Main Logo

Thursday 19 May 2022

රනිල් ආතල්ගම හා මුල්ලවයික්කාල්

 

රනිල් ආතල්ගම හා මුල්ලවයික්කාල්

 

මේ පිටුවේ උඩින් ම පළ වී ඇති ප්‍රකාශය පඬි නැට්ටන්ට තේරුම් ගත හැකි යැයි මා සිතන්නේ නැහැ. මේ රටේ බොහෝ උගත්තු ද්වයංගුල පඤ්ඤා ගණයට අයත් වෙනවා. ඒ කියන්නෙ ඇඟිලි දෙකක දුරට වඩා පේන්නෙ නැහැ කියන එක.  ඒ අතර සමහරු ඉන්නවා ඒකංගුල පඤ්ඤා ගණයට අයත්. ඔවුන්ට පේන්නෙ ඇඟිල්ලෙ දුර පමණයි. මේ කාටත් යමක් ඇඟිල්ලෙන් ඇනල කියන්න ඕන. පඬි නැට්ටකු අහන්න පුළුවන් විශ්වවිිද්‍යාලයක දී කිසිවක් ඉගැන්නුවෙ නැත්තන් පඩි ගත්තෙ කොහොම ද කියල. ඒක ම තමයි පඬි නැට්ටන්ගෙ තේරුම් ගැනීමේ හැකියාව පෙන්නන කතාව.

 

මා පෙනී සිටි කිසිවකින්වත් මා ඈත් වී නැහැ. දෙමළ ජාතිවාදී මතවාදය අද පැරදිලා. ඒ මතවාදය දැන් නැහැ. අද මතවාදයක් නැතුව දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ ඉංගිරිසින් විසින්. ඒ විසිරුණු දෙමළ ජනයා මගින්. දෙමළ ජාතිවාදී මතවාදය හා දෙමළ ත්‍රස්තවාදය පැරදවීම  ගැන මට ඇත්තේ ආඩම්බරයක්. ඒ එසේ නොවේ යැයි සිතන කොල්ලෑවේ විශ්වවිද්‍යාලයට පැමිණි අයට අද රටේ තියා ආතල්ගමේවත් තැනක් නැහැ. ඔවුන් තවමත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් සිදු වී ඇති අසාධාරණය සකර්බර්ගේ අනාථ කඳවුරේ හොයනවා. සකර්බර්ග් අනාථකඳවුරේ නිර්මාලාප හා නර්මාලාප කීමෙන් රටේ තබා ආතල්ගමේවත් තැනක් ලැබෙන්නේ නැහැ. පඬි නැට්ටන් වටේ යවන්න  හරි ලේසියි. අර ආතල් විශ්වවිද්‍යාලය දැන් නැද්ද?

 

අද ජාතිකත්වය රටේ පැතිරිලා. එය ස්ථාවර වෙලා. අද තමයි ප්‍රභාකරන් ඝාතනය කෙරුණු දවස. ඔහු ඝාතනය කෙරුණෙ රට හමුදා මෙහෙයුමක නිරත වුණු නිසා. අර චන්ද්‍රිකාල රනිල්ල වගේ සාකච්ඡා කර කර හිටිය නම් රූපයේ දැක්වෙන පූජකවරයාට ආතල්ගමේ ඉන්නවත් ලැබෙන්නෙ නැහැ. කොටින් ම ආතල්ගමක් පවත්වන්නවත් ලැබෙන්නෙ නැහැ. කොටි ඉන්න කාලෙ ආතල්ගමේ නාගරිකයන්ගෙ දෙමවුපියන් ගමන් බිමන් ගියෙ කොහොම ද කියන එක අහල බැලුව නම් හොඳයි. ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් රටට වූයේ යහපතක්.

 

ආතල්ගම සම්පූර්ණයෙන් ම අසාර්ථක ව්‍යාපෘතියක්. ඉන් ලබාගත්තෙ වටලප්පන් හා දේවාශිර්වාද පමණයි. ආතල්ගම සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට බැරි නම් එයට හිමි විශේෂ තැන නැති කිරීමට බටහිරයන්ගේ හා ඔවුන්ගේ ප්‍රධාන ඒජන්තයා වූ රනිල්ගේ අනුග්‍රහයෙන් පටන් ගත් ව්‍යාපෘතියක් පමණයි. රනිල් ආතල්ගමට නොගියේ ම ඔහුට ඇති සම්බන්ධය වසන් කරන්න. ආතල්ගම වෙනුවෙන් කතා කළේ බටහිර තානාපතියන් මෙන් ම රනිල් වැන්නන්. ඔවුන් තමයි එහි අරමුණ දැන සිටියෙ.  අද එය පැවැත්වෙන්නේ රනිල්ගේ අනුග්‍රහයෙන්. ඔවුන්ට වුවමනා ගෝඨාභය ගෙදර යැවීමට. එහෙම නැත්නම් විධායක ජනාධිපති ක්‍රමයෙ බලතල අඩු කරන්න. ආතල්ගමට ගිය සජිත් අනුර වැන්නන්ට අවශ්‍ය වුණෙ ඒ මගින් බලයට ඒමයි. ඔවුන් දැන සිටි අරමුණක් නැහැ.

