Main Logo

Sunday, 24 April 2022

ඩලස් ද මහින්ද ද

 

ඩලස් ද මහින්ද ද

 

මහින්ද රාජපක්‍ෂ අස්විය යුතු ද යන ප්‍රශ්නය අද දේශපාලනයේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වෙලා. අද පවතින්නේ ආර්ථික අර්බුදයක් නිසා උග්‍ර වී තිබෙන දේශපාලන අර්බුදයක්. මා කිසි විටෙකත් දේශපාලන අර්බුද ආර්ථිකයට ඌනනය කරන්නේ නැහැ. ඌනිතවාදයට (reductionism) මගේ දර්ශනයේ කිසිදු ඉඩක් නැහැ. බටහිර විද්‍යාවට නම් ඌනිතවාදය අවශ්‍යයි. ඌනිතවාදය ඒක හේතුවාදයක්. බෞද්ධයන් ඒක හේතුවාදීන් නො වෙයි. දර්ශනය ගැන කිසිම දෙයක් වටහා ගැනීමට නොහැකි පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හිතන්නේ මා දේශීය දැනුම ලෙස සලකන්නේ ධම්මික පැණිය කියායි. ධම්මික පැණියත් දේශීය දැනුමක් තමයි. මහා විද්‍යාඥයන් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් එයට එකඟ  නො වේවි. එහෙත් අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් දැනුම ලබාගැනීමත් දැනුම ලබා ගැනීමේ එක් ක්‍රමයක්. අවශ්‍ය නම් රාමනුජන්ගේ ගණිතය තේරුම් නොගත්තත් ඔහු ගැන කියවන්න.

 

ආර්ථික අර්බුදය ඇති වුණේ මේ ආණ්ඩුව නිසා නො වෙයි. අවුරුදු හැත්තෑවක වැරදි ආර්ථික ප්‍රතිපත්ති එයට හේතු වුණා. ඊනියා නිර්නාමික හැකරුන් ඔවුන් කවුරුන් නමුත් කියන විධියට රාජපක්‍ෂවරුන් ඩොලර් ට්‍රිලියනයක් පමණ හොරකම් කිරීම නිසා ආර්ථික අර්බුදය ඇති වුණේ නැහැ. ඩොලර් ට්‍රිලියනයක් හොරකම් කළා නම් රට බංකොළොත් වී හුඟක් කල්. අපේ මුළු ණයත් ඩොලර් බිලියන පනස්එකක් පමණ. ට්‍රිලියනයක් කියන්නේ යුරෝපීය ක්‍රමය අනුව නම් බිලියන දාහක්. ඔය පාර්ලිමේන්තුවේ හොරකම් නොකරන අය කිහිප දෙනකුට වඩා නැහැ. එහෙත් මේ ආර්ථික අර්බුදය ඒ කිසිවකුගේවත් හොරකම් නිසා නො වෙයි. ආර්ථික අර්බුදයට හේතු මා කලින් කියා ඇති. වසංගතය විසින් අර්බුදය තියුණු කෙරුණා පමණයි.

 

පවත්නා දේශපාලන අර්බුදය ඇති වුණේ ආර්ථික අර්බුදය උග්‍ර වීමට කලින්. ඒ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී මාස කිහිපයකින් සර් ෆේල් ව්‍යාපාරයත් සමග. එය පසුව කාදිනල්තුමා මහමොළ ව්‍යාපෘතිය මගින් තමන් අතට ගත්තා. ඇතැම් හාමුදුරුවරුන් ද ජනමාධ්‍යද එතුමාගේ ඊනියා බෞද්ධ ලැදියාවෙන් නොමග ගියා. කෙසේ වෙතත් බැසිල් රාජපක්‍ෂ හා මහින්ද පුතණුවන් වූ තුන් බෑයන් දේශපාලන අර්බුදයට උත්තේජකයන් වුණා. 2014 දී මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත්වීමට ද ඔවුන් හේතුවක් වුණා. මහින්ද රාජපක්‍ෂට රට පාලනය කරන්න පුළුවන් වුණත් පවුල පාලනය කරන්න බැරි වුණා. පවුල පාලනය නොකිරීම නිසා රට පාලනය ද අහිමි වුණා.

