Main Logo

Friday 13 May 2022

රනිලාගමනය

 රනිලාගමනය


රනිල් හයවැනි පාරටත් අගමැති වෙලා. අගමැති පදවියේ විසිහය වතාවක් පමණ දිවුරා ඇතැයි කියනවා. ඒ කියන්නෙ අගමැති පදවියේ දිවුරුම්දීම් වලින් 23%ක් පමණ කර තියෙන්නෙ රනිල්. මැතිවරණයෙන් පැරදුණු අයකු ලෙස පළමු වතාවට දිවුරුම් දීමේ වාර්තාවත් රනිල් හිමි කරගෙන. එක් මන්ත්‍රීවරයකු පමණක් සිටින පක්‍ෂයකින් අගමැති වෙලා තියෙන්නෙත් රනිල්. මා හිතන්නේ මේවා ලෝක වාර්තා. රනිල් දක්‍ෂයෙක්.

 

මා ඔහු දක්‍ෂයකු බව දැන ගත්තේ පාසලේ දී නොව විශ්වවිද්‍යාලේ දී. පාසලේ ඔහු සාමාන්‍ය ශිෂ්‍යයෙක්. එහෙත් ඔහු උපන් ගෙයි දේශපාලනඥයෙක්. ඒ හැකියාව මතුවුණේ විශ්වවිිද්‍යාලයේ දී. මා හිතන්නේ ඔහු නීති පීඨයට බැඳුණෙ 1968දි හරි 1969 දි. මා එවකට පේරාදෙණියෙ සහාකාර කථිකාචාර්යවරයෙක්. ලංකා සමසමාජ පක්‍ෂයේ සාමාජිකයෙක්. එවකට කොළඹ විශ්වවිිද්‍යාලයේ ශිෂ්‍ය නායකයා වුණෙ සමසමාජ පක්‍ෂයෙ එම් ඒ ජස්ටින්. ඔහුත් පසුව නීතිඥයෙකු වුණා. මා කලිනුත් කියා ඇති විධියට කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍යයො යම් ප්‍රශ්නයකට දියවන්නාවෙ නොවෙයි බේරෙ පාර්ලිමෙන්තුව වැටළුවා. ඔවුන් සබා ගැබේ රැස්වීමකුත් පැවැත්තුවා ජස්ටින් කතානායක අසුනෙ හිඳගෙන. ජස්ටින් එවැනි අයෙක්. එහෙත් රනිල්ට පුළුවන්කම තිබුණ ඇතැම් අවස්ථාවල දී ජස්ටින්වත් මෙහෙයවන්න!

 

රනිල් බද්දේගම ඇංග්ලිකන් ක්‍රිස්තියානි පවුලකින් පැවතෙන්නෙක්. එහෙත් ඔහුගෙ මව කැලණියේ සේදවත්තෙ විජේවර්ධන පවුලෙ, ඔහුට කැලණි විහාරයට සම්බන්ධකමක් ඇති වුණෙ ඒ නිසා. ඒත් ඔහු එහි දායක සභාවෙ සභාපති වුණත් පසුව අස්කර දමනු ලැබුවා. ඔහු ඊයෙ දිවුුරුම් දුන්නෙ අද ක්‍රිස්තියානි සංස්කෘතිය අනුව 13 වැනි දා සිකුරාදා වීමත් ඒ අසුබ නිසාත් කියනවා. ඔහුට කොහොමටත් බටහිර සංස්කෘතික සිරිත් විරිත් ඇත්තෙ. ඔහු ප්‍රභූ පැලැන්තියෙ. ඔහු මාධ්‍යවේදීන්ට සලකන්නෙ නැහැ. ඒක නම් හොඳ ගුණයක්. කෙසේ වුණත් ඔහු සරල දිවි පැවතුම් ඇත්තෙක්.

 

ඔහුට බටහිර කොන්සවෙටිව් ලිබරල් පක්‍ෂ සමග සම්බන්ධකම් තියෙනවා. ඔහු ආසියා පැසිෆික් කලාපයේ කොන්සර්වෙටිව් පක්‍ෂවල සම්මේලනයේ සභාපති වෙලත් හිටියා. එහෙත් ඔහුට බණ්ඩාරනායක මහත්මියට මෙන් ජාත්‍යන්තර කීර්තියක් නැහැ. බණ්ඩාරනායක මහතාත් එවකට නොබැඳි සම්මේලනයේ කාර්යභාරයක් ඉටු කළා. මහින්ද රාජපක්‍ෂ මහතා පලස්තීන ව්‍යාපාරය සමග සම්බන්ධ ව සිටියා. රනිල්ට ඇත්තේ දක්‍ෂිණාංශික පක්‍ෂ සමග සම්බන්ධකම් මිස ජාත්‍යන්තර වශයෙන් දිනාගත් කීර්තියක් නො වෙයි.

