Main Logo

Saturday 14 May 2022

රනිල්ට අවස්ථාවක්

 

රනිල්ට අවස්ථාවක් 

 

ඇතැම් පඬි නැට්ටන්ට අනුව මා ඊයේ ලිපියෙන් රනිල් වර්ණනා කරල. රනිල් වර්ණනා කරනව කියන්නෙ රනිල් පිළිගන්නවා කියල ලියපු  එක ද? එහි සාදරයෙන් පිළිගැනීමක් ගැන කියවුණේ නැහැ. ඔහු මිනිසුන් මෙහෙයවන්න දක්‍ෂයකු බව නම් කිවුවා. ඔහුට පඬි නැට්ටන් මෙහෙයවන එක නම් කිසිම අපහසුවක් නැතුව කරන්න පුළුවන්.

 

පඬි නැට්ටන් අපට නිතර කියනව යටි පෙළ අරුත කියවන්න කියල. එහෙත් පඬි නැට්ටන්ට යටි පෙළ අරුත තියා උඩු පෙළ අරුතවත් කියවන්න බැහැ. රනිල් කියන්නෙ මෙරට ඉන්න බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ප්‍රධාන නියෝජිතයා. ඔහු උපතින් සංස්කෘතියෙන් අධ්‍යාපනයෙන් සිරිත් විරිත්වලින් ආර්ථික ක්‍රම උපායවලින් ආදී සෑම කරුණකින් ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ. තමන් ක්‍රිස්තියානි නූතනත්වයෙ කියා හිතන සකර්බර්ග් අනාථයන්ට වඩා ඔහු ක්‍රිස්තියානි නූතනත්වයෙ. ඒ වගේ ම ඔහු ඔවුන්ට වඩා මෙරට ඉතිහාසය හදාරල තියෙනවා. ඒ තම දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට.

 

රනිල් ආතල්ගමේ අවශ්‍යතා එහි ආතල් ගන්නවුන්ට මෙන් ම එහි විශ්වවිිද්‍යාලයට යන එන දේශක පඬි නටේටන්ට වඩා හොඳින් දන්නවා. ඔහු ආතල්ගමේ සිතුම් පැතුම් සමග එකඟයි. ඔහුටත් අවශ්‍ය මෙරට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තහවුරු කර සිංහල බෞද්ධ සංස්කෘතිය පළවා හරින්න. ඔහු දන්නවා කැලණි විහාර දායක සභාවෙන් ඔහු පන්නා දැමුණු විත්තිය. ඔහුට මවගෙන් ලැබුණු හැදියාවක් තිබුණ නම් එය අහෝසි වෙලා.

 

මෙරට ආර්ථිකය බිඳ වැට්ටවීමට ඔහුගෙන් වූ දායකත්වය අප කවුරුත් දන්නවා. ඔහු කර ඇත්තෙ ණයට කෑම පමණයි. ඔහුට ණය ටිකක් ලැබෙනවා. එහෙත් ඒ ණය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය සංවර්ධනයකට යොදන්නවත් ඔහු දන්නෙ නැහැ. එහෙම නැත්නම් වුවමනාවක් නැහැ. ඔහු එකල කතා කෙළේ තරුණයන්ට චුවිං ගම් බ්‍රේස්ලට් බෙදන්න. ඔහු දන්නෙ අධි පරිභෝජනය. 2001 හා 2015 ණය අරගෙන ඔහු කළ සංවර්ධනයක් නැහැ.

 

ඔහු බටහිර ගැත්තෙක්. ඔහු අගමැති වූ විගස බටහිර තානාපතිවරු (ජපන් ද ඇතුළුව) ඔහුට සුබ පතන්න එකිනෙකා පරයා පැමිණියා. අර එංගලන්ත මහා කොමසාරිස්වරියගේ මුහුණත් අප කාලෙකට පස්සෙ රූපවාහිනියේ දැක්කා. එංගලන්තෙ ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයීය පඬි නැට්ටකු නැද්ද ඇයට ලිපියක් යවන්න. යවා එය මාධ්‍යයටත් නිකුත් කරන්න. ඇයට ආමන්ත්‍රණය කරන්න ඕන හායි කියා ද ඩියර් කියා ද?

 

රනිල් තමයි ප්‍රභාකරන් සමග පාවා දීමේ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නෝර්වේ තානාපති එක්ක කිලිනොච්චි ගියේ. ප්‍රභාකරන්ට රනිල්ට වඩා අභිමානයක් තිබුණු බැවින් කිලිනොච්චි ආවේ නැහැ. රනිල් බටහිරයන් ඉදිරියේ නිවට චරිතයක්. ඔහුට ආර් ප්‍රේමදාසට වගේ එංගලන්ත මහා කොමසාරිස් ගෙදර යවන්න බැහැ. එදා ග්ලැඩ්ස්ටන් ගෝ හෝම් කිවුවෙ ප්‍රේමදාස. පසු දවසක මහින්ද රාජපක්‍ෂ තම අභිමානයත් රටේ ගෞරවයත් රකිමින් එංගලන්ත හා ප්‍රංශ විදේශ ඇමතිවරුන් ඇඹිලිපිටියට ගෙන්නල අපේ කටයුතුවලට ඇඟිලි ගහන්නෙ නැතුව ගෙදර යන්න කිවුවා. රනිල්ට එහෙම ශක්තියක් නැහැ.

