Main Logo

Sunday, 15 May 2022

එව බලව

 




එව බලව

(සුදත් බණ්ඩාරට පින් පිණිස)

 

අද වෙසක් පොහෝ දින අවුරුදු විස්සකට පමණ පෙර 2002 ඔක්තෝම්බර් 20 වැනි දා මා ලියූ ලිපියක් නැවත පළ කරනවා. අවශ්‍ය අයකුට එය කාලය පරණ වෙබ් අඩවියෙන් (www.kalaya.org) ලබා ගන්න පුළුවන්.

 

ඒ ලිපිය නැවත පළ කරන්නේ හිතන්නට ය. යුදෙවුවන් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. එහෙත් ඔවුන් දෙවියන් වහන්සේ ගැනත් හිතනවා, ප්‍රශ්න කරනවා, තේරුම් ගන්න උත්සාහ කරනවා. අවාසනාවකට සිංහල බෞද්ධ සම්ප්‍රදායේ එලෙස හිතන්නේ නැහැ. හිතන්නේ නැති නිසා ම අප එන්න එන්න ම අනෙකුන් විසින් පාලනය කෙරෙනවා.

 

 ලිපිය ලියන විට මට රැකියාවක් තිබුණේ නැහැ. ලිපිය ලියා මාස දෙකකින් පමණ මට කැලණියේ (විද්‍යාලංකාරයේ) රැකියාවක් ලැබුණා. විිද්‍යාලංකාරයේ  කිසි දිනෙක කිසිවකු මගෙන් ඒ ගැන කිසිවක් විමසුවේ නැහැ. සමහර විට ඔවුන් එහි ගතයුත්තක් නැතැයි සිතන්න ඇති. එකල හා දැනුත් විශ්වවිද්‍යලවල ඉන්නේ විවෘත ආර්ථිකයේ හැදුණු වැඩුණු තරුණ තරුණියන්. ඔවුන් ගැන මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එහෙත් ගුරුවරුන් අතරත් එතරම් වැදගත් දෙයක් සාකච්ඡා වුණේ නැහැ.

 

අද විවෘත  ආර්ථිකයේ ප්‍රතිඵල හැමෝට ම දැක ගන්න පුළුවන්. විවෘත ආර්ථිකයත් සුබ සාධන රාජ්‍යයත් එකට පෑහෙන්නෙ නැහැ. මේ ආර්ථික හා දේශපාලන අර්බුදයත් සමග අපට හිතන්න පටන් ගන්න වෙනවා. අද වෙසක් දින ධර්ම දේශනා දහස් ගණනක් රටේ පැවැත්වෙනවා. අපි බණ අහනවා. හිතන්නෙ නැහැ. අප අටුවා ව වුවත් ප්‍රශ්න කරන්න ඕන. බුදුන්වහන්සේ දේශනා කෙළේ එව බලව කියා. අප එනවා එහෙත් බලන්නේ නැහැ. මේ අර්බුදයෙන් පසුවවත් අපි ගෑස් පෝලිමෙන් තෙල් පෝලිමෙන් එහාට බලමු.

 

බුදුදහම තරම් හිතන්න පුරුදු කරන දහමක් ලොවේ නැහැ. කුඩා කළ බෞද්ධ පවුලක හැදුණු වැඩුණු මා අර බාල වියේ (අවුරුදු 16 -30 අතර කාලයේ) නොමග ගියා. අවුරුදු තිස්පහේ දී පමණ මා ආපසු සිංහල බෞද්ඩ සංස්කෘතියට පැමිණියා. මේ ලිපිය ලියා ඇත්තේ ඉන් අවුරුදු විස්සකට පමණ පසුවයි. ලිපිය ලියාත් දැන් අවුරුදු විස්සක් වෙනවා.

