Main Logo

Sunday 29 May 2022

මා දන්නා දේශපාලනය

 

මා දන්නා දේශපාලනය

 

පඬි නැට්ටකු කියා තිබුණා මා ගණිතය හා භෞතික විද්‍යාව දැන ගත්තත් දේශපාලනය දන්නෙ නැහැ කියා. ඔහු සම්පූර්ණයෙන් වැරදියි. මා ගණිතය භෞතික විද්‍යාව දේශපාලන විද්‍යාව මේ එකක්වත් දන්නෙ නැහැ. ඒ කියන්නෙ බටහිර දැනුම් ලෙස ඒ කිසිවක් දන්නෙ නැහැ. ඒත් මා බටහිර දැනුමේ සීමා හා දුර්වලකම් දන්නවා. එපමණක් නො වෙයි. දේශපාලනය දන්නවා. දේශපාලනය කියන්නෙ දේශපාලන විද්‍යාව නො වෙයි. මා දේශපාලනය දැන ගත්තත් ප්‍රායෝගික ව දැන් දේශපාලනයේ යෙදෙන්නේ නැහැ. මේ ලිපි ලියන්නේ දේශපාලනයේ යෙදෙන්න නො වෙයි. බටහිර දැනුමේ ආධිපත්‍යය සීමා ගැනත් මා කියන්නේ දේශපාලනය දන්නා නිසයි.

 

දේශපාලනය දන්නා නිසා තමයි 1994 දි අති විශාල බහුතරයක් චන්ද්‍රිකා බලයට පත්කරන්න වැඩ කරද්දි මා එයට විරුද්ධ වුණෙ. දේශපාලනය දන්න නිසා තමයි පඬි නැට්ටන්, ඊනියා යුද විශේෂඥයන් කොටි පරදවන්න බැහැ කියද්දි හමුදා මෙහෙයුමකින් කොටි පරාජය කළ යුතු ය හැකි ය කියා කිවුවෙ. එකල ජාතිකවාදීන් ද මට විරුද්ධ වුණා. 2005 දි මහින්ද වෙනුවෙන් වැඩ කෙළෙත් දේශපාලනය දන්නා නිසා. 2019 දි ගෝඨාභයට සිංහල ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් කිවුවෙත් දේශපාලනය දන්නා නිසා. අදත් මා බොහෝ දෙනා සමග එකඟ නොවන්නේ දේශපාලනය දන්නා නිසා.

 

තවත් පඬියකු කියා තිබුණා තමාගෙ මට ගෞරවයක් තිබුණ නමුත් රාජපක්‍ෂලා වෙනුවෙන් ලියල ඒ ගෞරවය නැති කර ගත්තා කියල. ඒ ගැන නම් මා සතුටු වෙනවා. මට කිසිවකු ගෞරව කළ යුතු නැහැ. මෙරට සංඝයා වහන්සේගේ නිකායකින්වත් රජයෙන්වත් විශ්වවිද්‍යාලයකින්වත් වෙනත් ජාතික ආයතනයකින්වත් මට ගෞරවයක් කෙරී නැහැ. සහාය මහාචාර්යවරුන්ටත් සහාය මහාචාර්යවරියන්ටත් සම්මානිත (සේවාර්ජිත) මහාචාර්ය පදවි පිරිනැමෙද්දී මට එවැන්නක් පිරිනැමී නැහැ. එයට හේතුව මා ගෞරවයක් ලැබීමට තරම් දෙයක් මෙරට කිිසිම විශ්වවිද්‍යාලයකටවත්  බටහිර දැනුමටවත් කර නැති නිසා. එවැනි ගෞරවයක් මා බලාපොරොත්තු වන්නේත් නැහැ.

 

මා රාජපක්‍ෂලා වෙනුවෙන් ලියන්නේ නැහැ. මා ලියන්නෙ මෙරට ජාතිකත්වය වෙනුවෙන්. සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන්. වර්තමානයෙහි සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් යම් ආකාරයකට හරි පෙනී සිටින්නේ මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂවරු. මා එසේ කියන්නේ මා දේශපාලනය දන්නා නිසා. මා වැරදි නම් අහවලා ඒ දෙදෙනාට වඩා සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන්න.

 

බටහිරයන්ට රාජපක්‍ෂලා ඉවත් කිරීමට අවශ්‍ය බව මා කලක සිට කියන්නේ මා දේශපාලනය දන්නා නිසා. ඒ නිසා ම මා කියනවා හැකි ඉක්මණින් රනිල් ඉවත් කළ යුුතු ය කියා.  බටහිරයන්ට යම් ජාතිකත්වයක් ඇති ආණ්ඩු ඉවත් කරන්න ඕන. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් ඉවත් කරන්න ඕන. ගඩාෆි හුසේන් ඉම්රාන් ඛාන් එසේ ඉවත් කෙරුණු අය. අද මුළු මහත් බටහිර ලෝකය ම එකතු වී පුටින් ඉවත් කරන්න හදනවා. චීනය අඩ පණ කිරීමට අර හතර දෙනාගේ කල්ලිය (QUAD) හදල තියෙනවා. ඉන්දියාවත් ජපානයත් ඒ කල්ලියෙ සාමාජිකයන්.