 

රනිල්ට වඩා චම්පක හොඳ ද කියා මා ඕමල්පෙ සෝභිත හාමුදුරුවන්ගෙන්වත් කාදිනල්තුමාගෙන්වත් අහන්නෙ නැහැ. මධ්‍යම මහා විද්‍යාලවලින් ලැබෙන අධ්‍යාපනය රාජකීය විද්‍යාලයෙන් ලැබෙන අධ්‍යාපනයට වඩා ජාතිකත්වයට සමීප ද? මුහුණු පොත බැලුව ම ඒක දැන ගන්න පුළුවන්.  සෝභිත හාමුදුරුවන් හිතන්නෙ රත්තරන් පොලු භාණ්ඩාගාරයට දීල ආර්ථිකය ගොඩ ගන්න. උන්වහන්සේට බැරි ද සිංගප්පුරුවට වැඩල ආර්ථික සහනයක් ලබා ගන්න. එහෙ වඩින්න බැරි කමක් එහෙම තියෙනවා නම් අපි විසඳුමක් කල්පනා කරමු. කාදිනල්තුමා මෝදර පැත්තෙ ගිය වෙලාවකවත් රිදී රත්තරන් ටිකක්වත් ගේන්න බලනවා ද? අර කවුද කිවුව වගේ සජිත්ට බස් එක මිස් වෙලා. රනිල්දාස යටත්විජිතට මීටර් සීයෙ වාර්තාව බිඳින්න උපදෙස් දෙනව.

 

රනිල් අප ආර්ථික අගාධ ලිඳට තල්ලු කළ ප්‍රධානියෙක්. රනිල් ධනවාදියෙක් ද සජිත් සමාජවාදියෙක් ද රනිල්දාස  විප්ලවවාදියෙක් ද වගේ අමන ප්‍රශ්න මා අහන්නෙ නැහැ. පංති සංකල්පය පංති අරගලය ආදිය කිසිදා වලංගු නොවූ මාක්ස්ගේ පට්ටපල් බොරු. ආතල්ගමේ දේශකයනුත් පංති ගැටුමක් ගැන කතා කෙළේ නැහැ. කොමියුනිස්ට් සමාජය උඩින් ආතල්ගමට වැටෙන තෙක් ඔවුන් බලන් හිටිය. හෙට වෙසක් බලන්න යන ගමන් ආතල්ගමත් බලන්න යන්න ඕන. ඒ කොහොම වෙතත් අප අර ලිඳෙන් ගොඩ එන්න ඕන.

 

ඊයේ ලිපිය ලිඳෙන් ගොඩ ඒම ගැනයි. රනිල්ට අප ගොඩ ගන්න පුළුවන් ද? මා කියන්නේ ලිඳේ වැටුණු මිනිහ ලිං කටින්ම එන එකක් ගැන නො වෙයි. කොහොමත් රනිල් ලිං කට නො වෙයි. සජිත් රනිල්දාස සෙප්පන් වමාලා ආදීන් විසඳුමක් නොදෙන විට ප්‍රශ්නයෙන් පැන යෑමට විවිධ හේතු දක්වන විට රනිල් ඉදිරිපත් වෙලා අප ලිඳෙන් ගොඩ ගන්න. ඔහු ඉදිරිපත් වෙලා තියෙන්නෙ අප පත් කළ ආණ්ඩුවකට උදවු කරන්න. අද මේ හදල තියෙන්නෙ ව්‍යවස්ථානුකූල ව ජාතික ආණ්ඩුවක්. එහෙම නැහැයි කියන අය ව්‍යවස්ථාව කියවල නැතුව ඇති.  

 

රනිල්ට වෙනත් බලාපොරොත්තු ඇති. ඒත් අපි ඔහුට අවස්ථාව දීල බලමු. අද පරීක්‍ෂා කරන්න ඉන්නෙ ඔහු විතරයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ අනෙක් සියල්ලන් ම  තමන්ට බැරි බව පිළිගෙන. සකර්බර්ග් අනාථ කඳවුරේ පුරසාරම් දොඩවල කරන්න පුළුවන් දෙයක් නැහැ. රනිල් කරන හැටි බලමු. ඔහුට අපි දෙන දෙය මිසක් වෙනත් දෙයක් කරන්න ඉඩ නොදිය යුතුයි. ඒ  අරමුණින් ජාතිකවාදීන් වැඩ කරන්න ඕන.