Main Logo

Monday 4 April 2022

අලි සබ්‍රි හා දීර්ඝ කාලීන විසඳුම්

 

අලි සබ්‍රි හා දීර්ඝ කාලීන විසඳුම්

 

ඇතැම් පඬි නැට්ටන්ට අනුව මා සැඟවී ගොස්. ඔවුන් අසන්නේ මා දැන් ලිපි නොලියන්නේ ඇයි කියායි. ඉන් පැහැදිලි වන්නේ ඔවුන් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ලියන බවයි. එක් පඬි නැට්ටකු හිතන් ඉන්නේ මා තවම මියන්මාහි කියායි. මා හොඳින් නිරුපද්‍රිත ව ලංකාවේ ජීවත්වන බව පඬි නැට්ටන්ට මෙන් ම මා නැතැයි සිතා ගෙන කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ටත් දන්වන්න ඕන. එමෙන් ම මා දිනපතා කාලය වෙබ් අඩවියේ ලිපියක් පළ කරන බවත් සම්ම ජාතියේ ඊනියා සමාජවාදී රජයක් ලෝකයේ කොහේවත් පිහිටුවා ගැනීමට නොහැකි ව  සකර්බර්ග්ගේ අනාථ කඳවුරේ වමක් නැතිව අනාථ වී ඇති වමාලා ඇතුළු සියලු පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා එය මුහුණු පොතේ ද පළ කරන බවත් දන්වන්න අවශ්‍යයි. ඊයේ ද ලිපිය පළ වී ඇති බව පඬි නැට්ටන්ට දැන ගන්න පුළුවන්.

 

ජනමාධ්‍යවේදීන්ට පහර දීම අනුමත කරන්න බැහැ. එහෙත් ඩලස් අලහප්පෙරුමගේ සිට ඇතැම් ජනමාධ්‍යවේදීන් මා දන්නවා. චතුර අල්විස්ට ඩලස් අවංක සංවේදී පුද්ගලයකු වෙන්න පුළුවන්. මා ඩලස් දන්නේ ඔහු ලක්මිණ පුවත්පතේ වැඩ කරන කාලයේ ඉඳන්. ජනමාධ්‍යවේදීන් අපක්‍ෂපාත නැහැ. ඔවුන්ට තමන්ගේ ම වූ දේශපාලනයක් තියෙනවා. දෙරණ ජනමාධ්‍යවේදීන්ට මෙන් ම එකල ලක්මිණේ වැඩ කළ ඩලස්ටත් දේශපාලනයක් තිබුණා. ඔහු දෙමළ ජාතිවාදයට ඊනියා සාමයක් වෙනුවෙන් කප්පන් දීමට සූදානම් ව සිටියා. ඔහු මෙන් ම විමලසිරි ගම්ලත් හා සපුමල් සේනානායකත් දෙමළ ජාතිවාදයට කප්පන් දීමට සූදානමින් සිටියා. ඔවුන් සියලු දෙනා පසුගිය දා අභාවප්‍රාප්ත වූ සුනිල් මාධවත් සමග දෙමළ ජාතිවාදය හමුදා මෙහෙයුම්වලින් පරාජය කිරීම සඳහා මා ලියූ කතුවැකිවලට විරුද්ධව පෙළ ගැසුනා.

 

මා අවුරුදු තිහකට පමණ පෙර සිදු වූ ඒ සිද්ධිය මතක් කෙළේ ඊනියා පාරිශුද්ධ අපක්‍ෂපාති ජනමාධ්‍යවේදීන් නැති බව ලීමටයි. ජනමාධ්‍යවේදීන් තම මතය ප්‍රචාරය කිරීමට හැකි සෑම ඉඩකඩක් ම ගන්නවා. දිවයින අරුණ කියා වෙනසක් නැහැ. දෙරණ සිරස කියාත් වෙනසක් නැහැ. අද ආණ්ඩු විරෝධී වීම ජනප්‍රියතාව සඳහා හොඳයි. මා දන්නවා පඬි නැට්ටකු කියන්න පුළුවන් ආණ්ඩුව ජනතාවාදී නොවන විට ආණ්ඩු විරෝධී වෙන්න සිදු වෙනවා කියා. මා නොදන්න තර්ක. මා නම් කිසි දා ජනතාවාදී වී නැහැ. මා කියන දෙයට ජනතාව විරුද්ධ වන්නේ ද පක්‍ෂ වන්නේ ද යන්න මට ප්‍රශ්නයක් නො වෙයි. භාෂණයේ නිිදහස මටත් තියෙනවා. ඒත් මා ජෙප්පන් හා සෙප්පන් නොහඳුනනවා නො වෙයි.

 

ඊයේ එක් පඬි නැට්ටකු අසා තිබුණා ගෝඨාභයට ඉම්රාන් ඛාන් මෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි ඇයි කියා. ඉම්රාන් ඛාන්ට මෙන් ම ගෝඨාභයටත් යම් ජාතිකත්වයක් තියෙනවා. ඔවුන් දෙදෙනාට ම ක්‍රිස්තියානි නූතනත්ව  බටහිරයන් මෙන් ම හින්දු ඉන්දියාවත් විරුද්ධයි. ඉම්රාන් ඛාන් පන්නා දැමීමට පකිස්ථාන පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙනෙනු ලැබුවා. ඉම්රාන් ඉන් පරදින්න තිබුණෙ. ඔහු උපක්‍රමික ව විශ්වාස භංගය මගහරවා පාර්ලිම්න්තුව විසුරුවා හැරියා.