 

මනස ප්‍රධාන බව සිංහල බෞද්ධ සංස්කෘතියේ අප දන්නවා. සියල්ල මනසේ සංස්කරණ. අප වැනි පෘථග්ජනයන්ට සංයුක්ත හා වියුක්ත යනුවෙන්  සංකල්ප, කතන්දර (ප්‍රවාද), අදහස් ආදිය තියෙනවා. මා සංයුක්ත යනුවෙන් හඳුන්වන්නේ මනස හා පංචෙන්ද්‍රිය එකතු වී සංස්කරණය කරන සංකල්ප ආදිය. එහි කොටස් දෙකක් තියෙනවා. එක කොටසක සංකල්ප ආදිය පංචෙන්ද්‍රියවලට සෘජුව ම ගෝචර වෙනචා. පොල් ගෙඩිය එයට උදාහරණයක්. අපට එය අල්ලන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන්, ගාන්න පුළුව න්, ඕන නම් ගහන්නත් (පොල් ගැහීම) පුළුවන්. එහෙත් දෙවැනි වර්ගයේ සංයුක්ත අදහස්වල දී පංචෙන්ද්‍රියෙන් සෘජුව ග්‍රහණය කර ගන්න බැහැ.උදාහරණයක් වශයෙන් දිව්‍ය ලෝකයේ පරසතු මල්, සිළුමිණි සෑය ආදිය. අපට ඒ මවා ගන්න පුළුවන්.

 

වියුක්ත සංකල්ප මවා ගන්නවත් බැහැ. එහි දී බලපාන්නේ මනස පමණයි. මා දන්නා හොඳ ම වියුක්ත සංකල්පය යුදෙවුවන්ගේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ මවා ගන්න බැහැ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ පිළිම රූප ආදිය නැත්තේ. කතෝලිකයන්ටත් මුස්ලිමුන්ටත් ඉන්නේ ඒ දෙවියන් වහන්සේ ම තමයි. කතෝලිකයන් මේ පිළිම ඇඹීම කතාවෙන් එහාට ගියේ මරියතුමියගේ හා යේසුස් වහන්සේගේ රූප ඇඳීමෙන්.

.

බටහිර ගණිතයේ ඇත්තේ වියුක්ත සංකල්ප. සරල රේඛාව හිතන තරම් සරල නැහැ. එය වියුක්ත සංකල්පයක්. රේඛාවේ ඕනෑම ලක්‍ෂ දෙකක් අතර දුර අවමයක් වන ලෙස ඒ ලක්‍ෂ ඔස්සේ යන  අනන්ත දිගක් ඇති එහෙත් ඝනකමක් පළලක් නැති රේඛාවකට සරල රේඛාවක් කියා කියනවා. අපට සරල රේඛාවක් මවා ගන්න බැහැ. පළලක් ඝනකමක් නැති රේඛාවක් මවා ගන්න බැහැ. ලංකාවේ බොහෝ දෙනා සරල රේඛා ලෙස දකින්නේ මෝල් ගස්. එහි පළල ඝනකම ඔක්කො ම තියෙනවා. ඒ මදිවාට අනන්ත දිගක් නැහැ. අපට බටහිර ගණිතය බැරි වීම පුදුමයක් නො වෙයි. සරල රේඛාවක් අඳින්න බැහැ. අප අඳින්නේ මෝල් ගස්. සරල රේඛාවක් අඳින්න නම් පළමුවෙන් තුඩක් නැති පැන්සලක් හොයා ගන්න ඕන. අනන්ත කාලයක් කැප කරන්න පුළුවන් වෙන්නත් ඕන.

 

සියලු සංකල්ප මනසේ නිර්මාණ (සංස්කරණ) නම් මනස නිර්මාණය (සංස්කරණය) වන්නේ කෙසේ ද? ඒ මා අවුරුදු විස්සකට පමණ පෙර ඇසූ ප්‍රශ්නය. මේ ලිපියේ ඇත්තේ එයට පිළිතුරක්. එය මගේ හිතළුවක්. සෑම සංකල්පයක් ම ප්‍රවාදයක් ම (කතාවක් ම) හිතළු. මගේ ප්‍රශ්නයට මගේ පිළිතුර වූයේ මනස නිර්මාණය කෙරෙන්නේත් මනස විසින්ම ය යන්නයි. මනස මනසේ ම නිර්මාණයක්. එහෙත් මෙය දෙවියන් වහන්සේ ගැන කාන්ට් දුන් පිළිතුරෙන් වෙනස්.

