Main Logo

Friday 24 March 2017

හුසේන් නඩුකාරයා


හුසේන් නඩුකාරයා



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් අයිතිකාරයා වූ හුසේන් ඊයේ (මාර්තු 22 වැනි දා) තම වාචික වාර්තාව ඉදිරිපත් කළා. ඔහු ලංකාව ගැනත් සඳහන් කළා. ඔහු සුපුරුදු පරිදි ආණ්ඩුව ඊනියා සංහිඳියාව ගැන දක්වන උනන්දුව ගැන පසසමින් ආණ්ඩුව ඊනියා යුද්ධාපරාධ ගැන එතරම් දෙයක් කර නැති බව පැවසුවා. ඔහු කීවේ ආණ්ඩුව රණවිරුවන්ට විරුද්ධව නඩු පවරා දඬුවම් කිරීමට (prosecute and punish) ප්‍රමාද වන බවයි. ඔහු එය ඉතා පැහැදිලි ව කියා සිටියා.




මේ නඩු පවරන්න යන්නේ 2015 ඔක්තෝම්බර් යෝජනාව අනුවයි. එය ලංකාණ්ඩුව තවත් රටවල් පහළොවක් සමග එකතු වී ඉදිරිපත් කරන ලද්දක්. ඒ යෝජනාවෙහි සඳහන් වුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය හා විදේශීය විනිසුරුවන් පත් කරන බවයි. මේ යෝජනාව ආණ්ඩුව, දෙමළ ජාතික සංධානය හා එක්සත් රාජ්‍යය (ඇමරිකාව) ඒ රාජ්‍යයේ දී හමු වී සකස් කෙරුණු බවට වාරතාවක් මාර්තු 22 වැනි දා දි අයිලන්ඩ් පුවත්පතේ පළ වූවා. එය සුමන්තිරන්ගෙන් හෙළිදරවු වූ ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තිය වැරදි බවක් ආණ්ඩුව තවම කියා නැහැ. 


එයින් පෙනෙන්නේ  දෙමුහුන් යුද්ධාධිකරණ යෝජනාව ඉහත කී පාර්ශ්ව තුනේ සහභාගීත්වයෙන් සකස් වී ඇති බවයි. අපට නම් ඒ ගැන පුදුමයක් නැහැ. අප දිගින් දිගට ම කියා ඇත්තේ බටහිරයන් මේ ආණ්ඩුව පත් කර ගත්තේ ම මහින්ද රාජපක්‍ෂ ගෙදර යවා ඉංගිරිසින් 1833 දී බෞතීස්ම කළ දෙමළ ජාතිවාදයට කප්පන් දීමට බව. ඔවුන් මහින්ද රාජපක්‍ෂටත් දඬුවම් කිරීමට බලා සිටිනවා. එහි මුල් පියවරක් ලෙසයි දෙමුහුන් අධිකරණ පිහිටුවීමට කියන්නේ. දෙමුහුන් අධිකරණ දෙමළ ජාතික සංධානයට අවශ්‍ය බව ඉතා පැහැදිලියි.



දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව වූයේ ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් රටේ ම නායකත්වයට පත් වීම. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ දෙමළ වෙල්ලාලයන් මෙරට නායකයන් බවට පත් කිරීම. මේ කතාව ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙ විස්තර කෙරී ඇති. ඉංගිරිසින්ගේ වැරදි තක්සේරුවක් මත අපට 1931 දී සර්වජන ඡන්දය ලබා දීමෙන් පසු මේ වැඩ පිළිවෙළ අසාර්ථක වුණා. 1949 දී චෙල්වනායගම් ලංකා දෙමළ රාජ්‍ය පිහිටුවා ගත්තේ රට දෙකඩ කර දෙමළ ඊළමකවත් නායකත්වය ලබා ගැනීමටයි. ප්‍රභාකරන් මේ ක්‍රියා දාමයේ එක් පුරුකක් පමණයි. කොටින්ගේ පරාජයත් සමග මේ සමස්ත ව්‍යාපෘතිය ම කඩා වැටුණා. අද බටහිරයන්ට මහින්ද හා ගෝඨාභය තමන්ට අවනත ව ප්‍රභාකරන් බේරා නොදීමේ පළිය ගැනීමට අවශ්‍යයයි.



