Main Logo

Sunday 1 May 2022

පනස්හයේ තේමිස් දරුවෝ

පනස්හයේ තේමිස් දරුවෝ

 

අද ඊනියා අරගලය යන්නේ කිනම් දිශාවකට ද යන්න ආතල්ගම සිදුවෙන දෙයින් පැහැදිලියි. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවේ ඇස් බැඳීමට දැන් විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. එහෙත් එය සමස්ත ක්‍රියාවලිය ම පැහැදිලි කරන සිද්ධියක් පමණයි. සමස්ත ක්‍රියාවලිය සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීම සඳහායි. එහි එක් පියවරක් වනුයේ පනස්හය ආපසු හැරවීමයි. බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැන්දේ එය සංකේතවත් කිරීමටයි. අද ඇතැම්දෙමළ ජාතිවාදීන් බණ්ඩාරනායක පිළිරුව කඩා දැමිය යුතු යැයි කියනවා.

 

ඒ අතර ආතල්ගමේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට පහර දීමක් ද සිදුවෙලා තියෙනවා. උන්වහන්සේ චම්පකගේ කල්ලියක් විසින් ඉදිකරන ලද කුටියක වැඩ විසූ බවයි ආරංචිය. අද චම්පක දකින්ටවත් නැහැ. ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ඕමල්පේ සෝභිත හාමුදුරුවන්. සෝභිත හිමියන් මේ කුටියට වැඩම කළ බවක් ආරංචි නැහැ. එහෙත් උන්වහන්සේ සංඝ ආඥා නිකුත් කිරීමට කතා කරනවා. සංඝ ආඥා ආවට ගීියාට නිකුත් කරන්න බැහැ. ඒ වගේ ම අත්සන් වෙනුවට  ඡායා අත්සන් යෙදීමෙන් කරන්නත් බැහැ. එහෙත් පුදුමෙනුත්  පුදුමයි. සෝභිත හාමුදුරුවන් ඡායා අත්සනක් යෙදීම සම්බන්ධයෙන් සමාව ගැනීමෙන් පසු අස්ගිරියෙන් නිකුත් කළා යැයි කියන නිවේදනයකින් කියැවුණේ අර ප්‍රකාශයෙහි අස්ගිරි මහානායක හිමියන්ගෙ අත්සන සංඥා අත්සනක් නොවන බවයි. සෝභිත හාමුදුරුවන් තමා නොකළ දෙයකට සමාව ගත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. උන්වහන්සේගේ නිහතමානිත්වය ඉන් පිළිබිඹු චෙනවා ද? මේ ප්‍රශ්නය විසඳා ගත හැක්කේ ප්‍රකාශයේ මුල් පිටපත පරීක්‍ෂා කීරීමෙන් පමණයි. එය කා ළඟ හරි තියෙන්න ඕන.

 

සෝභිත හාමුදුරුවන් අද කියන්නේ සජිත්වත් අනුර දිසානායකවත් විපක්‍ෂය මෙහෙයවීමට නුසුදුසු බවයි. ඔවුන් ජනාධිපති සිහින දකින බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙත් උන්වහන්සේ කෙතරම් නිහතමානි ද කියනවා නම් තමන්වහන්සේගේ දේශපාලන නායක චම්පක සුදුසු යැයි කියන්නේ නැහැ. අපට එය හිතා ගැනීමට ඉඩ දෙනවා කියා හිතන්න පුළුවන්. අපරාදෙ කියන්න බැහැ චම්පක සිහින දකින්නෙ නැහැ. ඔහු ඉපදිලා තියෙන්න ම ජනතාවට සේවය කරන්න.  ඒ කුමක් වුවත් අර ආතල්ගමේ චම්පක අනුගාමිකයන්ගේ කුටියේ යමකු විසින් කරන ලද ප්‍රකාශයක් නිසා ආතල්ගමේ තවත් කල්ලියක් උරණ වෙලා. ඒ සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක දී යමකු හාමුදුරුවන්ට පහර දී තියෙනචා. මොන කුටියක වැඩ විසුවත් හාමුදුරුවන්ට පහර දීම හෙළා දකිනවා. එහෙත් එපමණකින් එය අමතක කරන්න බැහැ. මේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයේ ම කොටසක් පමණයි.

