Main Logo

Saturday 23 April 2022

මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයේ මහා මොළකරු

 

මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයේ මහා මොළකරු

 

මේ සමග පළවන්නේ පසුගිය දා මහනායක හිමිවරුන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක්. ඒ ගැන නොයෙකුත් කතා රටේ පැතිර යනවා. ඒවා හුදෙක් කතා නො වෙයි. මට මෙහි නම් සඳහන් කිරීමට නොහැකි කිහිප දෙනකු ම ඒ නිවේදනයෙහි ව්‍යාජ භාවය තහවුරු කළා. මේ ගැන පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු යැයී මා අදහස් කරනවා.

 

මේ සිද්ධිය මල්වතු අස්ගිරි පාර්ශ්වයන් භේද කිරීමට කරන ලද්දක් ද යන සැකය ද මතු වෙනවා. සංඝ භේදය ආනන්තරීය පාපයක්. එහෙත් ඇතැමුන්ට එය ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය තම තමන්ට වුවමනා අය බලයට පත් කිරීමයි.  මේ ප්‍රකාශය නිකුත් කර ඇත්තේ රටටයි. එබැවින් ඒ ගැන විමසිලිමත් වීමට සියල්ලන්ට ම හැකියි. එය මල්වතු අස්ගිරි විහාරවලට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නො වෙයි. මහානායක හිමිවරුන්ගේ ඒ ප්‍රකාශයට ආණ්ඩුව අවනත වී නැති බවක් ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. ඒ ආණ්ඩුව මහානායක හිමියන් කියන දෙයකටවත් ආණ්ඩුව ඇහුම්කන් නොදෙන බව රටට කීමටත් එමගින් ආණ්ඩුව කෙරෙහි ජනතාව තව තවත් කලකිරවීමටත්. එහෙත් ප්‍රශ්නය මේ ලියවිල්ල (ප්‍රකාශය) වලංගු එකක් ද යන්නයි. ආණ්ඩුව ව්‍යාජ ලේඛනයක් පිළිගත යුතු ද යන ප්‍රශ්නය පැන නගිනවා.

 

මේ ප්‍රකාශයට ඉතිහාසයක් තියෙනවා. මට දැන ගන්නට ලැබී ඇති ආකාරයට  ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥයකු ප්‍රකාශය සකස් කිරීම සඳහා නුවර ගොස් තියෙනවා. සමහර විට ඕමල්පේ සෝභිත හිමියන් සහ එහිමියන් හොඳින් දන්නා විජේදාස රාජපක්‍ෂ මහතා ඒ පුද්ගලයා ගැන දන්නවා ඇති. පසු දිනෙක මල්වතු විහාරස්ථ පන්සලක සෝභිත හිමියන්ගේ ද සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශය මාධ්‍යට නිකුත් කර තියෙනවා. ඒ මාධ්‍ය හමුවට අස්ගිරි විහාරය සහභාගි වී නැති බවයි දැන ගැනීමට තියෙන්නෙ. ප්‍රකාශයෙහි අර ජනාධිපති නීතිඥයා සමග පැවති මූලික සාකච්ඡාවේ දී එකඟ වූ කරුණුවලට පිටින් ගොස් කරුණු එකතු  කර තිබූ බව කියැවෙනවා. 

 

මාධ්‍ය හමුවේ දී බෙදා දෙන්නේ ප්‍රකාශයේ මුල් පිටපත නො වෙයි. එය තේරුම් ගන්න පුළුවන්.  මුල් පිටපත දෙන්න බැහැ. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ එසේ බෙදා දෙන ඡායා පිටපත්වලින් අත්සන් සහතික කර ගන්න බැරි වීමයි. එහි ඇත්තේ මුල් පිටපතේ අත්සන්වල ඡායා පිටපත් පමණයි. මුල් පිටපතෙත් ඡායා අත්සනක් තිබුණ නම් බෙදා දෙන පිටපත් මගින් එය දනගන්න බැහැ. ප්‍රකාශයෙහි මුල් පිටපත ඇත්තේ කා ළඟ ද කියා මා දන්නේ නැහැ. අද අවශ්‍ය ඒ මුල් පිටපත සොයා ගෙන එහි අත්සන්වල විශ්වාසනීයත්වය පරීක්‍ෂා කිරීමයි.

