළ දෙයක් නැති තරම්. බලය වෙනුවෙන් තම අඹුදරුවන් පවා පාවා දීමට ඔවුන් සූදානමින් සිටියා. එසේ පාවා දුන්නා. අදත් සිංහල නායකයන් බොහෝ දෙනකු ක්‍රියා  කරන්නේ එසේ ම. ආගම මාරු කළ නායකයන් කී දෙනකු එසේ නොකළ ආකාරයෙන් සිටිනවා ද? සමහරු කිහිප වතාවක් ආගම් මාරු කර තිබෙවා. ඒ එක ආගමක් ගැනවත් ඇති විශ්වාසයක් නිසා නො වෙයි. හුදෙක් බලය සඳහා පමණයි.  සී අයි ඒ, රෝ ආදී ඔත්තු සේවාවන්ට සේවය කරන කී දෙනකු සිංහල නායකයන් අතර සිටිනවා ද? මෙරට දේශපාලනය තීරණය කෙරෙන්නේ  මහජනයා විසින් පමණක් නො වෙයි. ඩීල් ඩොයිලිට වඩා දක්‍ෂ ඩීල් කරුවන් අද ලංකාවේ ඉන්නවා.



ඇතැම් සිංහල නායකයන් බලය සඳහා දෙමළ ජාතිවාදයට වුවත් සේවය කිරීමට සූදානම්. අද සම්බන්ධන් විපක්‍ෂ නායකයා වී සිටින්නේ ඔහු විපක්‍ෂයේ සිටින නිසා නො වෙයි. ඔහු අගමැතිගේ විපක්‍ෂ නායකයා. එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව එහි  විපක්‍ෂ නායකයා ඔවුන්ගේ රැජනගේ විපක්‍ෂ නායකයා. ලංකාවේ රජ කෙනකු නැහැ. ජනාධිපති කෙනකු හිටියාට වැඩක් නැහැ. මෙරට වැඩ කෙරෙන්නේ බටහිරයන්ට අවශ්‍ය විධියට අගමැති හරහා. මෙරට විපක්‍ෂ නායකයා අගමැතිගේ විපක්‍ෂ නායකයා ලෙස හඳුන්වන්න පුළුවන්. අද එ ජා පක්‍ෂයත් දෙමළ ජාතික සංධානයත් බටහිරත් වැඩ කරන්නේ එකට. ජෙනීවා 2015 ඔක්තෝම්බර් යෝජනාව ගෙන ආවේ ආණ්ඩුවේ, දෙමළ ජාතික සංධානයේ හා  ඔබාමාගේ නියෝජිතයන් එක් ව සාකච්ඡා කිරීමෙන් පසුව බව සුමන්තිරන් කියා තිබෙනවා. එය දි අයිලන්ඩ් පුවත්පතේ පළ වූවා. සුමන්තිරන් එය ප්‍රතික්‍ෂෙප කෙළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය කරන කියන දේකුත් නැහැ.



පසුගිය දා ඉන්දියාවේ පැවති එක්තරා ජාත්‍යන්තර සම්මේලනයක දී සම්බන්ධන් කියා තිබෙනවා යුද්ධය නිසා දෙමළ ජනයා 1,50,000ක් ඝාතනය කෙරුණු බව. මේ ඝාතන සංඛ්‍යාව බඩු මිළ, ඩොලරයේ අගය ආදිය මෙන් ම ඉහළ යනවා. ජෙනීවා ගොස් දෙමළ ජනයා 2,00,000ක් ඝාතනය කෙරුණු බව කීවොත් එයට විශාල ප්‍රසිද්ධියක් ලැබේවි. පසුගිය දිනවල ජෙනීවා ගොස් විසුරුණු දෙමළ ජනයා සිවල් සමාජය ආදිය නියෝජනය කරමින් කී දෙනකු රණවිරුවන් යුද්ධාපරාධ කරුවන් ලෙස නම් කළා ද? මෛත්‍රිපාලට ඒ කිසිවක් පෙනෙන්නේ නැහැ. ඔහුට ගිය සැප්තැම්බරයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ දී රණවිරුවන් යුද්ධාපරාධ කරුවන් නො වේ කියා කියන්න තිබුණා. ඔහු කුරුණෑගල දී කියන දේ නිව්යෝක්හි දී කියන්නේ නැහැ.



