Main Logo

Saturday, 16 April 2022

බුදුන් වැඩිය බක් මස අමාවකට ගිය කල

 බුදුන් වැඩිය බක් මස අමාවකට ගිය කල

අද බක් මස පුර පොහොයදා. බුදුහාමුදුරුවන් දෙවැනි වරට ලංකාවට (නාගදීපයට) වැඩම කෙළේ අද වැනි දවසක නො වෙයි. බුදුහාමුදුරුවන් නාගදීපයට වැඩම කරල තියෙන්නෙ බක් මස අමාවක දිනයක. මහාවංසයෙ තියෙන්නෙ එහෙමයි. පෘතුගීසීන් ලංකාවට එන විටත් අප විශ්වාස කරල තියෙන්නෙ බුදුහාමුදුරුවන් නාගදීපයට වැඩම කරල තියෙන්නෙ බක් මස අමාවක දිනයක. ඒ බව රොබෙයිරෝ නම් මෙරට සිටි පෘතුගීසි හේවායකු ලියා ඇති දෙයින් පැහැදිලි වෙනවා. එපමණක් නොවෙයි රොබෙයිරෝට අනුව සිංහලයන් අවුරුද්ද පටන් ගන්න දිනය ලෙස සලකල තියෙන්නෙත් බක් මහ අමාවක දිනය.
ඒත් අවුරුදු පන්සියක් ඇතුළත ඒ සියල්ල වෙනස් වෙලා. දැන් හැමෝම කියන්නෙ බුදුහාමුදුරුවන් නාගදීපයට වැඩම කෙළෙ අද වැනි දවසක කියල. ඒ විතරක් නොවෙයි අද අප අවුරුද්ද පවත්වන්නෙ අප්රේල් 13, 14 දිනවල. එතැන බක් මාසයෙ කතාවක් නැහැ. මියන්මාහි අවුරුද්ද පැවැත්වෙන්නෙ අප්රේල් 17 වැනි දා. අප තෙල් ගාන දවසෙ තමයි සාමාන්යයෙන් මියන්මා වෑසියන් අවුරුද්ද පවත්වන්නෙ. එය ජලය හා සම්බන්ධයි. එකිනෙකාට වතුර ගසා ගැනීමක් එදින සිද්ධ වෙනවා. අපත් එදාට අවුරුද්දට ස්නානය කරනවා.
කොහොම වුණත් විවිධ සංස්කෘතික මිශ්රණයන් අවුරුද්දෙ දකින්න පුළුවන්. මා හිතන්නෙ නැහැ පෘතුගීසීන් මෙයට සම්බන්ධයි කියල. බොහෝ විට හිතන්න පුළුවන් නායක්කාර් රජවරුන්ගෙ කාලෙ මේ වෙනස්කම් සිද්ධ වෙන්න ඇති කියල. මා හැම අවුරුද්දක ම හිතනව මේ ගැන පුළුල් අධ්යයනයක් කරන්න ඕන කියල. ඒත් ඒක කවදාවත් කෙරෙන්නෙ නැහැ. මා 2021 ජනවාරි 14 වැනි දා තෛපොංගල් නිමිත්තෙන් ලියු ලිපියක කොටස් මෙහි උපුටා දක්වනවා.
"බොහෝ රටවල සූර්ය වන්දනාව කෙරෙනවා. සිංහල බෞද්ධයන් එසේ වන්දනා කරන්නේ නැහැ. එහෙත් සිංහලයන්ට හිරූ සඳු දෙදෙනා ම වැදගත්. අවුරුද්ද කියන සංකල්පය හිරුගේ ගමනත් සමග බැඳී තියෙනවා. ඛගෝලය (celestial sphere) නමින් හැඳින්වෙන හිස් ගෝලයක (දුක්ඛ කියන එකෙත් ඛ යන්නෙන් කියැවෙන්නෙ හිස් බව, දුක්ඛ කියන්නෙ අයහපත් හිස් බව) හිරු ක්රාන්ති වලයය (ecliptic) නමින් හැඳින්වෙන වක්රයක් දිගේ වාර්ෂික ගමනක යෙදෙනවා. ඒ දෛනික ගමනට අමතරවයි. දෛනික ගමන නිසා අපට දවස කියන සංකල්පය ලැබී තියෙනවා. ක්රාන්ති වලයය දිගේ ගමන නිසා අපට අවුරුද්ද කියන සංකල්පය ලැබෙනවා.
