Main Logo

Sunday 17 April 2022

අගමැති විය යුත්තේ කවුද?

 අගමැති විය යුත්තේ කවුද?

 

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියා කතාවක් තියෙනවා. මෙය කතෝලික පෘතුගීසීන් කියන ලද්දක් හැටියටයි සඳහන් වෙන්නෙ. ඒ සිංහලයන් යුද්දෙට යන විට කැවුම් ගෙන ගිය නිසා ය කියාත් කතාවක් තියෙනවා. පුස් කැවුම් තුවාල සනීප කිරීමට උදවු වුණා කියන එකත් ඒ සමග කියනවා. ඒ අපේ පැත්තෙන් කියන කතා. පෘතුගීසීන් කිනම් හේතුවක් නිසා සිංහලයා කැවුම් කන්න යෝධයා කීවා ද කියා දැන ගන්න නැහැ. එහෙත් ඔවුන් සිංහලයන් මෝඩයන් බව නම් දැන ඉන්න ඇති. අර ගෙරි හමක් මගින් කොළඹ විශාල ප්‍රදේශයක් අත් කර ගන්න ඔවුන් සමත් වුණා. අප යුද්ධයෙහි දක්‍ෂයන් වුවත් සංකල්පීය ව සිතීමේ දක්‍ෂයන් වුණෙ නැහැ. අදත් එහෙමයි. ආතල්ගමේ දී ඒ බව මොනවට පැහැදිලි වෙනවා.

 

ඊයේ මා ලියු ලිපිය ගැන කිසිම සාකච්ඡාවක් ඇති වේය කියා මා බලාපොරොත්තු වන්නේ නැහැ. බුදුහාමුදුරුවන් නාගදීපයට වැඩියේ බක් මහ පුර පසළොස්වක ය යන මුුසාව හාමුුරුවරුනුත් සංඛ අමර්ජිත් වැනි ප්‍රබුද්ධ මාධ්‍යවේදීනුත් දිගට ම පතුරුවාවි. ඒ කිසිවකු මහාවංසයේ අදාළ ඡෙදය කියවන එකක් නැහැ. ඒත් අපි බටහිරයන් අනුව යමින් මූලාශ්‍ර ඉල්ලීමට හපන්නු. මූලාශ දුන් විට එය නොකියවන්නත් හපන්නු.

 

කලකට පෙර සිංහලයන් නොනගතය යන්න තේරුම් කෙළේ නැකැත් නැති කාලය යනුවෙන්. ඒත් ඔය නැකැත් නැති කාලයේ ම පැය හයයි මිනිත්තු විසිහතරක් වූ අපර අර්ධයෙහි නැකත් හදාගෙන ලිප ගිනි මොළවා වැඩ අල්ලා අහාර අනුභව කරනවා. නැකැත් නැති කාලය නොනගතයේ පුර්ව අර්ධය පමණක් නොවන බව සිංහලයන් නොදැන සිටියේ ද? නොනගතය කියන්නේ නෑවිත් නැති කියන අර්ථයෙන් (න අනගත) බව තේරුම් කිරීමට තරමක කාලයක් ගත වුණා. සූර්යයා මීනයෙන් මේෂයට හරි රේවත නැකතෙන් අස්විද නැකතට හරි යන්න පැය දොළහයි මිනිත්තු හතළිස් අටක් ගන්නවා. ඒ කාලයෙහි සූූර්යයා ලග්න දෙකේ ම නැත්නම් නැකැත් දෙකේ ම ඉන්නවා. ඒ කාලය අවුරුදු දෙකට ම අයත්.

 

අද බොහෝ දෙනා ඊනියා අන්තර්වාර ආණ්ඩුවක් ගැන කියනවා. අගමැතිතුමාට අස්වෙන්න කියනවා.  මහානායක හාමුදුරුවරුනුත් අනුශාසනා කර තිබුණා අගමැති ප්‍රමුඛ ඇමති මඬුල්ල අස් වී අන්තර්වාර ආණ්ඩුවක් හදන්න කියා. අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය අස් වෙලා අන්තර්වාර ආණ්ඩුවක් කියන එකක් පිහිටුවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. මහානායක හාමුදුරුවරුන් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැති දේ කරන්න අනුශාසනා කළ විට එය පිළිපදින්න විධියක් නැහැ. සමහරු 225 ම අස්වෙන්න කියනවා. ඊට පස්සෙ මොකද කරන්නෙ.