 

ආතල්ගමේ මුල්ලවයික්කාල් සටනෙ මැරුණු අය සිහිකරලා. ප්‍රභාකරන්වත් සිහිකරලා. ඔහු සිහිකරන අය එසේ කරන්නෙ ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට ගත් උත්සාහය නිසා. ආතල්ගම නිතර ම ඉන්න පූජකයන් ට තරුණයන්ගෙ බසින් නම් විශාල ඇරියස් එකක් තිබෙන බව පැහැදිලියි. ඔවුන් බණ අහනවා. බයිලා කියනවා. ප්‍රභාකරන් සැමරීම අද කෙරෙන්නෙ ආතල්ගම පවත්වාගෙන යන රනිල්ගෙත් අනුග්‍රහයෙන්.  යමකු කියන්න පුළුවන් ගැමුණු රජු තම විරුද්ධවාදියා වූ එළාර සිහි වීම සඳහා ස්මාරකයක් හැදුව නම් ප්‍රභාකරන් සිහිකිරීමේ වරද කුමක් ද කියා. ඒ තමයි ද්වයංගුල පඤ්ඤාව. ගැමුණු කුමරු සැමරුවෙ මහාවංශයට අනුව ධාර්මික පුද්ගලයකු. එළදෙන හා ඝණ්ඨාරය කතාවෙන් පිළිබිඹූ වන්නේ එයයි. ඔහුගේ මිනිසුන් බෞද්ධ සිද්ධස්ථානවලට පහර දුන්නත් ඔහු අඩු තරමෙන් ඒ ආරක්‍ෂා කළ බවක් පෙන්නුවා. ඔහු තම ජනතාව රැක බලා ගත්තා.

 

එහෙත් ප්‍රභාකරන් ගැන කියන්න පුළුවන් මොකක් ද? ඔහු නිරායුධ මිනිසුන් මැරුවා. බෝම්බ ඇටෙවුවා. දෙමළ කතා කරන උතුරේ මිනිසුන් පළිහක් ලෙස යොදා ගත්තා. ඒ ජනයා ද බේරා ගත්තේ මානුෂීය මෙහෙයුමක යෙදුණු හමුදාව විසින්. එ මෙහෙයුම හා අද යුක්‍රේනයේ සිදුවන මෙහෙයුම් සලකා බලන්න.එවිට එහි මානුෂීය බව තේරේවි. ප්‍රභාකරන් වැනි පාපතරයකු සිහිකරන්න පුළුවන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට වෙහෙසෙන අයට පමණයි.

 

මහින්ද අස්වුණෙ ආතල්ගම නිසා නො වෙයි. අපේ කඳවුරේ ම විමල් ගම්මන්පිළ දයාසිරි වැනි දේශපාලනඥයන්ගේත් තවත් අයගේත්  අවස්ථාවාදී බලලෝභී දේශපාලනය හා මුදල් පසුපස යන ව්‍යාපාරික මනස නිසයි. මහින්දට ප්‍රශ්නය වුණෙ දරුවන්. රටක් පාලනය කළ මහින්දට දෙමළ ත්‍රස්තවාදය කුඩු පට්ටම් කළ මහින්දට ගෙදර පාලනය කරන්න බැරි වුණා. අපත් වෑයම් කෙළේ දරුවන් දේශපාලනයෙන් ඉවත් කර තබන්න. එහෙත් එය කරන්න බැරි වුණා.

 

මහින්ද අස්කිරීමට මග සැලසීමෙන් විමල් හා පිරිස ඉටු කෙළේ බටහිරයන්ගේ වුවමනාව. බටහිරයන්ට අවශ්‍ය ව තිබුණේ රනිල් බලයට ගෙන ඒම. මා ඒ බව කලින් කියා ඇති. මහින්ද අස්කිරීමෙන් බටහිරයන් පියවර කිහිපයක් ඉදිරියට ගියා. බටහිරයන් රනිල්ට නියම කරන්නේ ගෝඨාභය ගෙදර යවා විධායක ජනාධිපති වීම. බැරි නම් විධායක ජනාධිපති ක්‍රමයේ තටු කැපීම. රනිල් බලයට පැමිණියේ සජිත් අනුර වැන්නන් මුලින් ම ජනාධිපති ඉවත්විය යුතු යැයි කී නිසා. රනිල් කරන්නේ මුලින් අගමැති වී පසුව ගෝඨාභය ඉවත් කිරීමයි. ඔහු ආතල්ගම පවත්වාගෙන යන්නේ ඊනියා ජනතාවට ගෝඨාභය ඉවත් කිරීම අවශ්‍ය බව පෙන්වීමට.  ඔහුට ව්‍යවස්ථාවට අත තියන්න ඉඩ නොදිය යුතුයි.