 

අපි එය තේරුම් ගැනීම සඳහා නැවතත් සරල රේඛාවට යමු. එය නිර්වචනය කරන විට අප තවත් සංකල්ප යෙදා ගන්නවා. දිග පළල ඝනකම අනන්තය හා ලක්‍ෂය. ඒ සංකල්ප සමහරක් තවත් සංකල්පවලින් නිර්වචනය කරන්න පුළුවන්. එවිට ඒ සංකල්ප නිර්වචනය කරන්නේ කොහොම ද? එය රේඛීය චින්තනයේ ප්‍රශ්නයක්. බටහිර ගණිතයේ දී ලක්‍ෂය නිර්වචනය කරන්නෙ නැහැ. ලක්‍ෂය නිර්වචනය කරනවා නම් වෙනත් සංකල්ප අවශ්‍ය වෙනවා. ඒ නිසා බටහිර ගණිතයේ ලක්‍ෂය අනිර්වාචිත භූතාර්ථයක් (undefined entity) කියා ගැලවෙනවා. රේඛීය චින්තනයේ දී මේ ආරම්භය පිළිබඳ ප්‍රශ්නය හමුවෙනවා. ආරම්භය නිර්වචනය කරන්න බැහැ.

 

සියල්ල දෙවියන් වහන්සේගේ නිර්මාණ නම් දෙවියන් වහන්සේ නිර්මාණය කරනු ලැබුවේ කවුරුන් විසින් ද? කාන්ට් පිළිතුරු දුන්නේ ඒ ප්‍රශ්නයටයි. ඔහු කියා සිටියේ දෙවියන් වහන්සේ  දෙවියන් වහන්සේගේ ම නිර්මාණයක් කියා! ඒ පිළිතුර පසුකාලීන බටහිර දාර්ශනිකයන්ගේ විවේචනයට පාත්‍ර වුණත් ඔවුන්ට වෙනත් පිළිතුරක් ඇත්තේත් නැහැ. ප්‍රශ්නය ඇත්තේ ආරම්භයක් සහිත රේඛීය චින්තනයේ. එහෙත් ඒ චින්තනයේ ඉන්න බටහිර දාර්ශනිකයන්ට ගැලවීමක් නැහැ.  දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ම නිර්මාණයක් බව කාන්ට් කීවේ ආරම්භයක් ඇති රේඛීය චින්තනයෙහි.

 

එහෙත් අප මනස මනසේ ම සංස්කරණයක් යැයි කියන්නේ චක්‍රීය චින්තනයෙහි. මනස යනුවෙන් සම්මුති වශයෙන් වුව ද නිත්‍ය වූ දෙයක් නැහැ. මනස ද වෙනස් වෙනවා. මනස ද අනිත්‍යයි. මනසට ආරම්භයක් නැහැ. මනස දෙවියන් වහන්සේ මෙන් වෙනස් නොවී අනෙක් දේ නිර්මාණය කළ (කරන) ඊනියා වස්තුවක් නො වෙයි. මනසත් මනසේ අනෙක් සංස්කරණ මෙන් ම සම්මුති අර්ථයකින් පමණක් ඇති සංකල්පයක්.      

 

 

 

 

"සිංහල බෞද්ධ මනස

 

මේ ලිපිය සිංහල බෞද්ධයන්ගේ මනස පිළිබඳ ව නොවේ. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මනස යනුවෙන් ආකෘතියක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වෙයි. එය මනසෙහි ආකෘතියක් නොවන බව පළමුවෙන් ම සඳහන් කළ යුතුය. යමක ආකෘතියක් නිර්මාණය කිරීමට නම් යමක් තිබෙන බව පිළිගත යුතුය. නැත්නම් අඩුම තරමින් ඒ බව උපකල්පනය කළ යුතුය. යමක් තිබෙන බව පිළිගැනීම ම ආත්මවාදී වෙයි. සිංහල බෞද්ධයෝ ආත්මවාදීහු නොවෙති. ආත්මවාදීන් නොවූවද යම් යම් දෑ සම්මුති වශයෙන් තිබෙන බව සිංහල බෞද්ධයෝ පිළිගනිති. සම්මුති වශයෙන් මනසක් ඇති බව සිංහල බෞද්ධයනට පිළිගත හැකි ය. මෙහි දී සම්මුති මනස ඇති වන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමට උත්සාහයක් දැරෙයි.

