Main Logo

Wednesday, 15 March 2017

සමාජ පිළිගැනීම


සමාජ පිළිගැනීම



බොහොම කාලෙකට ඉස්සර මොරටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආරාධිත දේශනවලින් පස්සෙ මගෙන් ඇහුව ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් මම බරකරත්තෙන් යන්නෙ එන්නෙ නැතිව අලුත් ජපන් කාරෙකකින් යන්නෙ මොක ද කියලා. කාරෙකට දැන් වයස අවුරුදු තිස්අටකට වැඩි වුණත් ඒ දවස්වල ඒක අලුත්. අනෙක් ප්‍රශ්නය වුනෙ මගේ ළමයින් රාජකීය විද්‍යාලෙට යන්නෙ මොකද කියලා. දෙවැනි ප්‍රශ්නය පස්සෙ කාලෙක දෙරණෙ 360 දිත් ඇහුව. ඒ ප්‍රශ්නය තවත් ඉදිරියට ගෙනියලා ඇහුව ඇයි මගේ ළමයි පිටරට ඉගෙන ගන්නෙ කියලා. එහෙම ඇහුවෙ මගේ ලොකු පුතා ඒ වනවිට එක්සත් රාජ්‍යවල පශ්චාත් උපාධියකට පර්යේෂණ කරමින් සිටි නිසා. මේ ප්‍රශ්න බොහොම ළාමක ප්‍රශ්න. ඒත් ශිෂ්‍යයන් විතරක් නොවෙයි මහාචාර්යවරුත් ඇහුව. දැනුත් අහනවා. ඒ ප්‍රශ්න අහන අයට ඕන කරන්නෙ මා කුහකයකු කියලා පෙන්නන්න, අවංක නැති බව පෙන්වන්න.




මේ ප්‍රශ්නවලට මා උත්තර දීලා තියෙනවා.  ඉදිරියටත් එවැනි ප්‍රශ්න අසාවි. එහෙත් අදත් සුළුවෙන් නමුත් උත්තරයක් දෙන්න ඕන. මගේ පුතුන් පහළ බාලාංශයේ සිටත් මා හයවැනි පංතියේ සිටත් අධ්‍යාපනය ලැබුවෙ රාජකීය විද්‍යාලෙ. ඒකෙන් මට වෙච්ච හානියක් නැහැ. මගේ නිරවුල් ව කල්පනා කිරීමට ඇති හැකියාව ඔප මට්ටම් වුණේ  ඒ විදුහලෙන්. චක්‍රීය චින්තනය ගැන මට මුල් ම පාඩම කියා දුන්නේ ක්‍රිස්තියානි බැතිමතකු වූ මගේ සාමාන්‍ය පෙළ රසායන විද්‍යා ගුරුවරයා. ඔහු දැන් ජීවතුන් අතර නැහැ.  බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව හා ගණිතය රස විඳීමට මට ඉගැන්වූයේ මගේ සාමාන්‍ය පෙළ දෙමළ හින්දු ගණිත ගුරුවරයා. ඔහු දැන් නවසීලන්තයේ වාසය කරනවා. මා දිනපතා මේ දෙදෙනාත් තවත් ගුරුවරුන් කිහිප දෙනකුත්් සිහි කරනවා.  සාමාන්‍ය පෙළ පන්තිවල දි මගේ  අනාගතය තීරණය වී තිබුණා. මා දැන් දන්නවා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියා. ඒත් මා තාමත් එය රස විඳිනවා. ඒ පිළිබඳ මගේ දැනුම යාවත්කාලීන කර ගන්නවා.



