Main Logo

Monday, 6 March 2017

ජෝතිපාල - සිරිසේන  


ජෝතිපාල - සිරිසේන



දශක දෙකකටත් වඩා ඉහත ඉරිදා දිවයින පුවත්පතේ පිචං ප්‍රබුද්ධ සංවාදයක් තිබුණා. ඒ සංවාදය ඇතිවුණේ එච් ආර් ජොතිපාල අපි පීචං ද කියා ඇසීමෙන්. ඒ දිනවල ජෝතිපාල පීචං කොහොම වෙතත් ප්‍රබුද්ධ නොවන ගායකයකු ලෙසයි හැඳින්වුණෙ. මාත් ඒ සංවාදයට එක් ලිපියක් ලිවුවා මතකයි බාග ප්‍රබුද්ධයකු ලෙස. දැන් නම් මා කිසිම පැකිළීමක් නැතිව කියනවා මා ප්‍රබුද්ධයකු නොවෙයි කියා. ප්‍රබුද්ධයා ද පීචං ද යන්නත් සාපේක්‍ෂයි. පවත්නා සමාජ ඒකාධිකරයට, සංස්ථාපනයට අවශ්‍ය දේ කියන අය ගීත ගායනය කරන අය නවකතා ලියන අය, වෙදකම් කරන අය, ගොවිතැන නොව කෘෂිකාර්මික වැවිල්ල කරන්නන් ප්‍රබුද්ධයන්. පීචං ප්‍රබුද්ධ මිනුම් දණ්ඩ සකස් කෙරෙන්නේ ඒකාධිකාරයට අවශ්‍ය අන්දමටයි. දේශපාලනයේ දී ද ඒ එසේමයි. ඩී එස් ලා බණ්ඩාරනායකලා ජේ ආර් ලා රනිල් ලා පමණක් නොව පිලිප්ලාත් ඇන් ඇම්ලාත් වික්‍රමසිංහලාත් ප්‍රබුද්ධයි. මා පීචං දේශපාලනඥයන් ගැන කියන්නේ නැහැ. මා ඒ මිනුම් දණ්ඩ තවත් මිනුම් දණ්ඩක් පමණක් ලෙස සලකනවා. ඒ මිනුම් දණ්ඩ ඊනියා වාස්තවික මිනුම් දණ්ඩක් නො වෙයි. කිසිම මිනුම් දණ්ඩක් ඊනියා වාස්තවික නැහැ.




ඒ කොහොම වුණත් ජෝතිපාලට එදා ඒ මිනුම් දණ්ඩ අනුව ප්‍රබුද්ධයකු වන්න බැරි වුණා. ඊනියා ප්‍රබුද්ධයන් අතර ඔහු ජීවත් වුණේ නැහැ. ඒත් සාමාන්‍ය ජනයාගේ ප්‍රියතම ගායකයා වූයේ ඔහු. එකල සුභාවිත ගීතය විශ්වවිද්‍යාල වටා සිටි ප්‍රබුද්ධයන් අතර ජනප්‍රිය වුණා. ඒත් ඊටත් එහා ගිය ප්‍රබුද්ධයනුත් හිටියා. රූපවාහිනී නිවේදකයන්ට අනුව නම් භාරතීය රාගධාරී සංගිතය, බටහිර ශාස්ත්‍රීය සංගිතය පරතෙරට හදාරා තිබූ අයට සුභාවිත ගීතයත් එතරම් ප්‍රබුද්ධ වුණේ නැහැ. ඒත් ඔවුන් සමාජයේ ඉතාමත් අල්ප පිරිසක්. එමෙන් ම පරතෙරට හැදෑරූ කියන එකටත් ඊනියා ප්‍රමිතියක් නැහැ. එය නිවේදකයන්ගේ මුව අග තියෙන සමාජ සම්මුතියක් පමණයි.



