Main Logo

Sunday, 22 May 2022

අපට පුතේ මගක් ඇතේ

 අපට පුතේ මගක් ඇතේ

 

අදින් අවුරුදු පනහකට පෙර අපි බිරිතානි ඔටුන්න ගලවල පැත්තකට දැම්මා. එතෙක් අප ඩොමීනීයන් රාජ්‍යයක්. අපේ රජු හරි රැජන හරි වුණෙ එංගලන්තයෙ රජු හරි රැජන හරි. අප අවුරුදු පනහකට පෙර ජනරජයක් වුණා. 1972 දී අපේ පළමු ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණා. එතෙක් මෙරට හිටි, එංගලන්ත රැජනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරවරයා වෙනුවට ජනාධිපතිවරයකු ලැබුණා. මෙරට අවසාන අග්‍රාණ්ඩුකාරවරයාත් පළමු ජනාධිපතිවරයාත් විලියම් ගොපල්ලව. මේ ඓතිහාසික වෙනස කෙරුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්. 

 

ජනරජයක් වෙලා අවුරුදු පනහ පිරෙනවා කියන එක විශේෂ සිද්ධියක්. 1948 නිදහස ලැබී පනස් අවුරුද්ද සැමරීමට 1998 දී චන්ද්‍රිකා කුමාරතුංග එංගලන්තයෙන් චාල්ස් වින්ඩ්සර් හෙවත් වේල්ස් කුමරු ලංකාවට වැඩැම්මුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ මද්දුම දෝණි. එක්සත් භික්‍ෂු පෙරමුණත් චින්තන පර්ෂදයත් වේල්ස්ට විරුද්ධව වෙල්ලස්සට ගොස් වෙල්ලස්සේ කුමාරවරු සැමරුවා. ඒ ඌව වෙල්ලස්ස නිදහස් සටන සැමරීමට. එයට එකල චන්ද්‍රිකාගේ එහි නියෝජිතයා වූ විජිතමුණි ද සොයිසා බාධා කරන්න ආවා. අප ඔහු සත පහකට ගණන් ගත්තේ නැහැ.   

 

අද සවස එක්සත් භික්‍ෂු පෙරමුණත් චින්තන පර්ෂදයත් කැලණියේ දී බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගෙ පන්සලේ දී ජනරජයක් වී අවුරුදු පනහ පිරීම සමරණවා. එයට විශේෂ ආරාධනා නැහැ. අප කිහිප දෙනකු එක් වී කෙරෙන්නක්. ඒත් මා දන්නේ නැහැ වෙනත් අය ඒ නිදහස සමරනවා ද කියා. මා දන්නා තරමින් ආණ්ඩුව නම් සමරන්නේ නැහැ. එහෙත් ඉන්දියාව තම ජනරජය දින උත්කර්ෂවත්ව සමරණවා. 

 

ඒ ඉන්දියාව හා ලංකාව අතර ඇති වෙනසක්. අපේ උගත්කම වැඩියි. ඒත් ඒක බොරු උගත්කමක්. අපි බොරු උගත්තු. අප ඉන්දියානුවන් තරමට තබා කොහොමටවත් සුද්දන්ගෙ දැනුමෙන් නිදහස් වෙලා නැහැ. අප අවුරුදු එක්දහස් පන්සීයකට කිසිම දැනුමක් නිර්මාණය කර නැහැ. ඒත් අපි අහවල් අහවල් අය මහා උගතුන් බුද්ධිමතුන් ලෙස සලකනවා. ඊනියා ජාත්‍යන්තර මට්ටමේ කියනවා. ඒ බුද්ධිමතුන් නිර්මාණය කර ඇති එක සංකල්පයක් කතන්දරයක් (ඊනියා ප්‍රවාදයක්) ගැන කියන්න. ඔවුන් කරන්නේ බටහිර බුද්ධිමතුන් අපට හඳුන්වා දීම පමණයි.

 

අප රටේ විශාල වෙනසකට පියවර කිහිපයක් තැබීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමත් වුණා. ජ වි පෙ එදා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව පෙරළා දැමීමට ආයුධ අතට ගත්තා. ඔවන්ට ඇති ජාතිකත්වයක් නැහැ. ඔවුන්ට ඇත්තේ ඊර්ෂ්‍යාවක් හා වෛරයක් පමණයි. එකලත් ලෝක මට්ටමෙන් ආර්ථික අර්බුදයක් තිබුණා. බණ්ඩාරනායක මැතිණිය වගා සංග්රාමයක් ඇරඹුවා.  එහෙත් අපේ මිනිසුන්ට රටට වඩා කට වැදගත් වුණා. ඔවුන් පාන් පෝලිමට හාල් පොල්ලට විරුද්ධ වුණෙ රටට පළමු කට ප්‍රතිපත්තියේ ඉඳගෙන. ජේ ආර් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ අද රනිල් මෙන්. ජේ ආර් ඇට අට දෙන්න පොරොන්දු වුණා. ඔහුට විශාල බලයක් ලබා දීමට ඡන්දදායකයන් කටයුතු කළා.

