Main Logo

Tuesday 17 May 2022

ගෝඨාභය අස්විය යුතු නැහැ

 

ගෝඨාභය අස්විය යුතු නැහැ

 

මේ සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඕන කාලයක්. ඒත් සිංහලයන්ට සිහියක් බුද්ධියක් නැහැ. විශේෂයෙන් ම ඊනියා උගතුන්ට බුද්ධිමතුන්ට ඒ කිසිවක් නැහැ. ඔවුන් ඉගෙන ඇත්තේ බටහිරින් එන මොකක් හරි අල්ල ගෙන එය පුනරුච්චාරණය කරන්න. ඔවුන් දන්නේ වචන පමණයි. වචනවල අර්ථය ඒ යොදාගත යුතු සන්දර්භය ආදිය ගැන ඔවුන්ට වැටහීමක් නැහැ. බටහිර දැනුම ඇතැම් විට වැඩ කරනවා. එහෙත් එහි පදනම පුස්සක්. ආරම්භය, ඇරිස්ටෝටල් න්‍යාය, තර්කය, රේඛීය චින්තනය ආදිය ඔවුන්ගේ ම වචනවලින් නම් තර්කානුකූල නැහැ. සමස්ත බටහිර දැනුමට ම ධම්මචක්ක පවත්තන හා අනත්ත ලක්ඛන සූත්‍රවලට අලගු තියන්නවත් බැහැ. අපත් ඒ සූත්‍රවල හරය එයට පසුබිම් වූ චින්තනය ආදිය දන්නේ නැහැ. බටහිර දැනුමෙන් මුසපත් වී ඇති අප ඒ කිසිවක් දැන ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.  අප සංසාර චක්‍රය ගැන හිතන්නේත් රේඛීය ව!  

 

මාස කිහිපයක් තිබුණෙ ආර්ථික අර්බුදයක් විසින් ඇති කරන ලද දේශපාලන ප්‍රශ්නයක්. ආර්ථික අර්බුදයට හේතුව අවුරුදු හැත්තැපහක් ණයට කෑම. අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම.  එයට වැඩියෙන් ම වග කිවයුත්තේ එ ජා ප ප්‍රධාන ආණ්ඩු. විශේෂයෙන් ම ජේ ආර්ගේ හා රනිල්ගේ ආණ්ඩු.  යහපාලන කාලෙ ආණ්ඩුවක් ගත් වැඩි ම ණය ලබා ගෙන. ඉන් කරපු සංවර්ධනයක් නැහැ. පඩී වැඩි කරල ආර්ථිකය අඩපණ කරල ඡන්දෙ දිනන එක විතරයි  තිබුණු අරමුණ. ජනයාගෙන් අර්බුදයට වැඩියෙන් ම වග කියන්න ඕන මධ්‍යම පංතිය. අද ආතල්ගමේ ඉන්න අය. ඔවුන් අද ඊනියා අරගලයක් කරන්නෙ තම මධ්‍යම පාංතික ජීවන රටාව ගෙන යෑමට තව තවත් ණය ගැනීමට පුළුවන් ආණ්ඩුවක් පත් කර ගන්න. ඒ සියල්ල මැද ආර්ථික අර්බුදය ඇති වුණෙ රාජපක්‍ෂලා හොරකම් කරපු නිසා ය කියන මතයක් සමාජගත කෙරුණා.

 

එහෙත් දේශපාලන ප්‍රශ්නය ඇති වුණෙ ආතල්ගම හින්ද නො වෙයි. මහින්දට යන්න වුණෙ ආතල්ගම හින්ද නො වෙයි. ආතල්ගම නාගරිකයන් හා අරික්කාල් මාක්ස්වාදීන් මහින්ද යැවුවෙ තමන් කියා හිතනවා, කියනවා. ඔවුන්ගෙ භාෂාවෙන් නම් චූන් වෙනවා ආතල් ගන්නවා. එහෙත් මේ දේශපලන නාය යෑම ආරම්භ කෙළෙ විමල් වීරවංභ උදය ගම්මන්පිළ ඇතුළු පිරිස. ඔවුන්ට බැසිල් සමග ප්‍රශ්නයක් තිබුණ. බැසිල් ඔවුන්ට සවන් දුන්නෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණා බැසිල් යවන්න. එහෙත් ඒ සඳහා ඔවුන්ට වැඩ පිළිවෙළක් තිබුණෙ නැහැ.  ඔවුන් බැසිල්ට විරුද්ධ වීම ඉක්මවා ආණ්ඩුවට විරුද්ධ වුණා.

