බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම
බුද්ධාගමට නිසි තැන, හිමි
තැන, ප්‍රමුඛස්ථානය දීම, ආරක්‍ෂා කිරීම ඊනියා උගත් සමාජයේ මේ දිනවල
බෙහෙවින් කතා වෙනවා. එතරම් උගත් නැති අය ඒ ප්‍රශ්නය ගැන එතරම් කතා කරන්නේ නැහැ.
ඊනියා උගතුන් සෑම ප්‍රශ්නයක් වගේ ම මේ ප්‍රශ්නයත් මුලින් අල්ල ගෙන නැහැ. මේ රටේ
උගතුන්ගේ හැටි ඔහොමයි. මේ ප්‍රශ්නය 1815 සිට ම තියෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යයක මේ ප්‍රශ්නය
තිබුණෙ නැහැ. එයින් කියන්නේ එකල මෙරට බුද්ධාගමට, බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය නොතිබූ බව නො වෙයි. මේ රටේ රජවරුන් කිහිප වතාවක් ම රට බුදුන්
වහන්සේට, බුදුසසුනට පූජා කර තිබෙනවා. රජු බෝසත්වරයකු
විය යුතුය යන මතයක් මෙරට තිබුණා. අග්බෝ රජවරුන් කිහිප දෙනකු ම රජ කළා.
1815 දී ප්‍රථම වරට මුළු රට ම වෙනත් සංස්කෘතියකට යටත් වුණා. එය දේශපාලන
ආධිපත්‍යයක් පමණක් නො වෙයි. ආර්ථික මෙන් ම සංස්කෘතික ආධිපත්‍යයක් ද වුණා. රාජකාරි
ක්‍රමය නැති වී මුදල් භෝග වගාවටත් පතල් කර්මාන්තවලටත් වෙළෙඳාමටත් ප්‍රධාන තැනක්
ලැබුණේ ආර්ථික ආධිපත්‍යය යටතේ. 1815ට
පෙර පහත රට ඒ ආධිපත්‍යය ඇති වී තිබුණා. සංස්කෘතික ආධිපත්‍යය යටතේ ඇතැමුන් බුද්ධාගම
අත්හැර ක්‍රිස්තියානි වී තිබුණා. ඔවුන් ක්‍රිස්තියානි වුණේ ක්‍රිස්තියානි ආගම සත්‍යය
යැයි පිළිගෙන නො වෙයි. ඔවුන් ක්‍රිස්තියානි වුණේ වරප්‍රසාද තනතුරු ආදිය සඳහා.
බුදුදහමේ නැති ක්‍රිස්තියානියේ ඇති සත්‍යය කුමක් දැයි ඔවුන් කියා නැහැ, ඔවුන්ගෙන් පැවතෙන්නවුන් කියාත් නැහැ. ශ්‍රී වික්‍රම රජු අල්ලා ගැනීමට මහනුවරට
ඉංගිිරිසි හමුදාව සමග ගිය පහතරට මුදලිවරුන් දෙදෙනකු වූයේ බණ්ඩාරනායක මුදලි හා
තම්බි මුදියන්සේ. බණ්ඩාරනායක මුදලි චන්ද්‍රිකාගේ මුත්තා කෙනෙක්. තම්බි මුදියන්සේ ජේ
ආර්ගේ මුත්තණුවෙක්. රනිල්ට, ජේ ආර්ට නෑ කමක් තියෙනවා. අද රනිල් හා චන්ද්‍රිකා
පොළොන්නරුවේ මෛත්‍රිපාල මගින් රට පාලනය කරනවා. බුද්ධාගමට ප්‍රධාන තැන දෙනවා
කියන්නේ මොකක් ද?
