Main Logo

Friday 6 May 2022

බැසිල් හා විමල්

 

බැසිල් හා විමල්

 

මේ ඩීල්ලන්තය බව මා කිහිපවතාවක් ම කියා තිබෙනවා. ඩීල්ලන්තයට අලතෙන් ම එකතු වුණේ ආතල්ගමයි. ආතල්ගමත් ඩීල් ප්‍රතිඵලයක් තමයි. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම වෙනුවෙන් කතෝලික මුස්ලිම් ප්‍රභූන් නාගරික මධ්‍යම පංතියට ආතල්ගැනීමට සැලැස්වීමයි එහි දී කෙරෙන්නේ. එහෙත් අද මධ්‍යම පංතිය වෙනුවට ගුණදාස අමරසේකරගේ උගත් ගැමි තරුණයන් ඊනියා අරගලය තම අතට ගනිමින් සිටිනවා. කාට ද ආඩම්බරේ? ගණඳුරු මැදියම දකිනෙමි අරුණළු කීවලු.

 

ඒ කොහොම වුණත් ඊයේ බැසිල් දිනයක්. රංජිත් සියඹලාපිටිය හිටපු නියෝජ්‍ය කතානායක දැන් නැවතත් ඉන්න නියෝජ්‍ය කතානායක වෙලා. ඡන්ද 148ක් ම අරගෙන. ඔහු කාගේ අපේක්‍ෂකයා ද? ආණ්ඩු පක්‍ෂයේ නම් නො වෙයි. විරුද්ධ පක්‍ෂයේත් නො වෙයි. ඔහු ස්වාධීන ශ්‍රී ල නි පක්‍ෂ කණ්ඩායමේ අපේක්‍ෂකයා. ස්වාධීන කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ශ්‍රී ල නි ප කණ්ඩායම, විමල් කණ්ඩායම හා පොහොට්ටු කණ්ඩායම් එක හා දෙක. ඒ හතරට ම මන්ත්‍රීවරු පනහක් පමණ ඉන්නවා. මා සංඛ්‍යාව හරියට ම දන්නෙ නැහැ. සංඛ්‍යානය මගේ ප්‍රියතම විෂය නො වෙයි.

 

දයාසිරි ජයසේකර ගණන හදල පෙන්නනවා ආණ්ඩුවට ඉන්නේ අනූපහයි කියල. ඒකෙන් වැඩක් නැහැ. ඊයෙ ආණ්ඩුව දිනුම්. හරියට ම කියනවා නම් බැසිල් දිනුම්. මා බැසිල්ගේ දේශපාලනයට විරුද්ධයි. එහෙත් විමල්ටවත් දයාසිරිටවත් බැසිල් එක්ක හැරෙන්නවත් බැහැ. බැසිල්ගේ දක්‍ෂකම ඇත්තේ ඩීල් සම්බන්ධයෙන්. ඔහුට ඩීල්පති කිවුවත් වැරැද්දක් නැහැ.  මට තේරෙන විධියට ඩීල්පති කර ඇත්තේ සජිත් සියඹලාපිටියට විරුද්ධ කිරීමයි. ආණ්ඩුව සියඹලාපිටියට පක්‍ෂ කිරීමයි. දයාසිරි කියන විධියට වුණත් ආණ්ඩුවට 95ක් තියෙනවා. විපක්‍ෂයට ඇත්තේ හැටපහයි. තවත් හැටක් පමණ විවිධ තැන්වල. ඒ හැට ඡන්දය දෙන නොදෙන  විධිය අනුව යෝජනා සම්මත වෙනවා ප්‍රතික්‍ෂෙප වෙනවා.

 

මගේ යෝජනාව වුණෙ ශ්‍රී ල නි ප අපේක්‍ෂකයාගේ නම ආණ්ඩුව ස්ථිර කළ යුතුයි යන්න. මා ඒ බව අල්පේසාක්‍ය කිහිප දෙනකුට කිවුවා. මට මහේසාක්‍ය අයට ළඟා වෙන්න බැහැ.   මගේ යෝජනාව ක්‍රියාත්මක වූණේ නැහැ. සියඹලාපිටියගේ නම ශ්‍රී ල නි පක්‍ෂයේ යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත් කෙරුණා. ඩීල් එහෙම නැත්නම් ගණු දෙනුවට අනුව තමයි එසේ කෙරී තියෙන්නෙ. ගණුදෙනුවට අනුව විරුද්ධ පක්‍ෂයෙන් බකීර් මාකර්ගේ නම යෝජනා කෙරුණා. ආණ්ඩුවටත් විරුද්ධ පක්‍ෂයටත් නැති හැටකින් කිහිප දෙනෙකු හැරෙන්න අනෙක් අය සියඹලාපිටියට ඡන්දය දුන්නා. විමල් ඡන්දය දෙන්න පැමිණ නැති බවයි කියැවෙන්නේ. අර ඡන්ද අවලංගු කර ඇත්තේ රනිල්දාසලා බවට මතයක් තියෙනවා.