 

අද ඇති ආර්ථික අරබුදයට වැඩියෙන් ම වග කියන්න ඕන වැඩියෙන් ම ණය ගෙන සංවර්ධනයක් නොකළ රනිල්. අප දේශීය ආර්ථිකයක් අනුගමනය නොකිරීම නිසා හා රාජපක්‍ෂවරුන් ද දේශීය දැනුම ගැන විශ්වාසයක් නැති නිසා අදත් ආණ්ඩුවට ණය ආර්ථිකයක් ම පසුපස යන්න වෙලා. ඒ සඳහා අද ආණ්ඩුව රනිල් පත් කරන් ඉන්නවා. ඔහු තමයි රටේ හොඳ ම ණය කාරයා. ඒත් මා හීතන්නෙ නැහැ ඔහුට ඉක්මණට ණය ලැබේවි කියා. ඔහුත් නිතර කියන්නෙ තව කාලයක් මීටත් වඩා අමාරු වේවි කියල. එහෙනම් අහවල් දෙයක් ද ඔහු කරන්නෙ.

 

ඔහුට හා බටහිරයන්ට අවශ්‍ය දේ පැහැදිලියි. ඔවුන්ට ඕන තව තවත් රට අර්බුදයට ගෙනිහින් වරද ගෝඨාභයට පටවා ඔහු ගෙදර අරින්න. ඉන් පසු ණය ටිකක් දී අප තව තවත් ණය උගුලේ හිර කරන්න. අප කියා සිටිය යුත්තේ රනිල් අගමැති වූ දින සිට රටේ ආර්ථිකයට ඔහු වග කිව යුතු බවයි. ඔහුට ආණ්ඩුවෙන් නියම වී ඇත්තේ ආර්ථික අර්බුදය විසඳම මිස ඊනියා ව්‍යවස්ථා සංශෝධන වැනි දේශපාලන විසඳුම් ගෙන ඒම නො වෙයි. බල්ලා කළ යුත්තේ බල්ලාගේ වැඩේ මිස ගොනාගේ වැඩේ නොවෙයි. මාස කිිහිපයකින් ආර්ථික අර්බුදය විසඳුවෙ නැත්තන් ගෙදර යන්න ඕන රනිල් මිස ගෝඨාභය නො වෙයි.

 

මහින්ද හා ගෝඨාභය අතර විරසකය රටට ප්‍රශ්නයක්. මහින්දට පවුලෙ ප්‍රශ්නය. ගෝඨාභයට  සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු වීමට ඇති අවශ්‍යතාව රටට ප්‍රශ්නයක් වෙලා. දැනට ටික කලකට පෙර අස්ගිරි පාර්ශ්වයෙ වෙඬරුවෙ උපාලි හිමියන් ජනාධිපතිතුමා හිට්ලර් කෙනකු විය යුතු යැයි අනුශාසනා කළේ මේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය අත්හැරිය යුූතු යැයි පැවසීමට වෙන්න ඕන. මෙරට ඉන්න සිංහල බෞද්ධ විරෝධි පඬි නැට්ටන් උන්වහන්සේට විරුද්ධ ව නැගී හිටියේ ජෙ ආර් හා ප්‍රේමදාස ප්‍රජාතන්ත්‍රවාදවලට යට වීමෙන් පසුව. මේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයත් මහින්ද හා ගෝඨාභය අතර විරසකය වැඩි කරනවා.

 

මේ විරසකය හරහාත් අපි යමක් ඉගෙන ගත්තා. අද පොලීසිය යම් ප්‍රමාණයකට අකර්මණ්‍ය වෙලා තියෙන්නෙත් මේ විරසකය නිසා. පොලීසිය සහෝදරයන් අතර ප්‍රශ්නයක දී පැත්තක් ගන්නෙ නැතුව බලා ඉන්න තත්වයකට පත්වෙලා ඇති බවක් පේන්න තියෙනවා. දේශබන්ධු තෙන්නකෝන් සිද්ධියේ දී මේ බව පැහැදිලි වුණා. අද පොලිස්පතිත් අසරණ වෙලා වගේ. තෙන්නකෝන් මා දන්නා තරමට දේශබන්ධු කෙනෙක්. ඒ කියන්නෙ ඔහු දේශයේ ඥාතියෙක්. නිකම් ම රට වැසියෙක් නො වෙයි. එක් එක් අයගෙ පෞද්ගලික ඕනෑකම් පසෙක ලා අපේ හාමුදුරුවන්ට ගැමුණු තිස්ස සමගිය ඇති කළ ආකාරයෙන් නූතන ගැමුණු තිස්ස සමගිය ඇති කරන්න පියවර ගන්නා ලෙස ගෞරවයෙන් හා සිංහල බෞද්ධ සංස්කෘතියෙ නාමයෙන් ආරාධනය කරනවා.

 

මේ විරසකය නිසා පොලීසිය අසරණ වෙන ආකාරයට ම තමයි යහපාලන කාලෙත් අසරණ වුණෙ කියා හිතන්න පුළුවන්. යහපාලනයෙ මෛත්‍රිපාල රනිල් විරසකය නිසා පොලීසිය අකර්මණ්‍ය වූ බවක් පේනවා. පාස්කු ප්‍රහාරයට එයත් හේතුවක්. මහා මොළකරු මොකද කියන්නෙ.  රනිල් හා මේඝවම්ම ගැනත් ලියන්න ඕන. නැහැ මෙගාවම්ම නො වෙයි.