 

ඔහු ණය ගැනීමට හොඳයි. බටහිර රටවල් ඔහුට ණය දෙන්න කැමතියි. ඒ ඔහු බලයේ තබා ගැනීමට. 2001 දි 2015 දී ඔහු ආර්ථිකය ගොඩ නැගුවා කියන්නෙ ණය අරගෙන සංවර්ධන වැඩක් නොකිරීමට. ඔහු ණය ගැනීමට මිස ණය ගෙවීමට දන්නෙ නැහැ. ඔහු ගන්නා ණය ගෙවීමට සිදු වූයේ රාජපක්‍ෂලාට. ඔහු පමණක් නොව ජේ ආර් ගත් ණය ද තවම ගෙවීමට තියෙනවා. මේ ආර්ථික අර්බුදය ණයට කෑම බොරු ෂෝක් හා බොරු උගත්කම නිසා ඇති වූවක්. අදත් රනිල් එන්නේ අප තව තවත් ණය කාරයන් කිරීමට. ඒ ගන්නා ණය මනා ලෙස කළමනාකරණයකට ලක් කරන්න ගෝඨාභය රාජපක්‍ෂට හැකි විය යුතුයි. නැත්නම් තව අවුරුදු කිහිපයකින් ප්‍රශ්නය තවත් උග්‍ර වේවි.

 

රනිල් බලයට ගෙන ඒම බටහිරයන් සැලසුම් කෙළේ කාලයක සිට. බටහිරයන්ට ඕන රනිල් ප්‍රමුඛ ආණ්ඩු. දින පනස්දෙකේ ආණ්ඩුව කඩා දැමීමට රනිල් මංගල මෙන් ම ජනමාධ්‍ය හිමියකුත් එකතු වුණා. එහි දී බටහිරයන්ගේ නොමඳ සහාය ඔවුන්ට ලැබුණා. ජ වි පෙ එහි දී කෙළේ අර පිරිස සකස් කළ විශ්වාසභංගය පාර්ලිමේන්තු ලේකම්ට භාර දීමට මීටර් සීය දිවීම පමණයි. එ කොහොම වුණත් දින පනස්දෙකේ ආණ්ඩුව කඩා වැටුණු පසු බටහිර තානාපතිවරු පාර්ලිමේන්තුවේ අත්පොළොසන් දුන්නා. ඒ සියල්ලෙන් පසුවත් 2019 දී ජාතික බලවේග සියලු විජාතික බලවේග පරදවා ජයගත්තා. සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වුණා. එදා ඉඳන් විජාතික බලවේග වෙන් වෙන් ව නමුත් එකට රාජපක්‍ෂවරු ගෙදර යැවීමට කටයුතු කළා.

 

සර් ෆේල් ව්‍යාපාරය ඉතා ඉක්මණින් පටන් ගත්තා. ඒ ගෝඨාභය ජනාධිපති වී මාස දෙකකින් පමණ. ඉන් පසු කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ මහාමොළකරු හොයන්න පටන් ගත්තා. එයට කොල්ලුපිටියේ පල්ලියකින් නායකත්වය සැපයුණා. මා හිතන්නේ නැහැ ඕමල්පේ සෝභිත හිමියන් ඒ පල්ලියට වැඩියා කියා. ගෝඨාභය රාජපක්‍ෂ  උතුරේ හා නැගෙනහිර සිංහල බෞද්ධ අයිතිය රකින්න යම් යම් පියවර ගත්තා. වහාබ්වාදීන් එයට විරුද්ධ වුණා. මේ සියල්ල මැද ආර්ථික අර්බුදය උත්සන්න වුණා. එය අවුරුදු හැත්තැපහක කසිකබල් උගත් මධ්‍යම පංතියෙ  ජීවන රටවා නිසා සිදු වූ දෙයක්. එහෙත් විජාතික බලවේග එය රාජපක්‍ෂලාගෙ හොරකමකට ඌණනය කළා. ජඩමාධ්‍ය එයට අවශ්‍ය ප්‍රචාරය ලබා දුන්නා. ගෑස් හිඟය, තෙල් හිඟය, විදුලිය කැපීම ආදියට ජනමාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. එහි දී දෙරණ විසින් සිරස පරාජය කෙරුණා. චතුර අල්විස් දශකයේ දේශප්‍රේමී සංවේදී ජනමාධ්‍යවේදියා වුණා. ඔහු අද රනිල් වර්ණනා කරනවා.