 

ආර්ථික අර්බුදයත් සමග තම මන්ත්‍රී ධුර බේරා ගැනීම ද ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. ඔවුන් ජනතාව ඉදිරියේ  වීරයන් වීමට උත්සාහ කළා. ඇමති මණ්ඩලයේ ඉඳිමින් ම ආණ්ඩුවට විරුද්ධව අධිකරණයට ගියා. ඔවුන් තමන් ආණ්ඩුවෙන් නෙරපෙන තත්වයට වැඩ කළා. ඊනියා ස්වාධීන මන්ත්‍රී කතාවක් ගෙනාවා. ඔවුන් ආණ්ඩුවෙන් නෙරපා දමනු ලැබුවේ මාර්තු මාසයේ. දයාසිරි ජයසේකරටත් ආණ්ඩුව සමග ප්‍රශ්න තිබුණා. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයත් ඇදගෙන ස්වාධීන වුණා.

 

ආතල්ගම ඇති වුණෙ ඉන්පසු අප්‍රේල් මාසෙ. ආතල්ගම පිටුපස විවිධ අය හිටියා. ඔවුන් සියල්ලන්ට ම අවශ්‍ය වුණෙ ගෝඨාභය ඉවත් කරන්න. සමහරුන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නත් ඕන වුණා. ගෝඨාභය ඉවත් කරල තමන්ට අවශ්‍ය අයකු ජනාධිපති කිරීමේ වුවමනාව කාදිනල්තුමාටත් දෑගසවුවන්ටත් තිබුණා. තවත් අයට වෙනත් අය ජනාධිපති කිරීමේ වුවමනාව තිබුණා. ගෝඨාභය ඉවත්වන තුරු තමන් අගමැතිකමවත් භාර ගන්නෙ නැති බව ජෙප්පන් සජබයන් කිවුවා.

 

බටහිරයන් ද මේ ආතලය පිටුපස හිටියා. එහි නන්දිකඩාල් පළිගැනීම ද තිබුණා. එය සංස්කෘතික ගැටුමක්. බටහිරයන්ට පහළොස්වැනි සියවසේ සිට අවශ්‍ය වුණෙ මුළු ලෝකය ම තම තමන්ගෙ සංස්කෘතික ආධිපත්‍යවලට යට කර ගන්න. එය දහනවවැනි සිය වසේ පමණ ඉංගිිරිසින් මුළුමනින් ම අත්පත් කර ගත්තා. ඔවුන් ඊනියා හිරු නොබසින අධිරාජ්‍යය ගොඩ නැගුවා. එහෙත් ඔවුන් සම්පූර්ණ සාර්ථකත්වයක් ලැබුවෙ නැහැ. ඔවුන්ට විරුද්ධව ඒ ඒ රටවල සංස්කෘතික අරගල ඇති වුණා. රුසියන් විප්ලවය නැගෙනහිර යුරෝපීය සංස්කෘතිය තම චින්තනයට  ධනවාදය රාජ්‍ය ධනවාදය ලෙස අවශෝෂණය කිරීමක්.

 

කෙසේ නමුත් බටහිරයන් බර්ලින් තාප්පය කඩා වැටීමත් සමග යම් ජයග්‍රහණයක් ලබා ගත්තා. එහෙත් පුටින් යටතේ නැවතත් රුසියන් ජාතිකත්වය නැගී හිටියා. අද බටහිරයන් සමස්ත නැගෙනහිර යුරෝපය ම තම සංස්කෘතික ආධිපත්‍යය යටතට ගැනීමට දරන උත්සාහය යුක්‍රේනයෙ දකින්න පුළුවන්. ලංකවෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට විරුද්ධ දේශපාලන සටන පනස්හයේ ඇරඹුණා. එය තවම අවසන් නැහැ. අද ඒ සටන ඉස්මත්තට ඇවිත්. ගෝඨාභය ඉවත් කරන්න උත්සාහ ගන්නෙ ඒ සටනෙම කොටසක් ලෙස. ගෝ ගෝඨා අවසන් වෙන්නෙ ගෝ බුද්ධා කියා. ආතල්ගමේ වෙසක් උත්සවය පැවැත්වුණෙ  කතෝලික ආගමික නායකත්වයෙන්. එය ඊනියා ආගමික සහජීවනයක් කියා පෙන්නන්න බැරි කමක් නැහැ. එහෙත් එය සංස්කෘතික නායකත්වය ගැන කියන කතාවක් පමණයි.

