Main Logo

Saturday 7 May 2022

ෆැසිස්ට්වාදය ප්‍රජාතන්ත්‍රවාදය අලි සබ්‍රි හා සියඹලාපිටිය

 ෆැසිස්ට්වාදය ප්‍රජාතන්ත්‍රවාදය අලි සබ්‍රි හා සියඹලාපිටිය

 

මෙරට පඬියන් තවම ප්‍රශ්නයට මුහුණ දී නැහැ. ඔවුන් තවමත් කතා කරන්නේ ක්‍ෂණික ප්‍රශ්නය ගැනයි. එනම් ඩොලර් බිලියන කිහිපයක් ක්‍ෂණික ව සොයා ගැනීම පිළිබඳවයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද ඉන්දියාවෙන් ද චීනයෙන් ද බංග්ලාදේශයෙන් ද වෙනත් රටකින් ද යන්න ගැන විවිධ කතා ඇතිවෙනවා. ණය ගෙවීම කල් දා ගැනීම, පොළිය අඩු කර ගැනීම, ණය ප්‍රමාණය අඩු කර ගැනීම ආදී වශයෙන් විවිධ කතා ඇසෙනවා. ඒ අතර කොන්දේසි ගැනත් කතා වෙනවා. අප විරුද්ධ වුණත් අපට ජාමුලට යන්න වෙලා.

 

එසේ නොගිය එක ගැන අලි සබ්‍රි සමාව ඉල්ලන්න ඕන නැහැ. ජාමූලට යෑම ගැන එක් මතයක් ඇත්තේ  බටහිර ගැත්තන් වූ රනිල් ආදීන්ට පමණයි. ජාමූල කොන්දේසි අවසාන වශයෙන් සුබසාධන රාජ්‍යයකට විරුද්ධයි. මොන හරතාල් කරත් සුබසාධන රාජ්‍යය දැන් අවසන් හුස්ම හෙළමින් ඉන්නවා. පනස්තුනේ හර්තාලය ප්‍රධාන වශයෙන් සුබසාධන රාජ්‍යයේ හාල් සේරුවක මිල ශත විසිපහේ සිට මට මතක හැටියට හැත්තෑව දක්වා වැඩි කිරීමට විරුද්ධව කෙරුණක්. ජාමූලට යෑම නොයෑම රුපියල පා කිරීම ආදිය දේශපාලන ස්ථාවර මත වගේ ම ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව මතත් රඳා පවතිනවා. එහි ඊනියා වාස්තවික බවක් නැහැ. භෞතික විද්‍යාවේත් වාස්තවික බවක් නැති විට ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව ගැන කුමන කතා ද?  

 

සියඹලාපිටිය පළමුදා නියෝජ්‍ය කතානායක, පෙරේදා හිටපු නියෝජ්‍ය කතානායක, ඊයේ නැවත නියෝජ්‍ය කතානායක, අද නැවතත් හිටපු නියෝජ්‍ය කතානායක. ආර්ථික හා දේශපාලන අර්බුදය අබිමුව බොහෝ දෙනාට නිශ්චිත මතයක් නැහැ. ඒත් අතට මේත් අතට සියඹලාපිටිය. අගමැතිත් එහෙමයි. අස්වෙනවා ද නැද්ද මේ තීරණ ගැනීම හරි නොගැනීම හරි ගැන කිසිවකු කිසිවකුගෙන්වත් සමාව ඉල්ලන්න ඕන නැහැ.     

 ්

අද ඊනියා සිස්ටම් චේන්ජ් කාරයන් නොදැන සිටියාට වෙනස් වන්න යන්නේ යැපුම් ආර්ථිකය හා සුබසාධන රාජ්‍යයි. ජාමූලෙන් හරි කොහෙන් හරි ඩොලර් බිලියන කිහිපයක් හොයා ගෙන යන්තම් මාස කිහිපයක් අල්ල ගෙන ඉන්න පුළුවන්. ඒත් ඊට පස්සෙ. අද මොන පුරසාරම් දෙඩුවත් කිසිවකු ආණ්ඩුව භාරගන්න සූදානම් නැහැ. මේක අත්හදා බලන අවස්ථාවක් නො වෙයි. නැත්නම් සජිත්ගේ රනිල්දාසගේ විමල්ගෙ නොහැකියාව අත්හදා බලන්න තිබුණා. ඒත් ඔවුන් අත්හදා බැලීමකින් තොරව ම තම තම නැණ පමණින් තම හැකියාවන් ගැන දන්නවා.

 

දැන් අර විප්ලවයට මොකද වෙන්නෙ. විප්ලවයේ ඊනියා න්‍යායාචාර්යයන් (හරි නමින් නම් ප්‍රවාදකාරයන් - theoreticians) රාශියක් ඉන්නවා. ඔවුන් සියල්ලන් ම වගේ අරික්කාල් මාක්ස්ලා. සමහරු කොල්ලෑවෙන් විශ්වවිද්‍යාලෙට ආ අය. සමහරු ලංකාවෙ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැරුව පිටරට උපාධි ලත් අය. ඔවුන් බොහෝ දෙනකු ජනතා පරමාධිපත්‍යයක් ගැන කියවනවා. ඒක හොඳයි.  ඒ කියන්නෙ ජනතාවට උඩින් කිසිම ආධිපත්‍යයක් නැහැ කියන එක. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය ජනතාව වියුක්ත සංකල්පයක්. ජනතාව හොයා ගන්න බැහැ.