සම්බන්ධන් ඉන්දියාවේ දී කර ඇති ප්‍රකාශය ගැන මෛත්‍රිපාල කියන්නේ කුමක් ද?  සම්බන්ධන් කර ඇත්තේ යුද්ධාපරාධ චෝදනාවක්. දෙමළ ජනයා 1,50,000ක් යුද්ධය නිසා ඝාතනය කෙරුණු බව ඔහු කියන්නේ අගමැතිගේ විපක්‍ෂ නායකයා ලෙස ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සම්මේලනයක දී මිස කිලිනොච්චියේ දී නො වේ. මෙවැනි ප්‍රකාශවලට ලංකාවේ පන්සලක දී හෝ පාසලක දී හෝ පිළීිතුරු දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සම්බන්ධන් බටහිරයන් ඇතුළු පිරිස මෙවැනි ප්‍රකාශ කරන්නේ කිසිම සාධකයක් නැතිව. පරණගම කොමිසමේ ඇතැම් නිර්දේශ නොපිළිගත්තත් එය හමුවේ දෙමළ ජනයා 1,50,0000ක් ඝාතනය කෙරුණු බවට කිසිම සාක්‍ෂියක් ඉදිරිපත් වූයේ නැහැ.



දෙමළ ජාතික සංධානය 2001 දී පිහිටුවනු ලැබුයේ කොටි සංවිධානය විසින්. දෙමළ ජාතික සංධානය දිගින් දිගට ම කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටියා. දෙමළ ජාතික සංධානය ක්‍රියා කෙළේ කොටි සංවිධානයේ පාර්ලිමේන්තු දිගුව ලෙස. සම්බන්ධන්ලා කොටි සංවිධානය ආරක්‍ෂා කළා පමණක් නොව කොටි විසින් කරන ලද ඝාතනවලට විරුද්ධ වූයේ නැහැ. මෙරට යුද්ධාපරාධ කෙළේ කොටි සංවිධානයයි. අවි රහිත කලාපවල සිට ජනතාවට මුවා වී කළ වෙඩි තැබීම්, ජනතාව මිනිස් වළල්ලක් ලෙස යොදා ගැනීම ආදිය යුද්ධාපරාධ. එපමණක් නොව කොටි අරන්තලාවේ කළ භික්‍ෂු ඝාතනය, කැබිතිගොල්ලෑවේ හා වෙනත් තැන්වල සිදු කරන ලද සිවිල් ජන ඝාතන දරුණු ම ගණයේ යුද්ධාපරාධ. ඒ සියල්ල ගැන බටහිරයන් ද මෛත්‍රිපාල ද රනිල් ද සම්බන්ධන් ද නිහඬයි. ඒ සියල්ල කෙරුණේ දෙමළ ජාතික සංධානයේ අනුග්‍රහයෙන්. ඒ සියල්ල සම්බන්ධයෙන්  දෙමළ ජාතික සංධානය ද එහි නායකයන් ද වග කිව යුතුයි.



මෛත්‍රිපාල කොටි සංවිධානයට අනුග්‍රහ දැක් වූ සිංහල විරෝධී සිවල් සාමාජිකයන් දෙමළ ජාතික සංධාන නායක කාරකාදීන් ගැන කිනම් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද? ඔවුන්ට විරුද්ධව යුද්ධාපරාධ චෝදනා ගෙන ඒමට නීතිපතිට උපදෙස් දෙන්නේ ද? අපරාධවලට අනුබල දීමත් අපරාධ. ඉන්දියාවේ දී උණ්ඩය ද ඡන්දය ද (බුලට් ඕර් බැලට්) යනුවෙන් කතා කර ඇති සම්බන්ධන් කියා ඇත්තේ ඡන්දයෙන් කර ගැනීමට බැරි වූ දේ කර ගැනීමට කොටි ආයුධ අතට ගත් බවයි. මෙය එක්තරා අයුරකින් ඇතැම් ජාතිකවාදීන් අද දෙමළ ජාතිවාදීන් යුද්ධයෙන් දිනා ගැනීමට බැරි වූ දේ පෑනෙන් දිනා ගැනීමට උත්සාහ කරන බව කීම වැරදි බව පෙන්වා දීමක්. එහි දී සිදු වී ඇත්තේ අනෙක් පැත්ත. පෑනෙන් දිනාගැනීමට බැරි වූ ඊළම (බලය බෙදීම හරහා) දිනා ගැනීමට කොටි ආයුධ අතට ගත්තා. කොටි පරාජය කිරීමත් සමග ඒ සියල්ල අවසන්. නැවතත් සාකච්ඡා අවශ්‍ය නැහැ. අද කළ යුත්තේ කොටි සංවිධානය කළ යුද්ධාපරාධවලට කොටින්ට (ඔවුන්ගෙන් සමහරකු ජීවතුන් අතර නොවීම ප්‍රශ්නයක් නො වෙයි) හා කොටින්ට අනුබල දුන් හා අනුග්‍රහය දැක්වු සම්බන්ධන්ලාට, සිවල් සාමාජිකයන්ට හා සිංහල විරෝධී සියල්ලන්ට විරුද්ධව නඩු පැවරීමයි.  









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මාර්තු 31