 

ලංකාවේ  ගෝඨාභය පළවා හැරීමට බටහිරට හා ඉන්දියාවට අවශ්‍යයයි. බැසිල් නව ඇමති මඬුල්ලෙන් ගිලිහුණොත් ගෝඨාභයට ඇති අභියෝගය තවත් දැඩි වේවි.  බෑසිල්ට පක්‍ෂපාති මන්ත්‍රීන් ස්වාධීන වේවි. ලංකාවේ තවමත් පාර්ලිමේන්තුවේ බලය ඇත්තේ ගෝඨාභයට. අනෙක් අතට මෙරට ව්‍යවස්ථාව අනුව මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. පඬි නැට්ටා මේ කිසිවක් අධ්‍යයනය නොක ඉම්රාන්ට  පුළුවන නම් ගේඨාභයට බැරි ඇයි කියා අහනවා. මෙරට ඇත්තේ ද්වයංගුල පඤ්ඤා ඇත්තන්.

 

මේ වන විට ඇමතිවරුන් සාමූහික ව තම ඉල්ලා අස්වීමේ ලිපි අගමැතිතුමාට භාර දී තියෙනවා. අගමැතිිතුමා අප කියන විධියට වැඩ කරන්නෙක් නො වෙයි. එහෙත් ඔහුට දෙමළ ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව හමුදා මෙහෙයවීමට දේශපාලන නායකත්වය දීමට සිදු වුණා. මේ ආණ්ඩුවලට එ ජා ප ආණ්ඩුවලට වඩා යම් ජාතිකත්වයක් තිබුණත් ඒ ජාතිකවාදී ආණ්ඩු නො වෙයි. බටහිරට හා ඉන්දියාවට පමණක් නොව පඬි නැට්ටන්ට ඕවල් කේන්දරකාරයන්ට ආදින්ටත් ඒ සුළු ජාතිකත්වයවත් රුස්සන්නේ නැහැ. ඔවුන් සියල්ලන් ම ආණ්ඩුව පළවා හැරීම සඳහා එකතු වෙනවා.   

 

අවුරුදු හැත්තැවක් ණයට කෑමේ රස අද දැනෙන්න පටන් අරන්. ඇතැම් ජනමාධ්‍යවේදීන් ජනතාවට දැනුම් දෙන්නේ ඒ සියල්ල මේ ආණ්ඩුවේ වරද නිසා ඇති වූවක් ලෙසයි. වසංගතය විසින් අර්බුදය උග්‍ර කෙරුණා පමණයි. යහපාලන ආණ්ඩුව ණයට ගත් ඩොලර් බිලියන දහයත් ගෙවන්න ඕන. වසංගතය නිසා සංචාරක ඩොලර් නැවතුණා. රටවිරුවන් උන්ඩියල් ක්‍රමයට ප්‍රේෂණ එවුවා. රුපියල පා කරන කන් ඉස්පාසුවක් නැතුව උන් අය අද කියන්නේ මොක ද? ඒත් අතට මේත් අතට ආර්ථික විිද්‍යාව.

 

අද අලි සබ්‍රි මුදල් ඇමති ලෙස පත් කෙරිලා. මොන අඩුපාඩු තිබුණත් බැසිල් ජාමූල යාමට කැමති වුණේ නැහැ. එක්  ජනමාධ්‍යවේදියකු කියන විධියට නම් කරන්න තිබුණෙ ජමුලට ගිහින් දෙන්න තියෙන ණය ටික අරන් එන එක විතරයි. එහෙත් ඔහුට වැටහීමක් නැහැ ජමූල කොන්දේසි ගැන. අලි සබ්‍රි ජමූලට යන්න උන්දුවක් දක්වන බව ආරංචියි. ඔහු යාවි. ණය සමග ඒවි. තාවකාලික ව අපට කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා මානසික තත්වයට යන්න පුළුවන් වේවි. ඊට පසසෙ. ණය අප කාවි. අපට ඇතැම් සහන නැති වේවි. පඬි නැට්ටන්ට පුළුවන් වේවි ජෙප්පන් හා සෙප්පන් සහන කැපීමට විරුද්ධ ව පාරට බහින විට අනාථ කඳවුරේ ඉඳන් නර්මාලාප හා නිර්මාලාප ලියන්න. ජනමාධ්‍යවේදීන්ටත් ජනතාවාදී ව ජෙප්පන් හා සෙප්පන් එක්ක හිටගන්න පුළුවන් වේවි. ඊනියා ජනතා සම්මානත් දිනා ගන්න පුළුවන් වේවි.

 

ජමුලෙන් හරි මොකක් හරි රටකින් හරි ණය ගැනීම තමයි ඉතා කෙටි කාලීන විසඳුම. ඊළඟට ණය ගෙවීම කල් දා ගැනුම.  කිසිවකු දීර්ඝ කාලීන විසඳුමක් ගැන හිතන්නෙ නැහැ. නිෂ්පාදනය වැඩි කිරීම ආනයන අඩු කිරීම සැලැස්මක් ඇති ව කෙරෙන්න ඕන. අපේ ආකල්ප වෙනස් කරන්න ඕන. දැන්වත් ඒ ගැන සාකච්ඡාවක් පටන් ගනිමු.