Main Logo

Wednesday, 18 May 2022

ඔවුන් වෙනුවෙන් අපි

 

ඔවුන් වෙනුවෙන් අපි

 

අද ඓතිහාසික දවසක්. නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරුණේ අද වැනි දවසක. එංගලන්තයේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් පවත්වාගෙන යනු ලබන දෙමළ ජාතිවාදයට අමතක නොවන පහරක් එල්ල කෙරුණේ 2009 මැයි දහඅටවැනි දා. ගැමුණු විජයබා සවෑනි පැරකුම්බා රජවරු ලැබූ ජයග්‍රහණ සමග සැසඳිය හැකි ජයග්‍රහණයක් මහින්ද රාජපක්‍ෂ ලැබුයේ. මා ඔහුගේ ජයග්‍රහණය සවැනි පැරකුම්බා රජුගේ ජයග්‍රහණය සමග සසඳමින් ඒ දිනවල ම ලිවුවා. අද ඒ මහින්ද අගමැති ධුරය හැර යන තැනට අපේ කඳවුරේ යැයි කියන අවස්ථාවාදී දේශපාලනඥයන් හා ධනලෝභී ව්‍යාපාරිකයන් කටයුතු කරලා. මහින්ද නිකම් ම නිකම් නාකි මයිනකු බවට පත් කරලා. ප්‍රචාරකයන් දක්‍ෂයි.

 

නන්දිකඩාල් ජයග්‍රහණය ලබා දුන් රණවිරුවන් සියලු දෙනාට ම අප කෘතඥ වෙන්න ඕන. අප වෙනුවෙන් දිවි දුන් අවයව අහිමි කරගත් අය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක් ම කරන්න ඕන. මා හිතන්නේ අප ඔවුන් වෙනුවෙන් කර ඇති දේ ප්‍රමාණවත් නැහැ කියා. සියලු තරාතිරම්වල රණවිරුවන්  මගේ සිහියට එනවා. එදා 2009 මැයි දහඅටවැනි දා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දී අප  ජයග්‍රහණ උත්සවයක් පැවැත්වුවා. මා දන්නේ නැහැ අද නිල වශයෙන් කී තැනක එය සමරණවා ද කියා. 

 

ඒ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ ගෞරවය මූලික වශයෙන් හිමිවිය යුතු තිදෙනෙක් ඉන්නවා. ඒ හමුදා මෙහෙයුම්වලට දේශපාලන නායකත්වය ලබා දුන් මහින්ද රාජපක්‍ෂ, සම්බන්ධීකාරක ලෙස මෙහෙයුම් කළමනාකරණය කළ ගෝඨාභය රාජපක්‍ෂ හා හමුදාපති සරත් ෆොන්සේකා. ඒ තිදෙනා සර්වසාම්‍යය සැසඳීමක් නොවූවත් ගැමුණු තිස්ස හා නන්දිමිත්‍ර වගේ. එහෙත් ඒ තිදෙනා අද විරසක වෙලා. සරත් ෆොන්සේකා හා රාජපක්‍ෂලා අතර වූ විරසකය කෙළවර වූයේ ඒ සරත් මේ සරත් වීමෙන්. එය ඛෙදජනකයි. අද රාජපක්‍ෂලාත් විරසක කෙරිලා. ගැමුණු හා තිස්ස අතහැර නන්දිමීත්‍රට යෑමට සිදු වුණා නම් ? වේළුසුමනගේ භූමිකාව මා කියන්නේ නැහැ. එදා අපට ඉංගිරිසින්ගේවත් භාරතීයයන්ගේවත් බලපෑම් තිබුණේ නැහැ. විවිධ බමුණු බලපෑම් අපට පැමිණියේ ඉන් පසු.  මහින්ද පන්නා දැමීමෙන් පසු අගමැති වීමට සුදුස්සා වූයේ සරත් ෆොන්සේකා. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. ඒ සරත් 2010 දී ම මේ සරත් වී මහින්දට විරුද්ධ ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.  

 

දෙමළ ජාතිවාදය ගැන මා බොහෝ දේ කියා තියෙනවා ඊට වඩා ලියා තියෙනවා. ජාතිකවාදීන් ඒ කිසිවක් සත පහකට ගණන් ගන්නේ නැහැ. අපි එය අමතක කරමු. මාත් නාකියකු පමණයි. මා මැරෙන්නේ නැත්තේ ඇයි දැයි අහන අයත් ඉන්නවා. මොනව කරන්න ද? කරුමෙ ගෙවන්න ඕන. ජාතිකවාදීන් මොනව කිවුවත් එතකන් ලියනවා. මා සිද්ධියෙන් සිද්ධියට පනින්නෙ නැහැ. මා සමස්තය බලන්නෙ. බොහෝ දෙනාට එය පේන්නෙ අච්චාරුවක් ලෙස.