 

පනස්හයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතිය විසින් පාගා දමනු ලැබූ සිංහල බෞද්ධ සංස්කෘතිය හිස ඔසවන්න පටන් ගත්තා. මෙහි ඉතිහාසය දහනවවැනි සියවසේ දෙවැනි භාගය දක්වා දිව යනවා. හරියට ම කියනවා නම් ඊටත් පෙර වැලිවිට අසරණසරණ සරණංකර සංඝ රාජ හිමියන් වෙතට යනවා. ලන්දේසීන් කුල භේදය ඇති කර ගොයිගම නොවන කුලවල හාමුදුරුවරුන්ට සියම් නිකායේ උපසම්පදාව දීම නතර කළා. මේ පිළිබඳ විස්තර තිස්ස කාරියවසම් මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ තියෙනවා.  ලන්දෙසින් කුලභේදය ඇති කිරීමට පෙර වෙනත් කුලවල හාමුදුරුවරුන්ට ද සියම් නිකායේ උපසම්පදාව ලැබී තියෙනවා.

 

ඉංගිරිසින් මෙරට ධර්මපාලතුමාගේ බසින් කියනවා නම් කළු සුද්දන් පිරිසක් ඇති කළා. ඉංගිරිසි අධ්‍යාපනයක් ඉංගිරිසි මාධ්‍යයෙන් ලැබූ අය සමාජයේ ඉහළ තැන්වලට පත් කළා. ක්‍රිස්තියානි හා මෙතෝදිස්ත පූජකවරුන් හා දේශකයන් බුදුදහමට අපහාස කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පංච මහා වාද ඇති වුණා. එහි නායකත්වය ගත් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් අමරපුර නිකායේ සලාගම කුලයට අයත්. පාණදුරා වාදය සංවිධානය කෙළේ කරාව කුලයට අයත් අය. එහෙත් ඒ වන විටත් බුද්ධාගම් කාරයා යන්න ව්‍යවහාර වුණේ නැහැ. සිංහල බෞද්ධයන් එක් සංස්කෘතියකට අයත් වූවා මිස ආගම්කාරයන් වුණේ නැහැ. අප ආගම්කාරයන් යැයි කිවුවේ කතෝලිකයන්ට හා ක්‍රිස්තියානින්ට.

 

පංච මහා වාදවල ප්‍රතිඵලයක් ලෙස ඕල්කට්තුමා ලංකාවට ආවා. ඔහු කිසි දිනෙක සිංහල බෞද්ධ සංස්කෘතියට ඇතුල් වුණේ නැහැ. එතුමා පරම විඥානවාදියෙක්. එතුමා මෙරට තිබූ නිකාය භේදය තම වාසියට යොදා ගත්තා. රාමඤ්ඤ නිකායට තමයි එතුමා කැමැත්තක් දැක්වූයේ. එතුමාට අර ඉංගිරිසි අධ්‍යාපනයක් ඉංගිරසියෙන් ලැබූ අයගේ උපකාරය ලැබුණා. එතුමාගේ ක්‍රියා කලාපය සීකිම් මහින්ද හිමියන්ගේ (ටිබැට් ජාතික මහින්ද හිමියන් නමින් ප්‍රසිද්ධ) ක්‍රියා කලාපය සමග සසඳන්න. මහින්ද හිමියන් සිංහල ඉගෙන ගත්තා. සිංහල බෞද්ධ සංස්කෘතියට ඇතුල් වුණා. පාණදුරේ අළුබෝමුල්ලෙ පන්සලක වැඩ වසුවා.

 