 

විමල් වීරවංශ මේ අර්බුදය හමුවේ තම සුපුරුදු අවස්ථාවාදය ප්‍රදර්ශනය කළා. ඔහු ඒ හරහා ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට උත්සාහ කළා. බැසිල් රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති පුද්ගල කේන්ද්‍රිකයි. ඔහුට කිසිම ජාතිකත්වයක් නැහැ. ඔහුට විරූද්ධ ව කටයුතු කළ යුතුයි. ඇතැම් ජනමාධ්‍ය හිමියන් දේශපාලනඥයන් බැසිල් පසුපස යද්දීත් අප ජාතිකත්ව මතවාදයක් මත පදනම් වී ඔහුට විරුද්ධ වුණා. එහෙත් ඔවුන් තම තමන්ට පෞද්ගලික ව පහර වදින විට බැසිල්ට විරුද්ධ වෙන්න පටන් ගත්තා. සමහරු පෞද්ගලික ප්‍රශ්න මත මහින්දගේ පුතුන්ට විරුද්ධ වීම මහින්ද දක්වා ම දික් කළා.

 

විමල් වීරවශ ඌව පළාත් සභා මැතිවරණයේදීත් බදුල්ල දිස්ත්‍රික්කයට තනිව ම තරග කර අඬු කඩාගෙන ආපසු ආණ්ඩුවට ආ කෙනෙක්. ඔහු ආර්ථික අර්බුදය හමුවේ ගම්මන්පිළ හා එක් ව ඇමතිකම්වලින් අස් වී ස්වාධීන වුණා. එතැනින් ආණ්ඩුව තාවකාලික ව  නාය යෑම ඇරඹුණා. ඔවූුන්ට තිබුණේ මහින්ද බැසිල් විරෝධයක්. 

 

ආර්ථික අර්බුදය තමන්ගෙ ජීවන රටාවට ප්‍රශ්න එල්ල වන විට ඒ අර්බුදය ඇති කළ මධ්‍යම පංතිය ම විරුද්ධ ව නැගිට්ටා. එය කෙටියෙන් කියනවා නම් පාදඩ වැඩක්. ඔවුන ආතල්ගම පදිංචියට ගියා. මධ්‍යම පංතියේ නැගිටීම මෙන් ම වෙනත් රාජපක්‍ෂ විරෝධි ව්‍යාපාර ද බටහිරයන්ගේ අනුග්‍රහකත්වයෙන් හා ආශිර්වාදයෙන් සිදු වූ දේ. ආණ්ඩුව ආර්ථික අර්බුදයට හේතු පැහැදිලි කෙළේ නැහැ. ඒ හේතුකොටගෙන අර හොරකම් නිසා අර්බුදය ඇති වීය යන මතයට ප්‍රචාරයක් ලැබුණා. ජඩමාධ්‍ය ආණ්ඩුව ප්‍රශ්නයට සංවේදී නැතැයි පුන පුනා කිවුවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියෙන් ම සිටියේ දෙරණ. මා සහභාගි වූ බිග් ෆෝකස් වැඩ සටහනනක (මා එය ඉල්ලා ගත් එකක්. නැහැ දිලිත්ගෙන්වත් මාධවගෙන්වත් චතුරගෙන්වත් සම්පත්ගෙන්වත් නොවෙයි. ඔවුන් මහින්ද විරෝධීන් ලෙසයි මා තේරුම් ගන්නේ) අර්බුදය ගැන යම් පැහැදිලි කිරීමක් කළත් ඊනියා තාක්‍ෂණික දෝෂයක් කියමින් ඔවුන් එය ප්‍රචාරය කෙළේ නැහැ. ඒ ජඩමාධ්‍ය ප්‍රතිපත්තිය වෙන්න ඇති.

