Main Logo

Friday 27 May 2022

ලාල්කාන්ත බැටළු හම පොරව ගන්නෙ නැද්ද?

 

ලාල්කාන්ත බැටළු හම පොරව ගන්නෙ නැද්ද?

 

ලාල්කාන්ත කියන නමේ අරුත මා හිතන විධියට ආකර්ෂණීය පුතා කියන එක. ඒ කොහොම වුණත් ඔහු ආකර්ෂණීය කතා කියනවා. පහුගිය දා ඔහු කියා තිබුණා පාර්ලිමේන්තුව විසුරුවා හැරල මහා මැතිවරණයක් තියන්න ඕන කියල. ඒකට නම් මාත් කැමතියි. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. මැතිවරණයකින් ජ වි පෙ අතුගෑවිල යන හින්ද. අර සියයට තුනවත් හම්බ වෙන්නෙ නැති හින්ද.

 

පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අද ජනාධිපතිටවත් බැහැ. ඒ සඳහා ජනාධිපතිට බලය ලැබෙන්නෙ තව මාස නවයක් විතර ගියාට පස්සෙ. අද කරන්න පුළුවන් එකම දේ පාර්ලිමේන්තුව ම ස්වයං විසුරුවා ගන්න එක. ඒත් ඒකට මන්ත්‍රීවරු කැමති වෙන එකක් නැහැ. ලාල්කාන්තට ඒකටත් විසඳුමක් තියෙනවා. ඔහු කියන්නෙ පාර්ලිමේන්තුව වටලල මන්ත්‍රීවරුන්ට බල කරන්න ස්වයං විසුරුවා හැරීමට කැමති වෙන්න කියල. මා ඒකට නම් එකඟ නැහැ.

 

අර කතාවක් තියෙනවා වරක් ජෙප්පෙක් නම් හැමදාම ජෙප්පෙක් කියල. මේක ඉංගිරිසියෙන් තමයි කියන්නෙ. Once a Jeppa Always a Jeppa කියල. ජෙප්පකු වුණොත් ඔහුගෙ ජෙපි අදහස් නැති වෙන්නෙ නැහැ. ජ වි පෙරමුණෙන් අස් වුණත් ජෙපි ගුණ නැතිවෙන්නෙ නැහැ. ඔය ජ වි පෙරමුණෙන් අස්වෙලා ඉන්න අය ගැන සිතන්න. ඔවුන් පක්‍ෂයෙ නැති වෙන්න පුළුවන්. ඒත් ඔවුන් අර කියනව වගේ හදවතින් ජෙප්පන්.

 

චම්පක ද විමල් ද ඒ සියල්ලන් ම ඒ ගණයට අයත් වෙනවා. ඔවුන්ගෙ මනසෙ මාක්ස්වාදය ටිකක් හරි තියෙනවා. උපක්‍රම අර පරණ ජ වි පෙ උපක්‍රම. බොරු කීම විජේවීරගෙන් ආපු දෙයක්. වැඩිහිටියන්ට මතක ඇති අර බේරුවල හෝටලයක් හදන එක විජේවීරට ඇමරිකන් කඳවුරක් හැදීමක් වුණෙ. විජේවීර තරම් බුද්ධිමතකු මෙරට පහළ වී නැතැයි ඇදහූ ජෙප්පන් ඒ කතාව එදා විශ්වාස කළා.

 

අදත් ජෙප්පන් තම නායකයන් කියන ඕනෑම බොරුවක් විශ්වාස කරනවා. ලාල්කාන්ත බොරු කියනවා කියල මා කියන්නෙ නැහැ. ඔහු තම අභිලාෂ කියනවා. කොහොමත් ජෙප්පන් විප්ලවවාදීන්. රනිල්දාස ව්‍යවස්ථාව පැත්තකට දාන්න කියල තියෙන්නෙ. මේ විප්ලවීය අවස්ථාවක්. ආතල්ගමේ විප්ලවය. ජ වි පෙ හිතුවෙ මැයි නවවැනි දා විප්ලවය කරගන්න පුළුවන් කියල. විජේවීර හැත්තැඑකේ එක් දින විප්ලවයක් ගැන හිතුව. ඒ සඳහා අප්‍රේල් පස්වැනි දාට දින නියම කළා. අර වැල්ලවායෙ සහෝදරයන්ට අප්‍රේල් පහ මධ්‍යම රාත්‍රිය මොකක් ද කියල හරියට තේරුම් ගන්න බැරි වුණා. ඒකෙන් විප්ලවය මග හැරුණා.