 

මේ ගණුදෙනුව කුමක් වුවත් මෙයින් එක් දෙයක් පැහැදිලි වුණා. ඒ තමයි අද පාර්ලිමේන්තුවේ උපරිම බලය ඇත්තේ පොදු ජන පෙරමුණට බව. ඔවුන්ට 113ක් නැති වුණත් අඩු තරමෙන් දයාසිරිගේ ගණනය අනුව වුවත් 95ක් තියෙනවා. සජිත්ට වැඩිම වුවොත් ඇත්තෙ 65ක් පමණ. අනෙක් කිසිවකුට එපමණවත් නැහැ. විමල්ට කීයක් තියෙනවා ද? රනිල්ට ඡන්ද දෙකක්වත් නැහැ. ඡන්දයෙන් පැරදුණු ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නෙ අතන මෙතන පනින රතන හිමියන් වගේ. ඒ කියන්නෙ ලැයිස්තුවෙන්.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව අගමැති විය යුත්තේ ජනාධිපති මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම බලය ඇති තැනැත්තා. කවුරුන්ගේ මතය අනුව වුවත් ඒ මහින්ද රාජපක්‍ෂ. මහින්ද රාජපක්‍ෂට ඉවත් වෙන්න කියා කීමට ජනාධිපතිතුමාට බැහැ. එතුමාට වෙන අයකු අගමැති ලෙස පත්කරන්නත් බැහැ. මා කියන්නේ ව්‍යවස්ථාව අනුව. අදත් දයාසිරිගේ ගණනය අනුව වුවත් පාර්ලිමේන්තුවේ උපරිම බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට. මහින්ද රාජපක්‍ෂ ඉල්ලා අස් නූණොත් ඔහු ඉවත් කළ හැක්කේ විශ්වාස  භංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණයි. එහෙත් ඊට පස්සෙ?

 

මා නීතිඥයන් නීතිය දන්නෙ නැතැයි කිවුවම නීතිඥයන්ට තරහ යනවා. මා දන්නා නීතියක් තියා කිසි දෙයක් නැහැ. මට බොහෝ අයට නොපෙනෙන දේ නම් පේනවා. මට අනුගාමිකයන් ගෝලයන් කියා පිරිසක් නැහැ. අද චින්තන පර්ෂදයෙන් වෙන එක ම කාර්යය කාලය වෙබ් අඩවිය පවත්වාගෙන යෑම පමණයි. චින්තන පර්ෂදය අවුරුදු දෙකකින් රැස් වී නැහැ. වෙන කිසිවකු කියන දෙයක් ගැන මා වග කියන්නෙ නැහැ. චින්තන පර්ෂදයේ මතයක් කියා එකක් නැහැ. මගෙන් ජාතික මතවාදයක් ගොඩ නැගීමට කිසිවක් සිදු වී ඇති බවක් ජාතිකවාදීන් කියන්නේ නැහැ. මගෙන් කිසිවක් කෙරී නැති බවයි ඔවුන් ව්‍යංගයෙන් පවසන්නෙ.

 

විශ්වාසභංගයකින් මහින්ද පරාජය කිරීමට නම් අර ස්වාධීන කණ්ඩායම් හතරෙන් තිහක් පමණ විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන්න ඕන. එය එතරම් පහසු කාර්යයක් වෙන එකක් නැහැ. මගේ මතය නම් ස්වාධීන වීම යනු විරුද්ධ වීම නොවන බවයි. එහෙත් විමල් උදය දයාසිරි වැනි අය ස්වාධීන වීම යනු විරුද්ධ වීම ලෙස සලකන බවක් පේනවා. ඔවුන්ට අබ සරණයි කියා මා කියන්නේ නැහැ. ළඟ දී මැතිවරණයක් පවත්වන්නෙ නැහැ. ඒ නිසා තව ටික කලක් ඔවුන්ට මන්ත්‍රී ධුර ආරක්‍ෂා කර ගන්න පුළුවන්.

 

අද විමල් උදය දයාසිරි සහ තවත් අයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ ගෙදර යවා ගෝඨාභය රාජපක්‍ෂට කිට්ටු වී ඔහු මෙයවීමයි. එහෙත් ජෙප්පන්ට සෙප්පන්ට හා තවත් අයට අවශ්‍ය ගෝඨාභයත් මහින්දත් දෙන්න ම ගෙදර යැවීමටයි. අද හර්තාලය ඒ සඳහායි. එහි අවසානය සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීමයි. නාගරික තරුණයන්ගේ ආතල්ගම දැන් ඉවරයි. සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමේ නායකත්වය අද දරන්නේ අමරසේකරගේ උගත් ගැමි තරුණ පරපුරයි. ඔවුන් කසිකබල් මාක්ස්වාදයෙන් ආභාසය ලැබූ අය. ජාතික මතවාද දරණ අයගෙන් සමහරකුටත් මාක්ස්වාදයෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා. ජෙප්පන් සෙප්පන් හා විමල්ලා අතර ඇති වෙනස ගෝඨාභය රැකගන්නවා ද නැත් ද යන්න පිළිබඳවයි. මහින්ද ගෙදර යැවීම ගැන ඔවුන්ගේ එකඟත්වයක් තියෙනවා. අද ඇති ආර්ථික අර්බුදයට හේතුව මහින්ද ද? මහින්ද පුත්‍රයන්ද? රනිල්දාසගේ පුස් කෑ ලිපි ගොනුවලින්වත් ඒ බවක් කියනවා ද? මහින්ද පුත්‍රයන්ගේ ක්‍රියා මා අනුමත කරන්නේ  නැහැ. ඒ කෙසේ වෙතත් විමල් අවසාන වශයෙන් කරන්නේ බැසිල් ශක්තිමත් කිරීමයි.