උගත්තු ණය හා රට කෑම හෙවත් බෞද්ධකමෙන් ඈත්වීම
දැන් දැන් කවුරුත් කියන්න පටන් අරන් ණය ගැනීම වරදක් නැහැ. ඒත් ණය යෙදා ගත් විධිය වැරදියි කියන්න. මහා බැංකුවේ අධිපතිත් එය කියනවා. රනිල්දාසත් එහෙම කියනවා. තවත් දේශපාලනඥයනුත් එහෙම කියනවා. ඒත් මා දන්නෙ නැහැ දැනට සති කිහිපයකට ඉස්සෙල්ල ඔවුන් එහෙම කිවුව ද කියල. අප ණය අරගෙන කරපු සංවර්ධනය මොකක් ද කියන එකයි ප්‍රශ්නය. අපි කෙළේ ණයට අරගෙන කෑම, විලාසිතා කිරීම, බොරු උගත්කම් ලබා ගැනීම. එය රාජපක්‍ෂලාගේ පමණක් වැඩක් නොවෙයි. බණ්ඩාරනායක මැතිණියගෙ 1970-77 ආණ්ඩුවෙන් පස්සෙ කවුරුත් කෙළේ ඒකයි. ඊට ඉස්සෙල්ලත් ණය ගත්තෙ නැති වුණත් අප තිබුණු ඩොලර් (ඒ කාලෙ ඩොලර් නොවෙයි පවුම්. කොහොම හරි විදේශීය මුදල් සංචිතය) ටිකෙන් ටික නැති කර ගත්තා.
අපට සංවර්ධන සැලැස්මක් තිබුණෙ නැහැ. ඒක ප්‍රශ්නයක්.
අපට හැමදාමත් තිබුණෙ උස නම් සෙක්‍යුරිටි මිටි නම් කම්කරු ප්‍රතිපත්තියක්. සජිත් ඒක
ප්‍රසිද්ධියේ කීම පමණයි කෙළෙ. අපි ඒ ගැන
ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕන. දැන් මේ ටික කියවපු ගමන් පඬි නැට්ටකු කියන්න පුළුවන්
නලින් ද සිල්වා සජිත්ට ස්තුතිවන්ත වෙනව කියල. ඒ තමයි මෙරට බොරු උගත්කමේ ලක්‍ෂණ. ඒක
අහගෙන ඉන්න අය ඊට පස්සෙ කියනවා නලින් ද සිල්වා සජිත් සමග හරි ඒ වගේ මනස්ගාතයක්.
ඒ කොහොම වුණත් රනිල්දාසගෙ අනුගාමිකයො හිතනවා
ඇති ඔහු තමයි මේ වගේ දේ කියන්නෙ. මහා බැංකු අධිපතිටත් ඔහු උගන්වනව කියල. රනිල්දාස
නැත්නම් අපට මොකද වෙන්නෙ කියල අහන්නත් පුළුවන්. මහා බැංකු අධිපතිත් රනිල්දාසත් එකම
විශ්වවිද්‍යාලයක ගණිතය විෂයක් ලෙස හැදෑරූ අය. ඒ කැලණියෙ. ඒත් මා එහි යන්න පෙර. මා
ගියාට පස්සෙ ද ඉස්සෙල්ල ද කියන එකත් ප්‍රශ්නයක් නො වෙයි. මා කිසි දෙයක් ඉගැන්නුවෙ
නැහැ. ඇත්තට ම කියනව නම් උගන්වන්න දේකුත් නැහැ. කරල බලන එක තමයි තියෙන්නෙ. හරියනව
නම් ඒක දිගට ම කරනවා. වැරදුනා ම වෙනස් දෙයක් කරනවා.
ණය ගැනත් කියන්න තියෙන්න ඒ වගේ දෙයක්.
ඉංගිරිසින් මේ රට අත්හැර යන විට අපට විදේශිය මුදල් (අපි පහසුව සඳහා ඩොලර් කියමු)
සංචිතයක් තිබුණ. මට ගණන් හිලවු පෙන්නන්න බැහැ. ඒක මහා කම්මැලි හිතෙන වැඩක්. මහා
බැංකු වාර්තා තියා මොන වාර්තාවත් කියවන එක මහා එපා කරපු වැඩක්. ඒ වුණත් මට හිතෙනවා
අපට එකල ඩොලර් සංචිතයක් තිබුණ කියල. අපි ඒක වියදම් කළා. ලොකු නිෂ්පාදනයක් කළෙ
නැහැ. ඩොලර් නෑති වෙන විට අප ණයට අරන් වියදම් කළා. ඒක කරල බැලුව. ඒක දැන් වැරදිලා.
