Main Logo

Tuesday 12 April 2022

දියසේන කුමාරයා එන්නෙ නැහැ

 දියසේන කුමාරයා එන්නෙ නැහැ

 

දියසේන කුමාරයා එන්නෙ නැහැ. සුද්දට පාර වැරදිලා. නැත්නම් කුමාරයා මෙලහකට ආතල්ගමට ඇවිල්ලා. සමහරු අධිෂ්ඨාන පූජාවල කියල දියසේන කුමාරයට ඉඩ දීල ගෝඨාභය යන්න ඕන කියල. මනුෂ්‍ය නොවන ප්‍රාණියකු එසේ කී බවයි කියන්නෙ. අද වන විට භූතයන් රාශියක් ඒ ඒ අයට පණිවුඩ දෙන බව දැන ගන්නට ලැබුණා. ශක්‍රයා මනුෂ්‍ය ලෝකෙට එහෙම එන්නෙ නැහැ.  බෝසතාණන් වහන්සේ කෙනකුට ආධාර කරන්න නම් එන්න පුළුවන්.

 

දියසේන කුමාරයා ගැන පළමුව අහන්න තියෙන්නෙ කෝට්ටෙ යුගයෙ ලියැවුණු පැරකුම්බා සිරිතෙ කියා සමහර උගතුන් කියනවා. පැරකුම්බා සිරිතෙහි කතෘ අඥාතයි. ඇතැමුන් කියන්නෙ තොටගමුවෙ රාහුල හාමුදුරුවන්ගෙ කෘතියක් කියල. රාහුල හාමුදුරුවො ඕක ලිවුව නම් නොකිය ඉන්නෙ නැහැ. ඇතැමුන්ට අනුව එය පැරකුම්බා රජුගෙ අන්තඃපුර කාන්තාවකගෙ කෘතියක්. එය වෙන්න පුළුවන්.

 

ඒ කෘතියෙහි කියන විධියට අවුරුදු දෙදහස් පන්සීයක් ගිය කල දියසෙන් කුමරු එනවා. මට තේරෙන විධියට කවද ඉඳන් ද කියන එක නිශ්චිත නැහැ. අනෙක් අතට අවුරුදු දෙදහස් පන්සීයයක් ගියාම දියසෙන් ඉපදෙනවාද නැත්නම් රජ වෙනවා ද සක්විති වෙනවා ද යන්න සඳහන් වෙන්නෙ නැහැ. සිංහල සංස්කෘතියෙහි ඇති නිශ්චිත නොවන බව අදාළ කවියෙ තියෙනවා. ඒ නිසා ඒ ඒ අය තමන්ට ගැලපෙන විධියට කවිය අර්ථකථනය කරනවා. ඇතැමුන් එය 1956 ට එන විධියට ගණන් බැලුවා. දියසෙන් බණ්ඩාරනායක මහතා කියල කිවුව. ඒ දවස්වල මැතිවරණය පැවැත්වුණෙ 1956 අප්‍රේල් මාසෙ අවුරුද්දට කලින් දින තුනක. මා එකල කුඩා දරුවෙක්. ඒ දිනවල කුඩා වීදුරු වගයක් තනලා තිබුණ ඒවට වතුර දැම්මම බණ්ඩාරනායක මහතාගෙ රූපය පේන විධියට. කවුද දියසේන කියන වචනයෙ දිය යන්න වතුර හැටියට අරගෙන. අප කුඩාවුන් වීදුරුවලට වතුර දාල දියසෙන් දැක ගත්තා.  නැහැ ආතල් ගත්තෙ නැහැ. ආතල්ගම තිබුණෙත් නැහැ.

 

මට නම් හිතෙන්නෙ අන්තඃපුර කාන්තාවක් පැරකුම්බා සිරිත ලියන්න ඇති කියා. අවුරුදු දෙදහස් පන්සීය ගණන් බැලුවෙ කවදා ඉඳන් ද කියන්න බැහැ. ඒක හොයන්න ඕන. සමහර විට කුවේණි හිටියෙ පැරකුම්බා රජුට අවුරුදු දෙදහස් පන්සියකට පෙර වෙන්න පුළුවන්. එය මගේ හිතළුවක් පමණයි. ඒකට කමක් නැහැ. මට සිංහල ඉතිහාසය ගැන තරමක වෙනස් කතාවක් තියෙනවා.

 

ඒ කුමක් වුණත් මෙවර දියසේන බලාපොරොත්තුවෙන් හිටියෙ කාගෙවත් අන්තඃපුරයක කාන්තාවක් වෙන්න බැහැ. සජිත්ටවත් අනුරටවත් රනිල්ටවත් අන්තඃපුරයක් තියෙන බවට ආරංචියක් නැහැ. මෙවර දියසේන බලාපොරොත්තු වුණෙ අර සර් ෆේල් පාඨය නිර්මාණය කරපු එංගලන්තෙ සුද්දා. මේ කතාව මා කිහිප විටක් ලියල තියෙනවා. සර් ෆේල්, පාස්කු ප්‍රහාරය, ගෝටා ගෝ එක ම ප්‍රවාහයක්. සුද්දන්ට වියුක්ත සංගත කතාවක් හදා ගන්න බැරි වෙලා. අද කාදිනල්තුමයි අර මුස්ලිම් කාන්තාවයි මුස්ලිම් කතෝලික සහෝදරත්වයක් ගැන කියනවා. ඒ මුස්ලිම් කාන්තාවට අනුව පාස්කු බෝම්බය මේ ආණ්ඩුව සැලසුම් කරල තියෙන්නෙ අර යසට තිබුණු මුස්ලිම් කතෝලික සහෝදරත්වය බිඳින්න. එක ම දෙවියන් වහන්සෙ නොවැ අදහන්නෙ. 