ඕල්කට්තුමා හා අර ඉංගිරිසි අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් ලත් අය එකතු වී සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හාමුදුරුවන්ට තිබූ නායකත්වය නැති කළා. එය ගිහියන් අතට ගත්තා. ඕල්කට්තුමා පංච මහා වාද නිසා ලංකාවට පැමිණියත් එතුමා ඒ වාද හරහා නැගුණු පුනර්ජීවනය පීලි පැන්නුවා. වැඩි කල් නොගොස් ඕල්කට්තුමා හා ගුණානන්ද හිමියන් අතරත් ඕල්කට්තුමා හා ධර්මපාලතුමා අතරත් විරසක ඇති වුණා. ක්‍රිස්තියානි ආකෘතිය අනුව තරුණ බෞද්ධ සංගමය වැනි සංගම් ඇති කෙරුණා. ඒ සංගම්වලත් ඊනියා බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේත් නායකත්වය ගිහියන් අතට ගත්තා.  අපට බුද්ධාගමක් ඇති කෙරුණා. ආගම්කාරයන් නොවූ අපට බුද්ධාගමක් ලබා දුන්නා. ඒ ඕල්කට්තුමාගේ වැඩ. මා ඒ බුද්ධාගම ඕල්කට් බුද්ධාගම ලෙස හඳුන්වනවා. එහි සිංහලකමක් නැහැ. ධර්මපාලතුමා එයට ප්‍රතිපක්‍ෂව සිංහල බෞද්ධයා ගැන කතා කළා.

 

ධර්මපාලතුමාට රට අත්හැර යෑමට හේතු වූයේ ඕල්කට් බෞද්ධයන්. දහනවවැනි සියවසේ අග භාගයේ සිට ඉංගිරිසි උගත් ඕල්කට් බෞද්ධයන් මෙරට නායකයන් බවට පත් වුණා. මගේ මේ කතන්දරයට තොරතුරු තිස්ස කාරියවසම් මහතාගේ නිබන්ධනයේත් සරසවි සඳරැස සිංහල බෞද්ධයා පුවත්පත්වලත් තියෙනවා. පනස්හයේ දී සිිදු වුණේ මේ නායකත්වය අභියෝගයට ලක් කිරීමයි. ඒ මැතිවරණයෙන් සාමාන්‍ය පුද්ගලයන් ද මන්ත්‍රීධුරවලට පත් වුණා. මට සිහිවෙන්නෙ මැද කොළඹ තුන්වැනි මන්ත්‍රීවරයා වූ ඇම් ඇස් තේමිස්.   අද ඉන්න සාමාන්‍ය මන්ත්‍රීවරුන් පනස්හයේ තේමිස් දරුවන් ලෙස උප කුලකයකට ඇතුල් කරන්න පුළුවන්. පනස්හයේ ජයග්‍රාහී මුල් වෙඩිමුරය තැබූ නිමල් කරුණාතිලක මාතලේ අසුනට තරග කරන්න දැමුවා. මාතලේ බර්නාඩ් අළුවිහාරේ එ ජා පක්‍ෂයට ගොස් සිටියා.  ඔහු අර්ජුන අළුවිහාරෙගෙ පියා .

 

පනස්හයේ දී ඉංගිරිසි උගත් ප්‍රභූ සංස්කෘතිය බිඳ දැමීමට යම් ප්‍රමාණයකට සමත් වුණත් අපට අභ්‍යන්තර ප්‍රභූ දේශපාලනය බිඳ දැමීමට නො හැකි වුණා. අද පවත්නා දේශපාලන අර්බුදය එහි ප්‍රතිඵලයක්. ශ්‍රී ල නි පක්‍ෂයේ හා දැන් පෙදුජන පෙරමුණේ අභ්‍යන්තර ප්‍රභූ දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනයේ උද්ධච්ඡකම් නොසැලකීම් කුල උඩඟුකම් ආදී අභ්‍යන්තර ප්‍රශ්න අපට විසඳා ගැනීමට බැරි වුණා. 2014 මෛත්‍රිපාල සිරිසේන යහපාලනයට යෑමට ඒ ප්‍රශ්න හේතු වුණා. අදත් ඒ ප්‍රශ්න තියෙනවා.

 

අද විවිධ කණ්ඩායම් ආණ්ඩුවෙන් ස්වාධින වෙලා. එයටත් හේතුවෙලා තියෙන්නෙ එකී අභ්‍යන්තර ප්‍රශ්න. ඒ ස්වාධින වීම් ගැන මා එකඟ නූණත් ඔවුන්ට වී ඇති අසාධාරණය මට තේරෙනවා. විශේෂයෙන් බැසිල් රාජපක්‍ෂගේ ක්‍රියා කලාපය මේ අභ්‍යන්තර ගැටුම්වලට හේතු වෙලා තියෙනවා. විසිවැනි සංශෝධනය මගින් ද්විත්ව රටවැසියන්ට දුන් සහනය නිසා බැසිල් පක්‍ෂයේ හා පාර්ලිමේන්තුවේ පාලනය තම අතට ගත්තා. ඔහු කෙළේ එකතු වී සිටි ජනකායකට නමක් දීම පමණයි. ඒ නම පොදු ජන පෙරමුණ.