 

ආතල්ගම හරහා නොයෙකුත් ව්‍යාපාර ඇති වුණා. එයට කෑම බීම ඉඳුම් හිටුම් සැපයුවන් සිටියා. ඒ අතර මුදල් ප්‍රශ්නත් ඇති වුණා. ඊනියා අරගලය මුදල් ගලනයක් ද වුණා. ආතල්ගම නිසා ප්‍රචණ්ඩත්වයක් රටේ ඇති වුණා. ආණ්ඩුව ආතල්ගමට විරුද්ධව කිසි පියවරක් ගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියෙක් වුණා. ආතල්ගම පිටුපසින් සිටි සියළු විජාතික බලවේගවලට අවශ්‍ය වුණෙ ගෝඨාභය ගෙදර යවන්න. ඒ සමග ආණ්ඩුව වට්ටන්න. එය ලංකා වසන්තයක් කිරීමට බටහිරයන්ට අවශ්‍ය වුණා.

 

ගෝඨාභයගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය නිසා ජෙප්පන් හා සෙප්පන් ඇතැම් තැන්වල සජබයන්ද සමගින් තමන්ට පුරුදු ත්‍රස්තවාදයට බැස්ස බවක් පේන්න තිබුණා. ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පාරවල් හරස් කිරීම් දියගොඩ හැම තැන පැතුරුණා. ඒත් ප්‍රචණ්ඩත්වය හමුවේත් ගෝඨාභය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය රැක්කා. සකර්බර්ග් කඳවුරේ පඬි නැට්ටන් විප්ලවය හීනෙන් ද දැක්කා. ආතල්ගම විශ්වවිද්‍යාලයට (මා එයට ඊනියා කියන්නේ නැහැ. ඒ ලංකාවේ විශ්වවිද්‍යාල මිනුම් දණ්ඩ ලෙස ගනිමින්) පැමිණි පඬි නැට්ටන් තමන්ට කලකට පසු ලැබුණු වැදගත්කම හරහා විප්ලවය ගැන දෙඩෙවුවා. ඊනියා ජනතාවකට බලය ලැබෙන  කතා කිවුවා. ඔවුන් විප්ලවයක් ගැන කතා කෙළේ මොන පංති ගැටුම් ප්‍රවාදයකට අනුව ද? මාක්ස් හිටියා නම් අරික්කාල් මාක්ස්ලා ඉන්දියන් සාගරයට විසි කරනවා. මා කියන්නේ මාක්ස්ගේ පට්ටම  පට්ටපල් බොරුව වැඩ කරන බවක් නො වෙයි. ජඩඅරගලය ඊනියා පංති අරගලයක් වන්නේත් නැතුව පඬි නැට්ටන් කොමියුනිස්ට්වාදයක් ගැන දෙඩෙවුවා.

 

අර මහින්ද විරෝධී පිරිස ගෝටා ගෝ හෝම් ව්‍යාපාරය මහින්ද ගෝ හෝම් ව්‍යාපාරයක් බවට හැරෙවුවා. ඊනියා මයිනාගමක් ඇති කළා. ඒ නාකි මයිනාත් වුණා. අරලිය ගහ මන්දිරය අනාරක්‍ෂිත තැනක් බවට පත් කෙරුණා. ඔවුන්ට වුවමනා කෙළේ මහින්ද පලවා හැර ගෝඨාභය මෙහෙයවීමට. අරලිය ගහ මනදිරයේ සිට ආතල්ගමට ගිය පෙළපාලියට මහින්දට සහාය දීමට පැමිණි අය සිටියා. එතෙත් ආතල්ගමට පහර දුන්නේ කවුද යන්න හරියට ම දන්නේ නැහැ. ඒ ගැන විමර්ෂණයක් කරන්න ඕන. කෙසේ වෙතත් ඒ පහර දීම දෙරණ හා සිරස සජීවි ව ප්‍රචාරය කළා. ඉන් පසු රට ගිනි ගත්තා.

 

ජෙප්පන්ගේ හා සෙප්පන්ගේ සන්නාමය දිය ගොඩ හැම තැන දකින්න ලැබුණා. ඒ කාගේ වැඩක් දැයි මා දන්නේ නැහැ. මා කියන්නේ සන්නාමය දකින්න ලැබුණු බව. මේ සියල්ල ගැන විමර්ෂණ අවශ්‍යයයි.  ඊනියා හර්තාලයෙන් කඩ වැහුණා. වෘත්තීය  සමිති අඛණ්ඩ හර්තාලයකට අත වැනුවා. සකර්බර්ග් විප්ලවවාදීුන් මෝඩ චූන් ගත්තා. වැඩ කාගෙ වුණත් අවසානයේදි වුණෙ මහින්ද ගෙදර යැවීමට අවශ්‍ය වූ අයගේ වුවමනාවයි.

