Main Logo

Thursday 21 April 2022

රසායනික ආසනික් හා දේශපාලනික ආසනික්

රසායනික ආසනික් හා දේශපාලනික ආසනික් 


ජනාධිපතිතුමා රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීම වරදක් බව පිළිගැනීම නිසා ඇතැමුන් අමන්දානන්දයට පත්වෙලා. ඔවුන් හිතන්නේ රසායනික පොහොරවල හා පලිබෝධ නාශකවල වස විස තිබෙන බව ජනාධිපතිතුමා නොපිළිගන්නා බවයි. මේ මෙරට ද්වයංගුල පඤ්ඤාවට තවත් නිදසුනක් පමණයි. ආණ්ඩුව රසායනික කෘෂිද්‍රව්‍ය ගෙන්වීම නතර කෙළේ එහි ඇති සංඝටක ගැන කරන ලද අධ්‍යනයකින් පසුව හෝ අප කී දෙයක් අසා හෝ නො වෙයි. හාල්වල ආසනික් ඇති බව මුල් වරට කීවේ ප්‍රියන්තා සේනානායක මහත්මියත් නො වෙයි. ඒ කෙසේ වෙතත් කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික් තිබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂණාගාරවල දී කරන ලද පරීක්‍ෂණවලින් පෙන්නුම් කෙරුණා. 


රජරට වකුගඩු රෝගය ගැන අප දැනගත් විට ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප කණ්ඩායමේ අයකු ප්‍රියන්තා සේනානායක මහත්මිය මුණ ගැසුණා. එවිට ඇය එයට ප්‍රධාන හේතුව ආසනික් බව ප්‍රකාශ කළා, තවත් හේතු තියෙනවා. කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික් තිබෙන බව අප එලෙස ප්‍රියන්තා සේනානායක මහත්මියගේ ආධාරයෙන් නාථ දේව මණ්ඩලයේ සාමාජිකයකුගෙන් දැනගත් පසු අපේ කණ්ඩායම සම්පූර්ණයෙන් ම ක්‍රියා කෙළේ බටහිර විද්‍යාවට අනුවයි. ඒ බව ඒ පරීක්‍ෂණවලට සහභාගි වූ චන්න ජයසුමන (අද මහාචාර්ය හා සෞඛ්‍ය ඇමති) මහාචාර්ය ප්‍රියානි පරණගම මහාචාර්ය මාලා අමරසිංහ මහත්ම මහත්මීන්ගෙන් දැනගත හැකියි. ප්‍රියන්තා සේනානායක මහත්මිය රසායනාගාරයට පැමිණ ආවර්තික වගු කියෙවුවේ නැහැ. කෙසේ වෙතත් ඒ මහත්මියත් උද්භිද විද්‍යා උපාධිධාරිණියක්.  


බටහිර විද්‍යාවේ අදහස් එන්නේ කොහෙන්ද කියන එක ලංකාවේ ද්වයංගුල පඬියන් හැරෙන්න කවුරුන්වත් ප්‍රශ්න කරන්නේ නැහැ. කෙක්‍යුලේට බෙන්සීන් අනුව පිළිබඳ අදහස ආවේ සිහිනයකින්. රාමනුජන් තම අනන්ත ශ්‍රේණි ලිවුවේ කාලි අම්මාට කළ පූජාවලින් පසුව ඇගේ ආධාරයෙන්. ඔහු බටහිර ගණිතයේ සාධනය යන්න සතපහකට මායිම් කෙළේ නැහැ. අදත් බටහිර ගණිතඥයන් ඔහුගේ සමහර සූත්‍ර සාධනය කිරීමට වෙහෙසෙනවා. මෙරට ද්වයංගුල පඬියන්ට ඇඟිලි දෙකේ දුරට වඩා පේන්නේ නැහැ. ඔවුන්ට අදහස් එන්නෙ නැහැ. ඒ නිසා ඔවුන්ට අදහස් ඒම ගැන කිසිම වැටහීමක් නැහැ. 