1815 ගිවිසුමේ ප්‍රධාන වගන්ති දෙකක් තිබුණා. එකකින් බුද්ධාගම රකින බවට
ඉංගිරිසින් පොරොන්දු වුණා. අනෙකෙන් සිංහල සිරිතට රට කරවන බවට ඉංගිරිසින් පොරොන්දු
වුණා. මේ දෙක ම සිංහල ප්‍රධානීන්ට අවශ්‍ය වුණා. හාමුදුරුවරුන්ටත් අවශ්‍ය වුණා. ඒත්
හාමුදුරුවරුන් ඩොයිලිව විශ්වාස කළා යැයි හිතන්න බැහැ. ගිවිසුමෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි
තුන්වැනි ජෝර්ජ් රජු බවට පිළිගැණුනා. බුද්ධාගම රකින්න පොරොන්දු වුණේ ක්‍රිස්තියානි
රාජ්‍යයක බව කී දෙනකුට වැටහුණා ද දන්නෙ නැහැ. එය කිසිදාක කරන්න පුළුවන් දෙයක් නොවන
බව හාමුදුරුවරුන්ට වැටහුණා ද දන්නෙ නැහැ. තනතුරු ලබා ගැනීමට අවශ්‍ය වුණු ඇතැම්
නිළමෙලාට නම් එය ප්‍රශ්නයක් නොවන්න ඇති.
1815 දී ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගම නිල වශයෙන් මෙරට රාජ්‍ය ආගම වුණු බව
පැහැදිලියි. අපේ රජු හැටියට තුන්වැනි ජෝර්ජ් පිළිගැණුනා. ඔහු ඇංග්ලිකන් ක්‍රිස්තියානි
ආගමේ එකල ප්‍රධානියා. එහෙත් 1840 පමණ වන තුරු දළදා සමිඳුන්ගේ
භාරකාරත්වය ඉංගිරිසි ආණ්ඩුව පිළිගත්තා. ඒ නිසා 1815 සිට 1840 පමණ වන තුරු බුද්ධාගම ආරක්‍ෂා කිරීම
ක්‍රිස්තියානි රාජ්‍යයක් යටතේ යම් තරමකට පිළිගැණුනා. එහෙත් 1840 දී පමණ ඉංගිරිසි ආණ්ඩුව දළදා සමිඳුන්ගේ
භාරකාරත්වය දියවඩන නිළමෙට පැවරුවා. එතැන් සිට 1972 දක්වා ම නිල වශයෙන් පමණක් නොව ප්‍රායෝගික ව ද ක්‍රිස්තියානිය මෙරට
රාජ්‍යාගම වුණා. දළදා සමිඳුන්ගේ භාරකාරත්වය ඇති අය මෙරට රජු යන මතයක් තිබුණා.
ඉංගිරිසින් මේ මතය නැති කළා. මේ කරුණ ගැන බොහෝ දෙනාට වැටහීමක් නැහැ. වටහා දෙන්නත්
බැහැ. මෙරට ඊනියා උගතුන් මා කියන කිසි දෙයක් සතපහකට ගණන් ගන්නේ නැහැ. ඔවුන් මගෙන්
අසාවි ක්‍රිස්තියානිය රාජ්‍යාගම කරන බවට ඉංගිරිසින් ආඥා පනතක් ගෙනාව ද කියලා. එහෙම ආඥා පනතක් එංගලන්තයේවත් නැහැ. එහෙත්
එංගලන්තයේ රාජ්‍යාගම ඇංග්ලිකන් ක්‍රිස්තියානි. මගේ අවාසනාවකට දෙතුන් නමක් හැරෙන්නට
බහුතර ලොකු හාමුදුරුවරුන්වහන්සේත් කැමති බටහිර රෝම ලන්දේසි නීතිඥයන්, බටහිර වෛද්‍යවරුන්, බටහිර
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආදීන් මුණ ගැසීමට. උන්වහන්සේලාටත් මගේ අදහස් ප්‍රිය
නැහැ. සමහර විට ඒ අදහස් අන්තවාදී යැයි උන්වහන්සේත් සිතනවා ඇති.