 

ආණ්ඩුව විසුරවුණා. අගමැති කමට පොරයක් තිබුණා. ඕමල්පේ හිමියන් පැහැදිලිව ම චම්පක වෙනුවෙන් පෙනී සිටිනවා. කාදිනල්තුමාත් ඒ සමග ඉන්න බව පේනෙවා. අර කොල්ලුපිටියෙ  පල්ලිය මොනවද කියන්නෙ? අනුර රනිල්දාසට සජිත්ට ගෝඨාභය අස්කරන්න ඕන. සජිත් ලියුම් පිට ලියුම් යවන්නෙ මහානායක හාමුදුරුවන් නිවේදන නිකුත් කරනවා වගේ. දැන් නීතිඥ සංගමයෙ නිවේදනත් නීත්‍යානුකූල නොවන බව තේරිලා. ගෝඨාභය අස්කරන්න බැහැ දෝෂාභියොාගයකින් තොරව. ආතල්ගම කිවුවට ඔහු අස්වෙන්නෙත් නැගැ. දැන් කොහොමටත් ඊනියා ජනතාවට බලයක් නැහැ.

 

රනිල් දැන් අගමැති. ඔහු අගමැති කෙරුණෙ ව්‍යවස්ථානුකූල ව. එදා දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටෙවුව වගේ. එදා රනිල් එයට විරුද්ධ වුණා. අද ඔහු එයට විරුද්ධ වන්නෙ නැහැ. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද ඕමල්පේ සෝභිත හිමියන් හා කාදිනල්තුමා එයට විරුද්ධයි.

 

රනිල් අගමැති කිරීමට තමයි මේ සියල්ල කෙරුණෙ. එය පිටුපස ඉන්නෙ එංගලන්තය. එය කුමනත්‍රණයක් නොවෙයි. ඒ සැලැස්මක්. විජාතික බලව්ගවලට අවශ්‍ය එයයි . අගමැති ජනපති වෙන්න හිටපු චම්පකට අනුරට සෙප්පන්ට දැන් කරන්න දෙයක් කල්පනා කරගන්න වෙලා. ඒ අය වෙන්ඩ අහවලා. වෘත්තීය සමතිවලට අන්තරේට තබා පක්‍ෂවලටවත් මේ වෙලාවෙ කරන්න දෙයක් නැහැ. සකර්බර්ග් පඬි නැට්ටන් අන්තිම සටනත් කරලා. ඒත් විප්ලවය නැහැ.

 

ඒත් ගැටුමක් තියෙනවා. ඒ ජාතික හා විජාතික කඳවුරු අතර.  මාක්ස්වාදය මිශ්‍ර කරගත් ඊනියා ජාතික කඳවුර නන්නත්තාර වෙලා.  රනිල් අගමැති වීම මා බලාපොරොත්තු නොවු දෙයක් නො වෙයි. එහෙත් එය මෙතරම් ඉක්මණින් සිදුවේය කියා මා හිතුවේ නැහැ. අපි ඔහු අපේ කඳවුරට පිළිගන්නවා. එහෙත් අපට තවත් අය සජබෙන් හරි එපාපෙන් හරි ඕන නැහැ. පොහොට්ටුවයි ශ්‍රී ල නි පක්‍ෂයයි රනිලුයි හොඳට ම ඇති. දැන් ඇත්තෙ ජාතික ආණ්ඩුවක්. ඒ අකීය වුණත් පොහොට්ටුව හා එ ජා ප අතර. විජාතික කඳවුරේ ප්‍රධාන නියෝජිතයා අපේ ආණ්ඩුවක අගමැති වෙන එක මොන තරම් දෙයක් ද?

 

රනිල් ආතල්ගමට විරුද්ධ වෙන්නේ නැහැ. ඒත් අද අවශ්‍ය ගෝඨාභය රැක ගැනීම. ඒ ඒකීය රාජ්‍යය හා තවත් දේ රැක ගැනීමට. දැන් තමයි තීරණාත්මක සටන ඇරඹුණෙ. රනිල් ට්‍රෝජන් අශ්වයකු කර ගැනීමට ඉඩ නොතැබීමේ සටන ඇරඹිලා. අශ්වයා ඇතුළෙ වෙන කාටවත් ඉන්න දෙන්න බැහැ.