Main Logo

Monday 30 May 2022

වතුර බොර කර මාළු බාන රනිල්

 

වතුර බොර කර මාළු බාන රනිල් 


අද ඇති ප්‍රධාන ම කාර්යය ආරථික අර්බුදය විසඳීම මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නො වෙයි. අස්ගිරියට ගිය විජේදාස නායක හමුදුරුවරුන්ගෙන්  ඒ බව දැන ගන්න ඇති. මා හිතන්නේ මහා සංඝ රත්නය පෙදුවේ ප්‍රකාශ කරන්නේ එයයි. විජේදාසත් රනිලුත් මහා සංඝ රත්නයට සවන් දෙනවා ද? රනිල් තමන්ට බාර දුන් වැඩේ පැත්තකින් තියල වෙන වැඩක් බදා ගෙන  තියෙන්නෙ එක් පැත්තකින් ඔහුටත් ආර්ථික අර්බුදයට විසඳුමක් නැති නිසයි. අනෙක් පැත්තෙන් සියලු බලය තම අතට ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූල) අපට ලොකු ණයක් දීමට සූදානම් නැහැ. දෙන දෙයක් දීමටත් තව මාස කිහිපයක් යාවි. ලෝක බැංකුව ආධාර කිරීමට කොන්දේසි පනවනවා. පොඩි ණයක් දේවි. අපට විශාල ප්‍රමාණයකට ඉන්දියාව මත යැපෙන්න සිදු වෙනවා.

 

එහෙත් බටහිරයන් තම ග්‍රහණය අත් හරින්නේ නැහැ. ඔවුන්ගේ සෑලැස්ම රාජපක්‍ෂලා පළවා හැරීමයි. ඒ ඔවුන්ට යම් ජාතිකත්වයක් ඇති නිසා. බටහිරයන්ට අවශ්‍ය රනිල් වැන්නෙක්. ඔහු සිංහල ඉතිහාසය දන්නවා ඇති. ඔහු අවශ්‍ය ගාථා දන්නවා ඇති. ඒත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියේ නො වෙයි. ඔහු ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ. එහෙත් ඔහුටත් මෙරට අනෙක් එවැන්නන්ට මෙන් ක්‍රිස්තියානි සංස්කෘතියේත් නිර්මාණයක් කරන්න බැහැ.

 

මෙරට ඊනියා උගතුන් ඉංගිරිසි ඉතිහාසය ඉංගිරිසි සංස්කෘතිය ආදිය දන්නවා ඇති. ඉංගිරිසි (බටහිර) දැනුම ද ලබා ගෙන ඇති. ඒත් ඔවුන් බොහෝ දෙනා රනිල් මෙන් ඉංගිරිසි සංස්කෘතියේ නො වෙයි. ඔවුන්ට සමහර විට ඔක්ස්බ්‍රිජ් උච්චාරණයත් පුළුවන් ඇති. කෑම මේස චාරිත්‍රත් අනුගමනය කරන්න පුළුවන් ඇති. එපමණයි. ඔවුන් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියේ නො වෙයි. ඔවුන්ට කෙසේවත් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියේ දැනුම සංස්කරණය (නිර්මාණය) කරන්න බැහැ. මා කියන්නේ ඉංගිරිසියෙන් කවියක් ලියන එකවත් නවකතාවක් ලියන එකවත් නො වෙයි.

 

ඒ තමයි කළු සුද්දො. ඔවුන් සුද්දන් ම නො වෙයි. ඔවුන් සුද්දන්ගෙ ඒජන්තයන්. රනිල් ඉතා ම ඉහළ ඒජන්තයෙක්. අද ඔහු ඡන්දයෙන් පත් නොවී රටේ අගමැති වෙලා. ඔහුට බටහිරයන් අනෙක් අයට දෙනවට වඩා ඩොලර් ටිකක් දේවි. ඒත් එය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රමාණවත් වන්නෙ නැහැ. අපට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන්නේ සිංහල බෞද්ධ ආර්ථික ක්‍රමයක පිහිටා පමණයී. ඒත් එයින් කියැවෙන්නේ ඇතැම් පඬි නැට්ටන් හිතන විධියට බරකරත්තයෙන් ආපහු අනුරාධපුරයට යෑමක් නො වෙයි. රනිල් මානවම්ම ගැන කියවලා ඇති. ඔය කියන මානවම්ම මානවර්මන් ද? ඒ කාලෙත් අපි යම් ආකාරයක ස්වාමිවරුන්ගෙ නම් අරගෙන තියෙනවා. පල්ලව වුණා ම මොකද පෘතුගීසි වුණා ම මොකද? රනිල් ඒ බව දන්නවා ද?

 

ඒ කොහොම වුණත් රනිල් ඊනියා දේශපාලන අර්බුදයකට පිළිතුරු හොයන්නේ ආර්ථික අර්බුදයට පිළිතුරු නැති නිසා ම නො වෙයි. ඔහ ක්‍රියාත්මක කරන්නේ බටහිර සැලැස්ම. ආර්ථික අර්බුදයට සෑම ආණ්ඩුවක් ම වග කියන්න  ඕන. විශේෂයෙන් ම යහපාලන ආණ්ඩුව. වැඩියෙන් ම ණය අරන් තියෙන්නෙ රනිල්. ඒත් එයින් කළ සංවර්ධනයක් නැහැ. ඒ කාලෙත් ඩොලරයෙ අගය කෘත්‍රීම ව තියා ගැනීමට ඩොලර් සංචිතය අඩු කරගෙන තියෙනවා. මේ ආණ්ඩුවත් එය කළා. ඒත් ඊනියා වැරදි කළමනාකරණයක් ගැන දොස් කියන්නෙ මේ ආණ්ඩුවට පමණයි. මේ සෑම ආණ්ඩුවක ම ආර්ථික කළමනාකරණයට ප්‍රධාන වරදකරුවා ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව.         