 

දෙමළ ජාතිවාදය සම්පූර්ණයෙන් ම ඉංගිරිසින් ඇති කළ එකක්. එයට පාර කපා තිබුණේ වෙල්ලාලයන් තොග වශයෙන් මෙරටට ආනයනය කළ ලන්දේසීන්. ඉන් කියැවෙන්නේ ලන්දේසීන්ට පෙර වෙල්ලාලයන් ටික දෙනකු මෙරට නොසිටි බව නො වෙයි. ඒ කුමක් වුවත් පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් යාපනයේ බහුතරය සිංහලයන්. ඒ බව ක්වේරෝස් සඳහන් කරනවා. ඔහු ලංකාවට පැමිණියේ නැතැයි කියා ඒ කරුණ අමතක කර ඔහු කියන අනෙක් දේ පිළිගන්නේ ජී සී මැන්දිස්ගේ ගෝලයන්. කොහොමටත් දහතුන්වැනි සියවසට පෙර මෙරට දෙමළ නිත්‍ය වාසස්ථාන නොතිබූ බව කිවුවේ පෘතුගිසියකු නොව යාපන විශ්වවිිද්‍යාලයේ ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල තම ආචාර්ය උපාධි නිබන්ධනයෙහි.

 

ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ දෙමළ වෙල්ලාලයන් වූ පොන්නම්බලම් කුමාරස්වාමි පවුලට රටේ නායකත්වය පැවරීමට. 1912 දී මෙරට පැවැත් වු උගතුන්ට හා ව්‍යාපාරිකයන්ට සීමා වූ ප්‍රථම මැතිවරණය ම දූෂිත එකක්. එහි දී මාකස් ප්‍රනාන්දු පරදවා පොන්නම්බලම් රාමනාදන් ජයගත්තේ කුලභේදය අවුස්සමින්. සිංහල ගොවිගම අය දෙමළ වෙල්ලාල රාමනාදන්ට ඡන්දය දුන්නේ කරාවේ මාකස් ප්‍රනාන්දු පැරදවීමට. වෙල්ලාලයන් ද ගොවි කුලයක් ලෙසිනුයි සැලකුණෙ. එදා මාකස් ප්‍රනාන්දු දිනුවා නම් ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා.

 

රාමනාදන් හා අරුණාශලම් සහෝදරයන් ලංකාවේ නායකයන් හැටියට පිළිගැණුනා. ඔවුන්ගේ පවුලේ ඉතිහාසය ගැන ජේම්ස් රත්නම් සඳහන් කරනවා. ඔවුන් මෑතක දී ලංකාවට පැමිණි අය. කලකට පෙර ඔවුන් ක්‍රිස්තියානි. පසුව නායකත්වය සඳහා හින්දු වූ අය. සිංහල ප්‍රභූන් ද බොහෝ දෙනකු බණ්ඩාරනායක, සේනානායක, ජයවර්ධන, වික්‍රමසිංහ ආදීන්ටත් ඇත්තේ ක්‍රිස්තියානි සම්භවයක්. ඔවුනුත් නායකත්වය සඳහා බෞද්ධ වූ අය.

 

රාමනාදන්ගේ ජයග්‍රහණයත් සමග වෙල්ලාලයන්ට රටේ නායකත්වයට පත් වීමට වුවමනා වුණා. එය කඩ වුණෙ 1931 දී සර්වජන ඡන්දය දීමත් සමග. සරවජන ඡන්දයත් සමග දෙමළ වෙල්ලාල නායකත්වයක් ගොඩ නගන්න බැරි බව තේරුම් ගත් ප්‍රධාන තැනැත්තා වුණෙ චෙල්වනායගම්. ඔහු ඇමරිකන් මිෂනාරීන් යාපනයේ පිහිටු වූ  ක්‍රිස්තියානි නිකායක භක්තිකයෙක්. ඔවුන් අනුයුක්ත වුණෙ මදුරාසියෙ (චෙන්නායි) පල්ලියකට. ඒ නිකායට මලයාවේත් (වත්මන් මැලේෂියාවේත්) සම්බන්ධකම් තිබුණා. චෙල්වනායගම් ළමා කාලය ගත කර ඇත්තේ මලයාවේ.

 

ලංකාවේ ම නායකත්වයට පත් වීමට බැරි බව තේරුම් ගත් චෙල්වනායගම් හා නාගනාදන් දෙමළ ඊළමක් සඳහා කටයුතු කළා. ඊලම් යන වචනය ලංකාව හඳුන්වා දුන්නේ සී සුන්දරලිංගම්. ඊළම් යන්න බිඳී එන්නේ සිංහලාම් යන්නෙන්. ඒ බව මදුරාසි විශ්වවිද්‍යාලයේ ශබ්දකෝෂයේත් සඳහන් වෙනවා. නාගනාදන් 1947 දී පමණ ඈතක සිංහලයන්ගෙන් නිදහස් වීමක් ගැන කතා කළා. 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය බිහි කෙරුණා.  චෙල්වනායගම්ලාට අවශ්‍ය වුණෙ උතුරු හා නැගෙනහිර ඊනියා දෙමළ නිජභූමි ලෙස සලකමින් ඒ පළාත්වලට වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට.