දැන් වෙනත් ක්‍රමයකට යන්න ඕන. සිස්ටම්
චේන්ජ් කරන්න කිය කිය කෑ ගහන්නෙ එකයි. අපට මගක් තියෙනවා. එ බෞද්ධ මාවත. ඒත් අප බෞද්ධ
සංස්කෘතියෙ නැහැ.
ඩී එස් සේනානායක එතරම් උගතකු නො වෙයි. ඔහුට
කැලෑ (ජංගල් ) ජෝන් කියාත් නමක් පටබැඳිල තිබුණ. ඔහු කෘෂිකර්මය නගා හිටුවන්න යම්
යම් දේ කළා. එකල කෘෂිකර්ම ඇමති වුණෙ ඩඩ්ලි සේනානායක. පුතා මගින් කෘෂිකර්ම කටයුතු
කරවීමට ඩී එස්ට පුළුවන්කම තිබුණා. ඔහු පිහිටු වූ ගොවි ජනපද නිසා අපට කන්න බොන්න
සැපයුනා විතරක් නොවෙයි දෙමළ ජාතිවාදය රට
ඇතුළට පැතිරීමත් වැළැක්වුණා. එහි අඩුපාඩු
නොතිබුණා නො වෙයි. ජනපඳ පෞද්ගලිකත්වයට යට වුණා. තුන්වැනි පරම්පරාව පමණ වන විට අර
ඉඩම් කුඩා කොටස්වලට කැඩුණා. පඬි නැට්ටන් කියන්න බැරි නැහැ මා දැන් සේනානායකලා පස්සෙ යනවා කියා.
කිසිම කෘෂිකර්ම උගතකු එයට පිළියමක් දැක්කෙ නැහැ
විතරක් නොවෙයි ප්‍රශ්නයවත් දැක්කෙ නැහැ. අප සාමුහිකත්වයෙන් ඈත්වෙන්න පටන් ගත්තෙ
ඊනියා නිදහස ලැබීමත් සමග. සමූපකාර ව්‍යාපාරයත් ටිකෙන් ටික දියවීම ඇරඹුණා. වගාවට
නැවත යම් තැනක් ලැබුණෙ බණ්ඩාරනායක මැතිණියගෙ කාලෙ. ඒ අතරතුර අප ණයට කැව. බොරු ෂෝක්
කළා. බොරු උගතුන්ට තැන දුන්නා. ඔවුන් රට කෑව. විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨ
පිහිටුවා ගත්තට පස්සෙ අපේ කෘෂිකර්මය දියුණු වුණා ද? ඉන් ලාබයක් ලැබුණ ද?
කෙසේ වෙතත් ඩී එස් සේනානායකත් බණ්ඩාරනායක
මැතිණියත් උගතුන් නො වෙයි. මා හිතන්නෙ ඔවුන් අටවැනි පංතියෙන් එහාට ඉගෙන නැහැ. මා
හිතන්නෙ රණවිරුවන් ද ඇතුළු අට පාස් නැති අයගෙන් මෙරටට ඊනියා උගතුන්ගෙන් සිදු වුණාට
වඩා සේවයක් රටට වුණා කියලා. මා දැන්
නූගතෙක්. එකල උගතකු වශයෙන් ඇගයුණු කාලයෙ මගෙන් කිසිම වැඩක් වෙලා නැහැ. දැන් නුගතකු
නිසා ඇගයීමක් කෙරෙන්නෙ නැහැ. අඩු තරමෙන් ජාතිකවාදීන්වත් අගයන්නේ නැහැ. ඔවුනුත්
උගතුන්. මෙරට බෞද්ධයන්ය කියන අය නූගතුන් වෙන්න උත්සාහ කරන්නෙ නැත්තෙ මොකද කියා මට
තේරෙන්නෙ නැහැ. අභිධර්මය පාඩම් කළාට නිවන් සම්මාබෝධ වෙන්නෙ නැහැ.
