Main Logo

Thursday 5 May 2022

ආතල්ගම හා පාර්ලිමේන්තුව

 

ආතල්ගම හා පාර්ලිමේන්තුව

 

ආතල්ගමේ අපි මචංලා එක්කයි කියන මුස්ලිම් ව්‍යාපාරය පමණක් තව දුරටත් කෙරී ගෙන යනවා. මෙය ඊනියා අරගලයක් නොව ව්‍යාපාරයක්. අද වන විට එහි ක්‍රිස්තියානි බලපෑම අඩුවෙලා. එහෙත් එහි සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධය දිගට ම තියෙනවා. එහෙත් එ විරෝධයට කළ හැකි දෙයක් නැහැ. අද එහි නායකත්වය ක්‍රමයෙන් ජෙප්පන් හා සෙප්පන් අතට පත්වෙමින් තියෙනවා. එහි දී ද ජෙප්පන් හා සෙප්පන් අතර ව්‍යාපාරයේ නායකත්වය අතට ගැනීමට නම් අරගලයක් තියෙනවා. අද අරගලය සීමා වී ඇත්තේ එයටයි.

 

ඒ අතර රංජිත් සියඹලාපිටිය ඉතා විශාල ඡන්ද සංඛ්‍යාවක් 148ක් ලබා ගෙන තියෙනවා. තුනෙන් දෙකට දෙකයි අඩු. සජිත්ගේ අපේක්‍ෂකයාට 65යි. 3 දෙනකුගේ ඡන්දය අවලංගුයි. 8 දෙනකු පැමිණ නැහැ. ඒ කවුද? දැන ගන්න අවශ්‍යයයි. ස්වාධීන වීම යනු විරුද්ධ නොවීම බව විරුද්ධ පක්‍ෂයේ නායකතුමාත් දැන ගන්න ඕන. ඔහු රහස් ඡන්දය කියන එකේ තේරුමවත් දන්නෙ නැහැ. ආණ්ඩු පක්‍ෂය සියඹලාපිටියට කැමති වූ ගමන් විරුද්ධ පක්‍ෂය නමක් යෝජනා කරල. හරි පුදුමයි. සජිත්ල කාවද රවටන්න හදන්නෙ.

 

පෙරේදා රනිල්දාස හොරා පොලිස් සෙල්ලමේ යෙදුණා. පුස් කෑ ලිපි ගොනු (ෆයිල්) තොගයක් ඔහු නැවත වරක් ඊනියා ජනතාවට පෙන්නුවා. ඒත් ඒ කියවන්න ජනතාවක් නැහැ. වියුක්ත ජනතාවකට ලිපි කියවන්න බැහැ. ඒ ලිපි ගොනු අතර පාස්කරලිංගම්ගේ ලිපි ගොනු තිබුණේ නැහැ. ඒ උදාහරණයක් පමණයි. එකල පාස්කරලිංගම් සති අන්තයට ඔහුගේ ගෙදර ඉන්දියාවට ගියා. ළමයින් හොරා පොලිස් සෙල්ලම් කරන්නේත් මිතුරන් ලෙස. රනිල්දාසට ලිපි ගොනු ඉදිරිපත් කර සෙප්පන්ට වඩා ලකුණු දමා ගන්න බැරි වුණා. අද සෙප්පන් ජෙප්පන්ට වඩා නායකත්ව අරගලයේ ඉදිරියෙන් ඉන්නවා. රනිල්දාස හා සජිත්ලා හොරා පොලිස් සෙල්ලමේ  මිතුරන් වෙනවා.

 

කාගෙ කාගෙ ළඟත් හොරමැරකම් තියෙනවා. බොරුවට අතිකාල සේවා ලබා ගන්නවුන් ආණ්ඩුවේ වියදමට දුරකතනයෙන් ඇමතුම් ලබා ගන්නවුනුත් කරන්නෙ හොරකම්. ඒ මහා පරිමාණයෙන් නොවන්න පුළුවන්. මහා බැංකු කොල්ලයත් හොරකමක්. සජබෙ හොරු ඇත්තෙ ම නැද්ද? ජෙප්පන් හා සෙප්පන් සිල් සමාදන් වෙලා ද? අප මේ ආණ්ඩුව සමග ඉන්නෙ  දූෂණ අනුමත කරන්න නො වෙයි. සිංහලත්වයට වඩා සමීප මේ ආණ්ඩුව මිස රනිල්වත් සජිත්වත් ජෙප්පන්වත් සෙප්පන්වත් නොවන නිසා. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළෙ මේ ආණ්ඩු නිසා. කුරගල බෞද්ධ අයිතිය රැක දුන්නෙ මේ ආණ්ඩු නිසා.