 

භාරතීය බෞද්ධයනට මුහුණ පෑමට සිදු වූ ප්‍රධාන ම ප්‍රශ්නයක් වූයේ ආත්මයක් නැත්නම් කර්ම විපාක ඇති වන්නේ කාහට ද, කෙළෙස ද යන්නය. පරලොව යන සත්වයකු. පුද්ගලයෙකු, විඥානයක් හෝ වෙනත් යමකු හෝ යමක් හෝ නොමැති නම් කර්ම ඵලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන බව ආත්මවාදී බමුණෝ පෙන්වා දුන්හ. ආලය විඥානය ආදී මහායානික ආත්මවාදී සංකල්ප ගොඩ නැගුනේ මේ අභියෝගයට මුහුණ දීමට යෑමේ දී ය. ථෙරවාදීහු මේ ප්‍රශ්නයට පරලොව යන්නේ තමාත් නොව අන් අයකුත් නොවේ ය යන මිලින්ද ප්‍රශ්නයෙහි දැක්වෙන පිළිතුර කියා සෑහීමකට පත්වෙති. ඒ පිළිතුර සතුටුදායක වුවත්, ආත්මවාදයට හසු නොවූවත්, ඒ ප්‍රමාණවත් නොවේ. ප්‍රමාණවත් නොවන පිළිතුරු යම් යම් අවශ්‍යතා යටතේ සතුටුදායක විය හැකිය.

 

පරලොව සම්බන්ධයෙන් පමණක් නොව, මෙලොව සම්බන්ධයෙන්ද, ආත්මවාදී නොවන්නන්ට මුහුණ පෑමට සිදුවන ගැටළු ඇත. පුද්ගලයෙකු නැතැයි කියන්නේ නම් කුඩා කල සිට තරුණ විය හෝ මහළු විය හෝ කිනම් වියක් හෝ දක්වා ජීවත්වන අනන්‍යතාවයක් සහිත පුද්ගලයන්ගේ පැවැත්ම තේරුම් ගන්නේ කෙසේ ද ? පුද්ගලයෙකුට මතකයක් ඇත්තේ කෙසේ ද ? මෙහි පුද්ගලයා යන්න යෙදෙන්නේ සම්මුති අර්ථයකින් බව අවධාරණය කළ යුතුය. පුද්ගලයා යන්න පමණක් නොව සියළු සංකල්ප යොදා ගැනෙන්නේ සම්මුති අර්ථයකින්ය. සියළු සංකල්ප සම්මුති වෙයි. ඒ අපේ නිර්මාණ වෙයි. සත්වයකු නැතැයි යන්නට දෙන අනෙක් පිළිතුර නම් පංචස්කන්ධය හැරෙන්නට වෙනත් සත්වයකු නැති බවය. අප තේරුම් ගත යුත්තක් නම් පංචස්කන්ධය යන්න ද සම්මුතියක් මිස පරමාර්ථයක් නොවන බවය. ඒ කෙසේ වුවත් පංචස්කන්ධය ඔස්සේ කර්මඵලය තේරුම් ගන්නේ කෙසේ ද?

 

පුද්ගලයකුට මතකයක් ඇත්තේ කෙසේද? අපට, අප ලෙස, පුද්ගලයන් ලෙස, සත්වයන් ලෙස සිතන්නට ඉවහල්වන ප්‍රධානම කරුණක් නම් මතකය යැයි සිතිය හැකිය. මතකය යන්නද සම්මුතියක් පමණකි. මතකය ඇතිවන්නේ කෙසේද? ඒ පිළිබඳ විස්තරයක් කිරීමට පෙර අදාළ ප්‍රශ්න දෙකක් නැගිය යුතුව ඇත. මතකයක් නැති සත්වයන් සිටිය හැකිද? මතකයක් ඇති සත්වයන් නොවන්නන් පැවතිය හැකිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි එක් මගක් නම් මතකයක් ඇත්තේ සත්වයන්ට පමණක් යැයි කීමය. එසේ නම් පරිගණකය ගැන කිව හැක්කේ කුමක්ද? එහි දත්තාලයක් (දත්ත ගබඩාවක්) ඇත. එහෙත් දත්ත තිබූ පමණින් පරිගණකයට මතකයක් වේද? අපි පරිගණකයෙහි මතකය (මෙමරි) ගැන කතා කරමු. පරිගණකයෙහි දත්ත තිබූ පමණින් පරිගණකයට මතකයක් පිළිබද හැගීමක් වේ ද? පුස්තකාලයක වාර්තා ඇත. අපට අවශ්‍ය නම් පුස්තකාලයේ මතකය ගැන කතා කළ හැකිය. එහෙත් පුස්තකාලයට වාර්තා පිළිබඳ හැඟීමක් නැත. වාර්තා, දත්ත තිබූ පමණින් මතකයක් ඇති නොවේ. මතකයක් ඇති වීමට ඒ පිළිබඳ හැඟීමක්, විඥානයක් තිබිය යුතුය.