 

මෙරට රාජපක්‍ෂලා ඉවත් කිරීමට පමණක් නොව බණ්ඩාරනායක මැතිණිය දේශපාලනයෙන් ඉවත් කිරීමට බටහිරයන් කටයුුතු කළා. හැට දෙකේ කුමන්ත්‍රණය මතක ද? කුමන්ත්‍රණකරුවන් නිදහස් වුණෙ එංගලන්ත රැජනගෙ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන්. ඒ අප ඩොමීනියන් රාජ්‍යයක් ව පැවති කාලයෙ. බණ්ඩාරනායක මහතා ඝාතනය කෙළෙත් පනස්හයේ අවශ්‍යතා ඉටු නොකිරීමට.

 

ඊනියා යහපාලන ආණ්ඩුව ඇති කෙළේ රාජපක්‍ෂලා ඉවත් කරන්න. එහි දී ඔවුන් මෛත්‍රිපාල සිරිසේන යෙදා ගත්තා. මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි ප මරා දැම්මා. අද පවතින්නේ එහි අවතාරයක් පමණයි. යහපාලනය බිඳ දමා දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටුවා ගත් විට ඔවුන් රනිල් මංහල දිලිත් ආදීන් සමග එක් වී ඒ ආණ්ඩුව කඩා බිඳ දැම්මා. එදා අර යටත්විජිත හේරත් මීටර සීයේ වාර්තාව බිඳ දමමින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව සම්මත වූ දින බටහිර තානාපති නිලධාරීන් පාර්ලිමේන්තුවේ ඔල්වරසන් දුන්නේ ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය කරමින්. එදා යහපාලන ආණ්ඩුව බිඳ දැමිය හැකි බව හා යුතු බව මා පෙන්වා දුන්නේ දේශපාලනය දන්නා නිසයි.

 

2019-20 දි මේ ආණ්ඩුව පිහිටුවා ගත් විට බටහිරයන්ට ඕන වුණෙ පළමුව ගෝඨාභය ගෙදර යවන්න. එහි පළමු පියවර තමයි සර් ෆේල් ව්‍යාපාරය. එය සජබයන්ගේ මාතෘකාවක් නො වෙයි. සජබයන් එය පුනරුච්චාරණය කළා පමණයි. ගෝඨාභය බලයට පත් වී මාස දෙකක් යෑමටත් පෙර ඔහු අසමත් වුණේ කොහොම ද? වසංගතය නැති කිරීමට සාර්ථක ව කටයුතු කරද්දි ඔහු අසමත් වුණේ කොහොම ද? ඊළඟට ආවෙ කාදිනල්තුමාගෙ මහා මොළ ව්‍යාපාරය. එමගින් කිතුනුවන් ආණ්ඩුවෙන් ඈත් කිරීමට ද කටයුතු යෙදුනා.

 

මුල දි එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගැනීමට රනිල් කැමැත්තක් දැක්වූයේ නැහැ. එහෙත් බටහිරයන්ට අවශ්‍ය වුණෙ ඔහු බලයට පත් කිරීමට. සජිත් නම කෙහොම වුණත් පරාජිත් කියල බටහිරයන් දැන හිටියා. රනිල් පාර්ලිමේන්තුවට එන විට ම ඒ එන්නේ හොඳකට නොවන බව මා කිවුවෙ දේශපාලනය දන්න නිසා.

 

බටහිර සැලසුම් ක්‍රියාත්මක කිරීමට 2015 දිත් 2022 දිත් උපකාර වුණෙ බැසිල්ගෙත් මහේන්ද්‍ර පුත්‍රයන්ගෙත් නොමනා ක්‍රියා කලාපය. මා බැසිල් විවේචනය කරන්නේ මුල සිට ම. ඔහුට ජාතිකත්වයක් නැහැ. එය ඔහුගෙ ද්විත්ව රටවැසිකම නිසා පැන නගින්නක් නො වෙයි. ඔහුගෙ දේශපාලන පසුබිම පුහුණුව නිසා ඇති වූවක්. ඒත් බැසිල් විවේචනය එක්තරා සීමාවක කිරීමට මා මහන්සි ගත්තා. බැසිල් විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් කරන්න මට අවශ්‍ය වුණෙ නැහැ.

