Main Logo

Tuesday 31 May 2022

පඬිය පැනීම

 

පඬිය පැනීම

 

මේ පඬියන්ගේ පඬි පෝතකයනගේ පඬි නැට්ටන්ගේ කාලයයි. ඔවුන්ට දැන් යමක් කියන්න සිද්ධ වෙනවා. ඒ ආතල්ගම සම්බන්ධයෙන්. ආතල්ගමේ දින පනහ සැමරීම අසාර්ථකයි. ඉන් පසු දින ඉතාමත් අසාරථකයි. අපට දැන ගන්න ඕන නැහැ පඬියන්ගෙන් පඬි පෝතකයන්ගෙන් හා පඬි නැට්ටන්ගෙන් එසේ අසාර්ථක වීමට හේතු මොනවා ද කියා. ඒත් ඔවුන්ගේ හිතවතුන් පඬි වදන් බලාපොරොත්තුවෙන් ඉන්නව වෙන්න ඕන.

 

ආතල්ගම ගැන මට කණගාටුවක් තියෙනවා. ඒ රනිල් වජිර රංගෙ බණ්ඩාර ආදීන් සම්බන්ධයෙන් නොවෙයි. ඔවුන් තමන්ට ඕන කම තිබුණා වගේ පෙන්නුව අර පත් කරන්න යන විවිධ සභාවලට කමිටුවලට ආතල්ගමෙනුත් තරුණයන් පත් කර ගන්න. ඒත් දැන් ඒක කරන්නෙ කොහොම ද? පත්තරේ දැන්වීමක් දාන්න වෙයි ද ආතල්ගමෙන් නියෝජිතයන් නම් කරන්න කියා. ඒත් එහෙම නම් කරන්න ආතල්ගමේ නාගරිකයන් එකතු වේවි ද? අනෙක් අතට දැන් පත්තර කියවන්නෙ කවුද? ඔය රූපවාහිනී නාළිකාවල කියවන ප්‍රවෘත්ති අහගෙන ඉන්න එක නෙ කරන්නෙ. ඒ නාළිකාවල පුවත් අටුවා ටීකාත් සපයනවා. සකර්බර්ගෙ පිහිටෙන් තමයි දැන්වීමක් දා ගන්න වෙන්නෙ. ආතල්ගමේ නාගරිකයන්ට අපේ කණගාටුව.      

 

මට කණගාටුවක් තිබුණට රනිල් දන්නව ඇති ආතල්ගම පවත්වගෙන ගියෙ මොකට ද කියල. විමල්ලගෙ ආණ්ඩු විරෝධය මැද බටහිරයන්ගෙ අනුග්‍රහයෙන් ආතල්ගමක් හැදුවෙ මුල හිට ම තිබුණු රනිල් බලයට පත් කිරීමේ වුවමනාව වෙනුවෙන්. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අනුව එක් ආසනයක්වත් දිනා ගන්න බෑරි වුණු රනිල්ල වජිරල රංගෙ බණ්ඩාරල වෙනුවෙන්  රනිල් ම අර ඊනියා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවෙ විප්ලවය කරන්න නොවන බව අපි නම් එදා ම දැන ගත්තා.

 

දැන් විමල්ලගෙ ව්‍යාපාරය සාර්ථක වෙලා මහින්ද අගමැතිකමෙන් අස්වෙලා. රනිල් අගමැති වෙලා. ආතල්ගමට තවමත් ගෝඨාභය ගෙදර යවන්න ඕන. රනිල් ඒ කතාව පාවිච්චි කරනවා. ඔහු ඒක ආධාර කරගෙන ජනාධිපතිගෙ තටු කපන්න හදනවා. රනිල්ට ආතල්ගම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක තව ටිකක් කල් තියා ගන්න පුළුවන් නම් හොඳයි. අඩු ගණනෙ විසිඑක පාර්ලිමේන්තුවෙ විවාදයට ගන්න කල්.

 

රුවන්ට තමයි ආතල්ගම බලා ගන්න දීල තියෙන්නෙ. ඒත් ඔහු දක්‍ෂයෙක් නො වෙයි. සාමාන්‍ය පවුලක ඉපදුනා නම් ඔහු ගැන අපට අහන්න වෙන එකක් නැහැ. දැනුත් එච්චර අහන්න නැහැ. වජිරල රංගෙ බණ්ඩාරල අකිලල තරමට අහන්න නැහැ. ආතල්ගම ගැනත් එච්චර අහන්න වෙන්නෙ නැති නිසා ප්‍රශ්නෙකුත් නැහැ.