 

මේ ඊනියා අරගලයට මතවාදයක් නැහැ. එයට සහභාගිවෙන දැන් මහළු වී සිටින විවිධ පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට මතවාදයක් සංස්කරණය (නිර්මාණය) කරන්නත් බැහැ. නිර්මාණශීලීත්වයක් නැති ඔවුන්ට පළුවන් තම ස්වාමිවරුන්ගේ හඬ උච්චාරණය කිරීම පමණයි. දෙමළ ජාතිවාදයට නම් මතවාදයක් තිබුණා. එය ඉංගිරිසින් නිර්මාණය කළ එකක්. අප එය පරාජය කළා පමණක් නොව ආදාහනය ද කළා. දෙමළ කියා මෙරට ජනවර්ගයක් නැති බවත් උතුරේ නැගෙනහිර හා කඳුකරයේ දෙමල ජනකොටස් තුනක් පමණක් ඉන්නා බවත් ඔවුන්ට ඒකරාශි වීමට නොහැකි බවත් අප පෙන්වා දුන්නා. 1976 දී චෙල්වනායගම් මේ ජනකොටස් එක් කිරීමට වෑයම් කළත් එය අසාර්ථක වුණා. කරුණා ආදීන් දෙමළ ත්‍රස්තවාදයෙන් කැඩීමත් සමග ඊනියා දෙමළ ජනවර්ගය ප්‍රසිද්ධියේ ම කැඩී බිඳී ගියා. අද දෙමළ විසුරුණු ජනකායක් එංගලන්තය විසින් එරට හා කැනඩාවේ නඩත්තු කෙරෙනවා. එයටත් අද මතවාදයක් නැහැ. මෙරට පඬි නැට්ටන් තවමත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් සිදු වී ඇති අසාධාරණය හොයනවා. ආතල්ගමෙත් එය නැහැ. ආතල්ගමේ සිදුවන දේ ගැන ඉන්දියාවට වැටහීමක් තියෙනවා. 

 

මාක්ස්වාදය ලංකාවේ මරා දමා හුඟක් කල්. බර්ලින් තාප්පය කැඩෙන්ටත් කලින් ලංකාවේ මාක්ස්වාදය මරා දැමීමට අපට හැකි වුණා. ලෝකයේ හැමදාමත් සිදු වී ඇත්තේ සංස්කෘතික ගැටුම් හා භූමිය අත්පත් කර ගැනීමේ අරගල මිසක් ඊනියා පීඩක පීඩිත අරගල නො වෙයි. භූමිය අත්පත් කරගත් පසුත් ආගමිකයන් තම  සංස්කෘතිය පතුරවනවා. ආගමිකයන් පදනම් වන්නේ විශ්වාසය මත. ථෙරවාද බෞද්ධයන් භූමිය අත්කර ගන්න යුද්ධ කර නැහැ. ඒ ඔවුන්ට පතුරවන්න ආගමක් නැති නිසා. ඒත් ඔවුන් තම සංස්කෘතිය නැති කිරීමට එන අවස්ථාවල නවගුණ වැල අතට ගන්නේ නැහැ. පඬි නැට්ටන්ට නොමිලේ වටලප්පන් කන අතර එය මතක් කර ගන්න පුළුවන්.

   

පීඩිතයන් ඉතා සුළු කලකට කැරළි ගසාවි. එහෙත් ඒ කැරළි පමණයි. අදත් ලෝකයේ ඇත්තේ ප්‍රධාන වශයෙන් ම  සංස්කෘතික ගැටුම්. අද යුක්‍රේනයේ සිිදුවන්නේත් සංස්කෘතික ගැටුමක්. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් ක්‍රමයෙන් නැගෙනහිර ඔතොඩොක්ස් ක්‍රිස්තියානි සංස්කෘතිය ගිල ගනිමින් තියෙනවා. ජාතික මතවාදවලට විරුද්ධ ව ඊනියා පශ්චාත්නූතනවාදී මතවාදයක් ගෙන එමට ඇතැමුන් ක්‍රියා කළත් ඒ මතවාදයත් පරාජය කිරීමට අපට හැකි වුණා. අද එක්ස් කණ්ඩායම හා අනෙක් පිරිස් භේද බින්න වී නන්නත්තාර වෙලා සකර්බර්ග් අනාථ කඳවුරේ අහුමුළුවල ඉන්නවා. ඔවුන් එකතු කළ වචන දෙකක් පමණක්  අද සමාජයේ තියෙනවා. ඒ කසිකබල් අනෙකා හා කියැවීම. ඒ වචන හරීියට තරුණ තරුණියන් යොදා ගන්නා අනිවා වගේ. 

 

ආතල්ගමේ කතාව ඉවර වෙලා ටිකක් කල්. අද එය වටලප්පන් පිහිටෙන් ඉන්නේ අර යන්ත්‍ර මගින් ජීවත් කෙරෙන රෝගීන් මෙන්. හෙට ජෙප්පන් හා සෙප්පන් රවි කුමුදේශ් රත්නප්‍රිය ජෝසෆ් ස්ටැලින් මහින්ද ජයසිංහ ආදීන් සමග හර්තාල් කරන්න සූදානම්  වෙනවා. කාදිනල්තුමාත් හරතාල් ද? හර්තාලයට වටලප්පන් බෙදනවා ද? කොහොමත් හෙටින් පසු තත්වය වෙනස් වෙනවා.  අර මහත් බලාපොරොත්තුවෙන් හිටි නියෝජ්‍ය කතානායක ධුරයත් නැති වුණා නෙ. ස්වාධින වීම යනු විරුද්ධ වීම නොවේ යන්න නැවත නැවතත් මතක් කර ගන්න ඕන. ඒ වගේ ම ආණ්ඩුවත් ස්වාධීන මතයට සවන් දෙන්න ඕන.

බලය පාර්ලිමේන්තුවෙන් ආතල්ගමට ගන්න සිහින මවන්නන් ඉන්නවා. ඒක කරන්න බැහැ. ඒවා අර කසිකබල් මාක්ස් පොත්වල තියෙන හිතළු විතරයි. දියවන්නාවෙත් බේරෙත් කිඹුල්ලු ඉන්නවා.