 

ශෂි වීරවංශ මහත්මියට සිර දඬුවමක් නියම වීම ගැන මා කණගාටුවෙනවා. ඇය වරදක් කර ඇත්තේ මවක් ලෙස ය යන්නයි මට ලැබෙන තොරතුරු අනුව කියැවෙන්න. දරුවන් වෙනුවෙන් අප නොකරන්නේ කුමක් ද? ඒත් නීතිය කියන්නෙ නීතිය.  සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවී ගල්ලෙන අත්හැර යන්නේ දරුවන් වෙනුවෙන්. දාරක ප්‍රේමය ගැන හොඳින් දත් තම කලා කෘති මගින් මා දන්නා අන්දමට වෙනත් අයකුට වඩා එය ඉතා සාරථක ව ඉදිරිපත් කළ සරච්චන්ද්‍ර සුප්පා දේවිය ලවා මෙසේ කියවනවා. "දරුවන් සන්දා කරනෙම් මෙබන්දා".  දරුවන් සන්දා බොහෝ දෙනාට බොහෝ දේ කරන්න සිදු වෙනවා. එය රජවරුන්ට රැජනන්ට ජනාධිපතිවරුන්ට  ජනාධිපතිනියන්ට අගමැතිවරුන්ට අගමැතිනියන්ට වෙනත් දේශපාලනඥයන්ට පමණක් නොව පඬි නැට්ටන්ටත් කරන්න සිද්ධ වෙනවා.  

 

මේ කණගාටුදායක අවස්ථාවේ විමල් වීරවංශ ගැන යමක් කීමට සිදු වීම අභාග්‍යයක්. බැසිල් විරෝධය ආණ්ඩු විරෝධයක් බවට ඔහු හා තවත් අය පත් කළා. මා ඒ අවස්ථාවේ බැසිල් විරෝධය යම් පමණකට අත් හැරියේ දේශපාලනය දන්නා නිසයි. පඬි නැට්ටකු කියා තිබුණා මා බැසිල් සම්බන්ධයෙන් නිද්‍රාශීලි පිළිවෙතක් අනුගමනය කළා කියා. ඔහු දන්නෙම නැතුව ඇති බැසිල්ට විරුද්ධ ව මා ලියා ඇති දේ.  යමක් කළ යුතු වෙලාව හා නොකළ යුතු වෙලාව මා දන්නේ දේශපාලනය දන්නා නිසා. විමල්ලා ගෙන ගිය ආණ්ඩු විරෝධී ව්‍යාපාරයේ ප්‍රතිඵලය අද කාටත් පේන්න තියෙනවා.

 

ආතල්ගම ඇති වූයේ විමල්ලා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පසුව. ආතල්ගම ගැන මා බොහෝ දේ කියා ඇති. එය මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු විශේෂිත තැන නැති කිරීමට බටහිරයන්ගේ අනුග්‍රහයෙන් මෙරට රාජ්‍ය නොවන සංවිධාන මගින් කතෝලික මුස්ලිම් නායකත්වයකින් ආරම්භ වූවක්. විමල්ලාට අවශ්‍ය වූයේ මහින්ද ඉවත් කිරීමට පමණයි. එහෙත් බටහිරයන් ආතල්ගම මගින් එය ගෝඨාභය ඉවත් කිරීම දක්වා දික් කළා. අද සිදු වී ඇත්තේ විමල්ලාට අවශ්‍ය වූ දේ මිස අතාල්ගමට අවශ්‍ය වූ දේ නො වෙයි. ආතල්ගම හරහා දේවදත්ත නිකායක් බිහි කිරීමට උත්සාහයක් තියෙනවා. නියම බුදුදහම තියෙන්නෙ එතැනය කියා පඬි නැට්ටන් කියන්නේ දේවදත්ත සිහි කරමින්.

 

අද ආතල්ගමක් නැහැ. එහි අරගලයක් නොව අරගල තියෙනවා. ඒ මුදල් බෙදා ගැනීමට හා නායකත්වයට. අද ආතල්ගමේ ඇතැමුන් බයිසිකලයෙන් (පා පැදියෙන්) හරිත ගම්මානවලට යෑමට කතා කරනවා.  පඬි නැට්ටන් ඒ ගැන කියන්නේ කුමක් ද? බර කරත්තයෙන් අනුරාධපුරයට යෑමක් ද? මට නම් පේන්නෙ එය බල අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි. චාල්ස් තෝමස් ආතල්ගම හා සම්බන්ධ වන්නේ ද? රනිල් අගමැති වීමෙන් පසු ආතල්ගමේ වටලප්පන් හා බිරියානි හිඟයක් තියෙනවා ද?  කෙසේ වෙතත් අපට අපේ ම මගක් හොයා ගන්න වෙලා තියෙනවා. ඒ මග ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි.

 

එහෙත් තව ටිකෙන් මා හැමදාමත් කී ලංකා වසන්තය උදාවෙන්න තිබුණා. ඒ ආතල්ගම නිසා නො වෙයි. ආතල්ගමට එවැන්නක් කරන්න හයියක් නැහැ. එහෙත් එය ආතල්ගම හා සම්බන්ධයි. ඒ දිනය මැයි නවවැනි දා. මට ගඩාෆි මතක් වුණා. අපි  හැකි වුණොත් හෙට එය කතා කරමු.