Main Logo

Monday, 17 July 2017

ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ


ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ



යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එක් අංගයක් තමයි ධනවාදය. බටහිර විද්‍යාවත් දැනුමත් එහි තවත් අංගයක්. පෞද්ගලිකත්වය එහි තවත් අංගයක්. මේ සියල්ල එකිනෙකට බැඳිලා. ඒ සියල්ල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵල. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීමත් තියෙනවා. පෞද්ගලිකත්වය හා වෙන් කිරීම එකිනෙකට බැඳිලා. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීම ගැන කුමක් කීවත්, කුමක් කළත් ඒ ඒ අංග අතර තියෙන බැඳීම වළක්වන්න බැහැ.




මේ සියල්ල බැඳී තියෙන්නේ ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයක් යටතේ. මේ සුපිරිව්‍යුහයට පාලකයන් නැහැ. එහි පාර්ලිමේන්තුවක්, මැති සබයක් වැන්නක් නැහැ. කිහිප දෙනකු එක් වී තීරණ ගැනීමක් නැහැ. එහෙත් විවිධ අංශවල තිරණ ගැනීම සඳහා ඊනියා ජාත්‍යන්තර කමිටු තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් විශාල සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ සංවිධානයක්. එහි විවිධ “අනුකමිටු”  තියෙනවා.  යුනෙස්කෝ, ජෙනීවාහි මානව අයිතිවාසිකම් මණ්ඩලය එයට උදාහරණ.



එයට අමතර තවත් සංවිධාන තිබෙනවා. බටහිර විද්‍යාව වෙනුවෙන් පිහිටුවා ගෙන ඇති ලංඩනයේ රාජකීය සංගමය ඉන් ප්‍රධානයි. ඒ සංගමය අනුකරණය කරමින් විවිධ රටවල ජාතික විද්‍යා ඇකඩම් පවත්වා ගෙන යනවා. ලංකාවේත් එවැනි සංවිධානයක් තියෙනවා. එහි විිද්‍යාඥයන් නම් නැහැ. නොබෙල් ත්‍යාග කමිටුව ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයෙහි තවත් සංවිධානයක්. ගණිතයෙහි ෆීල්ඩ් පදක්කම ප්‍රදානය කෙරෙන්නේත් එවැනි සංවිධානයකින්. නොබෙල් කමිටුව ආර්ථික විිද්‍යාවෙහි ද සාහිත්‍යයෙහි ද ත්‍යාග ප්‍රදානය කරනවා. සිනමාව සඳහා ඔස්කාර් හා වෙනත් සම්මාන තිබෙනවා. ලංකාවේ ද ඊනියා රාජ්‍ය සම්මාන ප්‍රදානය සඳහා කමිටු තියෙනවා. ඊනියා ජාත්‍යන්තර සිනමාවේ සම්මානයක් ලැබීමට පහසු ම ක්‍රමය තමයි සිංහල බෞද්ධ විරෝධී චිත්‍රපටියක් නිර්මාණය කිරීම. මෙරට සිටින බොහෝ කලාකරුවන්, විද්වතුන් සිංහල බෞද්ධ විරෝධීන්. එසේ නැතිව ඔවුන්ට පැවැත්මක් නැහැ. ඒ තමයි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය.



බටහිර වෛද්‍ය විද්‍යාවෙහි විවිධ ක්‍ෂෙත්‍රවල විද්වත් සංගම් තියෙනවා. ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ස්ත්‍රී චිකිත්සාව ආදි වශයෙන් ඒවා බෙදී තිබෙනවා. ඒ සංගම්වල අධිසාමාජිකත්වය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක තිබෙනවා. එවැනි අධිසාමාජිකයන් රාශියක් ලංකාවේ ඉන්නවා. ඔවුන්ට තම තමන්ගේ ලංකා ශාඛාවන් තිබෙනවා. ඒවාහි වාර්ෂික සම්මේලනවලට අධි සාමාජිකයන් රක්ත වර්ණ ලෝගුවලින් සැරසී උජාරුවෙන් සහභාගි වෙනවා. මගුල් බෙර මැද පොල්තෙල් පහන දල්වා සිංහල සංස්කෘතිය මතක් කර ඉන්පසු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ගිලෙනවා.



ශ්‍රී ලංකවේ විද්‍යාභිවර්ධන සංගමය කියා සියළු විද්‍යාඥයන්ගේ සංගමයක් තිබෙනවා. එහි සමාජයීය විද්‍යාඥයන් ද සිටිනවා.  එහි සාමාජිකයකු වීමට මා හිතන්නේ ප්‍රථම උපාධියක් ප්‍රමාණවත්. මා ද එහි සාමාජිකයෙක්. එහෙත් ආසනික් කතාවෙන් පස්සෙ මගේ සාමාජිකත්වය නැති කිරීමට සමහර අයට අවශ්‍ය වුණා. ඒ බටහිර විද්‍යාවේ අභිවර්ධනය වෙනුවෙන් වෙන්න ඕන. බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය ආසනික් හා අදෘශ්‍යමාන ප්‍රාණියකු මගින් අභියෝගයට ලක් වීම ඔවුන්ට දරා ගැනීමට බැරි වුණා.  මා එහි දී ඔවුන්ට අභියෝග කළා මගේ සාමාජිකත්වය හැකිනම් අහෝසි කරන ලෙස. ඒ මට එහි සාමාජිකත්වය වටින නිසා නො වෙයි. හුදෙක් ඔවුන්ගේ පුහු අධිකාරියට අභියෝග කිරීමට. ඔවුන්ට කළ හැකි කිසිවක් නැහැ. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කීවත් ඔවුන්ට කළ හැකි කිසිවක් නැහැ, මගේ සාමාජිකත්වය නැති කරන්න බැහැ. 