 

මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ පරීක්‍ෂණය ඉක්මණින් කරන්න කියා. කිසිවකු නැවත අත්සන් ගැනීමට උත්සාහ කළොත් එය වැළැක්විය යුතුයි. කෙසේ වුණත් එලෙස අත්සන් ගත්තත් ඒ බව දැන ගැනීම විශාල ප්‍රශ්නයක් නො වෙයි. මා මේ කරුණු සඳහන් කරන්නේ අද ඇති ගෝටා ගෝ ව්‍යාපාරය පිටුපස ඉන්නේ කවුදැයි තේරුම් ගැනීමටත් එය ඉවහල් වෙන නිසා.  ගෝටා ගෝ අවසන් වන්නේ බුද්ධා ගෝ කියා. මෙය අවුරුදු හැත්තෑවක ආර්ථික අර්බුදය වසංගතය යුක්‍රේන යුද්ධය ආදී කරුණු නිසා උග්‍ර වීම පිළිබඳ ප්‍රශ්නයක්. මේ සම්බන්ධ දත්ත මා කලින් ලිපිවල සඳහන් කර ඇති. දිනපතා පළ වූ ඒ ලිපි කාලය වෙබ් අඩවියේ (www1.kalaya.org) කියවන්න පුළුවන්.

 

දේශපාලන ප්‍රශ්නය නම් පටන් ගත්තේ ආසන්න වශයෙන් නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග. ඉතිහාසයට යන්නේ නම් බ්‍රවුන්රිග් සමග. බ්‍රවුන්රිග් කියා සිටියේ හාමුදුරුවරුන් ඉන්නා තෙක් තමන්ට රට යටත් කරගන්න බැරි බව. 1815 දී අප රවටා ගිවිසුමකින් බ්‍රවුන්රිග් දේශපාලන බලය ගත් නමුත් හාමුදුරුවරුන් හා සිංහල බෞද්ධ ආධ්‍යාත්මය පරාජය කරන්න බැරි වුණා. ලන්දේසීන් හා ඉංගිරිසින් අප කුලවලට කොටු කර හාමුදුරුවරුන් නිකායවලට කොටු කිරීමට කටයුතු කළත් අප සිංහල බෞද්ධකම වටා එක් වුණා. එහෙත් අප ක්‍රමයෙන් දුර්වල වුණේ ඉංගිරිසි යටත්විජිත අධ්‍යාපනය නිසා. අවාසනාවකට නිදහස් අධ්‍යාපනයෙන් ඉංගිරිසි ස්වාමියාගේ හඬ පමණක් බවට පත් වූ හිතන්න බැරි ඊනියා උගතුන් පිරිසක් බිහි කෙරුණා. මේ ඉංගිරිසි අධ්‍යාපනය ලත් ගිහි උගතුන් දහනවවෑනි සියවසේ අග භාගයේ දී බෞද්ධ නායකත්වය හාමුදුරුවරුන්ගෙන් ලබා ගත්තා. අද අප අත් විඳින්නේ එහි ප්‍රතිඵලයි.

 

