Main Logo

Saturday 30 April 2022

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න

 

වඩාත් හොඳ සිහිනය දකින්නේ ආතල්ගමේ ද නැත්නම් පැජට් පාරේ ද? ආතල්ගමේ නිෂ්පාදනයක් නැති එහෙත් කන්න බොන්න පමණක් නොව වෙනත් ආතල් ද ඇති කොමියුනිස්ට් සමාජයක සිහිනය දකිනවා. නිෂ්පාදනයක් නැතිව කකා බීබී ඉඳීම තමයි අපි අවුරුදු හැත්තැවක් පමණ කරල තියෙන්නෙ. එහෙත් රාජ්‍යයක් තිබුණා. ආතල්ගමට ඕන රාජ්‍යයත් නැති කරන්න. එතකොට  බිරියානි හා වටලප්පන් ලැබේවි ද? කාදිනල්තුමාගේ ආශිර්වාදය ලැබේවි ද? භික්‍ෂූත්වය කෙළෙසූවන්ගේ සහාය දිගින් දිගට ම ලැබේවි ද?

 

පැජට් පාරේ සිහිනය සර්වපාක්‍ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න. මෛත්‍රිපාල මෙරට ජනාධිපතිකමත් ඉසිලූ අයෙක්. ඒත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවූ බවක් පේන්න නැහැ. ඔහු ජනාධිපති නීතිඥයකුගේ ලණුවක් ගිල ඇති බව පැහැදිලියි. ආතල්ගමේ තරුණ තරුණියන්වත් ඔවුන්ට උපදෙස් දෙන අයවත් ව්‍යවස්ථාව තබා හරිහමන් පොතක්වත් කියවල නැහැ. ඔවුන් මේ දිරාපත්වෙන කසිකබල් අධ්‍යාපනයේ නවතම නිෂ්පාදන. නිෂ්පාදන නැති කොමියුනිස්ට් සමාජයක බිරියානි කන්න නම් ඔවුන් දක්‍ෂයි. මේ අධ්‍යාපනයෙන් බිහිවන්නෙ වචන ටිකක් දන්න ඒත් වචනවල තේරුම් දන්නෙ නැති පිරිසක්. කොමියුනිස්ට් සමාජයක් ගැන කියවන ඔවුන් කොමියුනිස්ට් මැනිෆෙස්ටෝ ව කියවල තියෙනවා ද? ඔවුන්ගෙ උපදේශකයන් නම් කියවල ඇති. ඒත් ඔවුනුත් එය තේරුම් ගත් බවක් පේන්න නැහැ.

 

මෛත්‍රිපාල සිරිසේනත් බිහිවෙලා තියෙන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයෙන් ම තමයි. එ අධ්‍යාපනය මෙතරම් දිරාපත් වෙලා නොතිබූ යුගයක. ඒත් ඔහුත් යමක් ඉල්ලන්න පෙර එය දිය හැකි ද කියා බලන්න දන්නෙ නැහැ. මහින්ද රාජපක්‍ෂට තියෙන ලොකු ම ශක්තිය තමයි ඔහු මේ අධ්‍යාපන ක්‍රමයට පිටින් බිහි වූ අයෙක් වීම. ඔහු පාසල් නොගිය බවක් නොවෙයි ඉන් කියැවෙන්නෙ. ඔහු පාසලෙන් ඉගෙන ගත් දෙයක් නැති බවයි මා කියන්නෙ. ඔහුට පොත් කියවා වෙලාව නාස්ති කරන්න වුවමනාවක් නැහැ. පොත්වල ඇති දේ ඔහුට වැඩක් නැහැ. විද්‍යොදය විශ්වවිද්‍යාලෙ පුස්තකාල සහකාර ලෙස කටයුතු කළ කාලය ගැන සමච්චලයෙන් සඳහන් කරන පඬි නැට්ටන් ඉන්නවා. ඔවුන් ෆූකෝ ඩෙරීඩා කියවූ අය ලෙසයි පෙනී සිටින්නෙ. ඒ කියවුවා ද කියාවත් කියවූ දේ තේරුම් ගත්තා ද කියාවත් මා දන්නේ නැහැ. එහෙත් මා දන්නවා මහින්ද ඉදිරියේ ෆූකෝ අතදරුවෙක්.

 

ආතල්ගමත් පැජට් පාරත් ව්‍යවස්ථාවට අනුව නො වෙයි සිහින දකින්නෙ. මහින්ද ව්‍යවස්ථාව කියෙව්වත් නැතත් කරන්න පුළුවන් දේ සහ කරන්න බැරි දේ දන්නවා. කරන්න බැරි දේට එකඟ වන්නත් ඔහු දන්නවා. එය විශේෂ දක්‍ෂතාවක්. යුරෝපයෙ  රජුගෙ වචනය ව්‍යවස්ථාව වුණු කාලෙ රජුට ඕන දෙයක් කරන්න පුළුවන් කම තිබුණා. ඔහුට නීතිය වෙනස් කරන්න එක වචනයයි ඕන වුණෙ. ඒත් අද එහෙම කරන්න බැහැ. යුරෝපයෙත් බැහැ. අද ව්‍යවස්ථාව වෙනස් කරන්න ඊනියා ජනතාවගේ නියෝජිතයන්ට පුළුවන්. ඒත් ව්‍යවස්ථාව වෙනස් කරන තෙක් මෛත්‍රිපාල විතරක් නොවෙයි විජෙදාස රාජපුරත්, මට වැරදුණා රාජපක්‍ෂත් පවත්නා ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න ඕනෙ.