 

බලයට පැමිණි ජේ ආර් බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රතිපත්ති කණපිට හැරෙවුවා. ඔහු ඊනියා විවෘත ආර්ථිකයක් ඇති කළා. අද අප භුක්ති විඳින්නේ එහි ප්‍රතිඵල. ජේ ආර් ජනරජ දිනය සම්පූර්ණයෙන් ම අමතක කළා. ඔහු ගෙනා 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් මෙරට ඊනියා ජාතික දිනය බවට පෙබරවාරි හතර පත්කළා. ජේ ආර්ට ජාතිකත්වයක් තිබුණේ නැහැ. ඔහු බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් ද නැති කෙළේ තම බණ්ඩාරනායක විරෝධය ද ප්‍රදර්ශනය කරමින්.

 

එසේ වුවත් 1994 දී බලයට පැමිණි චන්ද්‍රිකාගේ ආණ්ඩුව ජේ ආර්ගේ ප්‍රතිපත්ති වෙනස් කෙළේ නැහැ. චන්ද්‍රිකා බණාඩාරනායක යුවළගේ දියණියකට වඩා විජය කුමාරතුංගගේ භාර්යාව. රාජපක්‍ෂලාත් බොහෝ කරුණු අතින් ජේ ආර් ගිය මග ම ගියා. ඔවුන් නිෂ්පාදන ආර්ථිකයකට යොමු වුණෙ නැහැ. ඔවුන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළා. ඒ ගැන අප මහින්දටත් ගෝඨාභයටත් සරත් ෆොන්සේකාටත් කෘතඥ වෙන්න ඕන.

 

එහෙත් මා හිතන්නේ ඔවුන්ටත් බණ්ඩාරනායක නම අමතක කිරීමේ රෝගය තිබුණා කියා. ඔවුනුත් ජනරජ දිනය සැලකුවේ නැහැ. ඔවුන් ද ජාතික දිනය ලෙස සැලකුවේ පෙබරවාරි හතර. මැයි විසිදෙක ඔවුන්ට වැදගත් වුණේ නැහැ. මා කිහිප විටක් ම ලියා ඇති අප මැයි දහඅට සිට විසිදෙක දක්වා දින පහක් සමරන්න අවශ්‍ය කියා. මට දැන් හිතෙනවා අප මැයි දහහත සිට විසිතුන දක්වා ජාතික සතිය ලෙස නම් කළ යුතු ය කියා. එහෙත් එසේ කිරීමට රනිල් යන තුරු බලා ඉන්න වේවි. ඔහු ඉක්මණින් යැවීම රටට හිතකරයි.

 

අපට තව බොහෝ දුරක් යෑමට තියෙනවා. අප බටහිරයන්ගෙ දැනුමෙන් නිදහස් වෙලා නැහැ. බණ්ඩාරනායක මැතිණිය බුද්ධාගම ආරක්‍ෂා කර පෝෂණය කරන බවට වගන්තියක් පළමු ජනරජ ව්‍යවස්ථාවට එක් කළා. එය අලුත් දෙයක් නො වෙයි. මෙරට සිංහල රජවරු එය කළා. පෘතුගීසීන් ලන්දේසීන් ද ඉංගිරිසින් ද මෙරට නීතිය අනුව රට කරවීමට පොරොන්දු වුණා. ඉංගිරිසින් 1815 ගිවිසුමෙන් බුද්ධාගම ආරක්‍ෂා කර පෝෂණය කරන බවට පොරොන්දු වුණා. ජේ ආර්ට වුණත් ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය වෙනස් කරන්න බැරි වුණා.

 

මෙරට ඊනියා උගතුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම මත පදනම් වෙමින් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමට කටයුතු කිරීමයි. ඔවුන්ගේ ඊනියා අරගලය ආතල්ගම දී පරාජය වෙලා. එහෙත් ඔවුන් දැන් රනිල්ට ආධාර කරාවි තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට. ධනවාදය ආදිය ඔවුන්ට කතා කර කර ඉන්න ඇති මාතෘකා පමණයි. ඔවුන් එදත් අදත් විරුද්ධ වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එයට හිමි විය යුතු විශේෂ තැන දීමටයි. රනිල් අපේ ඉතිහාසයේ තවත් අග්‍රාණ්ඩුකාරයකු පමණයි. ඔහුට අවශ්‍ය විධායක අගමැතිවරයකු වී ඉංගිරිසින්ට සේවය කිරීමයි. ඊනියා උගතුන් අවසානයේ දී ඉන්නේ ඔහු සමගයි.  අප ඉන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය සමගයි. අපි ඒ මග යමු.