 

අනෙක් අතට අගමැතිතුමා අස්වීමට එතුමා කර ඇති වරද කුමක් ද? ඔය රාජපක්‍ෂලා හොරකම් කළාය යන්න පිළිගත්තත් ඔය තරම් හොරකම් කළාය කියා කියන්න බැහැ. අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක් අධිපරිභෝජනය බොරු ෂෝක් හා බොරු උගත්කම නිසා අප ණය වෙලා. ඩොලර් බිලියන 51ක් ණය වෙලා. ඒ ණය වුණත් සියල්ල රාජපක්‍ෂ ආණ්ඩු ගත් ඒවා නො වෙයි. අපේ ඩොලර් සංචිතය අප අමාරුවෙන් ඩොලර් හතක අටක ප්‍රමාණයක රඳවා ගත්තත් අලි හෙම්බිරිස්සා වසංගතයෙන් පසු එය කර ගෙන යන්න බැරි වුණා. ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරය මගින් ලැබුණු ඩොලර් බිලියන හයක් පමණ අපට වාරෂික ව අඩු වුණා. රාජපක්‍ෂලා ඩොලර් බිලියන හයක් අවුරුදු පතා හොරකම් කළා නම් ඔවුන් පුදුුම දක්‍ෂයන් වෙන්න ඕන. ඊටත් වඩා ප්‍රශ්නය ඔවුන් 2005 -2015 කාලයෙහි ඒ ප්‍රමාණයට හොරකම් නොකර සිටීම.

 

ඒ මදිවාට අපට අපනයනවලින් ලැබිය යුතු ඩොලර්වලින් 40%ක් පමණයි රටට ලැබෙන්නෙ. ඉතිරි මුදල් පිටරට රැඳෙනවා. ආනයනවලින් 30%ක් පමණ  සිදුවන්නෙ උණ්ඩියල් ක්‍රමයට. ඒ හොරකම් නිසා නම් විශාල ඩොලර් ප්‍රමාණයක් රට අහිමි වෙනව ඒ අද ඊයේ සිදුවන්නක් නොව අවුරුදු ගණනක් තිස්සෙ විවිධ ආණ්ඩු යටතෙ කෙරෙන්නක්.  සංඛ අමර්ජිත් මා මෙන් නොව උගත් නීතිඥ මහතෙක්. එතුමා මේ ගැන හොයා බල තියෙනවා ද?  

       

ඒ කොහොම වුණත් අද ඉල්ලීමක් තියෙනවා ඩලස් අලහප්පෙරුම අගමැති කරන්න කියා. මහින්ද ඉල්ලා අස්වෙන්න කියන්නෙ ඒ සඳහා ය කියා කියනවා. විමල්ලත් ඉන්නෙ ඒ මතයෙ කියන එකයි කියන්නෙ. ඩලස් අලහප්පෙරුම දිවයින ඉරිදා සංග්‍රහයෙ කතෘට ලිපි ලියමින් ඉන්න කාලෙ ජනමාධ්‍යචේදියකු බවට පත් වුණෙ ලක්මිණ පත්තරෙන්. ඒ කාලෙ විමල් වීරවංශ ලක්මිණ පත්තරේට විමලසිරි ගම්ලත් නමින් ලිවුවා. චම්පක රණවක සපුමල් සේනානායක නමින් ලිවුව. ජනරංජන කාටුන් ඇන්දා. මා කතු වැකි ලිවුව. මා ලිවුවෙ දෙමළ ත්‍රස්තවාදීන් හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතුයි කියා. ඒ 1991දි පමණ. එදා අර පිරිස මගේ කතුවැකිවලට විරුද්ධ වුණා. ඒ කතාව මා කලින් කියා ඇති.