 

ඊනියා අන්තර්වාර ආණ්ඩු හදන්න ව්‍යවස්ථාව අනුව බැහැ. ව්‍යවස්ථාවෙ අන්තර්වාරයක් සඳහන් වෙන්නෙ නැහැ. මාස හයකට අවුරුද්දකට මැතිවරණ පවත්වන තෙක් අන්තර්වාර ආණ්ඩු හදන්න පුළුවන් කියල ව්‍යවස්ථාවෙ නැහැ. මහින්ද ඒකට එකඟ වෙන්න පුළුවන්. ඒ බැරි නිසා. මහින්ද නීතිඥයකුට වඩා දේශපාලනඥයෙක්. ඔහු පොතින් පතින් ඉගෙන ගත් දෙයක් නැහැ. විද්‍යොදය විශ්වවිද්‍යාලෙ පුස්තකාලෙ සේවය කළත් ඔහු පොතපත නොකියවන්න ඇති. එහෙත් දේශපාලන විද්‍යාව පිළිබඳ ඊනියා මහාචාර්යවරුන් මහින්ද තරම් දේශපාලනය දන්නෙ නැහැ.

 

කොහොමටත් මෛත්‍රිපාලලාගෙ විමල්ලගෙ අන්තර්වාරෙට සජිත් එන්නෙ නැහැ. විමල්ට අද අහන්න වෙනනෙ කෝ මේ සිරිසේන කියා නොවෙයි කෝ මේ පුතාණො කියා. සජිත් පුතා හෙට කොළඹ එනවා. ඊට පස්සෙ ඔහුට රට වටා මෝටර් රථයෙන් පා ගමන් යන්න තියෙනවා. ඔය සර්වපාක්‍ෂික ආණ්ඩු අන්තර්වාර ආණ්ඩු හදන්න ඔහුට වෙලාවක් නැහැ. ඒ නිසා හදන්න වෙන්නෙ සජබර සර්වපාක්‍ෂික ආණ්ඩුවක්. සජබර කියන්නෙ සජබ රහිත කියන එකයි. ජනාධිපතිතුමා කැමති වෙලා තියෙන්නෙ සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හදන්න මිසක් සජබර ආණ්ඩුවක් හදන්න නො වෙයි.

 

අන්තර්වාර ආණ්ඩු හදන්න බැරි වුණත් සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හරි ජාතික ආණ්ඩුවක් හරි හදන්න පුළුවන්. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් කියන්නෙත් ජාතික ආණ්ඩුවක්. එය ව්‍යවස්ථාවෙ තියෙනවා. ජාතික ආණ්ඩුවක් කියන්නෙ ඊනියා අන්තර්වාර ආණ්ඩුවක් නො වෙයි.  ජාතික ආණ්ඩුවක් කියන්නෙත් අලුත් ආණ්ඩුවක්. එය දින සීමාවකට යටත් කරල හදන්න බැහැ. ව්‍යවස්ථාවෙ එයට ඉඩක් නැහැ. අලුත් ආණ්ඩුවක් හැදුව ම එය ව්‍යවස්ථාව අනුව විසිරෙනකන් හරි විසුරුවා හරින තෙක් හරි පවතිනවා. අලුත් ආණ්ඩුවක් හදන්න ඉස්සෙල්ල අගමැති කෙනෙක් පත්කර ගන්න අවශ්‍ය වෙනවා. ඒකට 113ක් ඉන්න අගමැති කෙනෙක් හොයා ගන්න පුළුවන් ද? වත්මන් පාර්ලිමේන්තුවෙ 113 නැතුව ආණ්ඩුවක් පවත්ව ගෙන යන්න පුළුවන් දෙන්නයි ඉන්නෙ. එක්කෙනෙක් මහින්ද රාජපක්‍ෂ අනෙක් තැනැත්තා සරත් ෆොන්සේකා.    

 

මෛත්‍රිපාල ඒ ගමන ජාතික සභාවක් ගැන කියවනවා. ජාතික සභාවෙන් ඇමතිවරු නිලධාරීන් පත්කරන්න කියනවා. ඒක අර ආතල්ගමේ පත්කළ මන්ත්‍රීන් පහළොස් දෙනකු යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න කරපු යෝජනාවට හපන්. ඔය ජාතික සභාව තියෙන්නෙ මොන ව්‍යවස්ථාවෙ ද?  මේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන වෙන්න බැහැ. ඒ සභාවට වුවත් ඔය කියන බලතල නැහැ. ආතල්ගමට ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ. ඔවුන්ට ඕනෙ ආතල් ගන්න. ඔය බිරියානි පැකට් ටිකක් ගිහින් දෙන්න. තව දවස් කීය ද? දැනටමත් ආතල්ගම ඉතිහාසගත වෙලා. ලොව නොසෙල් වූ දස දවස ලෙස. පුළුවන් කමක් තියෙනව නම් පැජට් පාරට ව්‍යවස්ථාවෙ පිටපතක් අරින්න.  ව්‍යවස්ථාව කොට්ටෙ යට තියාගෙන සිහිනය දකින්න ඉඩ හරින්න.