Main Logo

Friday 3 March 2017

ඇමතිවරුන් ඉවත් කිරීම හා මෛත්‍රිපාලගේ ප්‍රශ්නය


ඇමතිවරුන් ඉවත් කිරීම හා මෛත්‍රිපාලගේ ප්‍රශ්නය



පෙබරවාරි දහතුන්වැනි දා ලිපියෙහි සඳහන් කෙළේ රනිල් මෙන් ම මංගල ද ඉවත් කළ යුතු බවයි. ඒ ව්‍යවස්ථා විරෝධීව ක්‍රියා කිරීම සම්බන්ධයෙන්. මංගල ජෙනීවා ගොස් දෙමුහුන් අධිකරණය පිහිටුවීම සඳහා කල් ඉල්ලා ගනීවි. ඒකට බටහිර රටවල්, විශේෂයෙන් ම එංගලන්තය ආධාර කරාවි. එහෙත් බටහිර රටවල විසිරී සිටින දෙමළ ජනයා ඒකට එකඟ වන්නේ නැහැ. ඔවුන් ආණ්ඩුවට විරුද්ධව ජෙනීවාහි දී උද්ඝෝෂණය කරලා. ඔවුන් කියන්නේ ආණ්ඩුව ඊනියා ජාත්‍යන්තරයට බොරු කියන බවයි. ඔවුන්ට ආණ්ඩුවට ඇති නොහැකියාව පිළිබඳ අවබෝධයක් ඔවුන්ට නැහැ. ඔවුන්ට තම ඊළම පිහිටුවා ගැනීම හැර වෙනත් කිසිවක් කල්පනා වන්නේ නැහැ. එහෙත් ඔවුන්ට එංගලන්තය හා වෙනත් බටහිර රටවල ආධාරය නොලැබුණහොත් පැවැත්මකුත් නැහැ. අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නේ බටහිර රටවල් හා ඉන්දියාව මගින්. විශේෂයෙන් ම ඔවුන්ගේ ඔත්තු සේවා මගින්.




එංගලන්තයට ආණ්ඩුවට ඇති නොහැකියාව තේරෙනවා ඇති. ඔවුන් සමහර විට ඉදිරියේ දී එයින් රිංගා යන ආකාරයක් ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්න පුළුවන්. එහි දී ඔවුන්ටත් ඉන්දියාවටත් අවශ්‍ය මහින්ද දේශපාලන භූමියෙන් මුළුමනින් ම ඉවත් කිරීමයි. ඔවුන්ගේ ඔත්තු සේවා ඒ පිළිබඳ ව දිගින් දිගට ම කටයුතු කරනවා. කිසියම් ක්‍රමයකින් මහින්ද දේශපාලනයෙන් ඉවත් කළහොත් බටහිර රටවල් ඊනියා යුද්ධාපරාධ චෝදනා අමතක කරාවි. යුද්ධාපරාධ චෝදනා අවශ්‍ය වන්නේ මූලික ව මහින්දට දඬුවම් කිරීමටයි. ප්‍රජා අයිතීන් අහෝසි කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ  මහින්දට දඬුවම් කළහොත් බටහිර රටවල් ඊනියා යුද්ධාපරාධ චෝදනා ගැන සැලකිලිමත් නො වේවි. බටහිරයන් එක් කරුණක් අමතක කරනවා. මෙහෙයුම්වල අවසාන සතියේ දී වැඩබලන ආරක්‍ෂක ඇමති වූයේ මෛත්‍රිපාල බව! ඊනියා යුද්ධාපරාධවලට වගකිව යුත්තේ මෛත්‍රිපාල ද?



ආණ්ඩුවට නීතියෙහි හිලක් සොයා ගත්තේ නැත්නම් ජෙනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට බැහැ. ආණ්ඩුව ඒ යෝජනාවලට අනුග්‍රහය දක්වමින් ඊනියා යුද්ධාපරාධ ගැන  පරීක්‍ෂා කිරීමට විදේශීය විනිසුරුවන් සහිත ව දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට එකඟ වුණා. එය සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථා විරෝධීයි. ජනතාව සතු පරමාධිපත්‍යයෙහි අධිකරණ බලය විදේශීය විනිසුරුවන්ට පැවරීමට බැහැ. ජෙනීවා යෝජනාවට අනුග්‍රහය දැක්වීම ගැන මංගල ඉවත් කරන්න පුළුවන්. මංගල එය තනියම කළා යැයි හිතන්න බැහැ. ඔහුට රනිල්ගේත් සහාය ලැබෙන්න ඇති. ඉවත් කළ යුත්තේ රනිල් හා මංගල යන දෙදෙනාවයි.