 

ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කරල තියෙන්නෙ ඊනියා ජනතාවකගෙ නමින් විවිධ පුද්ගලයන්ට ආධිපත්‍යය ඇති කර ගන්න පුළුවන් විධියට. ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නො වෙයී මාක්ස්වාදී සමාජවාදය ද නිර්මාණය කරල තියෙන්නෙ කාට කාට හරි ඊනියා ජනතාව වෙනුවෙන් ආධිපත්‍යය තියා ගන්න පුළුවන් විධියට. එකල බටහිර යුරෝපයේ තිබුණෙ පාප්තුමාගෙ ෆැසිස්ට්වාදය. ෆැසිස්ට්වාදයෙ මූලික ලක්‍ෂණය තමයි අනෙක් මතවලට ඉඩ නොතැබීම.

 

කතෝලික සභාවෙ තිබුණු ෆෑසිස්ට්වාදයට එරෙහිවයි බටහිර යුරෝපයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගුණෙ. එහි දී යම් පිරිසක් උපක්‍රමශීලීව ඊනියා ජනතාවක් වෙනුවෙන් පාප්තුමාගෙන් බලය ලබා ගත්තා. ඒ පිරිස තම සංස්කෘතියට හා ආර්ථික ක්‍රමයට හානියක් නොවන තාක් සාකච්ඡාවලට ඉඩ දුන්නා. එතැනින් එහාට ගිය ගමන් ආධිපත්‍යය තියෙන්නෙ කාටද කියල පෙන්නවා. මාක්ස්වාදී සමාජවාදයෙත් කොමියුනිස්ට් පක්‍ෂ ලේකම් හා කිහිප දෙනෙක් ජනතාව වෙනුවෙන් ආධිපත්‍යය ඉසිලුවා. ඔවුන් ෆැසිස්ට්වාදයෙන් වෙනස් වුණෙ නැහැ. ඔය මොන රටේ ද තම සංස්කෘතියට විරුද්ධ දහමක් ප්‍රචාරය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබුණෙ. ලංකාවෙ නම් ලැබුණා. මෙරට කතෝලික සභාව හා මුස්ලිමුන් ඒ බව නොදන්නවා නො වේ. ඒ බුදුදහම විශ්වාසයක් මත පදනම් නොවීම නිසා.

 

ඒ කොහොම වුණත් අද රට සංධිස්ථානයකට ඇවිත් ඉන්නෙ. ඒ අවුරුදු හැත්තෑවක පාලනය හේතුකොටගෙන. අද අප එක්කෝ අගාධයට යන්න ඕන. නැත්නම් සුබසාධන රාජ්‍යය නැති කරල යැපුම් ආර්ථිකයකින් නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන. එහි දී ගත හැකි මාවත් දෙකක් තියෙනවා. එකක් බටහිර ක්‍රමය. අනෙක බෞද්ධ ක්‍රමය. බටහිර ක්‍රමයෙ සුබසාධන රාජ්‍යය වැඩ කරන්නෙ නැහැ. අපට අද වෙලා තියෙන්නෙ ඒකයි. බටහිර ක්‍රමයට සුබසාධන රාජ්‍යයක් පවත්වාගෙන යනවා කියන්නෙ එළහරකයි මීහරකයි එකට බඳිනව වගේ වැඩක්.

 

බෞද්ධ ක්‍රමයෙ එහෙම නො වෙයි.  බෞද්ධයන්  නිවන් දකින්න උත්සාහ කරන අය. නිවන් දකිනවා කියන්නෙ නගරයක් දකිනව වගේ වැඩක් නො වෙයි. නිවන කියල තැනක් නැහැ. නිවන් දකිනවා කියන්නෙ යළි ඉපදීම නතර කිරීමයි. ඔවු බෝන් අගේන් නතර කිරීමයි. එය කිසිසේත් ම විශ්වාසයක් නො වෙයි. යළි ඉපදීම ලෙඩක්. ඒ ලෙඩේ සුව කිරීමට තමයි අප කටයුතු කරන්නෙ.

 

බෞද්ධ ක්‍රමයෙ සරල බව තියෙන්නෙ. අධිපරිභෝජනය බොරු ෂෝක් නැතිවන්න ඕන. ඒ වගේම බොරු උගත්කමත් නැති වෙන්න ඕන. බොරු උගත්කමට බොරු සමාජවාදයත් අයිතියි. අද බොරු උගතුනුත් නන්නත්තාර වෙලා.  සුඛොපභෝගයත් නැති වෙන්න ඕන. ඒ අනෙක් පුද්ගලයා කෙරෙහි ඇති ඊර්ෂ්‍යාවක් නිසා නො වෙයි. නැවත ඉපදීම ලෙඩක් නිසා. මෙයින් කියන්ණෙ නැහැ අප නොකා නොබී ඉන්න ඕන කියා. මධ්‍යම ප්‍රතිපදාව නිවන් මගට හොඳයි. බෞද්ධ ක්‍රමය යටතෙ කාට හරි අවශ්‍ය නම් දිගින් දිගට ම යළි ඉපදෙන්න (බෝන් අගේන්)  ඒකටත් අවහිරයක් කරන්නෙ නැහැ. ඒත් ඔවුන්ට අපට හිරිහැර කරන්නත් බැරි වෙන්න ඕන. මා කතා කරන්නෙ  ඊනියා බෞද්ධ සමාජවාදයක් ගැන නො වෙයි.