හාල්වල ආසනික් ඇති බවට මා පොතක් ලියා නැහැ. පොතක් ලියා ඇති බව යමකු කියන්නේ නම් පොත ඉදිරිපත් කරන්න. එහෙත් අපේ කණ්ඩායම් ඒ බව කිවුවා. එයට බැසිල් රාජපක්‍ෂ ඔහුට උරුම වූ නරුම ආකාරයට පිළිතුරු දුන්නා. ඔහු කියා සිටියේ අප ප්‍රීමා සමාගමින් මුදල් අරගෙන පාන්පිටි ප්‍රචාරය කිරීම සඳහා හාල්වල ආසනික් ඇතැයි කියන බවයි. ඔහුට මෙන් අපට මුදල් ගණුදෙනු හුරු නැහැ. මහින්ද රාජපක්‍ෂ මට කිවුවේ මේ පොහොරවල ආසනික් කතාව නිසා ඉරාකය අපෙන් තේ මිල දී ගැනීම නවත්වා ඇති බවයි. එය පට්ටපල් බොරුවක් බව මා දැන ගත්තා. 2010-2015 රාජපක්‍ෂ ආණ්ඩුව හා ආසනික් සම්බන්ධය එපරිදියි. වරක් මහින්ද රාජපක්‍ෂ වෙනත් කරුණක් සම්බන්ධයෙන් කියා තිබුණේ නලින් කියන විධියට වැඩ කරන්න බැරි බවයි. එහෙත් ඒ නිසා අප ඒ ආණ්ඩුවට සහාය දීම නැවැත්තුවේ නැහැ.  අප දේශපාලන පක්‍ෂයකට පක්‍ෂ වන්නේ තවත් බොහෝ කරුණු සලකා බැලීමෙන් පසුවයි. හොද්දට ලුණු වැඩි වුණා ය කියා අප දික්කසාද වෙන්නෙ නැහැ. 


වත්මන් ආණ්ඩුවත් මුල් වසර දෙකේ රසායනික පොහොර නොමිලේ ලබා දුන්නා. එසේ ලබා දුන්නේ දැන දැන ගොවියන්ගේ වකුගඩු නරක් කිරීමට ද? ආණ්ඩුව එදා රසායනික පොහොර ගැන විශ්වාසයක් තැබුවා. එහෙත් වසංගතය නිසා ඩොලර් අර්බුදය උග්‍රවත්ම ආණ්ඩුවට ඩොලර් සංචිතය ආරක්‍ෂා කර ගැනීමට යම් යම් පියවර ගන්න සිද්ධ වුණා. වාහන ආනයනය නතර කෙරුණේ ඩබ් ඩී ලක්‍ෂමන්ගේ උපදෙස් අනුව. පොහොර තහනම සිදු කෙළේ පුංචි බණ්ඩා ජයසුන්දරගේ උපදෙස් අනුව. එය හුදෙක් ආර්ථික ප්‍රතිපත්තියක් මත සිදු කළ එකක් මිස වකුගඩු ආරක්‍ෂා කිරීමට ගත් පියවරක් නො වෙයි. වකුගඩුව තහනමට දැක් වූ හේතුවක් පමණයි. ආණ්ඩුව මුල් අවුරුදු දෙකේ වකුගඩු නරක් කර පසුව සුව කරන්න ඉටා ගත්තා නො වෙයි.


අද ජනාධිපතිතුමා රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීම වැරදි යැයි කියන්නේ ඒ පුංචි බණ්ඩාගේ උපදෙස් වැරදි කියන එකයි. එය ආර්ථික ප්‍රතිපත්තියක් වැරදි බව පිළිගැනීමක්. එමෙන් ම ජාමූලට කලින් නොයෑම වැරදි බව කියන්නේත් ආර්ථික ප්‍රතිපත්තියක වැරැද්දක් ගැනයි. ඔය ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව ගැන නම් මගේ තඹේක විශ්වාසයක් නැහැ. කීන්ස් ෆ්‍රීඩ්මාන් ඒ ඒ කාලවල බටහිර රටවල ආර්ථිකය සඳහා කී  වැඩ නොකරන පට්ටපල් බොරු පමණයි. ඒ තබා බටහිර භෞතික විද්‍යාවෙ ඇත්තෙත් පට්ටපල් බොරු. ඔය ඊනියා විද්‍යා ප්‍රවාද කියන්නෙ යම් යම් සංසිද්ධි වලට දෙන වියුක්ත හේතු. ඒවා ඉතා කලාතුරකින් වැඩ කරනවා. බොහෝමයක් හේතු වැඩ කරන්නෙ නැහැ. 