 

ඒ කොහොම වෙතත් අද අරගලය ගෝඨාභය ඉවත් කරන්න. ගෝඨාභය ඉවත් කරන්න ඔහු කළ වරද කුමක් ද? දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ද? වසංගතය ඉවරයක් කිරීම ද? එංගලන්තෙ සුද්දට නම් ඒව ගෝඨාභය ඉවත් කිරීම සඳහා හේතු.   චතුර අල්විස් නම් කියන්නෙ ආණ්ඩුව අද ප්‍රශ්නය ගැන සංවේදී නැහැ කියල. ඔහු කියන්නෙ ආණ්ඩුව ප්‍රශ්නය ගණන් ගන්නෙ නැතුව ඉන්නව කියල ද? ඊයේ අගමැති මහින්ද කිවුවෙ ආණ්ඩුව ප්‍රශ්නය විසඳන්න උත්සාහ ගන්න බව. එහෙත් ආණ්ඩුවට තබා විපක්‍ෂයටවත් චතුරටවත් ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව. ජාමුලට ගිහින් ණයක් ගන්න බලමු. ණය ගෙවීම කල් දාගන්න බලමු. අහවල් දවසෙ රුපියල පා කරන්න කියන්න පුළුවන් ආර්ථික විද්‍යාවක් තියෙනවා ද?   ප්‍රශ්නය ඇති කෙළෙ අපි ඔක්කොම. අපේ අධිපරිභෝජනය, අපේ බොරු ෂෝක්, අපේ බොරු උගත්කම. අද මොන උගතට ද විසඳුමක් තියෙන්නෙ.

 

එංගලන්තෙ සුද්ද කැමති නැහැ සජිත් හරි අනුර හරි හර්ෂ හරි එරාන් හරි ජනාධිපති කරන්න. ඒ කවුරුන්වත් සුද්දට දියසේන නො වෙයි. ඇතැම් තරුණ තරුණියන් තම පෞද්ගලික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කටයුතු කරන බව පේනවා. මෙය අද ඊයේ ප්‍රශ්නයක් නො වෙයි. හැමදාමත් වගේ ඒ ඒ අය පෞද්ගලික ප්‍රශ්න නිසා ඊනියා ක්‍රමය වෙනස් කරන්න කතා කරනවා. ලංකාවෙදි ප්‍රශ්න නොතිබුණු එන් එම් සහෝදරයා එංගලන්තෙ ගිහින් තමන්ට අසාධරණකම් වෙන කොට මාක්ස්වාදියකු වුණා. ලංකාවෙ විවිධ කුල ප්‍රශ්න තියෙන අය සිංහල බෞද්ධ සංස්කෘතියට ඒ සම්බන්ධයෙන් පහර දෙනවා.

 

අද ආතල්ගමේ තරුණ තරුණියොත් ඒ වගේමයි. පහුගිය අවුරුදු තිහක හතළිහක කාලයක වල්මත් වී හසරක් නුදුටු තත්වයකට පත් වුණෙ මධ්‍යම පාංතික තරුණ තරුණියන්. විශේෂයෙන් ම මධ්‍යම පංතියෙ ටිකක් ඉහළ ඉන්න අය. ඔවුන්ට ලැබුණෙ දෙමව්පියන්ගෙන් ඈත් කරන ගුරුහුරුකම්. සිංහල සංස්කෘතියෙන් ඇත් කරන උපදෙස්. ඔවුන් අර පරණ තාලෙ විප්ලවවාදී තරුණයන් නො වෙයි. කොහොමත් ඒ පරණ විප්ලවවාදීනුත් අසාර්ථක වෙලා. අද මධ්‍යම පාංතික තරුණ තරුණියන් තමන්ට විසඳගන්න බැරි ප්‍රශ්න හා ආණ්ඩුව අතර සම්බන්ධයක් දකිනවා. ඔවුන් ආතල්ගමට ඇවිත්. එංගලන්තයෙ සුද්දගෙ එක ට්විටර් පණිවුඩයකින් ඔවුන් මෙහෙයවන්න පුළුවන්. මේ අරගලයෙ මහා විභවයක් තියෙනව කියල හිතන සජිත් අනුර වැන්නන් දියසේන කුමාරයා වෙන්න හදනවා. ඔවුන් පෙන්නන්න හදනවා තමන් තමයි නායකත්වය දෙන්නෙ කියල. ඒත් එංගලන්තෙ සුද්ද ඒකට කැමති නැහැ. ඒ නිසා සජිත්ට අනුරට තම ඕන එපාකම් ඉටු කර ගන්න බැහැ.

 

සුද්දට ඕන රනිල්. ඒත් රනිල් අද තනි වෙලා. ඔහු ඇමති මණ්ඩලේට තල්ලු කරන්න වෑයමක් තිබුණා. වජිර අකිල ආදීන් රනිල් උස්සන්න හැදුවා. ඒක හරි ගියෙ නැහැ. රනිල්ට දියසේන වෙන්න බැහැ. දියසේන කුමාරයා එන්නෙ නැහැ.