Main Logo

Saturday 9 April 2022

උණ්ඩියල් අවසන් කරමු

 

උණ්ඩියල් අවසන් කරමු

 

ඊයේ ලිපිය ද්වේෂ සහගත කියා සකර්බර්ග් තහනම් කළා. එහි ඇති ද්වේෂය කුමක් ද කියා ඔවුන් කියන්නේ නැහැ. සකර්බර්ග් තහනම් කළත් දිනපතා ලිපිය කාලය වෙබ් අඩවියේත් (www1.kalaya.org) පළවෙනවා. අවශ්‍ය අයකුට ලිපිය එහි කියවන්න පුළුවන්. සකර්බර්ග්ට වඩා මෙරට ජඩමාධ්‍යවේදීන් මගේ අදහස් තහනම් කරනවා. අද ඇතැමුන් මගෙන් අහනවා මා මේ අර්බුදය ගැන කිසිවක් කියන්නෙ නැත්තෙ ඇයි කියා. ඔවුන් මුහුණුපොතට නොයන අය. මට කරන්න දෙයක් නැහැ. ජඩමාධ්‍යවේදීන්ට අනුව මා මිථ්‍යා මතධාරියෙක්. විද්‍යාව පට්ටපල් බොරු කියන නූගතෙක්, එකක් කියා තවෙකක් කරන වංචනිකයෙක්. දේශපාලනය නොතේරෙන්නෙක්. ජනතා ප්‍රශ්න ගැන සංවේදී නොවන්නෙක්. මහාපොළොවේ යථාර්ථය නොතේරෙන අයෙක්. ජඩමාධ්‍යවේදීන් මගේ අදහස්වලට ප්‍රචාරයක් නොදෙන බැවින් ඇතැමුන් හිතනවා මා නිහඬයි කියා. සමහරු හිතන්නෙ මා තාමත් මියන්මාහි කියා.

 

ආර්ථික අර්බුදය ගැන මා කියන්නේ කලක සිට. මේ ප්‍රශ්නය අප සියල්ලන් ම 1950 පමණ සිට ඉල්ලන් කන එකක්. 1977න් පසු ජාමූලට යෑමෙන් පසු ප්‍රශ්නය තවත් උග්‍ර වුණා. අද රූසියාව යුද්ධෙක පැටලිලා. ඊනියා විද්‍යාඥයන්ගේ බොරු වාර්තා නිසා චීනය අප සමග තරහ වෙලා. බොරු වාර්තා ඉදිරිපත් කළ  අය ගැන අඩු තරමෙන් පරීක්‍ෂණයක්වත් නැහැ. අනෙක් අතට පරීක්‍ෂණයකින් වැඩක් වෙන්නෙත් නැහැ. ඒක හොරාගෙ අම්මගෙන් පේන ඇහීමක් වෙනවා. මේ අර්බුදයට හැම ආණ්ඩුවක් ම වග කියන්න ඕන. විශේෂයෙන් යහපාලන ආණ්ඩුව විශාල ණය ප්‍රමාණයක් අරගෙන ආර්ථිකයට කිසිම එකතුවක් නොකර කඩා වැටීමට සැලැස්වීම ගැන වග කියන්න ඕන. චම්පක හර්ෂ ද සිල්වා වැනි අය අල්ලෙන් හෙළුව වසා ගැනීමට කරන උත්සාහය එක් පැත්තකින් හාස්‍යජනකයි.

 

මේ අර්බුදයට බැසිල් රාජපක්‍ෂ ද යම් ප්‍රමාණයකට වග කියන්න ඕන, ඒත් සියල්ල ඔහු පිට පැටවීමට තැත් කිරීමෙන් සිදු වන්නේ එ ජා ප ප්‍රමුඛ ආණ්ඩුවලට නිිදොස් වීමට අවස්ථාව සැලැස්වීමයි. විමල්ට සද්දයක් මිස හඬක් නැති බව මා කියා ඇති. විමල් දයාසිරි ආදීන් කරන්නේ මුහුණත් එක්ක තරහට නහය කපා දැමීමක්. ඒ සියල්ලටමත් වඩා ආර්ථික අර්බුදය සමග උදා වී ඇති දේශපාලන අර්බුදය හඳුනා ගැනීමට එය බාධාවක්. මේ දෙක එකක්. ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යවන එක එංගලන්තයේ ව්‍යාපෘතියක්. එය ලංකා වසන්තය. එංගලන්තය එය සැලසුම් කරන්නේ සර් ෆේල් කතාව සමග. සර් ෆේල් යන්නෙහි ම ඉංගිරිසි සංස්කෘතික ලක්‍ෂණ තියෙනවා. රනිල්දාසලාට තබා හර්ෂලාටවත් එවැන්නක් නිර්මාණය කර ගැනීමට තරම් බටහිර සංස්කෘතික හුරුවක් නැහැ. ඉන් පසු පැමිණියේ කාදිනල්තුමාගේ පාස්කු ව්‍යාපෘතිය. එතුමා ඉඟි කෙළේ සිරිසේන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවත් සහරාන් බෝම්බ පිපිරෙවුවේ ගෝඨාභය ජනාධිපති කිරීමට බවත්. කාදිනල්තුමා දැන් බෞද්ධ සංස්කෘතියේ අගය ගැන කියන්නේ නැහැ.  එතුමා සියල්ලන්ට පාරට බහින්න කියනවා. එතුමා මාස්ක් ගලවල ද? දැන් වසංගතය ඉවර ද?

