Main Logo

Friday 20 May 2022

වාසුගේ ආතල්ගම අරගලය

 

වාසුගේ ආතල්ගම අරගලය

 

වාසුදේව පාර්ලිමේන්තුවේ දී නොනවතින අරගලයක් ගැන කියල. ඔහුට අනුව ආතල්ගම ඊනියා අරගලය දීිගට ම යනවා. මහින්ද අස්වුණා ය කියා අරගලය නිම වෙලා නැහැ. එය රනිල් ගෝඨාභය ඉවත් කිරීමෙන් නවතින්නෙත් නැහැ. අරගලය පාර්ලිමේන්තුවට ගැනීමක් හරි පාර්ලිමේන්තුව අරගලයට ගැනීමක් හරි ගැන ඔහු කතා කරනවා. අප කවුරුත් යම් දෘෂ්ඨියක මතවාදයක ඉඳගෙනයි කතා කරන්නෙ. වාසුදේවත් එහෙමයි. බටහිර විිද්‍යාවත් මතවාදියි. මතවාද දැනුම් කියා වෙන්කරන්න බැහැ. එහෙම වෙන්කරන්නෙ බටහිර මතවාද විසින්මයි. ඒ ඔවුන්ගෙ මතවාදය ඊනියා දැනුම බවට පත්කරන්න. එය ඔවුන්ගේ ජාතිකත්වය ජාත්‍යන්තරවාදයක් කියා පෙන්වන වගේ. අද අප ඊනියා ජාත්‍යන්තර මට්ටම් කියන්නෙ බටහිර ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි නූතනත්ව මට්ටම්වලට.

 

වාසුදේවට පරණ ට්‍රොට්ස්කි මතක් වෙලා. ට්‍රොට්ස්කිගෙ පට්ටපල් බොරුවක් වූ නොනවතින විප්ලවය මතක් වෙලා. මේ ආතල්ගම ඊනියා අරගලය මොන පංතියේ අරගලයක් ද කියා කිසිම වමකු කියන්නෙ නැහැ. මේක ඊනියා නිර්පාක්‍ෂික වගේ ම නිර්පාංතික අරගලයක් වෙන්න ඇති. අහෝ මාක්ස්වාදය හා වමාලා. මේ ගැන ග්‍රම්ස්චි මුකුත් කියල නැද්ද? පශ්චාත් මාක්ස්වාදයට පශ්චාත්තාප වෙන්න වෙලා. වාසනාවකට වාසුදේව සෝවියට් සභා පිහිටුවන්න කතා කරන්නෙ නැහැ.  මොනව වුණත් ට්‍රොට්ස්කිගෙ නොනවතින විප්ලවය වික්‍රමබාහු රනිල් සමග එකතු වීමත් සමග නැවතිලා. ඉස්සර අපේ සහෝදරවරු වාසු බාහු ගැන කිවුවා. දැන් මොනව කියන්න ද?

 

වාසුදේවට අමතක වෙච්ච කාරණයක් මතක් කරන්න ඕන. ඔය ඊනියා නොනවතින අරගලය පටන් ගත්තෙ තමා විමල් හා ගම්මන්පිළ කියන එක. ඒ තුන්දෙනා තමයි කලක සිට බැසිල්ට විරුද්ධව ආණ්ඩුවේ අරගලයක් කෙරුවෙ. ඒ අරහලය පසුව ආණ්ඩුවට විරුද්ධ ව කරන ලද්දක් බවට පත් වුණා. එ තුන්දෙනාටත් පරණ රුසියන් ඉතිහාසය ඇසුරෙන් ට්‍රොයිකාව කියන්න පුළුවන්. මට තවත් ට්‍රොයිකාවක් මතක් වෙනවා. ඒක නැවතත් කියමු. 2009 මැයි 19 වැනි දා දෙමළ ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ පරාජය කළ දවසෙ ම ඉන්දියාවෙන් පැමිණි ට්‍රොයිකාවක් හා ලංකාවෙ ට්‍රොයිකාවක් එකඟත්වයකට පැමිණියා. ඒ දහතුන්වැනි සංශෝධනයෙන් ඔබ්බට යෑමට! ලංකාවෙ ට්‍රොයිකාව වුණෙ බැසිල් ගෝඨාභය හා ලලිත් වීරතුංග. එහෙත් මහින්ද එය ක්‍රියාත්මක කෙළෙ නැහැ. එකල ජාතිකත්ව බලවේගත් ශක්තිමත්. අද ජාතික මතවාදය පැතිරිලා තිබුණත් ජාතික බලවේග ශක්තිමත් නැහැ.

