Main Logo

Sunday 8 May 2022

හින්දු වෙනවා ද ක්‍රිස්තියානි වෙනවා ද

හින්දු වෙනවා ද ක්‍රිස්තියානි වෙනවා ද

 

අන්තරේට කඩේ යෑමට අද විද්වත් පිරිසක් ඉන්නවා. අවුරුදු තිස්පහකට පමණ පෙර අන්තරේට පිහිටට හිටියේ මහින්ද රාජපක්‍ෂ ප්‍රින්ස් ගුණසේකර වැනි කිහිප දෙනකු පමණයි. අන්තරේ වෙනුවෙන් ත්‍රීමා විතාරණ ආදීන් වෙනුවෙන් එකල මා ද එංගලන්තයේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සම්මේලනයත් ජාත්‍යන්තර  ක්‍ෂමා ආයතනයත් ලංඩනයෙ දි මුණ ගැසුණා.ක්‍ෂමා ආයතනයේ එවකට ලංකාව ගැන කටයුතු කෙළේ සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ කථිකාචාර්යවරයකුගේ බිරිඳ. මා ඔවුන් හමුවීමට ලන්ඩනයෙන් දකුණට වූ රිච්මන්ඩ් හි පිහිටි ඔවුන්ගෙ නිවසටත් ගියා. එහෙත් ඒ කිසිවකු එ ජා ප මර්ධනයට විරුද්ධ ව වැදගත්  කිසිවක් කෙළේ නැහැ. ඒ දිනවල ජ වි පෙ ක්‍රියා කෙළේ ද උපරිම භීෂණය යොදමින්. මට එංගලන්තයට යෑමට සිදු වූයේත් ජ වි පෙ හා එ ජා ප ආණ්ඩුවේ භීෂණය මා වෙත ද එල්ල කර තිබූ නිසා.

 

ඔය දවස්වල අසූවේ දශකයේ මුල කරු ජයසූරිය ජේ ආර් ජයවර්ධන විසින් ජනාධිපති කොමිසමට පත් කර තිබුණා. අනූවෙ දශකයෙ ඔහු ප්‍රේමදාසගෙ නිල නොලත් උපදේශකයකු ව සිටියා. පසුව කොළඹ පුරපති වුණා. ඉනුත් පසුව ඊනියා අපක්‍ෂපාත කතානයක වුණා. දින පනස් දෙකේ ආණ්ඩුව කාලෙ ඔහු ඉතාමත් අපක්‍ෂපාත විධියට සභා ගැබට පැත්තක තිබූ දොරටුවකින් පැමිණ තම අපක්‍ෂපාත නිර්පාක්‍ෂික ක්‍රියාවලිය ලජ්ජාවක් නැතිව දිගට ම කරගෙන ගියා. අද ඔහු නිර්පාක්‍ෂීක ව  හදිසි අවස්ථාවක් පැනවීමට විරුද්ධ ව ක්‍රියා කරනවා. ඔහු ජෙප්පන් සෙප්පන් වෙනුවෙන් අපක්‍ෂපාතී ව පෙනී සිටිනවා.

 

මා හිතන්නේ ඔහු නිර්පාක්‍ෂික කියා. අද ඇත්තේ නිර්පාක්‍ෂිකයන්ගෙ අරගල. කරු ජයසූරියටත් යමක් කරන්න පුළුවන් වේවි. ඔහු මන්ත්‍රීවරුන්ට කියල එකතු වෙන්න කියා. ඒ මොකට ද කියා ඔහු කියා ඇති. ඒ අර කවුරුත් කියන බයිලා. තමා අගමැති කිරීමට එකතු වන ලෙස ඔහු කියා නැහැ. ඔහු හොඳ මහත්මයෙක්. ඔහු වෙනුවෙන් පවුලේ අයකු තම මන්ත්‍රී ධුරය අත්හරින්න සූදානම් කියනවා. ඒ පවුල ඉන්දියාව හා සම්බන්ධයි. ඩොලර් සංචිතය එතරම් අඩු නොවූ කාලෙකත් අප කරුවලේ තිබ්බ කරුවල ජයසූරියට ඉන්දියාවෙන් සල්ලි ටිකක් හම්බ වෙයි. ඉන්දියාව අපට ප්‍රභාකරන්ට විරුද්ධ මෙහෙයුම්වල දී ආධාර කළ බව පසුගිය දා නවීන් දිසානායක රහසක් හෙළිදරවු කරමින් කියා සිටියා. ඉන්දියාව තාමත් මැණිකේ මගේ හිතේ කියනවා ද?

