Main Logo

Thursday 12 May 2022

ආර්ථික හා දේශපාලන ප්‍රතිව්‍යුහගත කිරීම්

 ආර්ථික හා දේශපාලන ප්‍රතිව්‍යුහගත කිරීම්

 

ඊයේ මා ලියූ ලිපියේ වචන ඇසුරින් ඒ ඒ අය තම තමන්ගේ ලිපි කියවාගෙන. අප කාටත් පොදු ඊනියා වාස්තවික ලිපියක් නැහැ. මගේ ලිපිය ඔබේ ලිපිය නො වෙයි. මා ලිපියක් ලියනවා. ඒ ඒ අය තම ලිපි කියවනවා. ඒ අර පඬියන්ගේ කියවීම නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. වමාලා මවාලා ගන්නා තත්වයකට පත් වෙලා.       

 

අද නිතර ඇහෙන වචනයක් තමයි ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක මහා බරපතළ වචනයක්. කියන්නත් අමාරුයි. අපි යළි සැකසීම කියන වචන ඒ සඳහා යොදා ගමු. අප ණය බරින් පෙළෙන ජාතියක්. රට හැටියට ගත්තත් පෞද්ගලික ව ගත්තත් අපි ලෝකෙට ණය වෙලා. අපට ණය ගෙවා ගන්න බැහැ. අපි අවුරුදු හැත්තෑවක් පමණ සුබසාධන යැපුම් ආර්ථිකයක කල් ගෙවුවා. පහුගිය දා කවුරුත් කතා කළ පනස්තුනේ හර්තාලය ඇති වුණෙ ඔය සුබසාධන රාජ්‍යය ගෙනි යන්න බැරුව එ ජා ප ආණ්ඩුව හාල් මික වැඩි කිරීම නිසයි. කොහොම හරි හර්තාල් කරල  සුබසාධන රාජ්‍යය තව දුරටත් පවත්වා ගෙන ගියා.

 

අවුරුදු හැටකට පස්සෙ නැවතත් හර්තාලයක් ඊයේ පෙරේදා කෙරුවා. වෙච්ච වැඩක් නැහැ. සුබසාධන රාජ්‍යය තවදුරටත් පවත්වගෙන යන්න බැහැ. සුබසාධන රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය හැකි අවසාන දේශපාලනඥයා වූ මහින්ද රාජපක්‍ෂගේ නික්ම යෑමත් සමග ඒ රාජ්‍යයත් නික්ම ගියා. අද වෘත්තීය සමිති ව්‍යාපාරය ව්‍යපාරයක් පමණයි. රවි කුමුදේශ්ගෙ සමීිතිය ව්‍යත්තීය සමිතියක් ද?

 

යම් අයුරකින් රනිල් අගමැති වුණොත් සුබසාධනය වළලා දමාවි. ඔහු මළ කුණු තියා ගන්න කෙනෙකු නො වෙයි. හර්තාලයෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. සුබසාධන රාජ්‍යයක් කියන්නෙ ධනවාදී රාජ්‍යයක ඊනියා සමාජවාදයක් ක්‍රියාත්මක කිරීම. මා කියා ඇති ඒක එළහරකයි මීහරකයි එකට බැඳීම වගේ වැඩක් කියල. අද වමක් නැහැ. ඒත් ඊනියා වාමාංශික අදහස් රටේ තියෙනවා. ඒත් 1967න් විතර පස්සෙ ඒ අදහස් පදනම් වෙන්නෙ ඊර්ෂ්‍යාව හා වෛරය මත. ඉන් සිදුවිය හැක්කේ විනාශයක් පමණයි.

 

ඊයේ ජනාධිපතිතුමා කතා කරමින් කියා සිටියේ අලුත් ආණ්ඩුවක් හදන බවයි. එහි දින සීමාවක් ගැන කිවුවේත් නැහැ. අලුත් ආණ්ඩුව එය විසිර යන තෙක් හරි විසිර යැවෙන තෙක් හරි පවතීවි. දැන් ඉතින් ඊනියා සර්වපාක්‍ෂික, භාරකාර, අන්තර්කාලීන ආණ්ඩු කතා  ඉවරයි. නීතිඥ සංගමයේ නීති විරෝධි යෝජනා විසි වෙලා. මහානායක හාමුදුරුවරුන්ගෙ යෝජනාත් ජනාධිපති නීතිඥයකුගේ ද?

 

ඒ කොහොම වුණත් දැන් අලුත් අගමැතිවරයකු හා ඇමති මණ්ඩලයක් පත්කරන්න ඕන. සජිත් හා අනුර ජනාධිපති ඉවත් වෙන්න කියනවා. එහෙම ඉවත් වුණොත් දැන් අගමැති කෙනකු නැති නිසා කතානායකතුමා වැඩබලන ජනාධිපති වෙනවා. වැඩබලන ජනාධිපති කෙනකුට අගමැති පත් කිරීම වැනි කටයුත්තක් කළ හැකි ද යන්න විවාදාත්මකයි. ව්‍යවස්ථාවේ 40 (  C  ) අනුවගන්තිය යටතේ අගමැති වැඩබලන ජනාධිපති ලෙස පත්වුවහොත් අගමැති කෙනකු පත්කළ හැකි බව කියනවා. එහෙත් කතානායක වැඩබලන ජනාධිපති ලෙස පත්වුවහොත් අගමැති කෙනකු පත් කිරීමක් ගැන කියන්නේ නැහැ.