 

ආතල්ගම මගින් නිර්පාක්‍ෂික නිර්පාංතික විප්ලවය කරන්න ගිය අය ඇණ ගෙන. මේ ඇණ ගෙන කියන්නෙ සිංහල භාෂාවෙ තියෙන යෙදුම් කෙටි පණිවුඩ (sms) බවට පත් කර ගැනීමෙන් සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. කොට්ටෝරුවා කෙහෙල් ගහේ හොට ඇණ ගැනීම, පස්ස පැත්ත බිම ඇණ ගැනීම ආදිය කෙටි කරල ඇණ ගැනීම හැදුන වෙන්න පුළුවන්. මා පහුගිය දා ඉගෙන ගත්ත දඬුවම් කරනවට දෙමළෙන් අම්බාන් කියල කියන බව. දැන් අර අම්බානක් කන්න වෙනවා කියන්නෙ, ඒ කාලෙ ඉඳන් ආම්බාන් කරනව කියන්නෙත් ඒ අනුසාරයෙන් ද?

 

ඇත්තට ම විප්ලවයට මොකද වුණෙ? සමහරු කොමියුන ගැන කතා කළා. ඒකට කමක් නැහැ. මාක්ස්ටත් පැරිස් කොමියුනය තේරුම් ගන්න බැරුව තමයි කොමියුනිස්ට් කතාවක් ගෙතුවෙ. ආතල්ගමත් කොමියුනිස්ට් සමාජයක් හැටියට දැක්ක අයට දැන් හීනෙන් මාක්ස් පේනව ඇති. මන් කියන්න යන්නෙ නැහැ ආතල්ගමේ සෝවියට් සභා පිහිටුවීමට කතා කළ අය ගැන.

 

ඒ දවස්වල ආතල්ගමේ කියැවුණෙ වත්මන් තරුණ පරම්පරාව මීට ඉහත තරුණ පරම්පරාවලින් වෙනස් බව. මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියන කතාවත් ඒ සමග ඈසුණා. ආණ්ඩුව සෙල්ලම් කරන්නෙ වැරදී පරම්පරාව එක්කල කියලත් ඒ අතර කියැවුණා. ආතල්ගම පරම්පරාව නම් වැරදිච්ච පරම්පරාවක් බව පැහැදිලියි. ඔවුන්ට හුඟක් දේ වැරදිලා. ඔවුන් අර අමරසේකරගෙ  උගත් ගැමි පරපුරත් නො වෙයි. ඒ ගැමි පරපුරට වැරදිල හුඟක් කල්. ඔය මොන උගතත් බටහිර දැනුම උගත්තෙක්. ඔවුන් දන්නෙ අනුකරණය පමණයි. ඔවුන් විප්ලවයත් අනුකරණය කරනවා. කරුමෙ කියන්නෙ ඒ සේරම අසාර්ථක විප්ලව. පුටින්ගෙන් අහන්න.

 

ආතල්ගමට ඊනියා විප්ලවවාදීන් පැන්න. අතන මෙතන පනින රතන හිමිට ආතල්ගමට පනින්න බැරි වුණා. ඒ පැන්න නොපැන්න නිසා නොවෙයි ආතල්ගම පැරදීල පලා ගියේ. ජෙප්පන් සෙප්පන් පමණක් නොව ජෙපි සම්භවයක් තියෙන කවුරුත් කරන දෙයක් තමයි කවුරු හරි පටන් ගත්තු වැඩකට පැනල ඒක තමන් අතට ගැනීමට උත්සාහ කිරීම. මෙවර එය කොහොමටවත් කරන්න බැරි වුණා. රනිල් බලයට පත් කරන්න පටන් ගත්ත ව්‍යාපාරයකට ජෙප්පන්ට හා අනෙක් අයට පනින්න පුළුවන් ද කියල වෙන ම කතා කරන්න ඕන.  බට්ට පැනීම වගේ පඬිය පැනීමත් සෙල්ලමක් තමයි.