 

ආර්ථික අර්බුදය නිසා ඇති වුණු දේශපාලන අර්බුදයක් නැහැ. දේශපාලන අර්බුදය ඇති කෙළෙ විමල් උදය දිලිත් කණ්ඩායම. ඔවුන් බැසිල්ට තිබුණු විරෝධය මහින්ද විරෝධයක් බවට පත් කළා. ඔවුන්ට අවශ්‍ය වූයේ ගෝඨාභය තනිකර ඔහු මෙහෙයවීම. ආතල්ගම ඇති වුණෙ පසුව. එය බටහිරයන්ගෙ අනුදැනුම ඇති ව රනිල් බලයට පත් කිරීමට කරන ලද සැලසුමේ එක් කොටසක් පමණයි. ආර්ථික අර්බුදය රාජපක්‍ෂලාගෙ ප්‍රතිපත්ති හොරා කෑම ආදිය නිසා ඇති වූවක් බව පෙන්වීමට ආණ්ඩු විරෝධීන් කටයුතු කළා.

 

මෙරට ඊනියා උගතුන් තමන් බුද්ධිවාදී තාර්කික පිරිසක් යැයි කියා ගත්තත් ඔවුන් ද්වංගුලි ප්‍රඥාවන්තයන්. මා අවුරුදු හැටක් පමණ ඔවුන් ගැන දන්නවා. ඔවුන්ගේ තර්කය යහපාලන ආණ්ඩුව කාලෙ මෙහෙම ආර්ථික අර්බුදයක් තිබුණෙ නැහැ. ආර්ථික අර්බුදය මේ ආණ්ඩුව නිසා ඇති වුවක්. මේ ආණ්ඩුවේ බලවතුන් රාජපක්‍ෂලා. රාජපක්‍ෂලාගෙ වැරදි කළමනාකරණය හා හොරා කෑම තමයි අර්බුදයට හේතුව. මේ ඊනියා උගතුන්ට කල්පනා වෙන්නෙ නැහැ 2005 -2015 අවුරුදු දහයක රාජපක්‍ෂ යුගයෙ මෙවැනි ආර්ථික අර්බුදයක් නොතිබුණු බව. එකල කළමනාකරණය හොඳ වෙන්න ඇති. එදා එච්චර හොරා කන්න නැතුව ඇති. රාජපක්‍ෂලාට අවුරුදුු දහයකින් කරන්න බැරි වුණු දේ ඒ රාජපක්‍ෂලා ම අවුරුදු දෙකින් කරළා!

 

ආර්ථික අර්බුදය ඊනියා දේශපාලන අර්බුදයක් බවට පත් කෙළේ ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා පිට ම පමණක් පැටවීමෙන්. එය විමල්ලා ගෙන ගිය ආණ්ඩු විරෝධයේ (මහින්ද බැසිල් විරෝධය) ම දිගුවක් වුණා. විමල්ලාට අවශ්‍ය වුණෙ මහින්ද හා බැසිල් ඉවත් කිරීම නම් ආතල්ගම එය ගෝඨාභය විරෝධයක් බවට පත් කළා. අද රනිල් හා විජේදාස ආර්ථික අර්බුදය පැත්තකට දා ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා මුදුන් පත් කර ගැනීමට ක්‍රියා කරනවා.

 

රනිල් කියනවා පාර්ලිමේන්තුවට වැඩි බලතල දෙන්න ඕන කියා. තමාට කිසිම බලයක් නැති පාර්ලිමේන්තුවකට බලය අත් කර දීමට තරම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ද? ඔහුට අවශ්‍ය කරන්නේ ජනාධිපති බලතල අඩු කර අගමැති බලතල වැඩි කර විවිධ සභා මගින් තම හිතවතුන්ට බලය දී පාර්ලිමේන්තුවේ බලය අඩු කිරීමයි. ඊනියා යොවුන් පාර්ලිමේන්තුවක හා ආතල්ගමක නියෝජිතයන් ඒ සභාවලට පත් කර ගන්නේ කිනම් ප්‍රජාතන්ත්‍රවාදයක් අනුව ද? ඒ සභා පාර්ලිමේන්තුවට වග කිව යුතු ය යන්න හිස් වාක්‍යයක් පමණයි.

 

අද ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා සිටිින්නේ රනිල් හා ඔහුට හිතවත් අයයි. ඒ ඊනියා ජනමතය කියන්නෙ කොහොමද? අද සියල්ලන් තම වුවමනාවන් ඊනියා ජනතාවකගේ වුවමනාවන් ලෙස කියා පානවා. ජනතාවගේ මතය දැන ගැනීමට ක්‍රමයක් තියෙනවා. ඒ ජනමත විචාරණයක් පැවැත්වීමෙන්. අවශ්‍ය ම නම් ජනමත විචාරණයක් පවත්වන්න. එසේ පවත්වන්නේ නැති නම් ව්‍යවස්ථා සංශෝධන පසුවට තබා ආර්ථික අර්බුදය විසඳන්න කටයුතු කරන්න. රනිල් හදන්නේ වතුර බොර කර මාළු බෑමට. විසිඑක්වැනි සංශෝධනය මගින් සියලු බලතල තම අතට ගැනීමට. විසි එක්වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට සංවිධානය වෙමු.