 

පුස්තකාලය හා පරිගණකය මතකය සදහා එතරම් හොඳ උදාහරණ නොවේ. අපි පොතක් හෝ පොල් ගෙඩියක් හෝ ගනිමු. පොත කල් යෑමේ දී දිරයි. පොල් ගෙඩිය ටික කලකින් නරක් වෙයි. එසේ වන්නේ කෙසේද? බාහිර බලවේගවලට හසුවීම නිසා එසේ වන්නේ යැයි කිසිවකු කියනු ඇත. බාහිර බලවේග පාලනය කළහොත් පොල් ගෙඩිය නරක් නොවී තබා ගත හැකිද? එසේ තබා ගත හැකි නම් එහි අභ්‍යන්තර අණු පරමානු ආදිය ගැන කිව හැක්කේ කුමක්ද? මේ පරමාණු නිත්‍ය නොවේ. පරමාණු වෙනස් වෙයි. බාහිර බලයක් නොයෙදෙව්ව ද පරමාණුවක් නිශ්චලව නොපවතියි. එහි ඉලෙක්ට්‍රෝන නිතරම චලනය වෙයි. දිගින් දිගටම චලනය වන්නේ එකම ඉලෙක්ට්‍රෝන ද? එසේ නම් ඉලෙක්ට්‍රෝන නිත්‍ය ද? ඒවාට ආත්ම (වෙනස් නොවන්නක් යන අරුතින්, සත්වයන් ගැන මෙන්ම ධර්ම ගැන ද ආත්ම සංකල්පය යෙදෙයි.) තිබේ ද? ඉලෙක්ට්‍රෝනයකට මතකයක් තිබේද? ඉලෙක්ට්‍රෝනයක් වෙනත් අංශුවක් හෝ වෙනත් යමක් (ක්‍ෂේත්‍රයක්) හෝ සමග අන්තර්ක්‍රියාවක් නොසිදු වුවහොත් එය දිගටම පවතින්නේ එහි කලින් අවස්ථා මත පදනම් වෙමිනි. එනම් ඉලෙක්ට්‍රෝනයේ වර්තමානයට එහි අතීතය බලපායි. ඉලෙක්ට්‍රෝනයට පමණක් නොව පෘථිවිය වැනි වෙනත් ඕනෑම වස්තුවකට ද එය එසේමය. පසුගිය වසරේ ඔක්තොම්බර් 20 වැනිදා පෘථිවියේ පිහිටීම අද එහි පිහිටීමට බලපායි. පෘථිවිය පසුගිය වසරේ වෙනත් ස්ථානයක පිහිටියේ නම් අද එය පිහිටන තැන නොව වෙනත් තැනක පිහිටනු ඇත. ඉලෙක්ට්‍රෝනය පෘථිවිය ආදිය යම් ආකාරයකට තම අතීතය යම් ප්‍රමාණයකට ගබඩා කර ගෙන ඇතැයි සිතිය හැකිය.

 

අද ආණ්ඩුවේ කල දසාව එතරම් හොඳ නැත. දෙමළ ජාතිවාදී ප්‍රශ්නයේ විසදුම ඇත්තේ නැගෙනහිර පළාතෙහි ය. ආණ්ඩුව පසුගිය වසර තුළ විවිධ දේ කරමින් දෙමළ ජාතිවාදය සැනසීමට උත්සාහ කළේය. තායිලන්ත බෝක්කු සාකච්ඡාවලට පෙර කොටි සංවිධානයට සහතිකයක් දීම සදහා කඩි මුඩියේ ගෙනෙන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවත් සමග ආණ්ඩුව අර්බුධයට ගොස් ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පුස්සක් වන බව තේරුම් ගත් දින සිට කොටි සංවිධානය නැගෙනහිර පළාතේ කලබල ඇති කරයි. ඔවුන්ට අවශ්‍ය පළමුව හමුදාව, දෙවනුව සිංහලයන් හා අවසානයේදී මුස්ලිමුන් ඒ පළාතෙන් පන්නා දැමීමටය. දෙමළ ජාතිවාදයේ හා ආණ්ඩුවේ අද ක්‍රියාකාරකම් අතීතයේ ක්‍රියාකාරකම් මත පදනම් වෙයි. අප, දෙමළ ජාතිවාදයේ අතීතය හොඳින් හදාරන්නේ ඒ හේතුවෙනි. දෙමළ ජාතිවාදය යන ප්‍රපංචයට අතීතයක් ඇත. ආණ්ඩුවට ද අතීතයක් ඇත. අද ජනාධිපතිනිය කළ යුත්තේ තමාගේ නොව රටේ අනාගතය ගැන කල්පනා කර හදිසි නීතිය ඉවත් කිරීමන් පසුව වෙන් වී ඇති නැගෙනහිර පළාත සදහා වෙනම ආණ්ඩුකාරයකු පත් කර එහි සිවිල් පාලනය ශක්තිමත් කර හමුදා කදවුරු තව තවත් සන්නද්ධ කිරීමය. උතුරු හා නැගෙනහිර පළාත් වෙනම පළාත් ලෙස පවතින්නේ නම් මුස්ලිමුන්ට වෙනම කලාපයක් අවශ්‍ය නොවන බව අපි අතීතයෙන් ඉගෙන ගෙන ඇත්තෙමු.