 

විමල් දයාසිරි ආදීන් ස්වාධීන වුණෙ ගෝඨාභය ඉවත් කරන්න නො වෙයි. විමල් කණ්ඩායමට අවශ්‍ය වුණෙ බැසිල් ඉවත් කරන්න. ඒ අතර තවත් අයට මහින්ද ඉවත් කරන්න අවශ්‍ය වුණා. ඒ මහින්ද පුත්‍ර්‍රයන් නිසා. ඒ අයට අවශ්‍ය වුණෙ මහින්ද ඉවත් කරල ගෝඨාභය මෙහෙයවන්න. ඔවුන් නාකි මයින සංකල්පය ඇති කළා. මයින ගෝ ගමක් ඇති වුණා. පොහොට්ටුවෙ කිහිප දෙනකුටත් තමන්ට වූ අසාධාරණකම් නිසා මහින්ද ඉවත් කරන්න අවශ්‍ය වුණා. ඒ තත්වය නිසා 113 නැතිවන තත්වයකට ආවා. මහින්ද අස්වන තැනට කටයුතු සිදු කෙරුණා. එය කිසිසේත් ම ආතල්ගම නිසා සිදු වූවක් නො වෙයි. ආතල්ගමට අවශ්‍ය ගෝඨාභය ඉවත් කරන්න. ඒ සඳහා රනිලුත් සහාය දුන්නා. මහින්ද වෙනුවට රනිල් පත් වුණෙ අනෙක් අය විවිධ හේතු නිසා අගමැතිකම භාර නොගත් බැවින්. රනිල්ට ඇති ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ. එහෙත් බටහිරයන්ටත් ඕන ඔහු. ඔහුට බටහිරින් ණය ගැනීමේ හැකියාවක් තියෙනවා.

 

එහෙත් රටේ බලය ඇත්තෙ කාටද? අද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයට පත් වුණෙ ආණ්ඩු පක්‍ෂයේ අජිත් රාජපක්‍ෂ. ඔහුට ඡන්ද 109ක් ලැබුණා. එය 113ට අඩු හතරක් පමණයි. මහින්ද ජොන්ස්ටන් ආදීන් පැමිණියා නම් එය 113 වෙන්න තිබුණා. ඉන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට අප්‍රසාදය පළ කිරීම සඳහා වූ යෝජනාව විවාද කිරීමට ස්ථාවර නියෝග අත්හිටුවීමට දෙමළ ජාතිවාදී සුමන්තිරන් ගෙනා යෝජනාවට විරුද්ධව ඡන්ද 119ක් ලැබුණා.

 

අද බොරු කතාවක් පතුරුවා ගෙන යනවා ජනමතය ගෝඨාභය අස්විය යුතු ය කියා. එහෙත් ජනමතය ප්‍රදර්ශනය වන්නේ පාර්ලිමේන්තුවේ මිස ජඩමාධයේ හරි ආතල්ගමේ හරි නො වේ. පාර්ලිමේන්තුවේ මතය ඉතා පැහැදිලියි. ආණ්ඩුවට 113ක් ඉන්නවා. අද ඊනියා දේශපාලන අර්බුදයක් නැහැ. එය ජනාධිපති වීමට මාන බලන පුද්ගලයන් හා ඔවුන් විසින් ඉදිරියට දමා ඇති ආගමික නායකයන් පතුරවන මතයක් පමණයි.

 

මේ ආණ්ඩුව අද වෙන දේශපාලන ප්‍රශ්න විසඳන්න යන්න ඕන නැහැ. අද කළ යුත්තේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් සෙවීමත් එදිනෙදා අනෙක් කටයුතු කර ගෙන යෑමත් පමණයි. අපි රනිල්ට ඒ සඳහා මාස තුනහතරක් ලබා දෙමු. 

 

මේ සමග  අද ලියූ  වැලේ වැල් නැති වැල් පාලම කෙටි ලිපියත් කලින් ලියා ඇති රනිලාගමනය ආදී ලිපිත් කියවන්න.  වැලේ වැල් නැති වැල් පාලමේ ඉන්නෙ දරුවා අරගෙන යන ගෘෂා නොව දරුවා නැති කර මුදල් සෙවීමට යන ගෘෂා.