 

මහින්ද රාජපක්‍ෂ 2015 දි පරාද වුණාට පස්සෙ ඔහුට ඩලස් දුරකතනයට සම්බන්ධ කර ගන්න බැරි වුණා කියා කතාවක් තියෙනවා. ඩලස් තම සියලු වස්තුව පොඩි පෙට්ටියක දාගෙන ඇමරිකාවට ගියා. දුප්පතා. අදාළ ඡායාරූප පත්තරවල පළවුණා. ඩලස් ඊනියා බලය බෙදීම ගැන කියන්නෙ කුමක් ද? ඔහුගෙ දේශපාලනයෙ පසුබමෙහි ඇත්තෙ කුමන දර්ශනයක් ද? අද මෙරට ඉතා පැහැදිලි ව සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් තියෙනවා. අද කතෝලික මුස්ලිම් සමගියක් තියෙනවා. ඒ සඳහ කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිමුන් නිදොස් කර නිදහස් කරල. ආතල්ගමේ සාටකයයි වටාපතයි හරි අවදානම් සටන් පාඨ ප්‍රදර්ශනය වෙනවා.  අද කතෝලික මුස්ලිම් සමගියට බෝන් අගේන් කල්ලියත් එකතු වෙලා තියෙන බවක් පේනවා. මේ පසුබිමේ තමයි ඩලස් අගමැති කරන්න ඉල්ලීමක් තියෙන්නෙ.

 

අද ආණ්ඩුවේ ජනමාධ්‍යයේ මා ඉහත සඳහන් කළ කරුණු කියැවෙනවා ද? සිරසෙහි හා දෙරණෙහි ඒ නොකියැවෙන එක හිතා ගන්න පුළුවන්. ආණ්ඩුවේ ජනමාධ්‍ය දත්ත සහිත ව සිංහල බෞද්ධ විරෝධී ප්‍රචාරක කටයුතුවලට පිළිතුරු නොදෙන්නේ ඇයි? ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථ පුද්ගලයකු ලෙස ඒ ගැන හොයා බලන්නේ නැත් ද? අද හෙට නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දේවි. අගමැති මහින්ද යටතේ සුදුසු ජනමාධ්‍ය ඇමතිවරයකු පත් කෙරේවි ද?

 

අද අගමැති විය යුත්තේ නැවතත් දෙමළ ජාතිවාදයට උඩගෙඩි දී ඊළමකට පාර කපන අයකු ද? දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කිරීමට කටයුතු කළ අයකු ද? දෙමළ ත්‍රස්තවාදය පරාජය කර නොතිබුණා නම් ආතල්ගමේ ආතල් ගන්නවුනට ඔය පිට්ටනියෙහි රෑ ගත කිරීමට කූඩාරම් හැදීමට පරාර්ථකාමී වෙළෙඳුන්ට බැරි වෙන්න තිබුණා. අලි හෙම්බිරිස්සා වසංගතය පාලනය කර නොතිබුණි නම් මොකද වෙන්නෙ කියල මගෙන් අහන්නෙ එපා.

 

ඒ අතර කාදිනල්තුමාගෙන් දැන ගන්න කාරණයක් තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය ගැන කණගාටුවන අතර නයාරු කෝකිලායි හි මියගිය ධීවරයන් වෙනුවෙන් කණාගාටුව පළ කරා ද? ඒ මිය ගිය අය අතර කතෝලිකයන් නො සිටියේ ද? දැන ගන්නයි අහන්නෙ. ඒ අතර චම්පක මන්ත්‍රීවරයකු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අස් වුණ් ඕමල්පෙ සෝභිත හිමියන් අපට කියනවා ද මේ වන විට පන්සල්වලින් රත්තරන් පොලු භාණ්ඩාගාරයට දීල තියෙනවා ද කියා. සිංගප්පූරුවෙ තියෙන ලංකා පන්සල්වලත් රත්තරන් පොලු තියෙනවා ද?