රාජකීය විද්‍යාලෙ ඇති කෙළේ 1835 දී කලම්බු ඇකඩමිය ලෙස. ඒ විදුහල ඇරඹුණෙ එංගලන්තයේ පෞද්ගලික පාසල් (එහෙත් පබ්ලික් ස්කූල්ස් නමින් හැඳින්වුණු පාසල්) අනුකරණයෙන්. එයට කලින් යාපනයේ ඇමරිකන් මිෂනාරීන් ඇති කළ පාසල් තිබුණා. අනුකරණය කියන්නෙ මොකක් ද කියන එක ගැන අපි පස්සෙ කතාකරමු. රාජකීය විද්‍යාලය මෙරට තිබෙන අංක එකේ පළමු ගණයේ අනුකාරක පාසල. ඒ ගැන විවාදයක් නැහැ. ඒක රජයේ පාසලක්. එහෙත් සම්ප්‍රදාය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. එය බටහිරයන් විසින් ඇති කෙරුණු පාසලක්. ඊට පස්සෙ ඇතිවුණු කතෝලික හා ක්‍රිස්තියානි  පාසල් පමණක් නොවෙයි බෞද්ධ පාසල් ද අනුකරණය කෙළේ රාජකීය විද්‍යාලය. බෞද්ධ  පාසල්වල  උදේට පන්සිල් ගත්ත දවල්ට යො වද තම් පව කිවුවා. ඒත් අතර මැද ඉගැන්නුවේ බටහිර ක්‍රිස්තියානි දැනුම. මා ඒ පාසල් හඳුන්වන්නෙ දෙවැනි ගණයේ අනුකාරක පාසල් ලෙස. ඉනුත් පස්සෙ මෑත කාලෙක දි කන්නන්ගර මහතා මධ්‍ය මහා විද්‍යාල ඇති කරන විට විදුහල්පතිවරුන් ලෙස පත්වීම් ලැබූ ගුරුවරුන් කැඳවා ප්‍රකාශ කර ඇත්තේ ඒ ගුරුවරුන් ඉගෙනුම ලැබූ පාසල් වැනි පාසල් ඇති කිරීමට. එහි තේරුම මධ්‍ය මහා විද්‍යාල තුන්වැනි ගණයේ අනුකාරක පාසල් වීම. මගේ දරුවන් යැවිය යුත්තේ කී වැනි ගණයේ අනුකාරක පාසල්වලට ද? මා ඔවුන් පාසල් නොයවා සිටිය යුතු ද?  අද වන විට පාසල් සියල්ල මෙන් රාජකීය විදුහල අනුකරණය කරනවා. බිග් මැච් නැති පාසල් හොයා ගන්න පුළුවන් ද? රාජකීය ශාන්ත තෝමස් තරගය අවුරුදු එකසිය තිස්අටක් පැරණියි. එය ලෝකයේ දෙවැනි පැරණි ම පාසල් ක්‍රිකට් තරගය ලෙස හැඳින්වෙනවා. මේ වසරේ විසාකා මියුසියස් මහා තරගයක් ද ආරම්භ වුණා. ඒ දෙකම බෞද්ධ කාන්තා පාසල් ලෙස හැඳින්වෙනවා. විසාකා රජයේ මියුසියස් පෞද්ගලික. රාජකීය රජයේ ශාන්ත තෝමස් පෞද්ගලික. නිදහස් අධ්‍යාපනයේ හැටි ඔහොම තමයි. ලෝ මෙඩිකල් ක්‍රිකට් තරගයට සයිටම් සහභාගි කර ගමු ද? කොහොමටත් නීති විද්‍යාලය විශ්වවිද්‍යාලයක පීඨයක් නො වෙයි. එය අහෝසි කරමු ද?



මගේ දරුවන් ප්‍රථම උපාධීිය සඳහා පිටරට ගොස් නැහැ. මාත් ගිහින් නැහැ. එහෙත් මා පශ්චාත් උපාධිය සඳහා පිටරට ගොස් තිබෙනවා. මගේ භාර්යාව ද දරුවන් ද පශ්චාත් උපාධි සඳහා පිටරට ගොස් තිබෙනවා. මෙහි නැති උපාධියක් ලබා ගැනීම සඳහා පිටරට යෑම පංචානන්තරීය පාප කර්මයක් නො වෙයි.  එහෙත් දෙරණ නිවේදිකාව දිගින් දිගට ම ප්‍රශ්න කෙළේ පශ්චාත් උපාධියක් සඳහා පිටරට යෑම තදබල වරදක් ලෙස පෙන්වීමටයි. ඇයට අවශ්‍ය වූයේ මා කුහකයකු බව පෙන්වීමට විය හැකියි. මගේ කාරය ගැනත් චචනයක් කිව යුතුයි. මා දැන් රිය පදවන්නේ නැහැ. එහෙත් එකල ශිෂ්‍යයන් මගේ කාරය ගැන ප්‍රශ්න කළා. ඒ මගේ ඊනියා කුහකකම ගැන කීමට. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ බිත්තිවල පොල් ගෙඩි අකුරෙන් ජාතික චින්තනය ගැන ලියා තිබුණේ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමක් ලෙස. ඒ ශිෂ්‍යයන්. අදත් මහාචාර්යවරුන් ද එවැනි කතා කියනවා. මහාචාර්යවරුන් ශිෂ්‍යයන්ගෙන් ඉගෙනුම ලබා තිබෙනවා. මෙරට බොහෝ  මහාචාර්යවරුන් අමු ම අමු අනුකාරකයන්.