 

එහෙම නැත්තන් අද මේ රට සුරපුරක්. විජේවීර තවමත් රට පාලනය කරනවා. නැහැ සමහර විට මේ වන විට අවුරුදු පනහකට පස්සෙ කොමියුනිස්ට් සමාජය බිහිවෙල රාජ්‍ය වියැකී යන්නත් තිබුණා. අර ආතල්ගමේ කාගෙන් හරි අහල බලන්න කොමියුනිස්ට් සමාජ ගැන. මට ඒ පැත්තෙ යන්න බැරි වුණා. ඒත් මා අර නෝඩීල්ගම පැත්තෙ නම් ගියා. එතැන  දහදෙනකුගෙ  නෝන්ඩිගමක් තිබුණ. කවුද හාදයෙක් අර නාකි මයිනා මතක් කරමින් නෝන්ඩි කතාවක් කරමින් හිටියා. ඒක අහන්න කවුරුන්වත් හිටියෙ නැහැ. අනෙක් නවදෙනා ඒ ගොල්ලන්ගෙ වැඩ. සමහර විට ඉදිරිපිට පොලිස් කාර්යාලයෙ නිලධාරීන් අහගෙන ඉන්න ඇති. ඒ නිලධාරීන්ට ආතල් ඇති.

 

ජෙප්පන්ට තම උපන්ගෙයි සිරිත් අත්හරින්න බැහැ. අර කඩ කඩන වහන ඒවා රට ගිනි තියන ඒවා අර කියනව වගේ ඇඟේ ම තියෙනවා. ඔවුන් හිතන්නෙ ඒ වගේ වැඩ විද්‍යාත්මක ය කියා. මාක්ස්වාදය විද්‍යාවක් නොවැ. ජෙප්පන් ප්‍රජාතන්ත්‍රවදී බැටළු හමක් පොරව ගෙන හිටියා ටික කලක්. ඒත් විප්ලවීය අවස්ථාව උදා වුණා විතරයි බැටළු හම විසි කෙරුවා. මැයි නවවැනි දා ම විප්ලවය කරල ඉවර කරන්නයි ජෙප්පන් හිතුවෙ. එදා ම ආතල්ගමේ ඊනියා අරගලයේත් නායකත්වය ගන්න පුළුවන් කියල ඔවුන් හිතුවා.

 

එදා සිදු වූ කලබල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අතර ජෙප්පන් විශාල සංඛ්‍යාවක් ඉන්න බව කියැවෙනවා. ඒක එහෙම වෙන්න පුළුවන් ද කියන එක අහන්න වෙන්නෙ ව්‍යවස්ථාව විසිකරල දාන්න කිවුව රනිල්දාසගෙන්. ඒ කියන්නෙ බැටළු හම විසිකරන්න කිවුව එක. අපරාදෙ සියයට තුන. අර සකර්බර්ගෙ කඳවුරේ අනාථයන්ට මොනව හිතෙන්න ඇත් ද?

 

ආතල්ගමට නෝන්ඩිගමට ජෙප්පන්ට සෙප්පන්ට අනාථයන්ට හා තවත් අයට ඕන වුණෙ ගෝඨාභය ගෙදර ඇරල විප්ලවවාදී ආණ්ඩුවක් පිහිටුවන්න. සිද්ධ වුණ විප්ලවයක් නම් නැහැ. අර විමල් කණ්ඩායම නම් සමත් වුණා මහින්ද ගෙදර යවා රනිල් ගේන්න. ආතල්ගම හා නෝන්ඩිගම කියනව නම් ඒක ඒ අයගෙ වැඩක් කියල අපට මොකෝ. ඒ කියන්නෙ ඔවුන්ටත් ඕන වෙලා තිබුණෙ රනිල් ගේන එක ද? රනිල් දැන් නිල් ද කියා මා අහන්නෙ නැහැ. වජිර නම් කියාවි රනිල් තාමත් කොළ කියල.

 

අඩු තරමෙ විජේවීර 1971 දී මාස කිහිපයක් විප්ලවය අල්ලගෙන හිටියා. 1987 දි අවුරුදු දෙක තුනක් අල්ල ගෙන හිටියා. රනිල්දාසට දවස් තුනයි විප්ලවය අල්ලන් ඉන්න පුළුවන් වුණෙ. එක හොඳක් නම් වුණා මැරෙන මිනිසුන් සංඛ්‍යාව අඩු වුණා. දැන් ආයෙත් බැටළු හම පොරව ගන්නවා ද? බැහැ නෙ. ලාල්කාන්ත පාර්ලිමේන්තුව වටලන්න කතා කරනවා.