Main Logo

Thursday 7 April 2022

ගෝටා ගෝ ජාතිකත්වය නැත්තට ම නැති කිරීම සඳහායි

 

ගෝටා ගෝ ජාතිකත්වය නැත්තට ම නැති කිරීම සඳහායි

 

ඊනියා ජනතා උද්ඝෝෂණය සාමාකාමී එකක් යැයි කිව හැක්කේ කිසිවක් තේරුම් ගන්න උත්සාහ නොකර තම පඬි බව කියන්න උත්සාහ කරන ජඩමාධ්‍යවේදියකුට පමණයි. ගෙවල්වලට ගල් ගැසීම අලාභ හානි කිරීම සාමාකාමී යැයි කියා ඇත්තේ මොන නීතියේ ද මොන ආගමේ ද? ඒ ප්‍රශ්න අසන විට ජඩමාධ්‍යවේදීන් කියන්නේ සාමකාමී උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට ප්‍රචණ්ඩ පුද්ගලයන් ද රිංගා සිටින බවයි. ඊනියා සාමකාමීන් ජඩමාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට පෙනී සිටීමෙන් පසු ප්‍රචණ්ඩත්වයට ඉඩ දී පසුබසිනවා ද?

 

මෙය කිසිසේත් ම ජනතා උද්ඝෝෂණයක් නො වෙයි. ලන්ඩනයෙන් (වොෂිංටන් නොවෙයි) මෙහෙයවෙන ගෝටා ගෝ හෝම් ව්‍යාපෘතිය අප අත්දකිමින් ඉන්නවා. එය පටන් ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත් වී මාස දෙකක් ඇතුළත සර් ෆේල් ව්‍යාපෘතියෙන්. කාදිනල්තුමාගේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සෙවීම ද එහි කොටසක් වුණා. එතුමා ජෙනීවාහි දී මහා මොළකරු හොයා ගන්න ඇති. එතුමාට කතා කිරීමට ඉඩ දී අයින් වුණු රාජ්‍ය නොවන සංවිධානය අමතක කරන්න එපා. වසංගතය සමග ඩොලර් අර්බුදය නහය ළඟට ම ආවා. නිලධාරීන් ඉතුරු ටික කළා. දැන් ගෝටා ගෝ.

 

අර්බුදය අවුරුදු හැත්තෑවක් අපි කාපු බීපු ආකාරය, ආකල්ප, ආටෝප ජීවිතය ආදිය නිසා ඇති වූවක්. වසංගතයෙන් අර්බුදය තියුණු වුණා පමණයි. එයට වරදකරුවා ගෝඨාභය රාජපක්‍ෂ නම් නො වෙයි. ඔහු කටයුතු කරන්නෙත් අනෙක් බොහෝ දෙනා වගේ ම බටහිර දැනුම විශ්වාස කරමින්. අද අර්බුදයට බටහිර දැනුම පසුපස යෑමත් හේතුවක්. මහින්දත් දේශීය දැනුමක් ගැන විශ්වාස කරන්නෙ නැහැ. බැසිල් කොහොමටවත් විශ්වාස කරන්නෙ නැහැ. නාමල් දන්න ඉටිගෙඩියක් නැහැ. ඒත් එයින් කියන්නෙ නැහැ රනිල් සජිත් රනිල්දාස චම්පක හරින් වැන්නන් දේශීය දැනුමක් ගැන විශ්වාස කරනව කියා. චක්‍රීය චින්තනය අද පටිච්චසමුප්පාදය කටපාඩමින් කීමට සීමා වෙලා. අද ඇත්තේ ආරම්භයක් ගැන කියන රේඛීය චින්තනය.