අප ගත්ත ණයවලට මොකද වුණෙ. අප නිකම් ඉඳන් කෑවා.
එයට අප හැමෝ ම වරදකරුවන්. ඊනියා සමාජවාදී අදහස් අප තව තවත් නිකමුන් කෙරුවා. රාජ්‍ය
සේවයේ අරමුණ කුමක් ද? වැඩ නොකර පඩි ගැනීම හා මැරෙණ තුරු
ආදායමක් ලබා ගැනීම. රාජ්‍ය සේවයෙහි වැඩ කරන අය නැතුවා නො වෙයි. එහෙත් වැඩ කිරීම
නොවෙයි එහි තේමාව. පෞද්ගලික සේවයේ වැඩි වටුපක් ලැබෙන රැකියා ඉවත දමා අප අඩු
වැටුපක් සහිත රාජ්‍ය සේවයට කැමති වෙන්නෙ ඇයි.
අර ආයෝජන මණ්ඩලය පිහිටුවා දැන් දශක ගණනක්
වෙනවා. අපට ඒ මගින් ආයෝජන කොපමණ ලැබිල තියෙනවා ද? ඒ ආයතනයට වැටුප් සඳහා කොපමණ මුදලක් වැය
වෙනවා ද? රාජ්‍ය අර්ධ රාජ්‍ය වැටුප් හා විශ්‍රාම දීමනා
සඳහා රජයේ වියදමෙන් 80%ක් පමණ වැය වෙන බව කියනවා. අප නිදහසින්
පසු සංවර්ධනය කරල තියෙන්නෙ රාජ්‍ය සේවය පමණක් ම වෙන්න ඕන.
දැන් කවුරු හරි ඊනියා සමාජවාදී පඬි නැට්ටකු
කයන්න පුළුවන් නලින් ද සිල්වා ජාමුල මග යමින් රාජ්‍ය සේවය කප්පාදු කරන්න යෝජනා
කරනවා කියා. කවුද කිවුවා එක්තරා ආයතනයක නිදහස ලැබෙන විට හිටියෙ එක අධ්‍යක්‍ෂ
(ඩිරෙක්ටර්) කෙනකු පමණයී කියා. ඔහුට විදුලි පංකාවක් සහිත කාමරයක් තිබුණා. නිල
වාහනයක් තිබුණා. අද ඒ ආයතනයෙ අධ්‍යක්‍ෂලා හතළිහක් විතර ඉන්නවා වායු සම්කරණය කළ
කාමරවල. ඔවුන්ට
ඉහළින් අධ්‍යක්‍ෂ ජෙනරල් කෙනකුත් ඉන්නවා. හැමෝට ම නිල වාහන තියෙනවා. වසර කිහිපයක් ඇවෑමෙන්
ඒව සින්න වෙනවා කියනවා.
අපේ ණයට කෑම බොරු ෂෝක් බොරු උගත්කම වැඩිවෙත්ම
අපේ සාමූහිකත්වය දියවෙලා පෞද්ගලිකත්වය වැඩිවෙලා. අද අපට සාමූහිකත්වයක් සමූපකාර ක්‍රමයක්
ගැන හිතන්නවත් බැහැ. විවෘත ආර්ථිකයෙන් පසු අප වඩ වඩාත් ආත්මාර්ථකාමී පිරිසක් බවට
පත් වුණා. අපේ මමත්වය තව තවත් වැඩි වුණා. මම කියන එක මායාවක් ය බොරුවක් ය සම්මුතියක්
ය කියන දහමක් ඇති රටක තරම් මමත්වයක් වෙන
රටක තියෙනවා ද කියා මා දන්නෙ නැහැ. මමත්වය මංපොර සංකල්පය වර්ධනය වෙලා. අපි බෞද්ධ
සංස්කෘතියෙන් ඇත්වුණා. මම කියන එක බොරුවක්
බව දන්නෙ නැති සමාජයක් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය කියා පිළිගනීවි ද?
මා සිංහල බෞද්ධ සංස්කෘතියෙ ජීවත් වෙන නූගතෙක්.
මේ කියන දේ වත්මන් සමාජයට වැඩක් නැති බව මා දන්නවා.මා ලියන්නේ උගතුන්ට තබා හුදී ජන
පහන් සංවේගය සඳහාවත් නො වෙයි. මගේ අදහස් නිරවුල් කර ගන්න.