බ්‍රවුන්රිග්ගේ මුණුබුරන් අද උත්සාහ ගන්නේ තම මුත්තාට අවශ්‍ය වූ හාමුදුරුවරුන් නැති කිරීම නැත්නම් උන්වහන්සේලාගේ බලය බිංදුවට බස්සා මෙරටින් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමටයි. එවිට අප මුළුමනින් ම යටත්විජිතයක් වේවි. දකුණූ කොරියාවක් බවට පත්වේවි. එදා බෞද්ධ රටක් වූ දකුණු කොරියාව අද ක්‍රිස්තියානි රටක්. අද රටේ මේ ඊනියා විරෝධයේ ආගමික නායකත්වය දරන්නේ ඕමල්පේ සෝභිත හිමියන්වත් නොව කාදිනල්තුමායි. එය අනාගතය පිළිබඳ ව අප හිතන්න යොමු කරනවා. කාදිනල්තුමා සර් ෆේල් ව්‍යාපාරයෙන් පසුව විරෝධතාව තම අතට ගත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අභූත කතාවක් ගොතමින්. අද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සමග වතිකානුවට ගොස් සිටින කාදිනල්තුමා නයාරු කෝකිලායි හි ඝාතනය කෙරුණු කතෝලික සිංහලයන් ගැන නිහඬයි. කතෝලික සභාව දෙමළ ත්‍රස්තවාදීන්ට දුන් සහාය කෙසේ අමතක  කරමුද? නන්දිකඩාල් හි දී පරාජය වූ බ්‍රවන්රිග්ගේ මුණුබුරන් අද ගෝඨාභය රාජපක්‍ෂගෙන් හා සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පළිගැනීමට උත්සාහ ගන්නවා.

 

අද එක් එක් අය තම කැමැත්ත අනුව ඒ ඒ අය අගමැති කිරීමට උත්සාහ කරනවා. ඕමල්පෙ සෝභිත හිමියන්ට අවශ්‍ය චම්පක බලයට පත් කිරීමට. උන්වහන්සේ ආණ්ඩුව අර ව්‍යාජ ලේඛනය අනුව කටයුතු නොකරන්නේ යැයි කියන්නේ කුමකට ද කියා අපට තේරෙනවා. ඒ අතර සමහරු ඩලස් අගමැති කිරීමට උත්සාහ ගන්නවා. ඔහු චන්ද්‍රිකා ආණ්ඩුවේ මංගලලා සමග සුදු නෙළුම් ගෙන තවලම් ගිය අයෙක්. යම් විධියකින්  මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයෙන් අස්වන්නේ නම් පත්වන අගමැති මෙරට ඒකීය රටක් බවත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවත් 13වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දැනට ක්‍රියත්මක කොටස් පමණක් (ඉඩම් හා පොලිස් බලතල රහිත ව) ක්‍රියාත්මක කරන බවත් විහාර දේවාලගම් පනත හාමුදුරුවරුන්ගේ අවවාද අනුශාසනා මත ක්‍රියාත්මක කරන බවත් උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන රැකීමට අධිෂ්ඨානශීලිව කටයුතු කරන බවත් මහා සංඝයා වහන්සේට දළදා හාමුුදුරුවන් අබියස පොරොන්දු වෙන්න ඕන.

 

මේ සියල්ල එකිනෙකට බැඳුණු ප්‍රශ්න. මහානායක හාමුදුරුවන්ගේ ප්‍රකාශය සකස් කෙරුණේ ගිහියකු අතින් ද? එයට අත්සන් තැබුවේ කවුද? ඇතැම් මහානායක හාමුදුරුවරුන් එයට විරුද්ධත්වය පළ කෙළේ ද? අප සිංහල බෞද්ධයන් ලෙසත් මෙරට රටවැසියන් ලෙසත් ඒ පිළිබඳ විස්තර දැන ගන්න ඕන. ඇතැම් හාමුදුරුවරුන් කාදිනල්තුමාට රැවටී එතුමා පිටුපස හිට ගත්තත් අද එතුමා කරන අභූත චෝදනා පිටුපස ඇත්තේ කතෝලික මුස්ලිම් සමගියක් ඇති කර මුස්ලිම් අන්තවාදීන් පාස්කු ප්‍රහාරයෙන් නිදොස් කර නිදහස් කිරීම බවත් රටේ බලවතා මහා මොළකරු බවට මතයක් ඇති කිරීමට බවත් දැන ගැනීමට කුඩා මොළයක්වත් අවශ්‍ය නැහැ.

 

මහානායක හාමුදුරුවන්ගේ ප්‍රකාශය පිටුපස ඉන්න මහා මොළකරු කවුද?