 

ඒ කොහොම වෙතත් අද අන්තරේට අන්තර්ජාතික සහාය ලැබෙනවා. ඒක මොන තරම් දෙයක් ද? මහින්ද ගෙදර යවන්න අද හැමෝ ම වගේ එකතු වෙලා. ගෙදර අරිනවා නම් අපි ඔක්කො ම ගෙදර යවන්න ඕන. අපි ණයට කාල බොරු ෂෝක් කරල බොරු උගත්කම් පෙන්නල තමයි මේ අර්බුදය ඇති වුණෙ. ද්වයංගුල පඤ්ඤා නැත්නම් ඇඟිලි දෙකේ ප්‍රඥාවන්තයන් වූ අපට දුරක් පේන්නෙ නැහැ. මේ ඊනියා අරගලය ලංකා වසන්තය උදා කිරීම සඳහා මිස වෙන කිසිවක් සඳහා නො වෙයි. මධ්‍යම පංතියේ ඉහළ තරුණ තරුණියන් අරගලයට මුලින් නායකත්වය දුන්නා. ඉන් පසු කාදිනල්තුමා පැමිණියා. ඕමල්පෙ සෝභිත හාමුදුරුවො චම්පක වෙනුවෙන් වැඩියා. මහානායක හාමුදුරුවරු මා හිතන විධියට නිවේදන නිකුත් කිරීමට සෑහෙන කාලයක් ගත කරනවා. ඒත්  දැන් නීතිඥ සංගමය යළි ඉපදිලා. මහානායක හාමුදුරුවන්ට අවශ්‍ය යළි ඉපදීම නවත්වන්න ද යළි ඉපදෙන්න ද? නීතිඥ සංගමය නම් යළි ඉපදිලා.

 

නීතිඥ සංගමයත් කියන්නෙ නීති විරෝධී වැඩ. නීතියෙ එහෙම නැත්නම් ව්‍යවස්ථාවෙ නැති දේ. ඊනියා සර්වපාක්‍ෂික අන්තර්වාර ආණ්ඩු කොහේ ද තියෙන්නෙ. ඒ වගේ ම සීමිත කාලෙකට පමණක් ආණ්ඩු පිහිටුවන විධියක් ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙ නැහැ. නීතිඥ සංගමය වෙන දෙයක් වෙන විධියකට කියනවා. ඔවුන් අර්බුදය විසඳන විධියක් කියන්නෙ නැහැ.  ඔවුන් කියන්නෙ අලුත් ආණ්ඩුවක් හදල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න.  විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් තවමත් ප්‍රභාකරන් ඉන්නවා. ප්‍රභාකරන්ට යළි  ඉපදෙන්න කියා තමයි නීතිඥ සංගමය වෙනත් විධියකට කියන්නෙ. මහින්ද ගෙදර යවල ගෝඨාභයගෙ බලය අඩුකරන්නයි නීතිඥ සංගමය කියන්නෙ. අර මහින්ද ගෙදර යවල ගෝඨාභය මෙහෙයවන්න හිටපු නඩේට දැන් මොකද වෙන්නෙ.

 

අගමැති කමට අවසානයේ දී කවුරුන් පත් කර ගනීවි ද කියන්න බැහැ. බටහිරට නම් ඕන රනිල්. ඒත් රනිලුත් තරමක් මා වගේ. මිනිසුන් කැමති නැහැ. මට නම් ජාතිකවාදීන්වත් රාජපක්‍ෂලාවත් කැමති නැහැ. ගුණදස අමරසේකරගෙන් හා වසන්ත බණ්ඩාරගෙන් අහන්න. ඔවුන් අරික්කාල් මාක්ස්වාදී ජාතිකවාදීන්. හාමුදුරුවරුනුත් මා කියන බුදුදහමට හා ඉතිහාසයට කැමති නැහැ. ජාතිකවාදීන් කී දෙනකු මගේ ලෝකය කියවා තේරුම් අරගෙන තියෙනවා ද කියා මා දන්නේ නැහැු.