 

අදවත් කිසිවකු දීර්ඝකාලීන ව ප්‍රශ්නය විසඳන ක්‍රමයක් ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් දන්නා එක ම දෙය බටහිර රටවල මෙන් ජීවත්වීම පමණයි. එහෙත් එයවත් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව කිසිවකුට කිසිම වැටහීමක් නැහැ. අද විපක්‍ෂයේ කිසිවකු ඇමතිකම් භාර ගැනීමට අකමැති ඔවුන්ට බැරි නිසා මිස ඊනියා ප්‍රතිපත්තිගරුක වීමක් නිසා නො වෙයි. ඔවුන් එක එකා යෝජනා ඉදිරිපත් කරනවා. අන්තර්කාලීන ආණ්ඩු භාරකාර ආණ්ඩු තාවකාලික ජනාධිපති කෙනකු පත් කිරීම ආදිය මගින් පෙන්නුම් කරන්නේ නොදැනුම්කම හරි ප්‍රශ්නයෙන් ගැලවී යැමට ඇති අවශ්‍යතාව හරි. ඔය යෝජනා එකක්වත් ව්‍යවස්ථානුකූල නැහැ. හරින් ප්‍රනාන්දු යෝජනා කරන්නේත් ව්‍යවස්ථාව මත පදනම් වී නොවෙයි. හුදෙක් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට ඊළඟ මැතිවරණය බලාගෙන. ඊනියා ප්‍රබුද්ධ ජඩමාධ්‍යවේදීන් හරින්ට වශී වෙලා. ජඩමාධ්‍යවේදීන් අඩුතරමෙන් ව්‍යවස්ථාව කියවා සාකච්ඡා පවත්වනවා ද?

 

ඩොලර් අර්බුදය ඇති වීමට හේතුව ලෙස මෙතෝදිස්ත සභාවේ ඒබ්‍රහම් සුමන්තිරන් කියන්නේ යුද්ධයට මුදල් වියදම් කිරීම. ඒ මුදල ප්‍රතිශතයක් ලෙස කීය ද? ඔහු තවත් කියනවා ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ආදිය ක්‍රියාත්මක කළා නම් යුද්ධයක් ඇති වන්නේ නැහැ කියා. මා ඒ සියල්ල ප්‍රභාකරන් ඔහුගෙ සීයලා බාප්පලා මස්සිනාලා පොතේ සාකච්ඡා කර තියෙනවා. ඒබ්‍රහම්ට ඕන නම් ඒ පොතේ පරිවර්තනය  (An Analysis of Tamil Racism in Sri Lanka)  ඉංගිරිසියෙන් කියවන්න පුළුවන්. 1949 දී ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) පිහිටුවා ගනු ලැබුයේ පනස්හයට කලින් බව ඒබ්‍රහම් දන්නෙ නැද්ද? චෙල්වනායගම් ද ක්‍රිස්තියානි බැතිමතකු වුණ. එතකොට නාගනාදන්. ඔහු දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස දිනා ගන්න ඕන කිවුවෙ 1947 දි. ඒබ්‍රහම්ට එයටත් එහාට ඉතිහාසයට යන්න ඕන ද? නැහැ මා විජය රජු දක්වා යන්නේ නැහැ.

 

අද එංගලන්තයෙන් මෙහෙයවෙන ඊනියා ජනතා උද්ඝෝෂණයේ එක ම අරමුණ ගෝඨාභය ඉවත් කිරීමයි. ගෝඨාභය දේශීය දැනුමක් ගැන විශ්වාස කරන්නෙ නැහැ. මෙරට කසිකබල් අධ්‍යාපනයෙන් මනස් විකෘත කරනු ලැබූවන්ගෙන් කී දෙනකු දේශීය දැනුමක් ගැන විශ්වාස කරනවා ද? ඔවුන් බටහිර දැනුමේ පට්ටපල් බොරු විශ්වාස කරනවා.  පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සකස් කෙරී ඇත්තේ බටහිර පට්ටපල් බොරු විශ්වාස කිරීමටයි. ඔය ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවට ප්‍රශ්න විසඳන්න බැහැ. අද ඇත්තේ බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම කඩා දැමීමෙන් පසු ඇති කෙරුණු කෘත්‍රිම ව්‍යාජ ඩොලර් ආධිපත්‍යයක්. එය කඩා දැමීමට නැවත රත්තරන්වලට යන්න ඕන. ඒත් රුසියවටවත් චීනයටවත් ඒ සඳහා වැඩ පිළිවෙළක් නැහැ.