 

අදත් සිදුවන්නේ එයයි. එහෙත් මහා පරිමාණයෙන්. ආර්ථික අර්බුදය එය මහා පරිමාණයකට ගෙන ගොස් තියෙනවා.  සිංහල බෞද්ධ විරෝධීන් අද එය සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමට යෙදා ගන්නවා. ඒ අතර පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩ කරන්නන් ද තම දේශපාලන අභිලාෂ ඉටු කර ගැනීමට මේ දේශපාලන අර්බුදය යොදා ගන්නවා. බැසිල්වත් තුන්බෑයන්වත් සිංහල බෞද්ධ සංස්කෘතික හිතවාදීන් නො වෙයි. සිංහල ජාතිකවාදීන්ට ඔවුන් පරාජය කිරීමට හැකි වී තියෙනවා. එහෙත් එය සිංහල ජාතිකවාදීන්ගේ ජයග්‍රහණයක් නො වෙයි. එයට හේතුව බැසිල්ගේ පරාජයත් සමග සිංහල බෞද්ධ විරෝධීන් පිරිසක් බලය ඇල්ලීමයි.

 

අද මාක්ස්වාදය මුසු කරගත් ජාතිකවාදීන් ද ජාතිකවාදය තම අභිලාෂ ඉටු කර ගනීමට පමණක් යොදා ගන්නා පිරිසක් ද මහින්ද අගමැතිි ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරනවා. ඔවුන් රටේ අනාගතය ගැන හිතන්නේ තමන් බලයට පත් වීමේ දෘෂ්ටියෙන් පමණයි. මහින්ද අගමැති ධුරයෙන් ඉවත්විය යුතු යැයි මා කියන්නේ බැසිල් හා තුන් බෑයන් පැරදවීමට පමණයි. ඒ මිස මහින්ද ගෙදර යවා බෝන් අගේන් අය හරි සුදු නෙළුම් තවලමුන් හරි බලයට පත් කිරීමට නො වෙයි. එසේ කිරීම අවසානයේ දී සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමට හේතු වනු ඇති.

 

අද මහින්දගේ නම වෙනුවට ඉදිරිපත් වෙන ප්‍රධාන නම ඩලස්. ඩලස්ට වඩා මහින්ද දසදහස් ගුණයක් හොඳයි. ඩලස් අගමැති ලෙස පත් කීිරීමට මහින්ද අස්විය යුතු නැහැ. තුන් බැයන් සිටියදීත් අස්විය යුතු නැහැ. 2015 පරාජයෙන් පසු ඩලස් දුරතනයටවත් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව අපට පැවසුවේ මහින්දමයි. ඒ අප ඔහු මුණ ගැසීමට කතානායක නිල නිවසට ගිය අවස්ථාවේ දී. 2004 චන්ද්‍රිකා ආණ්ඩුව අර්බුදයට ගිය අවස්ථාවේ ඩලස් කුඩා පෙට්ටියක සියලු වස්තුව දමා ගෙන මාධ්‍ය ඉදිරියේ රඟපැමක් කර ඇමරිකාවට යන්න ගිය බව අමතක වීමට තරම් අප මැරී ඉපදී (බෝන් අගේන්) නැහැ. සිංහල බෞද්ධත්වයට නැති අයකු අගමැති කිරීමෙන් අවසානයේ දී ගෝඨාභය රාජපක්‍ෂට ද ඉවත් වෙන්න වේවි. මෙයත් ගෝ ගෝඨා ව්‍යාපෘතියේ කොටසක් ද?

 

අගමැති ධුරයට සුදුසු නමක් (සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තෙන්) යෝජනා වන්නේ නම් පමණක් මහින්ද අස්විය යුතුයි. එසේ නැත්නම් ඊනියා ජනතාවාදීන්ට පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් මහින්ද අස් කර දැමීමට කටයුතු කරන්න කියමු. එවිට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අනුව මහින්ද අගමැති ධුරයෙන් ඉවත් කෙරේවි. ඒ සමග ඇමති මණ්ඩලය ද විසිරේවි. ඉන්පසු නව අගමැතිවරයකු හා ඇමති මණ්ඩලයක් පත් කර ගන්න පුළුවන් වේවි. එය කිසිසේත් ම ඊනියා අන්තර්කාල ආණ්ඩුවක් හරි භාරකර ආණ්ඩුවක් හරි නොවෙයි. එවැන්නක් ව්‍යවස්ථාවේ නැහැ.