එකල ප්‍රබුද්ධ මිනුම් දණ්ඩ සකස් කෙරුණේ විශ්වවිද්‍යාලයේ උපදෙස් පරිදි ගුවන් විදුලිය ආශ්‍රීත ව. එහි ස්වදේශීය සේවය සාමාන්‍යයෙන් ප්‍රබුද්ධයි. වෙළෙඳ සේවය පීචං. එහෙත් පෞද්ගලික විද්‍යුත් නාලිකා බිහීවුණාට පස්සෙ මිනුම් දණ්ඩ වෙනස් කෙරුණා. ගීතයේ ප්‍රබුද්ධ පීචං වෙනස නැති වුණා. සම්භාව්‍ය ප්‍රබුද්ධත්වය නැති වුණේ නැහැ. එහෙත් එවැනි ප්‍රබුද්ධයන් ඉතා අල්පයි. එය ලංකාවේ සමාජයට දැනෙන්නෙවත් නැහැ. සුභාවිත ගීතය ටිකෙන් ටික ආධිපත්‍යයෙන් බැස ගියා. අද වන විට හැමෝම වගේ ජෝතිපාල අගයනවා. අද ඊනියා පීචං ගීත ප්‍රබුද්ධ කියන ගායක ගායිකාවොත් ගයනවා. සමහරකුට හිතෙන්න පුළුවන් ඊනියා පීචං ගිත අද යම් ආධිපත්‍යයක් දරණවා කියාත්. ඒ තරමට එය ඉදිරියට පැමිණිලා. සුභාවිත ගීතය නැවත පණ ගැන්වීමේ කතාත් ඉඳහිට ඇහෙනවා. එහෙත් ඒ අතර ඔවුන් ම කනට නොව කකුල් දෙකට (නටන්න) සිංදු කියන්න ඕන කියලත් කියනවා.



මෙය මුදල් ප්‍රශ්නයක් ම නො වෙයි. මිණුම් දණ්ඩ පිළිබඳ ප්‍රශ්නයක්. තවමත් දහනවවැනි සියවසේ ජීවත්වන කසිකබල් මාක්ස්වාදියකු කියන්න පුළුවන් සියල්ල තීරණය වන්නේ ආර්ථිකය මත කියලා. මිණුම් දණ්ඩ වෙනස් කෙරුවෙ ආර්ථිකය නො වෙයි. මෙතන තියෙන්නෙ සමාජ පිළිගැනීම. ඒ පිළිගැනීම ලබා දෙන්න මුල් වුනෙ පෞද්ගලික විද්‍ය්‍රත් මාධ්‍ය. ඒ වුණත් බහුතරයකට එය අවශ්‍ය වෙලා තිබුණා. සිංහලයන් පුරුදු වෙලා තියෙන්න අහන්න මිසක් කියවන්න නො වෙයි. පැය ගණන් අහගෙන ඉන්න මිනිසුන් පේළි දහයක් කියවන්න සූදානම් නැහැ. ලංකා ගුවන් විදුලි සේවය විශ්වවිද්‍යාල පිහිටෙන් අසන්නන් කෙරෙහි පවත්වාගෙන ගිය ඊනියා ප්‍රබුද්ධ ආධිපත්‍යය පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය මගින් බිඳ දැමුණා. බහුතර ජනතාවත් බලන් හිටියෙ අසන්නන් කෙරෙහි පතුරවපු ආධිපත්‍යය බිඳ දමන තෙක්. එහෙත් මේ බිඳ වැටීම කෙරුණෙ බටහිරට ඕන විධියට. දේශීය සංගිතයකට ඊනියා ප්‍රබුද්ධත්වය ලැබුණේ නැහැ. බටහිර එක් මිනුම් දණ්ඩක් වෙනුවට වෙනත් මිනුම් දණ්ඩක් දුන්නා.



මා මේ පීචං ප්‍රබුද්ධ දෙකෙන් එකක්වත් පිළිගන්නේ නැහැ. ඔවුන් දෙගොල්ලන් ම කරන්නෙ බටහිර අනුකරණය. අවසානයේ දී ආධිපත්‍යය දරන්නේ බටහිරයන්. මෙය හොඳින් ම තේරෙන්නෙ නවකතා දිහා බැලීමේ දී. ජෝතිපාල ප්‍රබුද්ධයකු ලෙස පිළිගැණුන ද පියදාස සිරිසේන එසේ පිළිගැනෙන්නේ නැහැ. පියදාස සිරිසේන පිළිගැනීමට ලක් කිරීම සඳහා මිණිවන් පී තිලකරත්න උත්සාහයක් ගත්තත් පේරාදෙණිය මිණිවන් පී තිලකරත්න පිළිගත්තෙත් නැහැ. සාහිත්‍යයේ ඊනියා ප්‍රබුද්ධයන් සිරිසේන නවකතාකරුවකු ලෙසවත් පිළිගත්තේ නැහැ. බටහිර ඊනියා නවකතා මිණුම් දණ්ඩ අනුව පියදාස සිරිසේන ලියා ඇත්තේ නවකතා නොවේය යන්න ඊනියා ප්‍රබුද්ධ මතය වුණා. එය බටහිර අනුකරණය මිස වෙනත් දෙයක් නො වෙයි.