 

ඉලෙක්ට්‍රෝනය, පොල් ගෙඩිය, පෘථිවිය, දෙමළ ජාතිවාදය, ආණ්ඩුව තම තමන්ගේ අතීත යම් ප්‍රමාණයකට ගබඩා කර ගෙන ඇතත් ඒ ඒ දැයට තම අතීත ගැන විඥානයක් නැත. මේ එකක්වත් සත්වයෙක් නොවේ. (ආණ්ඩුවේ සත්වයන් සිටියද ආණ්ඩුව සත්වයෙක් නොවේ.) සත්වයන් අතීත ගබඩා කර ගෙන ඇතිවා පමණක් නොව ඔවුන්ට අතීතය පිළිබද විඥානයක් ද ඇත. සත්වයාගේ නාම රූප (පංචස්කන්ධය) වැදගත් වන්නේ මෙහිදීය. වේදනා, සංඥා, සංඛාරා, විඥාන වශයෙන් නාමය දැක්වෙයි. යම් අතීතයක් ගබඩා වී තිබුණ ද, වේදනා, සංඥා, සංඛාර හා විඥාන ඉලෙක්ට්‍රෝන ආදියට නැත. සත්වයන් සම්බන්ධයෙන් ගත් කළ ඒවා තිබෙනු පමණක් නොව එකක් අනෙකෙන් වෙන් නොවී පවතියි.

 

මනස යන ආකෘතිය ගොඩ නැගෙන්නේ ද මනසට සාපේක්ෂව ය. එය මනසින් කෙරෙන්නකි. අපට ඉන් ගැලවිය නොහැකිය. මේ වාස්තවික ආකෘතියක් නොවේ. මෙහි ඇත්තේ චක්‍රීය භාවයකි. ඒ අපේ චින්තනයේ ලක්ෂණයකි. (වැඩි විස්තර සදහා විදුසර ලිපි පෙළ කියවන්න.) චිත්ත, චෛතසික, රූප, නිවන පරාමාර්ථ ධර්ම යැයි අභිධර්මයෙහි සඳහන් වෙයි. චිත්ත, චෛතසික, රූප පරමාර්ථ වන්නේ ඒ මනසට සංස්කරණය කර ගත හැකි ‘කුඩාම’ ධර්ම යන තේරුමෙන් යැයි කිව හැකිය. බෝධි හිමියන් ඉංගිරිසියට පරිවර්තනය කර ඇති අභිධර්මාරථ සංග්‍රහයට උන්වහන්සේ ලියා ඇති හැඳින්වීමෙහි මේ ධර්ම තුන මනස අත්දකින ධර්ම ලෙස දක්වා ඇත. මේ ඊනියා වාස්තවික යථාර්ථයක වූ ධර්ම නොවේ. බෝධි හිමියන් ඒ විස්තර කරන්නේ අත්දකින ‘වේදයිත’ යථාර්ථයක් ලෙසය. එහිමියන් එසේ නොකීව ද, මේ ධර්ම තුන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනවබෝධයෙන් මනස නිර්මාණය කරන, සංස්කරණය කරන මනසට සාපේක්ෂ ධර්ම තුනක් වෙයි. (මනසෙහි සංස්කරණ ‘මගේ ලෝකය’ කෘතියෙහි විස්තර වේ.) මේ ධර්ම ‘පවතින්නේ’ ඉතා කෙටි කාලයක් තුළ ය. ධර්මයක් ඇති වී, පැවතී, නැති වීම හා ක්‍ෂණවාදය සම්බන්ධ වෙයි. ධර්මයක් ඇති වී පැවතී නැති වන්නේ යැයි ව්‍යවහාර කළ ද අවසාන විග්‍රහයෙහි දී එය ද නිවැරදි නොවේ. ධර්මයක් ක්‍ෂණයකට හෝ පවතින්නේ යැයි කී විට එහි ආත්මවාදයක් වෙයි. ධර්ම ද වෙනස්වන දෑ ලෙස ගැනෙන්නේ එබැවිනි. නිවන මෙන් ම අනිත්‍ය හා අනාත්ම ද වචනයෙන් විස්තර කළ නොහැකි ය. ආලය විඥානය මෙන් ම ක්‍ෂණවාදය ද, අනිත්‍ය අනාත්ම වචනයෙන් විස්තර කිරීමට ගොස් තනා ගත් ආකෘතියක් වෙයි. ආලය විඥාන ආකෘතිය සංතතික වන අතර ක්‍ෂණවාද ධර්මවාද ආකෘතිය අසංතතික වෙයි. සෞත්‍රාන්තිකයන්ගේ පැවැත්මක් නොමැතිව ධර්මයක් ඇති වී නැති වීම ආත්මවාදය පිටු දකින නමුත් මුළු ලෝකයම එකම මොහොතකට සංකේන්ද්‍රණය කරයි. එකම මොහොතෙහි සියළු ධර්ම ඇති වී නැති වෙයි. ඒ සමග ලෝකය ද නැති වෙයි. මනසට හෝ සාපේක්‍ෂව ලෝකයක් නොමැති නම් තේරුම් ගන්නේ අහවල් එක ද? ලෝකයක් නැත්නම් ධර්ම ද නැත! සෞත්‍රාන්තිකයන් ද නැත!