 

අද වන විට මෙය ගෝඨාභය එළවන ව්‍යාපාරය බවට එළිපිට ම පත් වී තියෙනවා. එය සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීමේ ව්‍යාපෘතියයි. මා ඊයේ සිද්ධාර්ථ ගෝ කියා ලිව්වේ මේ ව්‍යාපෘතිය ගැනයි. මා සිද්ධාර්ථ ලෙස එය නම් කෙළේ කිසි ලෙසකින්වත් බුදු හාමුදුරුවන්ට අගෞරව කිරීමට නො වෙයි. මෙරට ඉන්න අනුකාරක පඬි නැට්ටන් බූදු හාමුදුරුවන්ට කියන්නේ සිද්ධාර්ථ නිසාත් ඔවුන්ගේ බෞද්ධ සංස්කෘතිය කෙරෙහි වූ පරම වෛරය ඉන් පිළිබිඹූ වන නිසාත් මා එය සිද්ධාරථ ගෝ ලෙස හැඳුන්වූවා. මේ පඬි නැට්ටන් සකර්බර්ග් අනාථ කඳවුරේ දැක ගන්න පුළුවන්. ඔවුන්ගෙන් පිරිසක් කොළඹ විශ්වවිද්‍යාලයේ සුවාදීනයන්. අද ආණ්ඩුවෙන් සුවාදීන වී ඉන්න අයත් පඬි නැටි සුවාදීනයනුත් අතර එතරම් වෙනසක් නැහැ.

 

මේ ව්‍යාපාරය කිසිසේත් ම ජනතා ව්‍යාපාරයක් නො වෙයි. එය පඬි නැට්ටන් හරි සජිත් හරි රනිල්දාස හරි මෙහෙයවන එකකුත් නො වෙයි. එය මෙහෙයවෙන්නේ ලන්ඩනයෙන්. බ්‍රවුන්රිගේගේ මුණුබුරාලා විසින්. පඬි නැට්ටන් ආදීන් ඒ මුුණුබුුරාලාගේ ඉත්තන් පමණයි. පසුගිය දා ඕස්ත්‍රේලියාවේ හා නවසීලන්තයේ නගර කිහිපයක එක ම වෙලාවට ඊනියා ජනතා උද්ඝෝෂණ පැන නැගී ඇත්තේ අහම්බයකින් නො වෙයි.

 

අද ප්‍රමාණයට වඩා කාල ඇඳලා අමාරුවේ වැටිල ඉන්න අපට අකමැති වුවත් ජාමූලට යෑම හැර වෙනත් ක්‍ෂණික විසඳුමක් නැහැ. බටහිරයන් ඉතා සූක්‍ෂම ලෙස අපට ආධාර කරන්න පුළුවන් වෙනත් අය අපෙන් ඉවත් කරලා. ජාමූලට ගියයි කියල අපට දුගතියක් මිස සුගතියක් වෙලා නැහැ. ඒත් අපට අද ක්‍ෂණික ව වෙනත් විකල්පයක් නැහැ. අප කළ යුත්තේ ක්‍ෂණික ව ඉතා කෙටි කාලීන ව ණය ලබා ගෙන ණය ගෙවීම කල් දාගෙන පොලිය අඩු කරවාගෙන ඔය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දී ඉන්පසු ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීමට පියවර ගැනීමයි.

 

නව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගණිතය හා භෞතික විිද්‍යාව හැදෑරූ අයකු බව කියනවා. ගණිතය හා භෞතික විද්‍යාව ප්‍රථම උපාධියට හදාරා පසුව ඒ අත්හැර වෙනත් ක්‍ෂෙත්‍රවලට යන අය ගැන මට එතරම් පැහැදීමක් නැහැ. ගණිතය හා භෞතික විද්‍යාව අත් නොහැර වෙනත් ක්‍ෂෙත්‍ර ගැන ද උනන්දුවක් දැක්වීම වෙනත් කරුණක්.  බටහිර දැනුම් ධුරාවලියේ ස්ථානගත වීම පිළිබඳ ප්‍රශ්නයක් මෙහි තියෙනවා. මට ලැබී ඇති ආරංචි අනුව ඔහු උගතුන්ගේ අති විශාල බහුතරය මෙන් ම මගේ අදහස් පිළිගන්නා අයකු නො වෙයි.