1840න් පමණ පසු දළදා සමිඳුන්ගේ භාරකාරත්වය දියවඩන නිළමෙට පැවරීමත් සමග
ඇංග්ලිකන් ක්‍රිස්තියානිය ප්‍රායෝගිකවත් මෙරට රාජ්‍යාගම වුණා. 1972 දී සිදු වූයේ නිල වශයෙන් ක්‍රිස්තියානි ආගම
රාජ්‍යාගම නොවීම පමණයි. එහෙත් ප්‍රායෝගික ව අදත් ක්‍රිස්තියානිය මෙරට රාජ්‍යාගම.
ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් මුළුමනින් ම පෙනී සිටින්නේ ක්‍රිස්තියානි
සංස්කෘතික ආධිපත්‍යය වෙනුවෙන්. මෙරට හාමුදුරුවරුන් කී නමක් ඉන්නවා ද කියා ඔවුන්
අසන්නේ මෙරට ඉතිහාසය අමතක කරමින්. මෙරට රාජ්‍ය නොවන සිවල් සාමාජිකයන්ට ජනමාධ්‍යයේ
මෙතරම් ප්‍රසිද්ධියක් දෙන්නේ ඔවුන් ලක්‍ෂ ගණනින් මෙරට සිටින නිසා ද? ජනමාධ්‍යයත් ක්‍රියාත්මක වන්නේ ක්‍රිස්තියානි
ආධිපත්‍යය යටතේ. එය අපේ දේ රැක ගන්නේ යැයි කියන ජනමාධ්‍යයටත් පොදුයි. ඔවුන් අපේ
අදහස්වලට ප්‍රසිද්ධියක් ලබා නොදෙන්නේ ඒ මත අන්තවාදී නිසා වෙන්න ඇති. අපේ මත කිසිවකු අනුමත නොකරන්නේ යැයි ඔවුන් හිතන
නිසා විය හැකියි.
ඉංගිරිසින් බුද්ධාගම ආරක්‍ෂා කිරීමෙන් 1840 දී පමණ මිදුණත් ඔවුන්ට මෙරට බුදුදහමට ඇති විශේෂත්වය දහනවවැනි සියවස
අග වන තුරු පිළිගන්න සිදු වුණා. 1892
ආඥා පනතෙන් කියැවුණේ අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකරන්නේ නම් ආණ්ඩුකාරයාගෙන් විශේෂ
අවසරයක් නෙගතහොත් එහි ආරක්‍ෂාව ගැන වග නොකියන බව. ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක්
නොගෙන ඉදි කෙරී ඇති අන්‍යාගමික සිද්ධස්ථාන අනවසර ඉදිකිරීම් ලෙස සලකන්න පුළුවන්. එහෙත් අද සිද්ධවන්නේ බෞද්ධ
සිද්ධස්ථානවලට ආරක්‍ෂාව සැපයීමට ආණ්ඩුවට නොහැකි වීමයි. ඒ මදිවාට බෞද්ධ සිද්ධස්ථාන
ඉදිකිරීම්වලට විරුද්ධව දෙමළ ජාතිවාදීන් උසාවි යනවා. 1892 ආඥා පනත යටතේ උසාවි යෑමට ඊනියා බෞද්ධ නීතිඥයන් ඉදිරිපත් වන්නේ නැහැ!
මේ තත්වයට ඕල්කට්තුමා වග කිව යුතුයි. එතුමා සිංහල බෞද්ධකම නැති කර
ඊනියා ජාත්‍යන්තරවාදී බෞද්ධකමක් ඇති කළා. අද මේ රටේ ඊනියා උගතුන් බහුතරය බෞද්ධයන්
මිස සිංහල බෞද්ධයන් නො වෙයි. ඔවුන් ඉල්ලන්නේ ජාත්‍යන්තර බුද්ධාගමට ප්‍රමුඛස්ථානය
මිසක් සිංහල බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නො වෙයි. ආණ්ඩුවට නාමික ව (ජාත්‍යන්තර)
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන එක අමාරු වැඩක් නො වෙයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජූලි 09