 

වාසුලගෙ ට්‍රොයිකාව මුහුණත් එක්ක තරහට නහය කපා ගත්තා. ඔවුන් ආණ්ඩුවට විරුද්ධව නඩු කිවුවා. බොරු වීරයන් වුණා. ආණ්ඩුවෙන් අස්කෙරෙන තැනට කටයුතු කළා. ඒ මාර්තුවේ. ආර්ථික අර්බුදය කරළියට ආවෙ පහුගිය නොවැම්බරයෙ. ට්‍රොයිකාව ස්වාධීන වුණා. ඊට පස්සෙ තවත් අය ස්වාධීන වුණා. අප්‍රේල් මාසෙ තමයි ආතල්ගම පටන් ගත්තෙ. ආතල්ගමට තිබුණෙ එක සටන් පාඨයයි. ඒ ගෝඨාභය ගෙදර යැවීම. නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම. ඔවුන් මහින්ද ගැන කතා කෙළේ නැහැ. ගෝඨාභය ගෙදර හැර ආණ්ඩුව පළවා හැරීමයි ඔවුන්ගෙ අවශ්‍යතාව  වුණෙ. ඔවුන් තමන්ට බලය ගැනීමක් ගැන කතා කෙළෙ නැහැ.

 

ට්‍රොයිකාව විජේදාස රාජපක්‍ෂ ටිරාන් අලස් ආදීන් සමග ඊනියා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ඉල්ලුවා. ඒ අරගලය අද අවසන් වෙලා. විජේදාස හා ටිරාන් අලස් ඇමතිවරුන් වෙලා. මේ හදන්නෙ ඡන්දෙන් පැරදුණු රනිල්ගෙ ආණ්ඩුවක්. ආතල්ගම ඊනියා අරගලය අද පැවැත්වෙන්නෙ රනිල්ගෙ ආධාරයෙන්. ආතල්ගම තම අතට ගැනීමට රනිල්දාස උත්සාහ කළා. රනිල්දාස ටික කලකට ඉස්සර ගමට යනව කියල මහරගමට ගියා. ඊට පස්සෙ ගියෙ ආතල්ගමට. ජෙප්පන් අරගලය ඉදිරියට ගෙනි යන්න රට ගිනි තිබ්බා. ඒ ඔවුන්ට පුරුදු ක්‍රමය. ඒ අරගලයත් රනිල් අගමැති වුණාට පස්සෙ අවසන් වුණා.

 