මෙරට අසන්නන් තරමට කියවන්නන් නැහැ. මෙරට බණකතා සාහිත්‍යයක් තියෙනවා. එය අවුරුදු දහස් ගණනක් පැරණියි. බණකතා කියවන පිරිසක් මේ රටේ ඉන්නවා. ඔවුන් අතර බණකතා පොත් අළෙවි වෙනවා. ඒත් ඔවුන් සුළුතරයක්. ඔවුන්ට කිසිම ආධිපත්‍යයක් නැහැ. පියදාස සිරිසේන අනුකාරකයෙක් නො වෙයි. ඔහු කළ ප්‍රධාන ම වරද අනුකාරකයකු නොවීමයි. ඔහු බටහිර නවකතා බණකතා සාහිත්‍යයට ගැණීමට උත්සාහ කළා. ඔහුගේ පොත් එකල, ධර්මපාලතුමා සිටි කාලයේ, විකුණුනා. එහෙත් බටහිර අනුකාරකයන් නවකතාවේ ආධිපත්‍යය අතට ගැනීමෙන් පසු පියදාස සිරිසේන කීතු කීතු කර දැම්මා. බණකතා කියවූ අයට සමාජ බලයක් තිබුණේ නැහැ ඊනියා ප්‍රබුද්ධයන්ට අභියෝග කිරීමට. ඔවුන්ට ලංකා ගුවන් විදුලියෙන් පමණක් නොව පසුව ඇති වූ පෞද්ගලික විද්‍යුත් ජනමාධ්‍යයෙනුත් පිහිටක්  ලැබුණේ නැහැ. ඔවුන් බණකතා කියවීමට පමණක් යොමු වුණා.



ඒ අතර ඊනියා ප්‍රබුද්ධයන් නවකතා ක්‍ෂෙත්‍රයෙහි බඩපිනුම් ගැසුවා. බටහිර වචන සිංහලෙන් වමාරමින් ප්‍රබුද්ධ හරඹය දිගින් දිගට ම ගෙන යනවා. පියදාස සිරිසේන තාමත් පීචං. ජෝතිපාල පීචං තත්වයෙන් ගොඩ ආවෙ ඔහු දේශීය නොවුණු නිසා. බටහිර ම මිනුම් දණ්ඩක් අනුව විශ්වවිද්‍යාලය ඔහු පීචං කර තිබුණත් තවත් බටහිර මිනුම් දණ්ඩකට අනුව ඔහු ජනප්‍රිය (පොප්) ගායකයෙක්. පෞද්ගලික විද්‍යුත් ජනමාධ්‍ය මේ බටහිර පොප් මිනුම් දණ්ඩ ඉස්මතු කළා. එයට බහුතර අසන්නන් (නටන්නන්) පිරිසක් ද සිටියා. ඒත් පියදාස සිරිසේන ඉස්මතු වෙන්න බටහිර මිනුම් දණ්ඩක් නැහැ. ඔහුට සිටි පාඨකයන්ට සමාජ බලයකුත් නැහැ. ධර්මපාලතුමා පරාජය වුණාට පස්සෙ පියදාස සිරිසේනට කිසිම සමාජ බලයක් තිබුණෙත් නැහැ. ඔහු බටහිර මිනුම් දණ්ඩෙන් හැමදාමත් පීචං. සිංහල වෙදමහත්තුරු වගේ ම පීචං. අප වැන්නන් මෙන් ම පීචං. බටහිර ආධිපත්‍යය එහෙමයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                               

නලින් ද සිල්වා



2017 මාර්තු 06