නිවුටන් ඇපල් වැටෙන්නෙ ඇයි කියන එකට හේතුවක් දුන්නා. ඒ ගුරුත්වාකර්ෂණය. එය වියුක්ත අදහසක්. යම් සීමාවන් තුළ වැඩ කරනවා. එහි ඇති සත්‍යයක් හරි සත්‍යයට ළඟා වීමක් හරි නැහැ. සත්‍යයට ළඟා වන බව දැන ගන්න සත්‍යය දැන ගෙන ඉන්න ඕන. අප කතරගම යන වීිට රන්න හරියෙදි කතරගමට ළඟයි කියල දන්නෙ කතරගම දන්න නිසයි. විද්‍යාවෙ සත්‍යයට ළඟාවන බව දැන ගන්න සත්‍යය දැන ගන්න ඕන. සත්‍යය දන්නවා නම් සත්‍යයට ළඟා වන ප්‍රවාද අහවල් දේකට ද?  නිවුටන්ගෙ ගුරුත්වාකර්ෂණය කිසිම ග්‍රහ වස්තුවක චලනයට වලංගු වන්නෙ නැහැ. එකම ග්‍රහ වසතුවක්වත් සූර්යයා එක් නාභියක තබා ගනිමින් අචල ඉලිප්සයක ගමන් කරන්නෙ නැහැ. අනේ කෙප්ලර්. නිවුටන්ගේ කෙප්පයට කෙප්ලර් නියම විස්තර කරන්න බැහැ. ඉතින් ෆ්‍රීඩ්මාන්ලා ගැන කියනුම කවරෙ ද? කබ්රාල්ලා පුංචි බණ්ඩලා පුංචිම පුංචියි. අද ඔය උද්දාමයට පත්වෙලා ආසනික් ගැන කියන අය ඇහැට නොපෙනෙ තරමට කුදුයි.  බටහිර විිද්‍යාව පට්ටපල් බොරු කියන එකට විදුසර පත්තරේ විරුද්ධ වූ (නො)දත්දොස්තර කෙනකු වූ මහාචාර්ය අශෝක අමරතුංගට මා වාදයකට අභියෝග කළ නමුත් අප වාදය ඔහු ජීවත්වන මහනුවර සංවිධානය කළ නමුත් ඔහු සැඟ වී සිටියා. කැනඩාවේ වසන ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධනට මා ගුවන් ගාස්තු ගෙවා විවාදයකට ලංකාවට පැමිණෙන ලෙස ආරධනා කළ මුත් ඔහුට ගුවන් යානයක් සොයා ගැනීමට බැරි වෙලා. මේ අභියෝග අදටත් වලංගුයි.  

 

ලිපිය හිතුවට වඩා දික් වුණා. මට කතාකරන්න ඕන  රසායනික ආසනික් ගැන නොවෙයි. දේශපාලනික ආසනික් ගැන. මේ ආර්ථික  අරබුදය අප ණයට කෑම නිසා සිදු වූවක්. ඒ ණයට කෑම වසංගතයත් සමග උග්‍ර වුණා. අපේ ඩොලර් සංචිතය පහතට ම ගියා. එයට ප්‍රධාන හේතු ප්‍රේෂණ අඩු වීම හා සංචාරක ව්‍යාපාරය කඩා වැටීම. ඒ පිළිබඳ දත්ත මා කලින් ලිපිවල සඳහන් කර ඇතිි. ඒ එසේ වුණත් දූෂණය නාස්තිය මේ ආණ්ඩුවෙත් නැතුවා නො වෙයි. පහුගිය ආණ්ඩුවලත් දුෂණ තිබුණා. රනිල් රාජිත මෛත්‍රිපාලගෙන් අහල බලන්න. විජයබා කොල්ලය ගැන කියන රනිල් මහා බැංකු කොල්ලය ගැන කියන්නෙ මොකක් ද? එහෙත් මේ ඩොලර් අර්බුදයට හේතුව දූෂණය නො වෙයි. එය කොහොමටවත් ප්‍රධාන හේතුව වන්නේ නැහැ.


එසේ වුණත් ඒ දුෂණ නැත්නම් දේශපාලනික ආසනික් ගැන කතා කරන්න ඕන. මහින්ද රාජපක්‍ෂ මෙරට කොටි ත්‍රස්තවාදය පරාජය කීිරීම සඳහා දේශපාලන නායකත්වය දුන් තැනැත්තා. එදා ඔහු බිිරිතානි හා ප්‍රංශ විදේශ අමෙතිවරුන් මෙහෙයුම් නතර කරන්න කියන්න ලංකාවට ආවිට ඔවුන් ඇඹිලිපිටියට ගෙන්වා කණේ ඇඟිලි ගහ ගන්න කතා කළ හැටි ජාතියට අමතක විය යුතු නැහැ. අප කොටි පරාජය කිරීම නිසා එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් රාජපක්‍ෂලාට විරුද්ධයි. එදා ආරක්‍ෂක ලේකම් වූයේ ගෝඨාභය රාජපක්‍ෂ බව අමතක කරමින් අද ගෝ ගෝටා කියන්නේ බටහිර ඕනෑකමට ගෝ බුද්ධා කීමට පාර කපා ගන්න. අද සුමන්තිරන් නිතර ම පාර්ලිමේන්තුවේ ඉන්නේ අර එළුවාගේ මොකක් ද එක වැටෙන කම් ඉන්නවා වගේ. එංගලන්තය හාමුදුරුවරුන්ට වෛර කරන්නේ බ්‍රවුන්රිග්ගේ කාලයේ සිට. 