ඒත් එක් එක් සංස්කෘතියෙහි අවුරුද්දක් යනු කුමක් ද යන්න විවිධ ආකාරයෙන් අර්ථ දැක්වෙනවා. පොළොව ඈත පිහිටි තාරකාවලට සාපේක්ෂව තම අක්ෂය වටා භ්රමණය වෙනවා. එහෙම නැත්නම් ඈත පිහිටි තාරකා පොළොව වටා භ්රමණය වෙනවා. පොළොව තම අක්ෂය වටා භ්රමණය වන්නේ බඹරයක් මෙන්. ඒ කියන්නේ අක්ෂය ද ඇත පිහිටි තාරකාවලට සාපේක්ෂව අචල ව පිහිටි අක්ෂයක් වටා කරකැවෙමින්. මේ හේතුව නිසා අර ඛගෝලයෙහි පොළොවේ සමකය ප්රක්ෂෙපණය කිරීමෙන් ලැබෙන ඛගෝල සමකය හා ක්රාන්ති වලයය ඡෙදනය වන ලක්ෂ්ය වෙනස් වෙනව. මේ වෙනස්වීම නිසා අපේ අවුරුද්ද ලබන දිනය අවුරුදු 72කට පමණ එක් දිනයක් ඉදිරියට යනවා. කලකට පෙර අවුරුද්ද අප්රේල් 12 වැනි දා ලබා තියෙනවා. තව ටික කලකින් එය අප්රේල් 15 වැනි දා වේවි. සාමාන්ය අවුරුද්දකට දින 365.242190ක් වන අතර අපේ අවුරුද්දට දින 365.256363ක් තියෙනවා. “
“කෙසේ වෙතත් ඉංගිරිසින් අප්රේල් 13 වැනි දා නිවාඩු දිනයක් ලෙස මුලින් ම ප්රකාශ කර ඇත්තේ හින්දු අලුත් අවුරුද්ද ලෙස මිස සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නො වෙයි. ඒ කාලයේ සිංහල අවුරුද්දත් ඇතැම් වසරක අප්රේල් 13 වැනි දාට යෙදීම නිසා පසුව ඉංගිරිසින් එය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නම් කර තිබෙන බව පේනවා. රොබට් නොක්ස් මෙරට සිටි කාලයෙහි අවුරුද්ද පවත්වල තියෙන්නෙ ජුලියානු දින දර්ශනය අනුව මාර්තු 27, 28, 29 දිනවල නැත්නම් ග්රෙගරියානු දින දර්ශනය අනුව අප්රේල් 7, 8 ,9 දිනවල.
එක් එක් සංස්කෘතියෙහි අවුරුද්ද පටන් ගන්නා දිනය වෙනස්. බුද්ධ වර්ෂය පටන් ගන්නේ වෙසක් පොහෝ දිනයෙහි. සිංහල අවුරුද්ද පටන් ගන්නේ බක් මස අමාවක බව රොබෙයිරෝ නම් පෘතුගිසි හේවායා කියා තියෙනවා. ඔහුට අනුව ඒ බුදුහමුදුරුවන් නාගදීපයට වැඩි දවස සිහිවීමට. දැන් නම් සියල්ලට ම වඩා වැදගත් බටහිර ක්රිස්තියානි නූතනත්ව ආධිපත්යයෙහි ජනේරුව.”
මේ මා 2019 අප්රේල් මස 18 වැනිදා ලියු ලිපියකින් කොටස් කිහිපයක් "අවුරුද්ද ගැන ප්රශ්න තියෙනවා. මා නැහැ කියන්නේ නැහැ. සමහර ප්රශ්න මා කලින් කල සාකච්ඡා කර තියෙනවා. බටහිර තාරකා විද්යාවට සාපේක්ෂව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන්නේ අද වගේ දවසක. ඒ කියන්නේ අප්රේල් දහඅටවැනිදා පමණ. ඒ කොහොම වුණත් අප අවුරුද්ද දහතුන දහහතර ලෙස ගන්නේ ඇයි.
සූර්යයා ක්රාන්ති වලයය (ecliptic) දිගේ ගමනේ උතුරට යන්නේ මාර්තු 21 වැනි දා. එක්තරා වකවානුවක සූර්යයා මීනයෙන් මේෂයට ගියෙත් මාර්තු 21. ග්රෙගරියානු දින දර්ශනයට අනුව මේෂ සංක්රාන්තිය අවුරුදු හැත්තෑතුනකට එක දවසක් පමණ ඉදිරියට යනවා. මාර්තු 21 සිට අප්රේල් 18 වැනි දාට දින 28ක් තියෙනවා. දින 28ක් ඉදිරියට යන්න දළ වශයෙන් අවුරුදු 2000ක් පමණ යනවා. සමහර විට ශක වර්ෂ ක්රමය ආරම්භ වුණෙ සූර්යයා මාර්තු 21 දින මේෂ රාශියට සංක්රමණය වූ දවස්වල වෙන්න පුළුවන්. මේ ගණිතය අමාරු නැහැ. කවුරු හරි ඒ ගණනය කරනවා නම් හොඳයි.