ප්‍රභාකරන් අවසන් මොහොත (2009 මැයි 19) දක්වා ම සිතා සිටියේ බටහිරයන් පැමිණ ඔහු බේරා ගනිවි කියායි. අනෙක් කොටින්ට සයනයිඩ් කරල් ගිල්ලවූ ප්‍රභාකරන් සයනයිඩ් ගිලින්නේ නැතිව බටහිරයන් එන තුරු බලා සිටියා. එහෙත් ඔහුට කමල් ගුණරත්නගේ රණවිරුවන්ගෙන් බේරීමට නොහැකි වුණා. කොටි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටි දෙමළ ජාතික සංධානයත් එහි පුරෝගාමී පක්‍ෂත් ප්‍රභාකරන්ගේ මිනීමැරුම්වලට වගකිව යුතුයි. ආලොකො උදපාදි චිත්‍රපටිය කියන්න යන්නේ බුද්ධ භාෂිතය ග්‍රන්ථාරුඪ කිරීම වුවත් ඒ චිත්‍රපටිය නරඹන විට ප්‍රභාකරන්ගේ ඝාතන, අරන්තලාව කැබිතිගොල්ලෑව ආදිය, මතක් වෙනවා. සුමන්තිරන්ලාට මේ ඝාතන පිළිබඳ වගකීමෙන් මිදෙන්න බැහැ. ඔවුන් බටහිරයන් සමග එක් වී රණවිරුවන් හා රාජපක්‍ෂලා දඩයම් කිරීමට සැරසෙනවා.



කෙසේ වෙතත් හුසේන්ගේ මණ්ඩලය 2015 යෝජනාව ක්‍රියාත්මක කිරීමට තව අවුරුදු දෙකක් දීලා. මෛත්‍රිපාල හා රනිල් ලංකාවේ දී මොන පුරසාරම් දෙඩුවත් හුසේන් සමග ඔවුන් දෙමුහුන් අධිකරණ පිහිටුවීමට එකඟ වෙනවා. 2015 යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවුරුදු දෙකක් කල් දී ඇත්තේ එය අබමල් රේණුවකින්වත් වෙනස් නොකර. නිවට ආණ්ඩුව අපට මොනවා කිවුවත් හුසේන්ට කියන්නේ දෙමුහුන් අධිකරණ පිහිටුවීමට අවුරුදු දෙකක් කල් දීමට කියායි. හුසේන් අවුරුදු දෙක ආණ්ඩුවට දී තිබෙනවා. ඒ අතර රනිල් කියන්නේ හැත්තෑවැනි නිදහස් සමරුවට පෙර අර මොකක් දෝ ප්‍රශ්නය විසඳන බවයි.



හුසේන්ගේ ප්‍රකාශය සාවධානව අසා සිටින විට ඔහුට හා බටහිරයන්ට අවශ්‍ය කුමක් ද යන්න පැහැදිලි වෙනවා. ඔහු කීවේ දෙමුහුන් අධිකරණයේ නඩු පැවරීමක් ගැන පමණක් නො වෙයි. ඔහුට අවශ්‍ය නඩු පවරා දඬුවම් කිරීමටයි. නඩු පැවරූ පමණින් දඬුවම් දිය යුතු යැයි කියන්නේ කෙසේ ද? මෙරට උසාවිවල නම් දඬුවම් දෙන්නේ නඩුව විභාග කර අවසානයේ. හුසේන් පැමිණිළි කරු මෙන් ම විනිශ්චය කරු ද වෙලා. ඔහු මොන කරු ද? මේ දෙමුහුන් අධිකරණවලට පත්කරන ජාත්‍යන්තර විනිසුරුවන් ලියන දඬුවම් තීන්දුව ද දැනටමත් කෙටුම්පත් කර අවසන්. ඒ ගැන මහින්ද අමරවීරලාට නම් තේරුමක් නැහැ. ඔවුන්ටත් දැන් ඇත්තේ අමුතු ම නීල පට දර්ශනයක්.



ඇතැම් ජාතිකවාදීන් ද අවාසනාවකට දෙමුහුන් අධිකරණ පිහිටුවන්න කියනවා. ඔවුන් කියන්නේ හැකි නම් ඊනියා යුද්ධාපරාධ චෝදනා ඔප්පු කරන ලෙසයි. ඔවුන් බටහිරයන්ගේ ව්‍යාජ සාධාරණත්වය ගැන සිහින මවනවා. එහෙත් හුසේන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔවුන් දෙමුහුන් අධිකරණ පිහිටුවීමට බල කරන්නේ ම රණවිරුවන්ට නඩු පවරා දඬුවම් දීමට බව. අප එයට කිසිසේත් ම ඉඩ දිය යුතු නැහැ. මෙරට යුද්ධාපරාධ කර ඇත්තේ කොටි සංවිධානය හා ඔවුන්ට අනුබල දෙමින් ඔවුන් පිටුපස සිටි දෙමළ ජාතික සංධානය හා එහි පුරෝගාමී පක්‍ෂ. මිනිස් පළිහක්  යොදා ගැනීම, අවි රහිත කලාපවල සිට වෙඩි තැබීම, අරන්තලාව කැබිතිගොල්ලෑව සහ විවිධ බෝම්බ පිපිරවීම් ඒ සඳහා උදාහරණ. එහි දී මිය ගියේ රණවිරුවන් නොව සාමාන්‍ය ජනයා. මේ මිනීමැරුම් ගැන පරික්‍ෂණයක් පැවැත්වීමට වහාම කටයුතු කළ යුතුයි.







    

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මාර්තු 24