 

එහෙත් ඉංගිරිසින් අතින් ලංකාවේ පළාත් අවසන් වරට නීර්ණය කෙරුණේ 1889 දී. පළමු නීර්ණයට අනුව අනුරාධපුරයත් අයිති වුණෙ උතුරු පළාතට. ඒ එසේ ම තිබුණා නම් අනුරාධපුරයත් ඊළමේ. ඉංගිරිසි නීර්ණය කළ පළාත් අනුව ඊනියා නිජභූමි ලකුණු කිරීමට බැරි බව දෙමළ වෙල්ලාල ජාතිවාදීන්ට වැටහුණේ නැහැ. ඒ කොහොම වුණත් දෙමළ ජාතිවාදීන්ට ඓතිහාසික ව විරුද්ධව යන කරුණක් මෙරට තිබුණා. ඒ මෙරට දෙමළ ජනවර්ගයක් නොතිබීම. මෙහි ඇත්තේ දෙමළ කතාකරන ජනකොටස්.

 

මෙරට වාසය කරණ දෙමළ ජනකොටස් බටහිරයන් විසින් ආනයනය කරනු ලැබූවන්. ලන්දේසීන් උතුරට වෙල්ලාලයන් ආනයනය කළා. ඔවුන් ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් යාපනයේ ප්‍රධාන කුලය බවට පත් වුණේ එහි සිටි සිංහලයන් ඊනියා අඩු කුල බවට පත් කරමින්. දහනවැනි සියවසේ පාරවල් තැනීමට ගෙනා දෙමළ කතා කරන ජනයා ඉංගිරිසින් නැගෙනහිට පළාතේ මුස්ලිම් ජනයා නැති ප්‍රදේශවල පදිංචි කළා. එහි මුස්ලිමුන් පදිංචි කෙරුණේ සිංහල රජවරුන් විසින්. තුන්වැනුව වතු වගාවට ආනයනය කෙරුණු දෙමළ ජනකොටස කඳුකරයේ පදිංචි කෙරුණා.  මේ ජනකොටස් තුන එක ජනවර්ගයක් ලෙස ක්‍රියා කරන්නේ නැහැ. චෙල්වනායගම් 1976 දී වඩුකොඩෙහි දී දෙමළ ජනකොටස් පමණක් නොව දෙමළ කතාකරන මුස්ලිමුන් ද එකතු කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වුණෙ නැහැ.

 

දෙමළ ජාතිවාදයේ නායකත්වය අවි ගත්තවුන් අතරට ගියා. එයට ඉංගිරිසින් පමණක් නොව ඉන්දියානුවන් ද සහාය දුන්නා. දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය වර්ධනය වුණා. ඔවුන් ජ වි පෙ ආදර්ශයට ගනිමින් රජයට විරුද්ධ ව අවි ගත්තා. ජ වි පෙ යුද්ධයක් කළ බව නොකී බටහිර ජඩමාධ්‍ය දෙමළ කොටී යුද්ධයක් කරන බව කිවුවා. එපමණක් නොව කල් යන විට යුද්ධයෙන් කොටි පරාජය කළ නොහැකි බවත් ප්‍රභාකරන් ඉහළ ම ගණයේ යුද්ධ විශේෂඥයකු බවටත් මතයක් ප්‍රචාරය කළා. රොහාන් ගුණරත්න එවැනි විශේෂඥයෙක්.

 

ඒ මතයත් දෙමළ ත්‍රස්තවාදය ඇති වී තිබෙන්නේ දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණයක් නිසා යන මතයත් පරාජය කෙරුණා. මාවිල්ආරු වැසීමත් සමග මහින්ද තීරණය කළා මෙහෙයුම් උත්සන්න කිරීමට. සෙස්ස ඉතිහාසයයි. අද මහින්ද නාකි මයිනා කරලා. අද අපි වෙනුවෙන් අපි නොවෙයි. ඔවුන් වෙනුවෙන් අපි. ප්‍රභාකරන් සමග ගිවිසුම් ගැන කී චන්ද්‍රිකාට අප විරුද්ධ වුණෙ ඇය වීරවරියක වී සිටි කාලයේ. ඇය වේදිකාවෙන් ඉවත් කෙරිලා. ඒත් ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කිරීමට කිලිනොච්චි ගිය රනිල් අද වීරයකු කෙරිලා.

 

බටහිරයන් හා ඉන්දියාව අද කරන සෙල්ලම ඉතා පැහැදිලියි. ඔවුන්ට අවශ්‍ය නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න. නාකි මයිනා වෙනුවට කොහා ගෙනැල්ලා. කොහා අවුරුදු (සල්ලි) ගේනකන් අපි බලන් ඉන්නවා. අපි කන්න උපන් ජාතියක්. අවසානයේ දී අපි ජාතියත් කනවා. ඔවුන් වෙනුවෙන් අපි.