මා කොළඹ විශ්වවිද්‍යාලයෙහි සේවය කරන කාලයෙහි මා ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා එවකට උපකුලපති ජී එල් පීරිස් ඇහුවා. ඒ බටහිර දැනුම් ආධිපත්‍යය රැක ගැනීමට. මා ඔහුට කීවේ අනෙක් අයට විජාතික චින්තනය ඉගැන්විය හැකි නම් මට ජාතික චින්තනය ඉගැන්වීමට නොහැකි ඇයි කියා.  ජී එල්ට ඇති ජාතිකත්වයක් නැහැ. ඔහු චන්ද්‍රිකාගේ පැකේජයේ සුළු පියා. ඔහු හා දයාන් ජයතිලක වැන්නන් ළඟට ගැනීමෙන් මහින්දට ප්‍රශ්න ඇති වෙලා. ඉදිරියටත් ඇති වේවි.



ඒ දිනවල හෝ එයට ආසන්නයේ හෝ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ සිසුන්ට බටහිර වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් ලවා දේශන ලබා දීමේ අවශ්‍යතාවක් ඇති වුණා. එයට වෛද්‍ය සභාව විරුද්ධ වුණා. ඔවුන් ඒ දේශන පවත්වන ගුරුවරුන්ගේ වෛද්‍ය සභාවේ ලියා පදිංචිය අවලංගු කරන බවට තර්ජනය කළා. එකල විශ්වවිිද්‍යාලයීය සනාතන සභාවේ ඒ පිළිබඳ වාද විවාද ඇති වුණා. මා කියා සිටියේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට බලපෑම් කිරීමට වෛද්‍ය සභාවට අයිතියක් නැති බවයි. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන නිදහසට හා ස්වාධීනත්වයට වෛද්‍ය සභාවට ඇඟිලි ගැසීමට නොහැකි බව මා තදින් කියා සිටියා. මා කෙළේ බටහිර සංකල්පයක් ම බටහිර වෛද්‍ය සභාවට විරුද්ධ ව යොදා ගැනීම. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ හා මහාචාර්ය කොල්වින් ගුණරත්න තමන් දේශන පවත්වන බව කියා සිටියා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ එවකට සභාපති වූයේ මහාචාර්ය අර්ජුන අළුවිහාරෙ. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්යවරයා ද වූවා. ඔහුත් වෛද්‍ය සභාවේ තීරණයට විරුද්ධ වුණා. අවසානයේ දී වෛද්‍ය සභාවට තම තීරණය අකුළා ගැනීමට සිදු වුණා. මේ වෛද්‍ය සභාව බටහිර වෛද්‍ය සභාව බව අමතක කරන්න එපා.  මෙහි හොඳ පැත්තක් මෙන් ම නරක පැත්තක් ද තියෙනවා. අද ඇතැමුන් තම බටහිර වෛද්‍ය මත ආයුර්වේදයට හා සිංහල වෙදකමට බලයෙන් ඇතුල් කරනවා.



විශ්වවිද්‍යාල, පාසල්  හා ජනමාධ්‍ය බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙහි ඒජන්තයන්. බොහෝ දෙනාට මේ කිසිවක් ගැන වැටහීමක් නැහැ. උදේට පන්සිල් ගත් පමණින්, පොල්තෙල් පහන් පත්තු කළ පමණින් අපට සිංහල බෞද්ධයන් වන්න බැහැ. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය බූවල්ලකු මෙන් සෑම අස්සක් මුල්ලකට ම තම අඬු දික් කරලා. මේ ආධිපත්‍යයෙන් මිදෙන එක පහසු කාර්යයක් නො වෙයි. අද වන විට බුදුදහමත් මේ ආධිපත්‍යයට යටවෙලා. බුදුදහම, ථෙරවාදයත් ඇතුළුව, බමුණු යථාර්ථයට යට වී බොහෝ කල්. අද එය බටහිර යථාර්ථයටත් යටවෙලා. වල්පොල රාහුල හාමුදුරුවන්ගේ සිට වයි කරුණාදාසලා දක්වා සිදු වී ඇත්තේ එයයි. ඇතැමුන් නිවනත් ඊනියා යථාර්ථයක් බවට පත් කර ගෙන.



බටහිරයන් තම ආධිපත්‍යය පැතිරවීමට යොදා ගන්නා එක් අවියක් වන්නේ ඊනියා යථාර්ථය. ඔවුන් යථාර්ථය සොයන අය ලෙස ඔවුන් ම හඳුන්වාගන්නේ ඇතැම් ජනමාධ්‍ය තමන්ට ම තම නාළිකා මගින් ප්‍රසිද්ධියක් ලබා ගන්නා ආකාරයට. බටහිරයන් යථාර්ථයේ අයිතිකරුවන් වෙලා අනෙක් අයට මිථ්‍යා මතධාරීන් කියා බැටදෙනවා. බටහිර අධ්‍යාපනය ලැබූ පුස්සන්ට නිවනත් ඇති දෙයක් බවට පත්වෙලා. මේ ඒජන්තයන්ට නිවන ගැන කියන්න ඇත්තේ තමන්ගේ මෝඩකම පමණයි. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 17