 

අප බැසිල්ගේ ක්‍රියාකාරකම් මුල සිට ම විවේචනය කළා. එහෙත් පොදු ජන පෙරමුණේ බොහෝ දෙනා එයට සවන් දුන්නේ නැහැ. අද ඔවුන් අත්දැකීමෙන් ඒ දන්නවා. පවතින ආර්ථික අර්බුදයට රාජපක්‍ෂලා හේතුව නූණත් එය අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟ නොවන ජීවන ක්‍රමයක් මත රඳා පැවතුණත් අද අර සිංහල බෞද්ධ විරෝධී කතෝලික මුස්ලිම් ප්‍රභූන් තමන්ට නැවතත් බලය ලබා ගැනීමට ඒ අර්බුදය යොදා ගන්නවා. ඔය ඊනියා අරගලයට අවශ්‍යයි පනස්හය ආපසු හැරවීමටත්. එහි දී විවිධ හේතුන් නිසා විශේෂයෙන්ම කුල ප්‍රශ්න නිසා තමන්ට අසාධාරණයක් සිදු වී ඇතැයි සිතන සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිමක් ඇති අයත් ඊනියා ජාත්‍යන්තර පාසල් හා බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය ජඩමාධ්‍ය හරහා ලබාගත් අයත් ඊනියා අරගලයේ කාර්යභාරයන් ඉටු කරමින් ඉන්නවා. පනස්හය ආපසු හැරවීමට උත්සාහ දරන ඔවුන් නවතිනු ඇත්තේ බුද්ධා ගෝ කියා. සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම ඊනියා අරගලයේ අවශ්‍යතාවයි. බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බඳින්නේත් හාමුදුරුනමකට පහර දෙන්නේත් ඒ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වීමෙන්.

 

අද ඊනියා අරගලයට අවශ්‍යයයි රාජපක්‍ෂලා ඉවත් කිරීමට. එහි දී ඔවුන් අර නොසැලකීම් ප්‍රයෝජනයට ගන්නව. ඇතැම් මන්ත්‍රීරුන් ස්වාධින වී ඇත්තේ ඒ පසුබිමෙහි. එහෙත් ඔවුන්ගේ ස්වාධීන වීම විරුද්ධතාවකට ගියොත් ඉන් විනාශ වන්නේ රාජපක්‍ෂලා පමණක් නො වෙයි. ඔවුනුත් විනාශ වෙනවා. සාමාන්‍ය අයගේ දරුවන්ට සම්ම ජාතියේ මන්ත්‍රීවරුන් වීමේ අවස්ථාව නැති වෙනවා. තේමිස් දරුවන් තමන්ටත් තම පියාටත් විරුද්ධ ව කටයුතු කරනවා. තේමිස් පසුව ධනවතකු වීම වෙනත් කරුණක්.

 

අද අප ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධය එන්නේ බටහිරින් හා මැද පෙරදිගින් පමණක් නො වෙයි. ඉන්දියාවද අප ක්‍රියාත්මක ව යටත් කර ගැනීමට බලන් ඉන්නවා. අප දත් තිස්දෙකට මැදී වූ දිව වගෙයි. ආණ්ඩුව ස්වාධින වූ මන්ත්‍රීවරුන්ගේ හඬට සවන් දෙන්න ඕන. සියලු ආකාරයේ උඩඟුකම් නොසැලකීම් අත්හරින්න ඕන. ඒ අතර ස්වාධීන කණ්ඩායම් ආණ්ඩුවට විරුද්ධ නොවිය යුතුයි, ස්වාධින වීම යනු විරුද්ධ වීම නො වෙයි. අපේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා පියවරෙන් පියවර අප සියල්ලන් නැසීමට කටයුතු කරන අයට කිසිසේත් ආධාරකයක් නොවිය යුතුයි. අප ම  අප විනාශ කර ගත යුතු නැහැ. අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමටත් විරුද්ධවාදීන්ගේ අතකොළු නොවීමටත් අපි සංවිධානය වෙමු.