 

විජෙදාස රාජපක්‍ෂ ජනාධිපති නීතිඥයෙක් වෙන්න පුළුවන්. එහෙත් ඔහු කියන විධියට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් ඕනෑම දෙයක් කිරීමට පාර්ලිම්න්තුවට බැහැ. පාර්ලිමේන්තුවට  යෝජනා සම්මතයක් මගින් කරන්න පුළුවන් පාර්ලිම්න්තුවට නියම කෙරී ඇති කාර්යයන් කිරීම පමණයි. මේ සම්බන්ධෙයන් මා අප්‍රේල් අටවැනි දා ලියූ ලිපයක කෙටසක් උපුටා දක්වනවා. ව්‍යවස්ථාවේ 74(1) වගන්තිය සඳහන් කරමින් මා කීවේ මෙයයි.

 

 “74 (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට යටත් ව 

(ඉ)       කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා නියෝජ්‍ය කාරක සභාපතිවරයා තෝරා පත්කිරීම හා ධුරයෙන් ඉවත් වීීම පිළිබඳ ව ද,

(ඉඉ)     පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේ පිළිවෙළ විධිමත් කිරීම සඳහා ද, පාර්ලිමේන්තුවේ රැස්වීම්වල දී විනය ආරක්‍ෂා කිරීම සඳහා ද,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කොට ඇත්තා වූ හෝ බලය දී ඇත්තා වූ හෝ වෙනත් කාරණා සඳහා ද යෝජනා සම්මතයෙන් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්වීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය.  

 

එහි අන්තර්වාර කතාවක් නැහැ. එහි කියන්නේ  යෝජනා සම්මතයෙන් ව්‍යවස්ථාවෙන් නියම කොට ඇත්තා වූ හෝ බලය දී ඇත්තා වු වෙනත් කාරණා සඳහා විධිවිධාන සැලැස්වීමට පාර්ලිමේන්තුවට බලය ඇති බව ය. එහි වැදගත් ම කරුණ වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කොට ඇත්තා වූ හෝ බලය දී ඇත්තා වූ කාරණා සඳහා යන්න ය. අන්තර්වාර පාලනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර තියෙනවා ද? “

 

විජේදාස රාජපක්‍ෂ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් කිරීමට උපදෙස් දෙන බවයි මට වෑටැහන්නේ. ඒ කුමක් වුවත් එවැනි යෝජනාවකට විරුද්ධ ව සජිත් හරි වෙනත් කවුරු හරි අධිකරණයට යන්න ඉඩ තියෙනවා. සජිත් ඔය ඊනියා භාරකාර ආණ්ඩුවකට කැමති නැහැ. ඔහු හිතන්නේ තමන් තරම් සංවර්ධනයට දක්‍ෂ අයකු තවත් නැහැ කියා. පොඩි අඩුපාඩුවකට තියෙන්නේ ඔහු ඒ කිනම් සංවර්ධනයක් ගැන දැයි නොකීමයි.

 

අද ඇත්තේ එකිනෙකා තම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට මේ දේශපාලන අර්බුදය යොදා ගැනීමක්. එහෙත් ඔය කිසිවකුටවත් පාර්ලිමේන්තුවේ 113 නැහැ. අදත් වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ මහින්දටයි. ඩලස් දහතුනෙන් එහා යන බලය බෙදීමක ඉන්න කෙනෙක්. ඔහු තමයි  හිස්බුල්ලා සෞදි සල්ලිවලින් නැගෙනහිර  තැනූ විශ්වවිද්‍යාලයට මුල් ගල තිබ්බෙ. ඔහු අද සූදානම් වන්නේ කුමකට මුල්ගම තැබීමට ද?

            ්