 

අනිත්‍ය හා අනාත්ම සංතතික හෝ අසංතතික හෝ නොවෙයි. සිංහල බෞද්ධ මනස ආකෘතිය ඉදිරිපත් කෙරෙන්නේ ධර්මවාද ආකෘතිය යොදා ගනිමිනි. නැති (භංග) වන්නේ ඇති වූ (ඉපදුණු) චින්තනය නොවේ. චිත්ත ද වෙනස් වෙයි. එහෙත් අපට චිත්තය තව තවත් කොටස්වලට කැඩීමෙන් මේ ඇතිවන නැති වන වෙනස් වන ප‍්‍රශ්නයට පිළිතුරක් ලබා ගත නොහැකි ය. මනසට ග්‍රහණය කර ගත හැකි සීමාවේ චිත්ත, චෛතසික හා රූප වෙයි. පරමාණු, මූලික අංශු, ක්වාක්, තන්තු ආදී වශයෙන් ද්‍රව්‍ය කොටස්වලට කැඩීමේ ද සීමාවක් තිබිය නොහැකි ය. එහෙත් එහිදී ද මනසට ග්‍රහණය කර ගත හැකි සීමාවක් වෙයි. බටහිර භෞතික විද්‍යාඥයෝ ඒ සීමාවට ළගා වෙමින් සිටිති. බුදුන් වහන්සේ සංයුක්ත නිකායේ මෙන් ම අංගුත්තර නිකායේ ද මනස එකක් ලෙස ඉපිද වෙනකක් ලෙස භංග වන බව දේශනා කර ඇති බව වයි. ඩබ්. කරුණාදාස මහතා බුඩිස්ට් ඇනැලිසිස් ඔෆ් මැටර් කෘතියෙහි සඳහන් කරයි. ඉපදුණු චිත්තයක් භංග වීමට පෙර යම් වෙනසකට භාජනය වෙයි. චිත්තයක තොරතුරු වෙයි. චිත්තය ඉප දී නැති වීමේ දී මේ තොරතුරුවලින් බිඳක් නැති කර හා/හෝ අළුතින් බිඳක් එකතු කර ගනියි. චිත්තයක් නැති වන්නේ තවත් චිත්තයක් ඇති කරමිනි. මේ චිත්ත අතර පරතරයක් නැත. කලින් චිත්තය නැති වීමත් සමග අළුත් චිත්තය පැන නගියි. මෙය අනන්තරපච්චය හා සමන්තරපච්චය ලෙස පට්ඨානයෙහි දැක්වෙයි. අපේ ආකෘතිය අනුව නැති වන චිත්තය අනන්තරපච්චයෙන් නැති වන චිත්තයට ඒ සතු සියළු තොරතුරු ලබා දෙයි. දැන් අලුත් චිත්තය පෙර මෙන් ම තොරතුරු බිඳක් නැති කර හා/හෝ තොරතුරු බිඳක් එකතු කර ඒ සම්ප‍්‍රයුක්ත තොරතුරු ඊළග චිත්තයට ලබා දී නැති වෙයි. (මේ කරුණ මියන්මාර සම්ප‍්‍රදායේද ඇති බව විශ්වාස කළ හැකිය.)