ඩොලර් අර්බුදයට හේතුව රාජපක්‍ෂලා නුණත් ඇතැම් රාජපක්‍ෂලා දේශපාලනික ආසනික්. 2015 ආණ්ඩුව වැටුණෙත් ආණ්ඩුවෙ වකුගඩුව නරක් වුණෙත් මේ ආසනික් නිසා. ඒ බැසිල් හා නාමල් ප්‍රධාන තුන් බෑ ජටිලයන්.  ඔවුන් ආණ්ඩුවෙන් යා යුතු බව මා කියා ඇති. අද ඔවුන් ඇමති තනතුරුවල නැහැ. එහෙත් මහින්ද අගමැති ව ඉන්න තාක් ජටිල  බලපෑම නවත්තන්න බැහැ. එබැවින් කණගාටුවෙන් වුවත් මහින්ද අගමැති ධුරයෙන් ඉවත් විය යුතු ය කියා කියන්න වෙනවා. ඔහු බලයට ගෙනෙනු ලැබුවේ පවුල විසින් නො වෙයි. එබැවින් ඔහු පවුලට නොව රටේ අවශ්‍යතාවට සවන් දෙන්න ඕන. ඔහුට හොඳ දේශපාලන ඉවක් තියෙනවා. සහෝදරයා අපට භාර කර ඉවත් වෙන්න කියා ඔහුට ඉතා කණගාටුවෙන් කියන්න වෙනවා.


ඒ සමග ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්න ගන්නවා. කිසිවකු ව්‍යවස්ථාවට උඩින් නැහැ. ඊනියා ජනතාවවත් නැහැ. ප්‍රවාදාත්මක ව (theoretically) ව්‍යවස්ථාව වෙනස් කෙරෙන්නේ ජනතාව අතින්. ඔවුන්ගේ නියෝජිතයන් අතින්. ජනතාවට ව්‍යවස්ථාව තම නියා්ජිතයන් ලවා වෙනස් කරවන්න පුළුවන්. එහෙත් එසේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් කියන  එකෙන් ඔවුන් ව්‍යවස්ථාවට උඩින් ඉන්න බවක් කියැවෙන්නේ නැහැ.  එසේ කියන්නේ ද්වයංගුලයන්.  ව්‍යවස්ථාව වෙනස් කරන තාක් කවුරුත් තිබෙන ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ඕන. 


අගමැති අස් වූ විට ඇමති මණ්ඩලයත් විසිරෙනවා. එවිට නැවතත් ඇමති මණ්ඩලයක් පත් කර ගන්න වෙනවා. එයට විපක්‍ෂය හිනහ වේවි. ඒකට කමක් නැහැ. අර ඉංගිරිසි කියමන අනුව අවසානයේ හොඳට ම  හිනහ වෙන්නේ කවුද කියා බලමු. ජනාධිපති පළමුව  අගමැති කෙනකු පත් කරන්න ඕන. ඉන් පසු අවශ්‍ය නම් අගමැති සමග සාකච්ඡා කර ඇමති මණ්ඩලය පත් කරන්න ඕන. මා අර ස්වාධීන වූ වැඩේට කැමති නැහැ. එමෙන් ම ව්‍යවස්ථාව අනුව ඊනියා අන්තර්කාල ආණ්ඩු භාරකාර ආණ්ඩු හදන්නත් බැහැ. එහෙත් අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්. 