 

ඒ කොහොම වුණත් සජිත් අනුර ආදීන් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඉල්ලන බව පැහැදිලියි. අද සුබසාධන රාජ්‍යය බිඳී ගොස් ඇති අවස්ථාවේ මුළු හදින් බටහිර ලිබරල් (ඊනියා නව දෙවැනි කතා පැත්තකින් තියමු) ආර්ථිකයකට පෙම් බඳින අයකු හොයා ගන්න පුළුවන්. රනිල්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අවශ්‍ය ප්‍රමාණයට ඇහිඳ ගන්න පුළුවන් නම් ඒ ඔහු විය හැකියි. සරත් ෆොන්සේකා පත් කරන්න පුළුවන් නම් හොඳයි. එසේ නැත්නම් ඉන්දියාවට මෙහෙයවන්න පුළුවන් අයකු වේවි. බටහිරයන්ට නම් අවශ්‍ය රනිල්. ඔය ඊනියා අරගල දියත් කෙළෙත් ඒ සඳහා මිස ඊනියා කෙමියුනිස්ට් සමාජ හදන්න නො වෙයි. 

 

සති දෙකක් ඇතුළත අගමැති කෙනකු හොයා ගන්න බැරි වෙන එකක් නැහැ. ඒ නිසා මහා බැංකු අධිපතිතුමාට ඉන්න පුළුවන් වේවි. ඒත් එතුමාට කරන්න තියෙන්නෙ සීමිත වැඩ කොටසක් පමණයි. ණය යළි සැකසුම් කිරීම ණය ගන්න පුළුවන් ද ආදිය සොයා බැලීම තමයි කරන්න තියෙන්නෙ. ඒ සඳහා රනිල් අගමැති වීම ඔහුට නම් සුබදායක වේවි. බටහිරයන් රනිල්ට කැමතියි. ණය ගැනීම් ආදිය අද රඳා පවතින්නෙ ආණ්ඩුව නැත්නම් දේශපාලනය මත මිස මහා බැංකුව නැත්නම් ආර්ථිකය හා  මූල්‍යය මත නො වෙය.

 

ඔය ණය යළි සැකසුම් කිරීම නම් ගම්වල ණය බරින් මිරිකුණූ ගැහැණුත්  කරන දෙයක්. මුදලාලිට කියා ණය ගෙවීම කල් දා ගැනීමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් තමයි. එහෙම නැත්නම් ගෙවල් කුලී ගෙවන එක කල් දා ගනීමත් මූල්‍ය කළමනාකරණයක්. අපි ඒ අසරණ ගෘහිණියන් ගැන කියන විට ඒ බර වචන යොදා ගන්නෙ නැහැ. නූගත් ගැමියන්ට මොන බර වචන ද? ණය බර මොන තරම්  බරක් ද?

 

කොහොමටත් පාර්ලිමේන්තුව නම් යළි සකස් කරන්න වෙනවා. අද ස්වාධීන මන්ත්‍රීන් කියා කොටසක් ඇති වෙලා. බෙහොම කාලෙකට ඉස්සර කොල්වින් ආර් ද සිල්වා සහෝදරයා ස්වාධීන අපෙක්‍ෂකයන්ට කිවුවෙ ඔළු තුනේ බූරුවන් කියල. කොල්වින් සහෝදරයා ස්වාධින මන්ත්‍රීවරුන්ටත් එහෙම කිවුව ද  කියල මට මතකයක් නැහැ. ඒ කොහොම වෙතත් අද පාර්ලිමේන්තුව් ඊනියා ස්වාධීන මන්ත්‍රීවරුන් රාශියක් ඉන්නවා. ඔවුන් ආණ්ඩු පක්‍ෂයේවත් විරුද්ධ පක්‍ෂයේවත් නො වෙයි.

 

මතු වී ඇති අලුත් තත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි සකසන්න වෙනවා. මා යෝජනා කරනවා රූපයේ දැක්වෙන පරිදි පාර්ලිමේන්තු සබා ගැබ සකස් වෙන්න ඕන කියා. සබා ගැබ අර්ධ වෘත්තාකාර පේළි ආකාරයකට සකස් කර ගන්න පුළුවන්. එහි තීරු තුනකින් කතානායක අසුනට දකුණින් ඇති තීරුව ආණ්ඩු පක්‍ෂය සඳහාත් වමින් තියෙන තීරුව විපක්‍ෂය සඳහාත් වෙන් කරන්න පුළුවන්. කතානායක අසුනට ඉදිරියෙන් ඇති තීරුව ස්වාධීන මන්ත්‍රීවරන් සඳහා වෙන් කරන්න පුළුවන්.

 

පාර්ලිමේන්තුව එසේ යළි සකස් කර ගත්තත් ආර්ථිකය යළි සකස කිරීම ප්‍රශ්නයක්. යැපුම් සුබසාධන රාජ්‍යය අහෝසි වීමත් සමග එක්කෝ බෞද්ධ ක්‍රමයක් සකස් කර ගන්න ඕන. නැත්නම් බටහිර ලිබරල් ආර්ථිකයකට යන්න ඕන. මහානායක හාමුුරුවරුන් බෞද්ධ ආර්ථික ක්‍රමයක් ගැන අලුත් ආණ්ඩුවට අනුශාසනා කරනවා නම් හොඳය කියා හිතනවා. එය හිතිවිල්ලක පමණයි. ඉල්ලීමක් නො වෙයි. මහානායක හාමුදුරුවරුන්ට ඉල්ලීම් ඉදිරිපත් කරන්න මා කවුද?