 

ඇතිවන නැතිවන චිත්ත පරම්පරාවේ තොරතුරු යම් ප‍්‍රමාණයක් රඳවා ගෙන සිටීම හේතුවෙන් මතකයක් පිළිබඳ හැඟීමක් ගෙන දෙයි. (මතකයක් ඇත්තේ තොරතුරු පිළිබඳව ය. පරිගණකයේ මතකය ගැන ද අප කතා කරන්නට පෙළඹෙන්නේ තොරතුරු ඇසුරින් ය. කෙසේ වෙතත් මෙහි දී සඳහන් කරන මතකය බටහිර විද්‍යාවේ සඳහන් මතකය හෝ සාමාන්‍ය ව්‍යවහාරයේදී කථා කෙරෙන මතකය හෝ නොවේ. මෙහි සඳහන් මතකය හා මනස ඇත්තේ මොළය හා හදවත ඇසුරු කරමින් මිස මොළයේ කාර්යයක් ලෙස නොවේ. මොළයේ ආබාධ නිසා ඇතැම් විට අප සාමාන්‍යයෙන් කතා කරන මතකය නැති වී ගිය හැකි නමුදු මෙහි සඳහන් මතකය චිත්තය විසින් නැති කර නොගන්නා ලද්දේ නම් නැති නොවෙයි. මෙහි සඳහන් මතකය සාමාන්‍ය ව්‍යවහාරයේ මතකය බවට මොළය ආධාරයෙන් පත් වෙයි. එසේ පත් කළ නොහැකි වුව ද මෙහි සඳහන් මතකය චිත්ත පරම්පරාව ඔස්සේ පවතියි.) කලින් චිත්තයේ හා ඊට පෙර චිත්තවල තොරතුරු විසින් ඇති කෙරෙන මතකයක් ඇති බැවින් ඒ මතකය සත්වයකුගේ, පුද්ගලයෙකුගේ සංකල්පය ඇති කරයි. එනම් මනසක් නිර්මාණය කරයි. නැත්නම් මනසක් නිර්මාණය වෙයි. මින් කියවෙන්නේ මනස යනු මනසේ ම නිර්මාණයක් බව ය! (අපට සිතෙයි. එමෙන් ම අපි සිතමු. ඉංගිරිසියෙහි සිතෙන බව හො සිතන බව පැවසිය හැක්කේ ඉතාම අමාරුවෙනි.) මනස යනු ඇතිවන නැතිවන චිත්ත පරම්පරාවේ තොරතුරු, සන්තතියක් ලෙස වැරදියට තේරුම් ගැනීමෙන් නිර්මාණය වන්නකි. එසේ තේරුම් ගන්නේ ද මනසම ය. මනස නිර්මාණය වන්නේ ද එසේ තේරුම් ගැනීමෙනි. මේ චක‍්‍රීයභාවයෙන් ගැළවීමක් නැත. එපමණක් නොවේ. මනස ආකෘතිය නිර්මාණය කෙරෙන්නේ චිත‍්‍ත ඇසුරෙනි. චිත්ත යනු මනසේ නිර්මාණ වෙයි. එහි ද චක‍්‍රීය භාවයක් වෙයි. මේ සියල්ල අනිත්‍ය අනාත්ම අනවබෝධයෙන් සිදු වන දෑ ය. මෙයට වඩා දුකක් වේ ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයේ දී පිරිනිවන් පාන තෙක් චිත්ත පරම්පරාව ඇති වෙමින් නැති වෙමින් පැවතුණ ද, පිරිනිවන් පෑමෙන් පසුව අළුත් චිත්තයක් ඇති නොවෙයි. සෝපාදිසේස හා නිරූපාදිසේස යන්න එමගින් තේරුම් ගත හැකි ය.