අප අප්රේල් 18 නැතිව මේ දවස්වල 13, 14 අවුරුද්ද සමරන්නෙ මොක ද? මේ ප්රශ්නයත් මා කලින් සාකච්ඡා කරල තියෙනවා. හෙළයන් තමයි නැකැත් (නකත්) පටන් ගත්තෙ. එය නක්ෂත්ර කියන සංස්කෘත වචනයෙන් බිඳුණු එකක් නොවෙයි. නක්ෂත්ර, නකත්වල සංස්කෘතකරණය. නක්ෂත්ර කියන එකට සංස්කෘතයෙන් නිරුක්ති නැහැ. මූලාශ්ර අවශ්ය නම් සංස්කෘත උගතකුගෙන් අහන්න.
සිංහල ක්රමය අනුව අවුරුද්ද පටන් ගන්නෙ රේවති නැකතෙන් අස්විද නැකතට සූර්යයා යන දවසෙ කියන එකයි මගේ හිතළුව. පඬියන්ට තියෙන්නෙ වෙන අයගෙ හිතළු. අස්විද නැකත පටන් ගන්නෙ මේෂ රාශිය පටන් ගන්න තැන නො වෙයි. මේෂය පටන් ගන්නෙ අස්විද නැකතෙ දෙවැනි පාදයෙ විතර. සූර්යයා අස්විද නැකතට අප්රේල් දහතුන දහහතර යනවා. අහස නැකැත් 27කටත් රාශි දොළහකටත් බෙදල තියෙන්නෙ. අහස නකත් විසිහතකට බෙදුවෙ හෙළයන්. නක නාගයන්ට සම්බන්ධයන්. ඔවුන් වෙළෙන්දන්. ඔවුන්ට නාවික කටයුතු සඳහා අහස අවශ්ය වුණා. දැන් කියන්න නාග කියන්නෙ දෙමළ කියල. ඇසෑමෙයේත් නාගයන් ඉන්න බව අමතක කරන්න එපා. ඔවුනුත් දෙමළ ද?
එක නකතක් පාද හතරකට බෙදල තියෙනවා. ඒ කියන්නෙ අහස පාද වශයෙන් ගත්තොත් එකසිය අටකට බෙදල තියෙනවා. මේ දොළහෙ ගුණාකාරයක්. සිංහල සංඛ්යාවල පදනම 12. මූලාශ්ර අවශ්ය නම් මාලදිවයිනට යන්න. එහෙ එකල හිටියෙ සිංහලයන්.
සූර්යයාට පාද එකසිය අටක් යන්න දින 365ක් යනව නම් දින හතරකදි පාද කීයකින් යනව ද? දළ වශයෙන් පාද එකක් හා ටිකක්. මා විශ්වාස කරන්නේ මේෂ රාශියෙ ආරම්භය අස්විද නැකතෙ දෙවැනි පාදයෙ තියෙනවා කියලා. අප්රේල් 18වැනි දා සූර්යයා අස්විද නකතෙ දෙවැනි පාදයෙ. සූර්යයා අස්විද නකතට යන්නෙ අප්රේල් 13 14 දවස්වල. අප සිංහල අවුරුද්ද ගන්නෙ සූර්යයා අස්විද නකතට යන විට. අර බැබිලෝනියාවෙන් ලැබුණු රාශි අපේ නකත් සමග එකතු කරන්න ගිහින් පටලැවිල්ලක් නිසා අප සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන කතා කරනවා. මේ මගේ හිතළුව. මෙහි ගණනය දළ වශයෙන්. පඬියකු නොවන කාට හරි ඒ ගණනය ශුද්ධ කරන්න පුළුවන්.”
මට හිතෙන්නෙ සිංහලයන්ට අවුරුදු දෙකක් තියෙන්න ඇති කියල. ඒ චන්ද්ර වර්ෂය හා සූර්ය වර්ෂය අනුව. චන්ද්ර වර්ෂය අනුව සිංහල අවුරුද්ද පටන් ගන්නෙ බක් මස අමාවක දින. සූර්ය වර්ෂය අනුව එය පටන් ගන්නෙ සූර්යයා රේවති නැකතින් අස්විද නැකතට යන දින. පෘතුගිසි කාලෙ අප ප්රධානත්වය දී තියෙන්නෙ චන්ද්ර වරෂ අවුරුද්දට. නායක්කාර් රජවරුන්ගෙන් පස්සෙ අප සූර්ය වර්ෂ අවුරුද්දට මුල් තැන දෙන බවක් පේන්න තියෙනවා. ඒ සමග හරි ඊට පස්සෙ හරි බක් මස අමාවක දිනට තිබූ වැදගත්කම නැති වෙලා. බුදුහාමුදුරුවන් නාගදීපයට වැඩි දිනත් පසළොස්වකක් බවට පත් කර ගෙන.