බොහෝ දෙනා දන්නේ නැති වුණාට ජාතික චින්තනය කියන අදහසත් බටහිර එකක්. සභ්‍යත්ව විඤ්ඤාණය, සභ්‍යත්ව රාජ්‍යය ආදියත්් එසේමයි. ගුණදාස අමරසේකර මේ අදහස් බටහිරින් ගෙන සිංහලට පරිවර්තනය කර සිංහල පාඨකයනට හඳුන්වා දෙනවා. මා ජාතික චින්තකයකු නො වෙයි. එහෙත් මා අමරසේකරට සහාය දුන්නා. එසේ දුන්නේ මගේ ම සංකල්ප යටපත් කරගනිමින්. මා සහ අමරසේකර අතර වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් වර්තමාන දේශපාලන භාවිතයේ දී දැකගන්න පුළුවන්. 



අමරසේකරට සමාජයේ වැදගත් කමක් ලැබුණෙ සරච්චන්ද්‍ර නිසා. මාර්ටින් වික්‍රමසිංහටත් වැදගත් කමක් ලැබිලා පියදාස සිරිසේන විසිවෙලා ගියෙත් සරච්චන්ද්‍ර නිසා. සරච්චන්ද්‍රගෙ නවකතා විචාර බටහිර අච්චුවේ ම සිදුවුණා. ඔහු යළි උපන්නෙමි කෘතියට නොබෙල් තෑග්ග දෙන්න කතා කළා. ඒත් ලැබුණෙ නැහැ. සරච්චන්ද්‍රට වැදගත් කමක් ලැබුණෙ ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වූ නිසා. මා නොබෙල් තෑග්ගවත් ඔස්කාර් සම්මානවත් අගය කරන්නෙ නැහැ. ඒ සම්මාන දීමේ දී දේශපාලනය හා බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය බලපානවා. මා මෙරට අයට එවැනි සම්මාන ලැබී ඇත් ද යනුවෙන් අහන්නෙ මෙරට අනුකාරකයන් ඒ තෑගි ඉතා ඉහළින් සැලකුවත් ඔවුන්ට ඒ නොලැබෙන නිසා. ඉන්දියාවෙ අයටත් ඒ තැගි එපමණ ලැබෙන්නෙ නැහැ. ඒත් යුදෙවු ජනතාවට තම ජන අනුපාතයට නොසරිලන ආකාරයෙන් ඒ තෑගි ලැබෙනවා. එයට හේතුව චින්තන ආධිපත්‍යය. අප වැනි රටවල මහාචාර්යවරුන් මොන කතා කිවුවත් මොන තරම් අනුකාරකයන් වුණත් ඔවුන්ට බටහිර චින්තනය උකහා ගන්න අමාරුයි. ඔවුන් බටහිර සංස්කෘතියේ පිටපොත්ත පමණක් අනුකරණය කරනවා. සරච්චන්ද්‍රගෙ නාට්‍යත් පෙන්වන්නෙත් අර එක බිත්තියක් පමණක් කඩපු කාමරවල ප්‍රේක්‍ෂකයන් වටේට නොව ඉදිරියේ තබා ගෙන. මේ සියල්ල ගැන තවදුරටත් පසුව කතා කරමු.



මා කලකට පෙර මාර්ටින් වික්‍රමසිංහගෙ නවකතා අගය කළා. ඔහුගෙ නවකතා එකතුවක දීර්ඝ හැඳින්වීම ලිවුවෙ මම. ඒත් මා අද දන්නවා කයිසාරුවත්තෙලා පියල්ලා මාලින්ලා ව්‍යාජ මාක්ස්වාදී සමාජ පරිණාමනයක් අනුව ලියැවුණු හිතළු පමණක් බව. මාර්ටින් වික්‍රමසිංහගෙ ආකෘතිය පමණක් නොවෙයි අන්තර්ගතයත් අනුකරණ. මේ පොත් කීයක් බටහිර පොත්වල අනුවර්තන ද? ඒ පොත් විකුණුනෙ විශ්වවිද්‍යාල ආධිපත්‍යය යටතේ පෙළ පොත් බවට පත්වීමත් සරච්චන්ද්‍රගෙ අධිපතිවාදී බටහිර සාහිත්‍ය විචාරයත් නිසා. මටත් කලක් පිළිගැනීමක් ලැබුණෙ විශ්වවිද්‍යාල ආචාර්යකම නිසා. ඒත් මා කොළඹින් අස්කළාට පස්සෙ ඒ පිළිගැනීම අඩුවෙන්න පටන් ගත්තා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු කිවුවට පස්සෙ නාථ දෙවියන්ගෙන් හා වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගන්න පුළුවන් කිවුවට පස්සෙ ඒ පිළිගැනීම සම්පූර්ණයෙන් වගේ නැති වුණා. මගේ ඊනියා කුහකකම ගැනත් පස්සෙ කතා කරමු.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මාර්තු 15