 

ගෝඨාභය ඉවත් කිරීමට සැරසෙන්නේ ඊළම දීමට. එංගලන්තයට අවශ්‍ය නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න. ගෝඨාභය ඉවත් කර රණවිරුවන්ට දඬුවම් දීමට. එබ්‍රහම් හිතනවා එය කරන්න පුළුවන් කියා. ගෝඨාභය ඔය මන්ත්‍රීවරුන් සියල්ලන්ට වඩා වෙනස්. ඔහු තම වුවමනාවට දේශපාලනයට ආ කෙනකු නො වෙයි. ඔහු දේශපාලනයට තල්ලු කෙරුණේ ජාතික බලවේග විසින්. ඔහුට පවුලෙනුත් විරුද්ධත්වයක් තිබුණා. ජාතික බලවේග ඒ සියල්ල පරාජය කළා. අද ඒ සියලු විජාතික බලවේගවලට අවශ්‍යයයි ගෝඨාභය ඉවත්කර ජාතිකත්වයෙ තිබෙන ටිකත් නැති කරන්න. එංගලන්තය සටන මෙහෙයවන්නේ ඒ අරමුණෙන්. අවාසනාවකට ජාතික කඳවුරේ සමහරු බැසිල් මුල් කරගෙන ගෝඨාභය ඉවත් කිරීමේ කඳවුරට ගිහින්. ඔය විධියට බැසිල් පරාජය කර්න්න බැහැ.  සිදුවන්නේ බැසිල් ශක්තිමත් වීම පමණයි. නොදත් දොස්තරලාගේ උපදෙස් මත සිදුවෙන දේ. අද සිංහල බෞද්ධයන්ට අවශ්‍ය නැවත කුරගල අහිමි කර ගැනීමට ද? ගෝඨාභය මහා ජාතිකත්වයක් ඇත්තෙක් නො වෙයි. ඔහු දේශීය දැනුමක් ගැන විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ඔහු මෙරට සිංහල බෞද්ධ උරුමය විශ්වාස කරනවා. එංගලන්තය දන්නවා තමන් කරන්නේ කුමක් ද යන්න.

 

අද ප්‍රශ්නයට විපක්‍ෂයට විසඳුම් නැති නිසා ඔවුන් ගෝටා ගෝ යන්න  පුනරුච්චාරණය කරනවා. ඔවුන්ට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කර ගන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනකින් අලුත් පාර්ලිමේනතුව රැස් කරන්න ඕන. ඒ අතර ඔය කියන භාරකාර ආණ්ඩුව හදා ගන්න පුළුවන්. මාස තුන මදිනම් සියල්ලන් ම එකතු වී ව්‍යවස්ථාව  සංශෝධනය කර එය මාස හය හෝ අවුරුද්ද හෝ දක්වා දික්කරගන්න පුළුවන්. එවිට අද හෙට ම නැවත මැතිවරණයක් තියන්න ඕනෙ නැහැ. එහෙත් විපක්‍ෂයට එය අවශ්‍ය නැහැ. ඔවුන්ට විසඳුම් නැහැ.

 

මට පේන විධියට විපක්‍ෂය තම යුතුකම් පැහැර හරින බැවින් පරණ අමාත්‍ය මණ්ඩලය ම දිවුරුම් දෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුව ජාමූලට ගිහින් කොන්දේසිවලට යටත් වී ණයක් ලබා ගනීවි. ප්‍රශ්නය තාවකාලික ව විසඳා ගනීවි. ඉන්පසු නැවතත් අවුරුදුු කිහිපයකින් ප්‍රශ්නය මතුවේවි. අර කොන්දේසිවලට විරුද්ධ ව ඊනියා ජනතාව පාරට බහීවි දමා ජඩමාධ්‍යවේදීන් මෙන් උගතකු හරි බුදධිමතකු හරි නොවන නිසා පාරට බැසීම ගැන ඔවුන්ගෙන් අහන්න වෙනවා.