ජනාධිපතිතුමා ස්වාධීන වූ සියල්ලන්ට ආපසු එන්න ආරධනා කරන්න ඕන කියා හිතනවා. අවශ්‍ය නම් පොදු ජන පෙරමුණ හා තවත් පක්‍ෂයක් (එක් මන්ත්‍රීවරයකු සිටියත් ඇති) හරි පක්‍ෂ හරි එක්ව ජාතික ආණ්ඩුවක් හදන්නත් පුළුවන්. රාජපක්‍ෂලා හැරෙන්න අස් වූ ඇමතින් මෙන් ම මෛත්‍රිපාල අතාවුල්ලා වැනි අයටත් ඇමතිකම් දෙන්න පුළුවන්. එහෙත් මෙයින් කියන්නේ බටහිරට අවශ්‍ය රනිල් හරි ෆෑසිස්ට් චම්පක හරි බෙදුම්වාදී ඩලස් හරි වෙනත් එවැන්නකු හරි අගමැති කළ යුතු ය කියා නො වෙයි.   බැසිල් ගෙනා මුස්ලිම් මන්ත්‍රීවරුන් අවශ්‍ය වන එකක් නැහැ. තුනෙන් දෙක නැති වුණත් 140ක් වත් හදා ගන්න පුළුවන් වේවි. පළමුව කළ යුත්තේ වකුගඩුව බේරා ගැනීමට ආසනික් ඉවත් කිරීමයි. විපක්‍ෂයේ අයට වුණත් ආණ්ඩුවට එකතු වීමට අවස්ථාව දෙන්න ඕන. එහෙත් ලප නොම වන් සඳ සේ වැන්නන් විපක්‍ෂයේ ඉන්නවා ද කියන එක ප්‍රශ්නයක්. මේ අවස්ථාවේ ඇමති මණ්ඩලය විශාල වීම ප්‍රශ්නයක් නො වෙයි. අද අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය. ඒ සමග ආර්ථික ස්ථාවරත්වය. මේ අවස්ථාවේ විධායක ජනාධිපති ධුරය නැති කරන්න යෝජනා කරන්නේ ගෝ බුද්ධා කරුවන්. ගෝ බුද්ධා කියන්නේ මගේ කතාවක් නො වෙයි. එය අවශ්‍ය අය ඒ බව දන්නවා.


මීට වසර තුනකට පෙර පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු සෙවීම මේ ගෝ බුද්ධා ව්‍යාපාරයේ දෙවැනි පියවර. පළමු පියවර වූයේ සර් ෆේල් ව්‍යාපාරයයි. අද කාදිනල්තුමා මහා මොළ කරු සොයන්නේ මේ ව්‍යාපාරයේ කොටසක් ලෙසයි.  නොසැලකිල්ල යනු චේතනාන්විත සාපරාධි ක්‍රියාවක් නොවන බව මා කලිනුත් කියා ඇති. පාස්කු ප්‍රහාරය කෙළේ ගෝඨාභයගේ අවශ්‍යතාවට යැයි කාදිනල්තුමා කියන්නේ ද? වගකිව යුතු ආගමික නායකයකු ලෙස එතුමා හිතළු ප්‍රසිද්ධියේ කියන්නේ කුමන අරමුණකින් ද? එතුමාට නිශ්චිත සාක්‍ෂි ඇත්නම් කළ යුත්තේ තමන් දන්නා දේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීමයි.


ඒ කෙසේ වෙතත් අප ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්න ඕන. අද ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් ඇති කර දේශපාලනික ආසනික් ඉවත් කර දේශපාලන ස්ථාවරත්වය ඉක්මණින් ඇති කරන අතර හැකි ඉක්මණින් තෙල් ගෑස් බෙදා හැරීමට අවශ්‍ය පියවර ගන්න ඕන. ඒ සඳහා වෙනත් විකල්පයක් නැති කමින් තාවකාලික ව ජාමූලට යන්න වෙලා. එහෙත් අප ඉන්දියාව කියන කියන එක කරන්න අවශ්‍ය නැහැ. අප හැකි ඉක්මණින් චීනය සමග සම්බන්ධකම් අලුත් කර ගන්න ඕන.  අප ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම වළක්වන්න ඕන.  අප සැලසුම් සහගත ව දේශීය නිෂ්පාදිත ආර්ථිකයක් අනුගමනය කරන්න ඕන. ඊනියා සහානාධාර නැති කිරීමකට අප ක්‍රමයෙන් යන්න ඕන. නිෂ්පාදනය හා සාමූහිතකත්වය මගින් එය කරන්න පුළුවන්. එකා සැමටත් සැම එකාටත් සටන් පාඨය මතක ද? අපේ අධිපර්භෝජනය බොරු ෂෝක් බොරු උගත්කම නැති කර ගන්නේ නම් සැලසුමක් සහිත ව වැඩ කර ඩොලර් බිලියන පනස්එක ගෙවන්න පුළුවන්.