 

රනිල්ට මට වඩා පිරිසක් කැමතියි. ඒත් අගමැති වෙන්න බැහැ. අගමැති අවසානයේ දී එංගලන්තයෙ හරි ඉන්දයාවෙ හරි නියෝජිතයෙක් වේවි. ඒ කවුරු පත්වුණත් අන්තරේ මර්දනය කරාවි. අද අන්තර්ජාතිකය අන්තරේ දක්කනවා. විශ්වවිද්‍යාලවල කරත්ත දක්කනවා කියල එකක් කෙරෙනවා. අන්තරේ හැමදාමත් කරල තියෙන්න දැක්කෙන එක පමණයි. අන්තරේ දැක්කිල මර්දනය වන දාට ඔවුන්ට නැවතත් මහින්ද ඕන වේවි. අද මහින්ද හිටිය ඇති කියන අයට වැඩි කල් යන්න ඉස්සෙල්ල දවසක මහින්ද මහත්තය හිටිය නම් මෙහෙම වෙන්නෙ නැහැ කියන්න සිද්ධ වේවි.

 

කොහොම වෙයි කියල ද හිතන්නෙ? මේ ඊනියා අරගලය පටන් ගත්ත දවසෙම වගේ මා කිවුවෙ මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමට කරන එකක් කියා. නන්දිකඩාල් ජයග්‍රහණයට තව දින කිහිපයකින් අවුරුදු දහතුනක් පිරෙනවා. බටහිර සංස්කෘතියෙ දහතුන අසුබ ඉලක්කමක්. අසුබ කාට ද? මේ අරගලය බ්‍රවන්රිග් පටන්ගත්ත එකක්. ඒ ඊනියා කහකඩයන් (හාමුදුරුවන්) සමාජයෙන් එළවා දැමීමට. නන්දිකඩාල් පරාජයෙන් පස්සෙ බ්‍රවන්රිග්ගෙ මුණුබුරන් යම් සාර්ථකත්වයක් ඇති ව එය කරගෙන යනවා. කොළඹ මධ්‍යම පංතියටත් කාදිනල්තුමාටත් අරගලය කරන්න පුළුවන් ටික දුරයි. කඩින් කඩ දිවීමේ (රිලේ) තරගයේ ඔවුන් දැන් බටය ජෙප්පන්ට සෙප්පන්ට දීල. අන්තරේ දැනට අන්තර්ජාතික අත්පොළොසන් මැද බටය අරගෙන දුවනවා. ඔවුන් බටය දෙන්නේ කාට ද? එහෙමත් නැත්නම් බටය ගන්නේ කවුද? මහානායක හාමුදුරුවරුන් නම් නො වෙයි.

 

අද ඊනියා සිස්ටම් චේන්ජ් දෙකක් සඳහා එකවිට ක්‍රියා කෙරෙනවා. එකක් යැපුම් ආර්ථිකය හා සුබසාධන රාජ්‍යය නැති කිරීම. එහෙත් ඒ වෙනුවට ඇති කෙරෙන්නේ මා ඊයේ සඳහන් කළ බෞදධ ක්‍රමයක් නො වේ. මෙහි සිදුවන දෙවැනි ඊනියා සිස්ටම් වෙනස සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමයි. ඉතා කෙටියෙන් කිවුවොත් අවුරුදු එක්දහස් පන්සීයයක් පමණ පැරණි මහානාම බුද්ධඝෝෂ හිමිවරුන්ගේ ව්‍යාපෘතිය අතුගා දැමීමයි. මා ඒ ව්‍යාපෘතියට කැමැත්තක් නැති නමුත් එය ආරක්‍ෂා කළා. එහෙත් අප දැන් එහි අවසානයට පැමිණ ඉන්නවා. ජාතිකවාදීන්ට එය තේරුණා නම් මේ ලංකා වසන්තය පරාජය කරන්න තිබුණා. එහෙත් ජාතිකවාදීන් බොහෝ දෙනකුට අවශ්‍ය වුණෙ මා පරාජය කිරීමට.

 

අර කියන විධියට අපට දැන් තෝරා ගැනීමක් (ඊනියා චොයිස් එකක්) තියෙනවා. අප ඉන්දියාවෙ නිල නොවන  ප්‍රාන්තයක් වෙලා පළාත් සභා තර කරල  හින්දු වෙනවා ද  නැත්නම් ක්‍රිස්තියානි නූතනත්වය මුළුමනින් ම වැළඳ ගන්නවා ද?