බැඳුම්කර සිද්ධියේ දී හෙළිදරවු වන තතු අනුව  අදාළ ඇමතිවරයා කර ඇත්තේ ඉතා කූට වැඩක්. අදාළ ඇමතිවරයා රවි නම් ඔහු ද ඉවත් කිරීමට අවශ්‍ය තරම් හේතු තිබෙනවා. අදාළ ඇමති රවි වුවත් ඔහුට රනිල්ගේ සහාය ලැබෙන්න ඇති. අනෙක් අතට මහා බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කිරීමෙන් පසු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සම්පූර්ණ වගකීම අගමැති මත පැටවෙන්න ඉඩ තියෙනවා. කූට ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට දඬුවම් දිය යුතුයි. ඔවුන්ගේ ඇමතිකම් අහෝසි කළ යුතුයි. වරද නිලධාරියකුගේ පිටින් යවා ගැලවීමට ආණ්ඩුව තැත් කරාවි. ඒකාබද්ධ විපක්‍ෂය ද මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දියාරු පිළිවෙතක්. ඔවුන් ගැසට් නිවේදනය ශූන්‍ය කිරීම සඳහා පමණක් අධිකරණයට යෑමට බලාපොරොත්තුවන බවක් පේනවා.



ජනාධිපතිට ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය යටතේ ඇමතිවරුන් ඉවත් කළ හැකියි. එහි දී ජනාධිපති අගමැති විමසීමක් පවා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමතිවරුන් පත් කිරීමේ බොහෝ බලතල ජනාධිපතිගෙන් අගමැති පවරා ගත් නමුත් ඇමතිවරුන් වෙනස් කිරීම ජනාධිපතිට අවශ්‍ය අන්දමට කරන්න පුළුවන්.  දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී එ ජා පක්‍ෂයට එය අමතක වුණා ද, එය කෙසේවත් වෙන එකක් නැතැයි සිතා එලෙස තිබෙන්න ඇරියා ද යන්න පැහැදිලි නැහැ.



ඒ කුමක් වුවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය කිරීමේ බලතල ජනාධිපති සතුයි. අගමැතිට නොදන්වා ඒ කළ හැකියි. අගමැතිත් වෙනස් කර වෙනත් අයකු අගමැති ලෙස පත් කළ හැකියි. ජනාධිපතිට ඒ බලය ව්‍යවස්ථාවෙන් හිමි වන නමුත් මෛත්‍රිපාල ඒ බලය යොදා ගනීවි ද යන්න ප්‍රශ්නයක්. ඔහුට විධායක බලතල තිබුණත් ජන පදනමක් හෝ පක්‍ෂයක ශක්තියක් නොමැති වීම එහි දී බලපාන ප්‍රධාන ම ගැටළුවයි.



මෛත්‍රිපාලගේ ප්‍රශ්නය ඔහු ජනාධිපති ලෙස ජයග්‍රහණය නො කිරීමයි. ඔහු ජනාධිපති වූ බව ඇත්ත. එහෙත් එසේ වූයේ ඔහුගේ ඡන්දවලින් හෝ ශ්‍රී ල නි පක්‍ෂයේ ඡන්දවලින් හෝ නොව වෙනත් පක්‍ෂවල ඡන්දවලින්. ඔහු ජනාධිපති වෙලත් තවමත් මහින්දට හිමි බලය ඔහුට නැහැ. මෛත්‍රිපාලට බලය අවශ්‍ය නම් මහින්ද සමග එකතු විය යුතුයි. එහෙත් දෙදෙනා ම ඒ යෝජනාවට  එකඟ නොවන බවත් පැහැදිලියි. ඇතැම් ඇමතිවරුන් යටතේ ඉන්න එක මහින්ද යටතේ සිටීමට වඩා යහපත් වන්නේ කෙසේ දැයි මෛත්‍රිපාල තේරුම් කරනවා ද? තමා ජනාධිපති කළ බටහිරයන්ට හා විශේෂයෙන් ම ඉන්දියාවට විරුද්ධව යෑමට ඔහුට නොහැකි ද? 



අද රිවිර පුවත්පත මේ පිළිබඳ වාර්තාවක් පළ කර තිබෙනවා. එය පහත සබැඳියෙන් කියවිය හැකියි.  





http://www.rivira.lk/epaper/daily/fri/2017/03/03/index.html#4









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                               

නලින් ද සිල්වා



2017 මාර්තු 03