ආතල්ගම ඊනියා අරගලය තව ටිකක් කල් තියෙයි. එහි අද ඇත්තෙ කතෝලික නායකත්වයක්. ඒ නායකත්වය සිංහල බෞද්ධ විරෝධීයි. රනිල්ටත් ඇති සිංහල බෞද්ධත්වයක් නැහැ. ඔහු කැලණියෙ දායක සභාවෙන් පන්නා දමනු ලැබුවෙක්. ආතල්ගමත් රනිලුත් මෙහෙයවෙන්නෙ එක ම තැනකින්. රනිල් ඊනියා අරගලය අවසන් කරන්නෙ එක්කො ගෝඨාභය ගෙදර යැවීමෙන්. එහෙම නැත්නම් විධායක ජනාධිපති ධුරයෙ බලතල අගමැති අතට පවරා ගැනීමෙන්. දෙවැන්න සඳහා ඉඩකඩ වැඩි බවයි මට හැඟෙන්නෙ.  රනිල් අනෙක් අය මෙහෙයවීමේ දක්‍ෂයකු බව මා කියා ඇති. අද ඔහු ගෝඨාභය මෙයෙවනවා. සමහරවිට ගෝඨාභය මෙහෙයවන්න හිතාගෙන මහින්ද යවපු අයත් රනිල් එක්ක ඇති. ටිරාන් අලස්ල එක්ක තමයි ඔවුනුත් පහුගිය දවස්වල හිටියෙ.   ඡන්දයක් දිනන්න බැරි රනිල් ඡන්ද හැටනව ලක්‍ෂයක් ගත් ගෝඨාභය මෙයෙහවනවා. ඒක තමයි බටහිර ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බටහිරයන් සඳහා බටහිරයන් වෙනුවෙන් බටහිරයන් පවත්වාගෙන යන දේශපාලන ක්‍රමයක්.

 

වාසුදේව කියන නොනවතින අරගලය නවතින්නෙ රනිල් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවල සුබසාධන රාජ්‍යය නැති කිරීමෙන්. ඒක තමයී ඊනියා සිස්ටම් චේන්ජ් එක. රටේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කිරීමෙන්. අද වාසු ට්‍රොයිකාව නන්නත්තාර වෙලා. මා හිතන්නෙ ට්‍රොට්ස්කිගෙ නොනවතින විප්ලවය (Permanent Revolution) කොහොම වෙතත් විප්ලවය පාවාදීම (Revolution Betrayed) කියවන එක වමාල කාට කාටත් හොඳයි කියල. ඒ හිත හදා ගැනීමට මිසක් වෙනත් දේකට නො වෙයි. ඒක තමයි දයලෙක්තිකය කියලත් ඕන ම නම් කියන්න පුළුවන්.

 

අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය බලවත් වෙලා. මා හිතන්නෙ ඇමරිකන් ජාතිකවාදියකු වූ ට්‍රම්ප්ගෙ පරාජය ඒ සනිටුහන් කළා කියල. අද එරටත් ඇත්තෙ නැවතත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ජාතිකත්වය. දැනට අවුරුදු හයකට පමණ පෙර මගේ ලෝකයට අවුරුදු තිහක් පිරුණු දවසෙ පැවති රැස්වීමේ දී මා ජාතිකවාදී නායකයන් කිහිප දෙනකු ගැන සඳහන් කළා. ට්‍රම්ප් සහ මහින්දත් ඒ අතර සිටියා. අද ඒ නායකයන්ගෙන් ඉතුරු වෙලා ඉන්නෙ පුටින් හා මෝදි පමණයි. මහින්ද පළවා හැරීම බටහිරයන්ට එතරම් අමාරුවක් වුණෙ නැහැ. වාසුලා ඒ කාර්යය දැනුවත් ව හරිි නොදැනුවත් ව හරි කළා.

 

එහෙත් පුටින් පළවා හැරීම තරමක් අපහසුයි. අද මුළු බටහිර ම පුටින්ට විරුද්ධව යුද්ධ කරනවා. යුද්ධයෙන් රුසියාව පැරදුණහොත් ඉන්දියාවටත් ප්‍රශ්නයක් වේවි. බටහිරයන් ඉන්දියාවට තවමත් විරුද්ධ නොවන්නෙ ඉන්දියාව චීනයට විරුද්ධව හතර දෙනාගේ (QUAD) කල්ලියෙ ඉන්න නිසා. චීනය රුසියාව ඉන්දියාව එක පිළකට පැමිණ බටහිර ක්‍රමයට විරුද්ධ ව වෙනත් ක්‍රමයක් සංස්කරණය නොකිරීම නිසා බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා ඩොලරය බලවත් වෙලා. මෙරට සිදුවන්නේ යුක්‍රේනයෙ සිදුවන්නෙහි ක්‍ෂුද්‍ර පිටපතක් පමණයි.