 

මට එය ප්‍රශ්නයක් නො වෙයි. ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවේ මේ ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් නැහැ. අපට කළ හැක්කේ ඒ ඒ දේ කර බැලීම පමණයි. රුපියල පා කිරීම ආදි ක්‍රියා හරියට ම අහවල් වෙලාවට කළ යුතු යැයි කීමට ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවට බැහැ. මෙරට ධනය පිටරට ගෙනියන්නේ දේශපාලනඥයන් පමණක් නො වෙයි. නිලධාරීන් හා ව්‍යාපාරිකයන් ද ඒ අතර ඉන්නවා. ශිෂ්‍යත්ව මත පිටරට ගිය ඊනියා උගතුන් කී දෙනකු තම බැඳුම්කර කොන්දේසි අනුව කටයුතු කර තියෙනවා ද? ඔවුන් ලංකාවට අහිමි කර ඇති මුදල කොපමණ ද? එය සමස්ත ඩොලර් හිඟයෙන් ඉතා සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නමුත් ගිවිසුම් කඩ කළ අය ඉන්නවා.

 

එයට වැඩියි ව්‍යාපාරිකයන් පිටරට තබා ගෙන ඇති මුදල. අපනයනවලින් ලැබිය යුතු ඩොලර් සියල්ල අපට ලැබෙන්නෙ නැහැ. ආනයනත් උණ්ඩියල් ක්‍රමයට වෙන බව දැන ගන්න ලැබී තියෙනවා. ඕපන් එකවුන්ට් නමින් හැඳින්වෙන මේ ක්‍රමයෙන් බැංකුවක් මගින් ණයවර ලිපි නිකුත් නොකර එතර ඉන්න ඒජන්තයකු ලවා ඩොලර් ගෙවා භාණ්ඩ ගෙන්වා මෙහි දී බද්ද පමණක් ගෙවා රේගුවෙන් නිදහස් කර ගන්න අය ඉන්නවා. ඉන්පසු ඔවුන් උණ්ඩියල් ඩොලර් කටුනායක හරහා පිට යවනවා. මේ උණ්ඩියල් ක්‍රමය සම්පූර්ණයෙන් නතර කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නීති ඉක්මණින් සම්පාදනය කරන්න ඕන. මහා බැංකුවේ අනුදැනුම මත පමණක් විදේශ විනිමය ගනුදෙනු සිද්ධ වෙන්න ඕන. ඒ සඳහා නීති සකස් කරන්න ඕන. මහා බැංකු අධිපතිතුමාට මේ යෝජනා විහිළු වෙන්න පුළුවන්.  

 

මා එතුමාටත් දේශපාලනඥයන්ටත් තවත් විහිළු සපයන්න සූදානම්. එ දේශීය ආර්ථිකයක් සම්බන්ධයෙන්. හෙළ වෙදකමට හා හෙළ ගොවිකමට අත දිමෙන් අපට ඩොලර් ඉතුරු කර ගන්න පුළුවන්. එය ටිකක් වෙන්න පුළුවන්. ඒත් ළුණු බිකත් බඩටයි කිවුවලු. බටහිර වෙදකම හා බටහිර ගොවිතැන ජනතාව අතර ප්‍රචලිත වූ පහුගිය අවුරුදු පනහක පමණ කාලයක අප අවශ්‍ය උපකරණ, පොහොර හා වෙනත් දේ, ඖෂධ සඳහා ප්‍රතිශතයක් ලෙස වියදම් කර ඇති ප්‍රමාණය කෙතෙක් ඉහළ ගොස් ද? හෙළ ගොවිතැන ගැන දන්න අයගෙන් උපදෙස් ලබා ගන්න බලධාරීන් කැමති ද?

 

අවසාන වශයෙන් තවත් අර ව්‍යවස්ථාවේ නැති අන්තර්වාර ආණ්ඩු කතාව කියන්න එපා. අවශ්‍ය නම් හා හැකි නම්113 රැස් කරගෙන අගමැතිවරයකු නම් කරන්න. ජනාධිපතිතුමා ඒ තැනැත්තා අගමැති ලෙස පත් කරාවි. ඉන්පසු ඇමතිවරුන් පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න. අප රැවටීමට එයට අන්තර්වාර ආණ්ඩුවක් කියන්න එපා. එසේ කරන කම්  දැනට 113 ක් ඇති මහින්ද රාජපක්‍ෂ අගමැති ව සිටිය යුතුයි. ඒ පළමුවෙන් ම දේශපාලන ස්ථාවරත්වය සඳහා. ඒ අතර අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් සම්මත කර ගන්න පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලමින්. ව්‍යවස්ථාව සංශෝධනය කර ඊළඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරි දින සිට මාස හයකින් රැස්වන ලෙසත් කටයුතු සම්පාදනය කර ඊනියා භාරකාර ආණ්ඩුවට මාස හයක් කටයුතු කරන්න පුළුවන්.   අවුරුදු හැත්තෑ හතරක් බොරු කිවුවා මදි ද?